වාමාංශික සම්ප්‍රදායට අයත් සුවිශේෂී ගුණයක් වෙන්නේ ඊට එල්ලවෙන න්‍යායික අභියෝග වලට මගනොහැර මුහුණ දීමයි.
එම සටන්කාමි ගුණය මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ සිටම පැවත එන උරුමයකි. නමුත් අධ්‍යතන වාමාංශිකයින් එසේ නොවේ. එම වාම කොටස් තමන් වෙත එල්ල වන අභියෝග මගහරිනුයේ ජනමාධ්‍ය හරහා තමන් විසින් ගොඩනගාගෙන ඇති ප්රතිරූප තමන් හටම අහිමි වේය යන බිය හේතුවෙනි.
ඒ අනුව මගහැරීම සඳහා අවශ්‍ය සියලු උපක්‍රම ඔවුන් විසින් භාවිතා කරයි. ඔවුනට අවශ්‍ය වී ඇත්තේ තමන් විසින් ගොඩනගාගෙන ඇති ප්රතිරූප නඩත්තු කරමින් රැකගැනීමට පමණි.
තම සුපුරුදු ලිබරල් ස්ථාවරයේ සිට නතාෂා කොමඩිය වෙනුවෙන් Uvindu Kurukulasuriya පෙනී සිටී. තකතීරු වම්මුන් බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වමින් සිටිනුයේ ඔහුගේ ඉදිරිපත් කිරීම් වලටය.
නතාෂා කොමඩියේ සම්පූර්ණ විනාඩි පහලවම උවිඳු විසින් තම ෆේස්බුක් බිත්තියේ එල්ලා ඇත. ඊයේ සහ පෙරෙයිදා අප විසින් මේ පිළිබඳව කරන ලද විශ්ලේෂණ සිදුකරන ලද්දේ එය සම්පූර්ණ වශයෙන් නරඹා නොවේ. එම වීඩියෝව නැරඹීමෙන් පසුව තවත් තහවරු වූයේ එහි සම්පූර්ණ අන්තර්ගතය සුළු කොටසක් පමණක් දැක අප අනුමාන කල ආකාරයමය යන්නයි.
"ජාතික විකාශන පනත" යනුවෙන් පනතක් සම්මත කිරීමට සැරසේ. ඊට අනුව ඊට අදාළ කොමිසමක් පත්කෙරෙන අතර කොමිසමේ වැඩකටයුතු සිදුකෙරෙනුයේ ජනාධිපතිවරයාගේ ඍජු කැමැත්ත අනුවය (ඕනෑම කොමිසමක් කටයුතු කරනුයේ පවතින ආණ්ඩුවට සහ රාජ්‍යයට පක්ෂපාතව වුවද මෙම කොමිසමේ වෙනස වන්නේ ජනාධිපතිවරයාගේ ඍජු මෙහෙයවීමට යටත් වීමයි).
ජාතික ආරක්ෂාව, ආගමික සහජීවනය යන ජාතික රාජ්‍යයේ (මේ තත්වය සියලු ජාතික රාජ්‍යයන්ට පොදු ධර්මතාවයකි) සුපුරුදු ආරක්ෂා කල යුතු මූලධර්ම වලට අමතරව අලුතින්ම එකතු වී ඇත්තේ "ජාතික ආර්ථිකය" යන්නයි. ඒ අනුව ඒවා තර්ජනයට ලක්වන කිසිවක් කිසිඳු ජනමාධ්‍යක, ප්රකාශනයක හෝ අන්තර්ජාලයේ විකාශය කිරීම, පල කිරීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි. ඉන් පසුව ආණ්ඩුවේ ආර්ථික ප්රතිපත්තීන් විවේචනය කල හැකි එකම ස්ථානය බවට පත්වන්නේ පාර්ලිමේන්තුව පමණි. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්නේ නම් ජනමාධ්‍ය, ඇතුළු ඕනෑම ප්රකාශනයක තිබිය හැක්කේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට පක්ෂපාත කරුණු දැක්වීම්, පුවත්, වාර්තා පමණි. එනම් ලිබරල් ආර්ථිකවාදයෙන් පිට කිසිවක් නොසිතන සමාජයයක් පිළිබඳව බලාපොරොත්තුවකි.
ඒ පිළිබඳව අපගේ ස්ථාවරය වන්නේ, ප්රජාතන්ත්රවාදය පිළිගන්නේ නම් පිළිගන්නා කිසිවෙකුට එයට හෝ එවැනි දේට එරෙහි විය නොහැකිය යන්නයි (අපගේ ප්රජාතන්ත්රවාදය පිළිබඳව ලිපි පෙලේ එය දීර්ගව පැහැදිලි කොට ඇත. තවමත් අවසන්ව නොමැති එම ලිපි පෙලේ තවත් කොටස් ඉදිරියේදී පල කරනු ඇත). ඒ අනුව දැන් අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදී විරෝධී දේශපාලන ව්‍යාපාරයකි. ඒ මෙවැනි අනපනත් ගෙන ඒම ප්රජාතන්ත්රවාදයට එරෙහි බව පෙන්වා උද්ඝෝෂණ සංවිධානය කිරමින් රාජ්‍ය විසින් ලබා දෙන ප්රජාතන්ත්රවාදයේ සීමාව තුල නිදහස බුක්ති විඳීමට කැමැත්ත පල කිරීමට නොව සම්පූර්ණයෙන්ම ප්රජාතන්ත්රවාදයම වල ලා දැමීම සඳහාය.