අදහස් අතින් බොහෝ විට එකිනෙකාට ප්‍රතිමුඛව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ අපට ඉගැන්වූ ගුරුවරුන් දෙදෙනෙකු මගේ සිතුම්, ජීවන චර්යාව සහ ලෝක දැක්ම සැකසීම කෙරෙහි බෙහෙවින් බලපා ඇත.
ඒ මහාචාර්ය නලින්ද සිල්වා සහ මහාචාර්ය ජයදේව උයන්ගොඩයි.
1990 දී සරසවියට මා පැමිණෙන විට මා සිටියේ ට්‍රොට්ස්කිවාදයට නැඹුරු වු මාක්ස්වාදීයකු ලෙසය. මහාචාර්ය නලින්ද සිල්වා ඒ මතවාදී ගල් අච්චුවෙන් මා මුදවාගෙන මා ජාතිකවාදියකු කළේය. මහාචාර්ය උයන්ගොඩ ජාතිකවාදයේ සීමාවන් මට පෙන්වා දී මා මතවාදී වශයෙන් මෙන්ම ජීවන චර්යාවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදියකු කළේය.
මහාචාර්ය නලින්ද සිල්වා අද අපෙන් සදහටම සමු අරගෙනය. මහාචාර්ය නලින් සමග අපට එකඟ විය හැකි නොහැකි තැන් බොහෝ ඇත. එහෙත් ඔහුගේ මතවාදී සතුරන් පවා ඔහු පිළිබඳ එකඟ වන කරුනක් ඇත. එනම් නලින් යනු කෙලින් කතා කළ කෙලින් වැඩ කළ පුර්ණ අව්‍යාජ ජීවිතයක් ගත කළ තැනැත්තකු බවය.
පරවාද යැයි ඔහු හඳුනාගත් අදහස් පරසක්වල ගසා අපගේ ප්‍රවාද ගොඩ නැගීම සඳහා සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කිසියම් සාරයක් තිබේද යන්න සොයා බැලීමට ඔහු කාලය වැය කළේය. එම මතවාදී ප්‍රයාණයෙහි ලා ඔහු කටයුතු කළේ දෘඪ ට්‍රොට්ස්කිවාදියකු කටයුතු කරනා අකාරයටමය. එම සාරය ඔහුට හමු වූයේද නැද්ද යන්න මම නොදනිමි.
එහෙත් ඔහු අවසන් වරට ප්‍රකාශ කළේ සිංහල බෞද්ධයන් දක්ෂ වී ඇත්තේ ශිල්පයෙහි මිස ශාස්ත්‍රයෙහි නොවන බවය.
අප දෙදෙනා අවසන් වරට මුන ගැසුනේ මීට මාස හතරකට පෙර අප මිත්‍ර හරිත් ගුනවර්ධනගේ අවමගුල් නිවසේදීය. එදා අපි කලකට පසු බොහෝ දේ කතා කළෙමු. එදා මට මුන ගැසුනේ ඉතා සුහද සාමකාමී සිනා මුසු මුහුණින් යුතුව මහා උපේක්ෂාවකින් ලෝකය දෙස බලන්නෙකකු ලෙස මට දැණුන නලින් සිල්වා කෙනෙකි. වයෝවෘධව සිටි ඔහු එදා එම නිවසින් පිටව වාහනයට ගොඩ වූයේ අපගේ අත්වාරුවද සහිතවය. තමන් වැඩි කලක් ජීවත් නොවන බව ඔහු එදාද අප සමග පැවසීය. ඊයේ ඔහු අප හැර ගියේය. ඔහු මිය ගිය පුවත විසින් ඇති කළ කම්පනය තවම පහව ගොස් නැත. මහා පාලුවකින් ලෝකය හාත්පස වෙලී ගොස් ඇති බවක් මා හට දැනේ.
නලින් ද සිල්වා ගුරුතුමනි, ඔබට නිවන් සුව පතමි.
@කරූ පරණවිතාන