SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සෞඛ්‍යයේ අර්බූධය උත්සන්න වී ඇති අතර රජයේ රෝහලකින් ඇස්පිරින් පෙත්තක් වත් විශ්වාසයක් ඇතිව ලබාගැනීමට නොහැකි තරමටම ඖෂධ පරිපාලනය අයාලේ ගොස් ඇත.

රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිරින්’ පෙති තොගයක ‘ඇස්පිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව තහවුරු වීම නිසා භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය පියවර ගත්තේ පෙරේදාය. ඒ පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

 

‘ඇස්පිරින්’ අඩංගු නොවන මෙම ‘ඇස්පිරින්’ පෙති නිපදවා ඇත්තේ, කුරුණෑගල එලිබිච්චියේ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක් මගිනි. හෘදයාබාධවලට ලක්වීමේ අවදානම සහිත හෝ හෘදයාබාධයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිරවාහිනිවල රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සඳහා ඇස්ප්‍රින් අත්‍යවශ්‍ය ඖෂධයකි.

මේ අතර, වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා තවත් චක්‍රලේඛයක් නිකුත් කරමින් වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන විශේෂ කැනයුලා වර්ගයක් වන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා ම භාවිතයෙන් ඉවත් කරන්නැයි උපදෙස් දී ඇත.

මෙම කැනයුලා වර්ගය ඉන්දියානු සමාගමක නිෂ්පාදනය කොට මෙරටට එවන ලද කැනයුලා තොගයකි. එසේම තවත්  චක්‍රලේඛයක් මගින් නිර්වින්දන එන්නතක් වන ‘ප්‍රපොෆොල්’ නමැති එන්නත ද භාවිතයෙන් ඉවත්කොට ඇත. එය ද  ඉන්දියාවේ ‘නන්දනී මෙඩිකල් ලැබොරටරීස්’ නමැති ආයතනයක නිෂ්පාදනයකි.

මෙවන් තත්වයක් යටතේ මේ සියළු මිලදීගැනීම් සඳහා මූලිකව ක්‍රියාකළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් තම තනතුරු රැකගැනීමේ උත්සාහයක නියැලීම කණගාටුදායක තත්වයකි. වෙනත් රටකදී මේ වනවිටත් අදාළ පාර්ශ්වයන් ඉල්ලා අස්වෙමින් තම වරද පිලිගනු ඇත. ලංකාවේ එසේ කිසිවෙකු තම තනතුර අතහැර යන්නේ නැතිවාක් මෙන්ම එවන් වැරදිකරුවන්ට කිසිදු විනය ක්‍රියාමාර්ගයක්ද ගැනීම උගහටය.

 

මේ අතර මේ දිනවල දේශපාලන කරලියේ වැඩි කතාබහට ලක්වන්නෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වූ රාජිත සේනාරත්න සමග මව්බිම පුවත්පතේ අනුරාධා හේරත් මෙවර පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළවේ.

 

ඔබට චෝදනාවක් තියෙනවා කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා නඟලා රටේ සෞඛ්‍ය ගැටලු ඇති කරලා ඔබ සෞඛ්‍ය ඇමැතිකම ලබා ගැනීමේ ප්‍රයත්නයක සිටින බව?

ලංකාව පුරා සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට කාටවත් හැකියාවක් තිබෙනවාද? මං හිතන්නේ ජනාධිපතිටවත් එවැනි හැකියාවක් නැහැ. රටක සෞඛ්‍ය තත්ත්වය කඩාවට්ටන්න පුළුවන්නම් එක පුද්ගලයකුට හෝ කණ්ඩායමකට, ඒ කියන්නේ  එහෙම චෝදනාවක් කිරීම සෞඛ්‍ය ඇමැතිවරයා ලැජ්ජාවට  පත්විය යුතුයි.

 

ඔබට විශ්වාසද කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට යම් කුමන්ත්‍රණයක් හරහා චෝදනා එල්ල කරනවා කියලා?

එහෙම නම් මම සෞඛ්‍ය ඇමැති ලෙස ඉන්න කාලේ කුමන්ත්‍රණ කොච්චර තිබුණද? කඩාගෙන වැටුණද සෞඛ්‍ය ඒ කාලේ. මට ඔය කණ්ඩායම  කොච්චර මඩ ගැහුවද. නමුත් සෞඛ්‍ය ගොඩනැඟුණා. කඩාවැටුණෙ නෑ. 2018 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වනේ ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය තියෙන්නෙ ශ්‍රී ලංකාවේ කියලා.

 

නමුත් කියන්නේ රාජිතට රනිල් වික්‍රමසිංහ යටින් ඉඳන් සපෝර්ට්  එක දෙනවා කියලා මේ ඇමැතිකම ගන්න?

අපි මොන දේශපාලන මතයක් දැරුවත් රනිල් කියන්නෙ බුද්ධියක් තියෙන පුද්ගලයෙක්නේ. එවැනි බුද්ධිමතෙක් මෙවැනි රට අරාජික තත්ත්වයකට වැටුණම රටක නායකයෙක් වෙලා අභියෝගය භාරගන්න  කැමැති වෙනවද.

 

ඔබ ප්‍රසිද්ධියේ කිව්වා “මම රජයට සහාය දෙනවා කියලා” අද මොකද තත්ත්වය?

මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම ඒ වෙලාවේ තිබුණු ලොකුම දේ. ඒ තත්ත්වය අනුව එදා මේ රට විනාශ වෙලා රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයකට පත්වෙලා තිබුණෙ. ඒ තත්ත්වයෙන් රනිල් වික්‍රමසිංහ ගොඩඟන්න යනකොට මෙතුමා මටත් ආරාධනා කළානේ. මම ගියේ නෑනේ. ඒ රාජපක්‍ෂවරු යටතේ ඉන්න මම ගියේ නැහැ. නමුත් රනිල් මේක අතට අරගෙන රට ගොඩනඟනකොට  ඒ මිනිසුන්ට හුස්ම ගන්න අවකාශයක් ලබා දෙනකොට මේ දිහා බලලා මම සතුටු වුණා. ඒ අවකාශය ඒ සහනය ලැබුණේ මට නෙවෙයි, රටේ අහිංසක මිනිසුන්ට. එතකොට මම දේශපාලනඥයකු වශයෙන් රටේ මිනිසුන්ට යම් සහනයක් ලැබෙනවා නම් ඒකට සතුටු වෙන්න ඕනෑ.

 

ඔබ සමඟ රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කළාද සෞඛ්‍ය ගැටලු හෝ නැතිනම් සෞඛ්‍ය ඇමැතිකම ගන්න කියලා?

නෑ… අද වනතුරු මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක මගේ ගැන කිසිම දෙයක් කතා කරලා නැහැ. මම ප්‍රතිපත්තිමය වශයෙන් ඒවා කතා කරන්නේ නැහැ. නමුත් මම වරින් වර එතුමා සමඟ කතා කරලා තියනවා රටේ ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය හා රටේ සෞඛ්‍ය පිළිබඳ. ඊට ඇතිවන චෝදනා පිළිබඳව. මම චෝදනා කළේ නැහැ ඒ වෙලාවේ. මෙන්න මේවට ක්‍රියාමාර්ග ගැන කියලා කිව්වා. එතැන එච්චරයි සිදුවුණේ. මම මේ කියන්නෙ රටේ මුදල් නැහැ. ඒ තියෙන අමාරු තත්ත්වයක මෙවැනි මුදල් විනාශ වීම ගැනයි මම කතා කරන්නේ කියලා කිව්වා. ඔහු ඇහුවා.

 

දැන් සෞඛ්‍ය ප්‍රශ්න, වෛද්‍යවරුන් රට අතහැර යනවා. එදා ඔබට තිබුණා හොඳ සෞඛ්‍ය ඇමැතිවරයා කියන ක්‍රෙඩිට් එක. ඉතින් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගන්න කියලා කවුරුත්ම කිව්වෙ නැද්ද?

මම ඒවා ගැන කතා කළේ නැහැ. මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් එක්ක  වැඩිපුර කතා කළේ වෛද්‍යවරුන් රට හැර යෑම බේරගන්න කියලා. එතුමා ඒකට ක්‍රියාමාර්ග ගත්තා. නමුත් මේ සෞඛ්‍ය  ඇමැතිවරයා ප්‍රධාන අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් ඒකට අකුල් හෙළුවා මේ මගේ විෂය කිය කිය. අවසානයේදී මාස 6කට පසු පොරබදලා ගත්ත තීරණ මගේ තීරණයයි. ඒ විතරක් නෙවෙයි, ආණ්ඩුවටත් ඒ තීරණ ගන්න වුණා. අධිකරණවලිනුත් ඒ තීන්දුව ගත්තා. අපිට පේන්න තියෙනවා සිදුවිය යුත්තේ මොකක්ද කියලා. මම හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් මගේ යුතුකමක් කියලා හිතනවා මේ රට අරාජික වෙලා වැටිලා ඉන්න මොහොතක උදවු කරන්න. මොකද ආර්ථිකය කඩාවැටුණු රටක සෞඛ්‍ය කඩාවැටුණම  අපි කොහේ නතර වෙයිද?

 

අපිට ආරංචියක් තියෙනවා ඔබට සෞඛ්‍ය ඇමැතිකම නොලැබෙන්නෙ පොහොට්ටුවේ අයටත් එසේ නම් ඇමැතිකම් ලබාදිය යුතුයි කියන කඹ ඇදිල්ල නිසා කියලා?

ඒක මම දන්නෙත් නෑ. ඒක රනිල් වික්‍රමසිංහ  මහතා සහ පොහොට්ටුව අතර තියෙන ප්‍රශ්නයක්. ඒක නෙවෙයි මම කියන්නේ, මට ඇමැතිකම දෙනවද නැද්ද කියන එක නෙමේ අදාළ. මුළුමහත් රටේම බැනපු සියල්ල අද මගේ හොඳ කියනවා. ඒ ඇති මට. ඇමැතිකම් දහයකට වඩා වටිනවා මුළුමහත් ජනතාවක් හොඳ කීම.

 

ඔබ සජබෙනුත් විතැන් වෙලා ප්‍රසිද්ධියේම කිව්වා ආණ්ඩුවට සහාය දෙන බව. නමුත් අන්තිමට තීන්දුව රිවස් වුණා නේද?

නෑ… මම ආණ්ඩුවට සහාය දෙනවා කියන එක නෙමෙයි කිව්වේ. මම රනිල් වික්‍රමසිංහගෙ මේ වැඩපිළිවෙළට සහාය දෙනවා කියලා කිව්වෙ.  රටේ එදා තිබුණු තත්ත්වය හැටියට අද රටේ මිනිස්සු ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා. නමුත් මම කියන්නෙ නෑ රට ඉතා සුබවාදී තත්ත්වයකට ආවා කියලා. නමුත් නරකාදියෙන් රනිල් රට යම් තරමකට හෝ ගොඩ ගත්තා. ඒක කියන එක වැරදිද?

 

ඔබ සෞඛ්‍ය ඇමැතිකම ගන්නවද නැද්ද කියලා ඉඟියකින්වත් දෙන්න බැරිද උත්තරයක්?

ඒක මහා භාරධූර තීරණයක්. දැන් තියෙන තත්ත්වය හැටියට ඒක නිකන් අර පනින්න කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක්.

 

ඇත්තටම මොකක්ද මේ බෙහෙත් ප්‍රශ්නය. චෝදනා කරන්නේ ඔබලාගේ කාලෙත් ගෙනා බෙහෙත් කියලනෙ?

අපේ කාලේ ගෙනාපු බෙහෙත් නෑ. 2019 බෙහෙත් ගෙනාවෙ අපි ඉන්න කාලයේද? අපේ කාලෙ ගෙනාවා නම්  බෙහෙත් කල් ඉකුත් වෙලානේ. මුළු අමාත්‍යාංශයම දන්නවනේ මොකක්ද කියලා. මං හිතන්නේ රටේ වෛද්‍යවරු ඔක්කොම දන්නවා. රටේ සියලුම කට්ටිය දන්නවා ඇති මෙතැන ඇත්ත කතාව.  ඉතිහාසයෙ කිසිදාක නැති නොවූ ලෙස සෞඛ්‍ය  අමාත්‍යාංශය එක්තරා සමාගම් හතර පහක් එක්ක එක් වෙලා. අද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සෞඛ්‍ය ගොඩනැඟීම ඇරෙන්න අනිත් හැමදේම කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය බිස්නස් ආයතනයක් වෙලා.

 

මේ බෙහෙත් ගැටලුව කොතැනින්ද මතු වෙන්නේ?

ඖෂධ  ගැටලුව කියන්නේ එකක්. එක පැත්තකින් ගෙනෙන බෙහෙත් බාලයි. ගිය අවුරුද්දට විතරක් ඖෂධ 785ක් ගෙනත් තියෙනවා ලියාපදිංචිය නැතිව. ඒ පිළිබඳව සායනික පරීක්ෂාවක් කරලා නැහැ. රසායනාගාර පරීක්ෂාවක් කරලා නෑ. එතකොට කොහොමද දන්නෙ මේවා හොඳද නරකද කියලා. මේ බොහෝ සමාගම් අලුත් සමාගම්. ඉන්දියාවේ හොඳම සමාගම් තියෙනවා. නරකම සමාගම් තියෙනවා. මේ ඔක්කොම ලියාපදිංචි සමාගම්. මේ ගැටලුසහගත නිර්වින්දන ඖෂධ, ඇස් අන්ධ වීමේ ඔෟෂධ ඒකෙ සහතික තියෙනවා. ඒ සහතිකය අලුත් කිරීමේ ක්‍රියාපටිපාටිය මඟ නවත්තලා තමයි ඔෟෂධ ගෙනත් තියෙන්නෙ. අවශ්‍ය නම් යම් පැහැදිලි කිරීමක් කළොත් ඒ ඖෂධය තියෙන්නෙත් ඒකෙ ලියාපදිංචියෙන් තොරව. ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ කිව්වා මාධ්‍ය හමුවේදී “ඇමැතිතුමා මේවා හදිසියි කිව්වොත් අපි ඖෂධවලට අනුමැතිය දෙනවා” කියලා. ඒ කියන්නේ ඇමැතිතුමා තමයි තීරණය කරන්නේ කොයි ඖෂධයද ගෙන්නන්න ඕන කියලා. මම ඉන්න කාලේ මමවත් ඒක කළේ නැහැ. ඒක කාටවත් කරන්න බැහැ. ඒකට ඉතාමත් පුහුණු කළ ඖෂධවේදීන් ඉන්නවා. ඒ අය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්ණායක යටතේ විශේෂ පුහුණුවක් ලබාගෙන තියෙනවා. මේවා ඇමැතිලාට කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

 

අපි කොහොමද ඉදිරියේදී විශ්වාසයකින් රෝහලකට යන්නේ? මිනිස්සු මැරෙනවා. මිනිසුන්ට එන්නත් ගන්න බයයි. ඖෂධ ගන්න බයයි?

මේ සෞඛ්‍ය  ඇමැතිකම දැන් භාරගන්න එක්කෙනාටත් විශාල අර්බුදයක් තියෙනවා. මෙම ඖෂධ එකවර නවත්තන්න බැහැනේ එකපාර. එතකොට ඖෂධ නැති වෙනවා. මේ ඖෂධ තොගයක් ගෙනාවාම ඔව්වා නරක් වෙනවා කියන්නේ විස වෙනවා කියන්නේ ඔක්කොම නෙවෙයි. ඒ වගේ විස තියෙනවා. ඒව තමයි පරීක්ෂා කරලා නැත්තෙ. ඒවට තමයි ලියාපදිංචිය අවශ්‍ය. මෙතැනයි ප්‍රශ්නය තියෙන්නේ. මේ ඖෂධ මාස තුනක්වත් අඩුගාණේ තියෙනවනේ. දැන් තමයි රෝහල්වලට මේ නරක ඖෂධ පිටවෙන්නෙ. කෑගල්ලේ දෙදෙනෙක් ආයෙ මැරුණා. ලංකාවේ මෙවැනි ඉතිහාසයක් ඔබ මාධ්‍යවේදිනියක්  හැටියට දැකලා තියෙනවද? නෑනෙ. කොයි ඇමැතිවරයෙක් යටතේවත් නෑනේ. එහෙම නම් ඉස්සරලාම ඇමැතිවරයා බලන්න ඕන මෙහෙම වෙන්නේ කොහොමද කියලා. ඒත් එයාට විඥානයක් දැනුමක් නෑනේ මේවා පිළිබඳව. ඒ නිසා ඒක දැන උගත් කට්ටියගෙන් අහන්න ඕනෑ. එහෙම නැතිව කැලඹිලා, මේ දඟලලා, පිස්සු නැටුවට වැඩක් නැහැනේ.

 

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා ඍජුවම චෝදනා කරනවා විපක්ෂය මේ කරන චෝදනාවලින් නිදහස් සෞඛ්‍ය තමයි වළපල්ලට වැටෙන්නේ කියලා?

අමුතුවෙන් පහර ගහන වළපල්ලට වැටෙන්න දෙයක් නෑ. එදා සෞඛ්‍ය සේවය දැන් ඉවර කරලා ඉවරයි. ඒක ලංකාවෙ ඕනම දරුවෙක් දන්නවා. අද නිකන් ස්ටෙන්ට් එකක් හම්බවෙනවද? අක්ෂි කාචයක් හම්බවෙනවද? ඔක්කොම සල්ලිවලට. කොහෙද රටේ නිදහස් සෞඛ්‍යයක්? අනිත් පැත්තෙන් බෙහෙතුත් නෑ? ශල්‍යකර්මයක් කරගන්න බෑ. උපකරණයක් ගන්න බෑ. ලැබ් එකේ පරීක්ෂා කරන Chemical නෑ.  ඉතිං කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ?

 

අපිට අහන්න ලැබෙන දේ අනුව ඔබට සෞඛ්‍ය ඇමැතිකම ලැබෙන්න බොහෝ විට ඉඩ තියෙනවා. ඔබ භාර ගත්තොත් මේක කොතැනින්ද කෙටිකාලීන විසඳුමක් හැටියට පටන් ගන්න බලාපොරොත්තු වෙන්නෙ?

මේක භාර ගන්නවා කියන එක මහා දැන් තියෙන බරපතළ භයානක තත්ත්වයක්.

 

මේක භාරගන්න බැහැ වගේද දැන්?

මේක භාර ගන්නවා කියන්නේ අර කිව්වා වගේ භයානක තත්ත්වයක්. චන්න ජයසුමන මන්ත්‍රිතුමත් ඇවිල්ල මාත් එක්ක කතා කළා. මේක භාරගන්න  ඉන්න  එකම කෙනා ඔබතුමා කියලා කිව්වා. ඉදිරි මාස තුනක් යනකම් මරණ සිදු වේවි. ඒ මාස දෙකක් යනකොට අපේ රටේ මිනිසුන්ට කෙහෙළිය කියලා කෙනෙක්  හිටියද නැද්ද කියලවත් මතක නෑ.

 

සංවාදය – අනුරාධා  හේරත්

@mawbima.lk

නවතම ලිපි