SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී චම්පික රණවක විසින් රචිත 'පටිසෝතගාමීව තිස් වසක්' කෘතියේ අවසාන පරිච්ඡේදය අද පළවේ.

එල්ලාවල මේධානන්ද හිමියන් විසින් කෘතිය ගැන කරන ලද පෙරවදන මීළඟ පළකිරීමෙන් බලාපොරොත්තු වන්න.

 

අපි දිනුම්!

 

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ආරක්ෂක අංශවල සිදු වූ නායකත්ව වෙනස්කම් මගින් ඉක්මණින්ම සියලූදෙනා දැනගත්තේ ආණ්ඩුව කොටින්ගෙන් එල්ලවන ඕනෑම අභියෝගයක් සඳහා සූදානම් වන බවයි. විශේෂයෙන්ම කොටින්ගෙන් බිදී ගිය කොටස් හා කොටි විරෝධී කොටස් අනුක්‍රමයෙන් අප හා සම්බන්ධ වන්නට විය. පැරීසිය, ලන්ඩනය හා ෆ්‍රැන්ක්ෆර්ට් සහ තවත් නගර ගණනාවක දී විවිධ අවස්ථාවලදී විදේශ ගත කොටි විරෝධීන් අප සමග සාකච්ඡාවලට එළැඹුනහ. වරක් ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ දී හමු වූ තරමක් වයසක දෙමළ තාක්ෂණ ශිල්පියෙකු මා හට කීවේ 1984 තරම් ඈත කාලයක දී තමන් ප්ලොට් සංවිධානයේ ෂර්ලි හා ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි අතර, සාකච්ඡාවකට ද සම්බන්ධ වූ බවය. මට ක්ෂණයකින් කරුණු දෙකක් මතක් විය. එකක් නම් දකුණේ වාමාංශිකයන්ගේ වේදිකාවලට නැතුවම බැරි දෙමළ කථීකයෙක් බවට 1980 දශකයේ දෙවන භාගයේ පත්වූ, ටී ෂර්ටය, ඩෙනිම් කලිසම, ට්‍රැක් සපත්තු පැළඳ සිටි ප්ලොට් සංවිධානයේ ෂර්ලිය. ඊළගට 1988 වර්ෂයේ දී විපක්ෂ සන්ධානයක් සඳහා සාකච්ඡා පැවැත්වෙත් දී දිනක් මදක් බියපත් මුහුණින් කුමාර් පොන්නම්බලම් මහතා අවට සිටි නායකයින්ට කී රහසක්ය. ඇන්ටන් බාලසිංහම් තමනට ඊයේ රාත්‍රියේ දුරකතනයෙන් කතාකළ බවත්, "Is Muhandan ( alias Uma Maheshawaran) there, Beware of these buggers, they are Athulathmudali’s fellows", කියා කිවූ බවත්ය. ඒ දිනවල ප්‍රචලිත රහසක් වූයේ කොටි හඩ නමින් ප්‍රචලිත වූ ප්ලොට් ගුවන් විදුලිය ප්‍රචාරණය කරන ලද්දේ කොළඹ මරදානේ එක්තරා බෞද්ධ නොවන ආගමික මධ්‍යස්ථානයක සිට බවත්, එය පිටුපස ද ඇතුළත්මුදලිගේ සෙවණැල්ල වැටී තිබූ බවත්ය. වරක් 1983 ජූලි සිරකරුවන් අතර, ගැටුම්වල දී කුට්ටමනී හා ජේගන් මියගිය පුවත අසා ජේ.ආර්. ජයවර්ධන සංකාවට පත්වූ බවත්, එයට හේතුව ඒ වනවිට ඔවුන් ශ්‍රි ලංකා ආණ්ඩුව සමග ‘සාකච්ඡා’ ආරම්භ කර තිබූ නිසා බවත්, සිංහ රත්නතුංග ගේ කෘතියක (Politics of Terrorism) තිබුණා ද මතකය. අපේ ආණ්ඩු එක අතකින් ත්‍රස්තවාදය සමග ගැටෙනා අතරේ අනෙක් අතින් විවිධ කල්ලි සමග ගනුදෙනුව ද ගෙන යමින් තිබී ඇත. යුද්ධයක දී සතුරා දුර්වල කිරීම අත්‍යවශ්‍ය දෙයකි, ප්‍රධාන සතුරාට රැහැනිව දුර්වල සතුරන් යොදාගැනීම නරක උපායක් නොවේ. මේ කොටි විරෝධී දෙමළ සංවිධාන හා පුද්ගලයින් සමග අදහස් හුවමාරු කරගනිද් දී මට හැඟී ගියේ ඔවුන් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ දකුණේ වාමාංශික ව්‍යාපාරයට සමාන අදහස් හා ක්‍රියාකාරීත්වයෙන් යුතු බවය. ජ.වි.පෙ විසින් බිය වද්දා 1987 – 1989 දී මෙකී බලවේග තමනට රැහැනිව උසිගන්වා ගත් ආකාරයටම කොටින් ද ඔවුන් ඝාතනය කිරීමෙන් හා බිය වැද්දවීමට තැත් කිරීමෙන් තමනට එරෙහිව උසිගන්වා ගෙන තිබිණි. එමෙන්ම ඔවුනගෙන් ඇතැමෙකුගේ සිත ඇතුළේ කොටි ගෙන යන්නා වූ සටන ගැන ගෞරවයක් තිබුණු බව ද මට හැඟී ගියේය. සංවාද පැවැත්වෙන විට කතා නොකළ හා සමහරවිට වේගයෙන් අදහස් දැක්වූ ඇතැම්හු කොටින්ගේ ඔත්තුකරුවන් ද වීමට ඉඩ තිබිණි.

 

2006 අලූත් අවුරුද්දෙන් පසු දිනෙක මෙවැනි පිරිසක් කොළඹ හෝටලයක දී හමුවූ පසුව වෙනත් කරුණක් සඳහා බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට ගියෙමි. එදින අපේ මාධ්‍ය සාකච්ඡාවක් ද සූදානම් වී තිබූ හෙයින්, ආපසු යෑමට සැරසෙත් දී ජනාධිපති කාර්යාලයේ කම්පනයක් ද, ජනේලයෙන් ඒ දෙස බලත් දී දහස් ගණනක් කපුටන් ගිජුලිහිණියන් මෙන් හමුදා මූලස්ථානයේ දැවැන්ත අඳුරු වෘක්ෂයන් වෙතින්, ඉගිලී යන අයුරු ද දැකගතිමි. බෝම්බයක් පිපිරී ගිය බව මම බැසිල් රාජපක්ෂ මහතාට කීවෙමි. බෝම්බ නිෂ්ක්‍රීය වීමක් හැර හමුදා මූලස්ථානයේ එවැන්නක් සිදුවිය නොහැකි බව ඔහුගේ අදහස විය. නමුත් සුළු මොහොතකින් ආරංචිය කාර්යාලයට ආවේය. ‘කමාන්ඩර්ට ගහලා’ හමුදාවේ භාෂාවෙන් කියවුණේ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. වහාම අරලියගහ මැදුරට යමුයැයි බැසිල් මහතා යෝජනා කළ අතර, මම එකඟවීමි. අපේ පළමු ප්‍රශ්නය වුණේ හමුදාපතිතුමා ජීවතුන් අතර ද යන්නයි. හමුදා බුද්ධි අංශයේ මගේ හිතවතෙකුගෙන් විමසූ විට ඔහු කීවේ රෝහලට ගෙනයන විට හොඳින් කතා කළ බවත්, හොඳින් සිහිය තිබූ බවත්ය. නමුත් දැන් තත්ත්වය බරපතල බවත්ය.

 

අරලියගහ මන්දිරය කරා යන අතර, මම කල්පනා කළේ ප්‍රභාකරන් මේ මොහොතේ මෙවැන්නක් කළේ ඇයි කියාය. 2004 ශ්‍රී.ල.නි.ප - ජ.වි.පෙ සන්ධානය බලයට පැමිණිවිට ඔවුන් තමනට විරුද්ධව යුද ප්‍රකාශ කරනු ඇතැයි කොටි බලාපොරොත්තු වූ අතර, කදිර්ගාමර් ඝාතනයට දැක්වූ නිවට ප්‍රතිචාරයෙන් අතිශය වැරැදි තක්සේරුවකට එනම් සිංහලයින් යළි තමනට එරෙහිව නැගී නොසිටිනා බවට වූ නිගමනයකට එළැඹිණි. නමුත් ගෝඨාභය - ෆොන්සේකා සුසංයෝගය ශීඝ්‍රයෙන් වැඩකරගෙන යන බවත්, නැගෙනහිර තම සතුරන් බලමුළු ගන්වමින් තැන තැන ප්‍රහාර ආරම්භ කර ඇති බවත්, ඔහු නොබෝ දිනකින් දැනගත්තේය. ඊළඟ මහා ප්‍රහාරයට පෙර මේ සුසංයෝගය නිෂ්ක්‍රීය කිරීම ඔහුගේ නිශ්චිත අරමුණ විය. එසේනම් ඊළඟ  ප්‍රහාරය ගෝඨාභයට එල්ලවන බව පැහැදිලි විය. දැන් ප්‍රශ්නය තිබුණේ අපි මෙයට කෙසේ ප්‍රතිචාර දැක්විය යුතුද කියාය. එදා අරලිය ගහ මන්දිරයට එක්වූ බොහෝ දෙනෙකුගේ අදහස් විවිධ විය. ඇතැමුන් කීවේ සටන් විරාමයෙන් ඉවත්විය යුතු බවයි. තවත් අය කීවේ එය ජාත්‍යන්තර වශයෙන් අවාසි විය හැකි බවයි. මගේ අදහස වූයේ සටන් විරාම ගිවිසුම ඔහේ තබාගෙන කොටි බලාපොරොත්තු නොවනා ශීඝ්‍රතාවයකින්, බලාපොරොත්තු නොවනා ස්ථානවලට පහර දිය යුතු බවයි. ඒ අතරේ කෙටි කලක් තුළ අවසන් සටනට සූදානම් විය යුතු බවයි. ඇතැම්හු කොටින්ට පහරදීමට බිය වූහ. අපි ප්‍රමාණවත් ලෙස සූදානම් නැතැයි යන්න ද කියවිණි. එතැන දී ගෝඨාභයගේ අධිෂ්ඨානය කැපී පෙණින. කොළඹත්, වන්නියේත් එකවිට කොටින්ට නොසිතූ ප්‍රහාර වටයක් එල්ල විය. එතැන් සිට ප්‍රභාකරන්ගේ කන්ණාඩි ප්‍රතිබිම්බය ඔහුට හමුවිය. තැන සීමා නැති ගරිල්ලා යුද්ධය එහි ප්‍රකාශකයාට එරෙහිව ඇරැඹිණි.

 

ඊළඟට ප්‍රභාකරන් මාවිල් ආරුවට ගියේත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය සඳහා උත්සාහ කළේත් සිය උපාය තවදුරටත් ක්‍රියාවේ නංවමිනි. මාවිල්ආරු ජයග්‍රහණයෙන් පසු සාම්පූර්, කට්ටපරිච්චාන් හා වෙරුගල් දක්වා මුළු දකුණු ත්‍රිකුණාමලයම මුදාගත් විට ආරක්ෂා හමුදා පමණක් නොව දේශපාලනයේ නියැලී සිටි බොහෝ දෙනෙකුට ද ආත්ම ශක්තිය ලැබිණි. 2006 ජූලි 26 සිට අගෝස්තු මුල දකුණු ත්‍රීමලයේ දී හා උතුරු යාපන මුහමලේ දී එකවිට කොටින්ගේ ද්විත්ව ප්‍රහාරය පරාජය කිරීමේ මුල් සතිදෙක අතිශය තීරණාත්මක විය. ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අතර, යූ.එන්.පීය හා විශේෂයෙන් මුස්ලිම් කොංග්‍රසය අඳුරු චිත්‍රයක් රටට මවා පෙන්වීය. සුපුරුදු පරිදි ජ.වි.පෙ කීවේ හරි සූදානමක් නැතිව ආණ්ඩුව සටනට ගොස් ඇති බවයි. මේ පිළිබඳව ඔවුන් හා ජනාධිපතිතුමා අතර, වචන හුවමාරුවක් ද ඇති වූ බව පසුව හෙළි දරව් විය. ඒ දුෂ්කර දින කීපය තුළ අධිෂ්ඨානය ඉහළම තත්ත්වයේ තබාගත යුතු බව අපේ අදහස විය. සියල්ල වැරදී ගියා නම් චෝදනාව එන්නේ රතන හිමියන්ට හා හෙළ උරුමයට බව අපි හොඳින්ම වටහාගෙන සිටියෙමු.

 

යුද්ධය අවසානය දක්වා මේ චංචල භාවයන් විටින් විට පැවැතිණි. ජයග්‍රහණ ලබනවිට මාධ්‍ය ඉදිරියට ගොස් රණවිරු කීර්තියෙන් ප්‍රභාමත් වන අය පරාජයේ දී හැකිතාක් සැඟවී සිටියහ. වරක් අනුරාධුපර ගුවන් කඳවුරට ප්‍රහාරයක් එල්ල වී අපි මදක් පසුබෑ විට සියලූ නාලිකාවලට ගොස් එය මහා පසුබැසීමක් නොවනා බව පැහැදිලි කරන්නට වූයේ මටය. බොහෝ සෙබළුන් හා නිලධාරීන් මට දුරකතනයෙන් කතාකර යුද්ධයේ උපාය මාර්ගය ගැන මා කළ විග්‍රහය ගැන මට ස්තුති කළහ. පුදුමය නම් මා පරිසර ඇමැති ලෙස ජපානයේ දී යසුෂි අකාෂි හමුවූ විට අපේ ත්‍රිමාන උපාය මාර්ගය ගැන (Demilitarization, Democratization, Development – 3D) පැවසූ විට ඔහු එය ඉතා ඉහළින් ඇගැයීමට ලක්කළ බවය. ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය ගුඩ්රන් ආදී සාමාන්‍යයෙන් කොටි හිතවාදී විද්වතුන් සංවිධානය කළ සංවාදයක දී මා පළකළ අදහස් ඇසූ බොහෝ දෙනා (2007) කීවේ ඒවා ඉතා ආකර්ශනීය සංවිධානාත්මක අදහස් හා ඒවා තමන් පළමුවරට අසනා දේ බවත්ය. කොටි පරාජය කළ නොහැකිය යන මතයේ සිටි බොහෝ බටහිර තානාපතිවරු (බොබි බ්ලේක් ඇතුළු) හා විද්වතුන් රැසකට එය අපි කරනා බව ඒත්තු ගැන්වීමට අපට හැකිවිය. මෙයින් විශේෂ වූයේ කීප විටක් ඉන්දියාවේ දී හමු වූ ඔවුනගේ විද්වත් ප්‍රභූ පිරිස් සමග ඇති වූ සංවාදයන්ය. අපව මෝඩ ෆැසිස්ට් රැළක් ලෙස හංවඩු ගැසීමට තැත්කළ බොහෝ දෙනෙකුට සෛද්ධාන්තිකව ද, ප්‍රායෝගිකව ද අපි පිළිතුරු සැපයීමූ. අපේ සංවිධානාත්මක සංකල්ප හා සැලසුම් ගැන ඔවුන් පැහැදී සිටිය ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ද යන්න ගැන ඔවුන් සියලූ දෙනාට විචිකිච්ඡාවන් තිබිණි.

 

2007 වසර මුලදීම පැහැදිලි වූයේ කොටි සහ විජාතික බලවේග ආණ්ඩුව අස්ථාවර කිරීමට දේශපාලන ප්‍රහාරයක් දෙමින් සිටිනා බවය. අපේ ස්වාමින් වහන්සේලා හා ගිහියන් අතර, ඇතිවූ විශේෂ සාකච්ඡාවකින් පසු ඝෘජු ලෙස ආණ්ඩුවට එක්වී කොටි විරෝධී සටන ශක්තිමත් කළයුතු බවට තීරණය කළෙමු. ඕමල්පේ හිමියන් සිය අසුන පරිත්‍යාග කළේත් සංඝ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා මා පාර්ලිමේන්තු ගියේත් ඒ අනුවය. ඕමල්පේ හිමියන්ගේ ඉල්ලා අස්වීම හා මා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ ගැසට් නිවේදනය නිකුත් වීමට ගියේ එක් දිනකි. පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමටත් පෙර පරිසර හා ස්වාභාවික සම්පත් ඇමැති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නෙමි. මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ ඉන්පසුවය.

 

(2007 පෙබරවාරී 01-02) පාර්ලිමේන්තුවේදී මට පෙනී ගියේ අනුර - මංගල - ශ්‍රීපති හා තවත් කිහිප දෙනෙක් යූ.එන්.පීයෙන් පැමිණි පිරිස ඉදිරිපෙළ අසුන් ගැනීම ගැන මහත් හාහූවක් ඇතිකරනා අයුරුය. වහාම පියවර නොගතහොත් තත්ත්වය තවත් උග්‍රවිය හැකි බව පැහැදිලි විය.

 

මංගල සමරවීර මහතා සමග සාකච්ඡා සඳහා අන්තිමට ගිය කණ්ඩායමට මමත් අයත්වීමි. ටිරාන් අලස් හා උදය ගම්මන්පිල මහත්වරුන් ද එහි විය. ඔහුගේ තීරණය ආපසු හරවා ගැනීමට යම් ඉඩකඩක් නොතිබුණාම නොවේ. සැකයක ආකාරයෙන් ප්‍රශ්නයක් මතු වූ විට එය පළමු මොහොතේ දීම විසඳා නොගතහොත් සැකයේ බැල්ම සියලූ ක්‍රියාවන්ට යොමුවී සැකය වෛරය බවටත්, එය පළිගැනීම බවටත් පත්වේ. මංගල - ශ්‍රීපති පත්වූයේත් ඒ තත්ත්වයටය.

 

මා ඇමැති ධුරයේ දිවුරුම් දී කෙලින්ම ගියේ ජනාධිපති ලේකම් කාර්යාලටය. ඒ සුදුසු පුද්ගලයෙකු අමාත්‍යාංශ ලේකම් පදවිය සඳහා තෝරා ගැනීමටටය. බැසිල් රාජපක්ෂ හා උදය ගම්මන්පිල මහත්වරු සහායට සිටියහ. තෝරාගත් ලේකම්තුමා පත්කර ගැනීමෙන් පසු පරිසර අමාත්‍යාංශයට අයත් සියලූ අණ පනත්, ආයතන, ව්‍යාපෘති ආදිය පිළිබඳ දින දෙකක් අධ්‍යයනය කිරීමෙන් පසුව මම වැඩභාර ගැනීම පිණිස කාර්යාලයට ගියෙමි.

 

මට කාර්යාලයක් නොවීය. කුඩා කාර්යාලයක තාවකාලිකව ලැඟුම් ගත්තෙමි. නිල රථ නොවීය. නිල රථ ලෙස වාහන 23ක් කලින් සිටි ඇමැතිවරු රැගෙන ගොස් තිබිණි. දිවුරුම් දුන් දිනයේ ඉහළ මාලයට යද්දී පොදු වැසිකිළිවල දුර්ගන්ධයෙන් කාර්යාල පිරීගොස් තිබිණි. මගේ පළමු කාර්යය වූයේ පොදු වැසිකිළි පද්ධතිය නවීකරණය කිරීමය. එයට මිලියන ගණනක් වැය විය. නමුත් එළැඹුණු අවුරුදු නිවාඩුවට ‘ගෙදර යන ගමන්’ බොහෝ වැසිකිළි, කැසිකිළි උපාංග සේවකයින් සමග ගෙදර ගියේ මා කෝපයටත්, කම්පාවටත් පත්කරවමිනි. ඒ අතරේ අපි කණ්ඩායමක් ලෙස කාර්ය මණ්ඩලයම උදෑසන හමුවී වැඩ ඛෙදාගැනීමත්, පසුදින වැඩ පසුවිපරමත් කරගෙන ගියෙමු. සුභ පතන්නන් ඇතුළු දහස් ගණනක් පළමු දින කීපය තුළ වැල නොකැඩී ආහ.

 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙස ගොස් කළ කතාව අසා සිටි මහාචාර්ය ශාන්ත හෙන්නායක කීවේ මෙය හීනයක් වැනි බවයි. මෙලෙස තුටු පහටු වූ දහස් ගණනක් රට පුරාම සිටියහ. සති කීපයකට පසු ජවිපෙ පුවත්පතක් වාර්තා කළේ පරිසර ඇමැතිගේ කෑම බිල රුපියල් 20,000යි ලෙසය! මසක් පුරා පැමිණි දහස් ගණනකට තේ පැන් සංග්‍රහ කිරීමේ සහ උදේ 7 සිට රාත්‍රී 10 දක්වා විවිධ ආයතන කැඳවමින් සියලූ ආයතනවල තත්ත්වය විග්‍රහ කරමින් කාර්යාලයේම ජීවත් වෙමින් ගතකළ, කැපකළ කාලයට ලැබුණු පළමු පිළිගැනීම එය විය.

 

පළමු සති කිහිපය මෙලෙස ගෙවී ගියේ බොරුවළවල්, කටකතා, ඇනුම්පද, ව්‍යාජ මාධ්‍ය ප්‍රචාර අතරේය. කාර්යාලයක් හා එයට අවශ්‍ය පහසුකම් ලබාගැනීමට නිල වාහන පහසුකම විධිමත් කරගැනීම කුලී නිවසක් සොයාගැනීම ආදී කාර්යයන්ට මාස ගණනක් ගතවිය. නමුත් ඒ අතරේ දී රටෙන් 1/3ක (30%) භූමි භාගය හා සම්පත් පාලනය කරනා මේ දැවැන්ත අමාත්‍යාංශය විධිමත් තලයකට ගෙනඑන්නටත්, රටපුරා සියලූ ස්ථානවලට ගොස් තත්ත්වය සියැසින් දැකගන්නටත්, ඒ අතරේ සියලූ දිසාවන්වල පක්ෂය සහමුලින්ම ප්‍රති සංවිධානය කරගන්නටත් අපි සමත්වූයෙමු. 2006 පළාත් පාලන ඡන්ද තරග කිරීමෙන් හා වෙනත් කරුණු නිසා කලකිරී සිටි පිරිස් හා නව පිරිස් දිනාගෙන පක්ෂය ශක්තිමත් කරගැනීම විශේෂයෙන් ගිහියන් අතර, සංවිධානාත්මක කරගැනීමට අපි සමත් වූයෙමු.

 

පෞද්ගලිකවම මට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදුවිය. මට අයත් නිවසක් තිබුණේ හෝමාගමටත් එහා මාවතගමය. එහි සිට කාර්යාලයට ඒමට පැයකටත් වඩා ගතවේ. උදෑසන මාර්ග තදබදය හිසරදයකි. පොලිස් සයිරන් ගසාගෙන ඉඩකඩ ලබාගැනීම මහත් අප්‍රියකාරී එකක් වූ අතර, ආරක්ෂාවට ද මාරක විය. ආරක්ෂාව සඳහා මා අනුගමනය කළේ හැකිතාක් සාමාන්‍ය ලෙස ගමන් බිමන් යෑමත්, උත්සව මගහැරීමත් අනපේක්ෂිත ලෙස ක්‍රියාකිරීමත්ය. මට අපේ ආරක්ෂක බුද්ධි අංශවල සහාය ද එයට ලැබිණි. සියල්ලන්ගේ උපදේශය වූයේ පාරමී කුලතුංගට, ද.මූ. දසනායකට වූවාමෙන් දිගු දුරක් එකම ආකාරයට ගමන් කිරීම නිසා මරණය අප කැඳවා ගන්නා බවය. ඒ අනුව අපි නාවලින් නිවසක් කුලියට ගත්තෙමු. එය අමාත්‍යාංශයට යෑමටත් දරුවන් පාසල් යැවීමටත් පහසු විය. ඒ සඳහා ආණ්ඩුවෙන් ලැබුණු රුපියල් ලක්ෂයක මාසික කුලිය ලබාගතිමි. එමගින් ඇත්තටම සිදුවූයේ මසකට කාර්යාලයට යෑමට හා ඒමට වැයවන රුපියල් 60,000ක පමණ ඉන්ධන ඉතුරු වීමය.

 

මසකට රුපියල් ලක්ෂය බැගින්, ගෙවල් කුලී ගන්නා ඇමැතිවරයෙකු ලෙස මගේ නම එක්තරා පුවත්පතක් මුල් පිටුවේ පළකළේය. ඒ වනවිට රුපියල් ලක්ෂයේ දීමනාව රුපියල් 50,000ටත්, ඇමැති පඩිපත රු.42,000ටත් කපා දමා තිබිණි. මසකට විදුලි, ජල බිල්පත් සහිතව රුපියල් ලක්ෂයක් ලැබේ යැයි සිතා කුලියට ගත් නිවසට ලැඛෙන්නේ රුපියල් 50,000කි. ඒ අතර මගේ වැටුප මම පක්ෂයට පරිත්‍යාග කළෙමි. ඇමැති ධුර වැඩියි, ඔවුනට සැප වැඩියි ආදී ලෙස විවේචන කරනා බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් ලක්ෂය ඉක්මවා නැති බව වරක් ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායකම පිළිගත්තේය. ඔවුනට ඉතා අඩු කුලියට රජයේ නිවාස මාදිවෙලින් ලබාදී ඇති අතර, එයට සමාන නිවසක් කිසිසේත් රු.50,000කට කුලියට ගතහැකි නොවේ. ඇමති ධුරයෙන් සිදුවූයේ මා ණයවීම පමණි. මගේ දුෂ්කර තත්ත්වය අවබෝධ කරගත් හිතවතුන් තිදෙනෙක් මගේ වියදම් නොමසුරුව දැරුව නමුත්, ණය බර උසුලාගත නොහැකිව මම මගේ මෝටර් රථය විකුණා දැම්මෙමි. ඇන්.ඇම්.ට ගිණිදර මෝල පෙන්වා මඩගසා අසරණ කළ ලෙස දේශපාලනයෙන් හම්බ නොකළ ඇත්තන්ට කරනා අසාධාරණ විවේචනය ගැන මුලදී කම්පා වුණත්, පසුව එය දරාගැනීමට ඉටාගතිමි. ඇත්තටම ඇමැති හෝ මැතිවරුන්ගේ පඩිනඩි හෝ ඉන්ධන දීමනාවල නොව ප්‍රශ්නය ඇත්තේ ඔවුන් නොයෙක් ආකාරයෙන් ලබාගන්නා අල්ලස්වල හා නොමනා ලෙස රාජ්‍ය අරමුදල් යොදාගැනීම තුළය. කාටුන් අඳිනා මඩ ප්‍රහාර ගසනා බොහෝ මාධ්‍යවේදීනට මැති ඇමැතීනට වඩා පඩි වැඩිය.

 

ඇමැති ධුරයේ ඊළඟ  නීරස අත්දැකීම වූයේ මාධ්‍ය විවේචනයන්ය. අපේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ම ගොස් ‘බොල්ගොඩ’ ප්‍රදේශයේ නීතිවිරෝධී ඉදිකිරීම් සඳහා නඩු පවරනු ලැබූ අතර, එක්තරා පුවත්පත් හිමියෙක්, රූපවාහිනී සේවා අයිතිකරුවෙක්, ගුවන් විදුලි සේවයක විධායක නිලධාරීයෙක් ඒවායේ විත්ති කරුවන් වූහ. ඔවුන් මෙයින්, කුපිත වූ අතර, දිගටම රටපුරා ගස් කැපෙනා බවත්, අලි මැරෙනා බවත් අඟවන වාර්තා දිගට හරහට පළකළහ. 1997 දී අලි ඇතුන් (උතුර හා නැගෙනහිර හැර) 197 දෙනෙකු මියගිය අතර, 2007 දී (නැගෙනහිර ද ඇතුළුව) මියගියේ 189කි. නමුත් මාධ්‍ය වාර්තා පෙන්වූයේ හිටි හැටියේ අලි මියයන ආකාරයක්ය. එක්තරා පුවත්පතක් දිනපතාම අලි මියයන දර්ශන පළකළේ සිය දේශපාලනික වෛරය පිරිමසා ගැනීම සඳහාය.

 

අලි ඇතුන් බේරාගැනීම සඳහා අප දියත් කළ ‘ගජ මිතුරෝ’ ව්‍යාපාරය මගින් 1982-2007 කාලයේ ඉදිකළ කි.මී. 620ක විදුලි වැට ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් 2007-2009 කාලයේ (කි.මී. 680) ඉදිකළ බව මෙකී මාධ්‍ය කවදාවත් වාර්තා කළේ නැත. වංචා දූෂණ කර අත්හැර දමා තිබූ උඩවලව උද්‍යානය නවීකරණය කර ප්‍රතිෂ්ඨාපනය කළේත්, වතුර නැතිව අලි මැරෙනවා යැයි කියූ ලූණුගම්වෙහෙර අන්තිම මොහොතේ වෙහෙරගල ව්‍යාපාරය යටතේ නවීකරණය කළේත් අප යටතේය. කොටින්ම වසර 60ක් කුලියට සිට වසර 08ක් කාර්යාලයකට ඉඩමක් නැතිව වල්මත්වී සිටි වනජීවි දෙපාර්තමේන්තුවට නවීණතම කාර්යාලයක් ලබාදුන්නේ මාය. වෙනදා වන උද්‍යානවල, නිවාසවල සති ගණන් ලැගුම් ගෙන සැප ගන්නා ඇමැති නිලධාරී සම්ප්‍රදාය වෙනස් කිරීමට මට බොහෝ අරගල කරන්නට සිදුවිය. සුභදායී ප්‍රවෘත්ති ඵල නොකිරීමේ පුදුම සම්ප්‍රදායක් අපට තිබේ. හිටපු ඇමැතිවරු මෙන් තමන්ට විශේෂ සැලකිල්ලක් නොදක්වායි යැයි උරණ වූ මාධ්‍යවේදියෙකු අමූලික අසත්‍යයන් ඉරිදා පුවත්පතක පිටුපුරා අතහරින්නට විය. කොළඹ ඉහළ ගණයේ ප්‍රභූන් තමනට රිසි ලෙස උද්‍යානවල නැවතීමට නොලැබීම ගැන මා සමග උරණ වූහ. ඔවුන ද කළේ පරිසර ප්‍රශ්න පිළිබඳව විද්‍යූත් තැපෑල හා ඉංග්‍රීසි පුවත්පත් මගින් මා හට ප්‍රහාර එල්ල කිරීමය. කොටින්ම මැණික් ගැරීම ගැන චෝදනා ලත් අපේ සේවක මහතෙක් ද උද්‍යනවල මහත් පරිසර හානියක් වෙතැයි ප්‍රචාරයක් ගෙන ගියේය. වනජීවී දෙපාර්තමේන්තුවට පැළ සපයා ඒවාට මුදල් නොලැබීම නිසා ද, වැලි ගැනීමට ඉඩ නොදුන් නිසා ද කුපිත වූ දෙදෙනෙක් වරක් රිටිගල දී මට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය කරනා ලදි. පසුව මාධ්‍යවේදීන් ඉදිරියේම ඔවුන් තමන්ගේ ඇත්ත විරෝධය පාපොච්චාරණය කරනා ලදි. නමුත් මාධ්‍ය පළකළේ විරෝධය පමණකි. එමෙන්ම වරක් ‘රිටිගල’ කන්ද ගල්කොරියකට දී ඇති බවට ද වාර්තා පළවිය. සොයාබැලීමේ දී පෙනී ගියේ එයින් සැතපුම් 12ක් ඈත වසර 05ක් පැරැණි ගල් වළක් ගැන ප්‍රවෘත්තියක් බවයි. ලංකාවේ බහුතරයක් මාධ්‍ය සාධාරණ නොවන විවේචන ගෙන එති.

 

තමනට වාසි ඇති අයට යහමින් ප්‍රචාරය දෙති. නිතරම නරක උලූප්පා දක්වති. ඇතැම් විට අමූලික අසත්‍යය පතුරුවති. මෙය මාධ්‍ය පැසිස්ට්වාදයයි.

 

අමාත්‍යාංශය විධිමත් කිරීම සඳහා පියවර කීපයක් ගතිමි. පරිසර අමාත්‍යාංශය බොහෝදුරට සෙසු අමාත්‍යාංශ මෙන්ම නිලධාරීන්ගේ රජ දහනක් වී තිබිණි. එය වෙනස්කිරීම මගේ ප්‍රධාන කාර්යය විය. එයට බාධක කීපයක් තිබිණි. එකක් නම් පරිසරය සඳහා විවිධ විදේශ ආධාර, ව්‍යාපෘති හා ශිෂ්‍යත්ව ආදිය ලැබී තිබූ නිසා එය බොහෝදුරට මේ ආධාර ආයතනවල මිතුරු සමාජයක් වී තිබීමය. මුළු අමාත්‍යාංශයේම ව්‍යුහයන් සැකසී තිබුණේ ඒ අනුවය. පතල් කැණීම් කාර්යාංශය වැනි ආයතන ව්‍යාපාරිකයන්ගේත්, දැව සංස්ථාව වැනි ආයතන දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ගේත්, වනජීවී දෙපාර්තමේන්තුව කොළඹ වන ලෝලීන්ගේත් ග්‍රහණයේ පැවැතිණි. දෙවැනි බාධකය වූයේ දේශපාලනයයි. යූ.එන්.පීයට හිතැති කොටස් කොයි මොහොතේ හෝ ආණ්ඩුව වැට්ටවීම සඳහා හේතු සකසමින් සිටියහ. ජ.වි.පෙ පිරිස් වැඩ වර්ජන කිරීමට හෝ ජාතික හෙළ උරුමයට හෝ මට පුද්ගලික ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ සෑදී පැහැදී සිටියහ. ශ්‍රී.ල.නි.පයේ අය තමන්ගේ මිනිහෙක් ඇමැති නොවීම නිසා පෙත්සම් යැවීමට යුහුසුළු විය. කොහොමත්, වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය පවත්නා ක්‍රමයට රැහැනි එකක් විය. පහළ ශ්‍රේණිවල අයගේ සාධාරණ ඉල්ලීමක් පවා කල් දමමින් යට ගසනා නිලධාරීවාදී තත්ත්වයක් තිබිණි. පළාත් පාලන ඡන්දය ඉල්ලීම නිසා සේවයෙන් නෙරපන ලද ජ.වි.පෙ සාමාජිකයන් පිරිසකට රැකියා ලබාදීමට මට වසර එකහමාරක් නිලධාරීන් හා ගැටෙන්නට සිදුවිය. අපේ ව්‍යාපෘතියක වසර 05ක් සිටි සේවක පිරිසක් උකහාගන්නට වසරක් ක්‍රියා කළත්, නොහැකි විය. ඒ අතර, විද්‍යාත්මක සේවය, අමාත්‍යාංශ සේවය, විද්‍යා අධ්‍යාපනය ලැබූවන් හා නොලැබූවන් පිටින් පැමිණි අය ඇතුළින් පැමිණි අය ලෙස, භේදයක් පැවැතිණි.

 

මම පළමුව ජ්‍යෙෂ්ඨත්වය වෙනුවට කුසලතාවය හඳුන්වා දුනිමි. එය ජ්‍යෙෂ්ඨයින්ගේ විවේචනයට ලක්වුව ද කුසලතාවය ඇති තරුණ පිරිස්වලට වැඩි වගකීමක් ලබා දුනිමි. ඊළගට කුසලතාවය ඇගයීමේ ක්‍රමවේදයක් ඇති කළෙමි. එය ඉහළ සිට පහළට ද, පහළ සිට ඉහළට ද ලෙස ක්‍රම දෙකකට සිදුකළෙමි. ආයතන අතර, මිත්‍ර තරගයක් බවට එය පත්කළෙමි. නිවාඩු ලබාදීම්, විදෙස් ගතවීම් සීමා කිරීම නිසා විශාල විරෝධතා ඇති වුව ද වැඩි වැඩියෙන් අලූත් අවස්ථා ලබාදීමෙන් විරෝධතා සමනය කෙරිණි. වරක් 300කට අධික වනජීවි දෙපාර්තමේන්තුවේ පිරිසක් විදේශ පුහුණුවට යැවීමට අධ්‍යක්ෂක ජනරාල් කළ ඉල්ලීමට කන්දුන්නේ ඔවුනට එය කිසිදා නොලැඛෙන බව දැන සිටි නිසාය. විදේශ සංචාර, නිතරම ආයතන හා ආයතන ප්‍රධානීන් අතර ඛෙදාගැනීමේ සම්ප්‍රදාය බිඳ දැමුවෙමි.

 

මගේ දෙවැනි ඉලක්කය වූයේ අරමුදල්වලින් ස්වයං පෝෂිත වීමයි. 2007 වසරේ මට වැඩ කරන්නට වුණේ ඒ වනවිටත් අයවැයෙන් වෙන්වූ අරමුදල් යටතේය. අපේ ආයතනවල ආදායම් වැඩිකිරීමෙන් ද, සේවා කාර්යක්ෂම කිරීමෙන් ද, නව ආදායම් සොයා ගැනීමෙන් ද 2008 දී අපේ අමාත්‍යාංශයේ සියලූ ආයතනවල සියලූ වියදම් අපිම සොයා ගන්නත්, 2009 දී අමාත්‍යාංශය ලාභදායී කරන්නටත් සමත් වුනෙමි. භූමිතෙල්වලින්, කිරිපිටිවලින්, පාන්පිටි පරිප්පුවලින් ලැබෙනා බදුවලින් යැපෙනා අමාත්‍යාංශයක් නොවන බව ආඩම්බරයෙන් කීවෙමි.

 

වැඩ වර්ජන සඳහා මම දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. අමාත්‍යාංශය තුළ ජවිපෙ වෘත්තීය සමිති ප්‍රබලව තිබුණ ද 2007 හා 2008 එකඳු වැඩ වර්ජනයක් වත් සාර්ථක නොවීය. 2008 සමස්ත මහා වැඩ වර්ජනය දා පැමිණීම වෙනදාටත් වඩා හොඳ වී 99% ඉක්මවා තිබිණි.

 

මහජන ප්‍රතිචාර සඳහා ද ඉක්මන් ක්‍රියාදාමයක් ඇරැඹීමි. ‘1991’ හදිසි දුරකතනය හඳුන්වා දුන් අතර ‘ඇමැති ගමට’ යටතේ සියලූ දිස්ත්‍රික්කවලට ගියෙමි. අවසානයේ අපට දරාගත නොහැකි තරම් පැමිණිලි ගලා ආ අතර, අපේ අමාත්‍යාංශයට අයත් නැති පැමිණිලි පවා අපට යොමුව තිබිණි. මේ නිසා කෙලින්ම ජනතාව අතරට යා යුතුයැයි සිතා පාසල්, රජයේ ආයතන, පුද්ගලික ආයතන, රෝහල්, වැඩබිම්, ගම්මාන ආදිය වෙතට ඝෘජුව ගොස් විවිධ වැඩසටහන් දියත් කළෙමි. අපි නොදැන සිටි අලූත් ජනකායක් අපට හමුවිණි. අලූත් ප්‍රශ්න ද ඒ සමගම මතුවී ආවේය.

 

විශේෂ ව්‍යාපෘති ගණනාවක් ද දියත් කළෙමි. එයින් මූලිකම අංගය වූයේ ‘පිළිසරු’ ජාතික කසළ කළමනාකරණ ව්‍යාපෘතියයි. කසළ කළමනාකරණය අපට අයත් විෂයක් නොවීය. අපේ වගකීම වූයේ පළාත් පාලන ආයතන එකී වගකීම ඉටුනොකරන විට නඩු පැවරීමය. මම එයට ඔබ්ඛෙන් ගොස් පළාත් පාලන අමාත්‍යාංශය හා පළාත් සභා සමග එක්වී ‘පිළිසරු’ ගෙන ආවෙමි. බ්ලූමැණ්ඩල් ඇතුළු කුණු කඳු ගණනක් නිරීක්ෂණය කළ මට පෙනී ගියේ රෝහල් අපද්‍රව්‍ය, රසායනික අපද්‍රව්‍ය, විද්‍යූත් අපද්‍රව්‍ය සාමාන්‍ය කසළ සමග කුණු කඳුවලට එන බවය. මම වහාම රෝහල් අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නව නීති ගෙන ආවෙමි. වහාම මට එරෙහිව ඔවුන් නැගී සිටියහ. නමුත්, අවසානයේ ඔවුන් සියල්ලෝ අපේ තීන්දුවලට එකඟ  වූහ. කොළඹ නගරයේ 2008 දෙසැම්බරයෙන් පසු රෝහල් අපද්‍රව්‍ය කුණු ගොඩට යන්නේ නැත. කුණු ගොඩින් වෙළෙඳපොළට පරිහරණය කළ සිරින්ජර ආදිය එන්නේ ද නැත. රසායනික අපද්‍රව්‍ය සඳහා ද ඝෘජුව ක්‍රියා කළෙමි. ව්‍යාපාර සඳහා පාරිසරික බලපත්‍රය අනිවාර්ය කළෙමි. ලැයිස්තු තුනකට ඒවා ගැසට් කර රසායනික හෝ වෙනත් අපද්‍රව්‍ය පරිසරයට එක්වීම වැළැක්වීමට පියවර ගතිමි. මෙය ඉතා අමාරුවෙන් ව්‍යාපාර කරගෙන ගිය අයට නරකට බලපෑවේය. එමෙන්ම ඇතැම්විට පුද්ගලික තරහ සඳහා ද යොදාගන්නා ලදි. ඒ අවස්ථාවල දී ප්‍රශ්නය අවබෝධ කරගන්නා ලෙසත්, අධික දූෂණය සහ අධික ලාභ සහිත ආයතන සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා ලෙසත්, නියෝග ලබාදුනිමි. මේ නිසා ඇතැම් ප්‍රකෝටිපතියන් මා සමග උරණ විය.

 

විද්‍යූත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය සඳහා නව පරිසර සංරක්ෂණ බදු ක්‍රමයක් හඳුන්වා දුනිමි. ලංකාවේ මුල්වරට විද්‍යූත් අපද්‍රව්‍ය එක් කිරීම සඳහ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපට හැකිවිය. ඉවතලන ජංගම දුරකතන බැටරි, විදුලි ලාම්පු, පරිගණක, සී.ඩී. තැටි ආදී බොහෝ දේ සඳහා අලූත් ප්‍රතිපත්ති සකස් කළෙමි. ඇතැම් බලවතුන් අධිකරණයේ බලයෙන් ද අපේ නව රීති පාලනය කරන්නට ආවද අප නොසැලී සිටීම නිසා අධිකරණයට ද වෙනස් වන්නට සිදුවිය.

 

මුල දී මට හැඟී  ගියේ ලංකාවේ කසළ ප්‍රශ්නය විසඳීමට නොහැකි, මුදල් හා තාක්ෂණය නොමැති නිසා බවය. අපි මුදල් හා තාක්ෂණය සොයාගත් විට පෙනී ගියේ ඉඩම් හා දේශපාලන අගතිය ප්‍රධාන හේතූන් බවය. නාගරික සංවර්ධනයේ දී කසළ සඳහා ඉඩම් හඳුනාගෙන වෙන් නොකිරීමත්, නාගරික සැලසුම් ක්‍රියාත්මක නොකිරීමත්, වගුරු බිම් කුණු දමා ගොඩ කිරීම රජයේ ද පුද්ගලික අංශයේ ද පොදු ප්‍රතිපත්තිය වීමත් මෙයට හේතූ ලෙස හඳුනා ගතිමි. කැබිනට් මණ්ඩලයේ ගත් තීරණ පවා විවිධ ආයතනවල කඹ ඇදීම් නිසා මාස ගණන් කල් ගියේය. ජනාධිපති නියෝග පවා නොතකා හැරිණි. නමුත්,   මම උත්සාහය අත් නොහැරියෙමි. දිගින් දිගටම පොර බැඳීම නිසා බ්ලූමැණ්ඩල්, කරදියාන, පොහොරවත්ත, කොළොන්නාව වැනි දැවැන්ත කුණු කඳු සඳහා කළමනාකරණ වැඩසටහන් හඳුන්වාදීමට හැකිවිය. බොහෝ පළාත් පාලන ආයතනවලට ඉඩම් ලබාදීමට, ඒවා හඳුනාගැනීමට හැකිවිය. මට ඉවසිය නොහැකි වූයේ විධිමත් කසළ කළමනාකරණයක් හඳුන්වා දීමට යනවිට මතුකරනා පටු දේශපාලන විරෝධයයි. බ්ලූමැණ්ඩල් කුණු කන්ද ඇතිවුණේ 1991 සිටය. එහි යටි අරමුණ වූයේ තෙත්බිම ගොඩකර විකුණා ගැනීමයි. 1997 දී පාදුක්ක ප්‍රදේශයේ කසළ රඳවනයක් ගැන යෝජනාවක් විය. කැලණි ගඟ  කසළවලින් රැකගැනීම සඳහා සියල්ලන් එක්වී එකී යෝජනාව පරාජය කරනා ලදි. ඉන්දික ගුණවර්ධන හා කරු ජයසූරිය මහත්වරු ඊළ`ග ඡන්දය සඳහා කසළ අපහරණ යෝජනාව අත්හරිනු ලැබීය. ප්‍රතිඵලය වූයේ බ්ලූමැණ්ඩල් හි කසළ කන්දක් ඇති වී එහි අපජලය කැලණි ගඟ  දිගේ කී.මී. 30-40ක් ද පාදුක්ක දක්වා ගමන් කිරීමය! මම නම් නිතරම කීවේ ඊළග ඡන්දය නොව ඊළඟ  පරපුර වෙනුවෙන් මා ක්‍රියාකරනා බවයි.  වන අලින් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත කළ ‘ගජ මිතුරෝ’ විදේශ ශාඛ ඉවත් කර දේශීය ශාඛ ප්‍රචලිත කිරීමට ගෙන ආ ‘හෙළ තුරු වියන’ජලපෝෂක කඳුකර ප්‍රදේශ වනාන්තර කිරීම සඳහා ගෙන ආ ‘ගිරි තුරු වියන’, දැව සංස්ථාවට හඳුන්වා දුන් නව ‘දැව ජවය’වාණිජ සැලැස්ම, පතල් කැණීම කාර්යාංශය පිබිදීම සඳහා ගෙන ආ ‘රන් දෙරණ’ වැඩ සටහන, ‘හරිත ගම්මාන’, ‘පියකරු පුරවර’ ආදී ව්‍යාපෘති 10ක් දියත් කළෙමි. විශේෂයෙන් පතල් කැණීම් කාර්යාංශය ප්‍රථමවරට (1992 එහි පිහිටුවීමෙන් පසු) භාණ්ඩාගාරයට මුදල් යවනා ආයතනයක් කිරීමත් (2008 මිලියන 500) අමු ද්‍රව්‍ය ලෙස ඛනිජ පිටරට නොයවා මෙරට කර්මාන්ත ඇති කිරීමේ ප්‍රතිපත්තියත්, රුපියල් 15,000ට ගිය වැලි කියුබ් එක රුපියල් 6,000 ගෙන ආ මනම්පිටිය වැලි ව්‍යාපෘතියත් නව ප්‍රවේශයක් විය. ඛනිජ හා වැලි කළුගල් නිසා තානාපතිවරුන්ගේ සිට ගමේ ගොඩේ චන්ඩීන් හා දූෂිත දේශපාලකයින් පොලිස් නිලධාරීන් සමග නිරන්තරයෙන් ගැටෙන්නට මට සිදුවිය. පතල් හා ඛනිජ කාර්යාංශය මා භාරයට එනවිට එහි සේවකයෝ දෙකට බෙදී සිටියහ.

 

දූෂණය හැම අතම විය. මම වෘත්තීය මට්ටමේ සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කළෙමි. ආයතනය විනයානුකූල කළෙමි. ආදායම් වැඩි කළෙමි. 2006 දී මා භාරගන්නට පෙර මිලියන 246ක් වූ එහි ආදායම 2008 දී මිලියන 491ක් දක්වා වැඩි කළෙමි. ආර්ථීක අර්බුදය නිසා 2009 ඉලක්ක ලබාගත නොහැකි වුවත් අපි මිලියන 625ක් රජයට යැව්වෙමු. මනම්පිටියේ දුගී ජනයාට පමණක් මිලියන 250ක් පමණ ලබාදුන්නෙමු. කුලියට තිබූ මූලස්ථානය මිලදී ගැනීමට කටයුතු කළෙමි. විද්‍යාත්මක පර්යේෂණ සඳහා වෙනම ආයතනයක් යක්කල පිහිටුවූවෙමි. යාපනය හා මඩකළපුවේ සිට ප්‍රාදේශීය කාර්යාල ජාලයක් ඇති කළෙමි. දැව සංස්ථාව ද සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කළෙමු. දැව සංස්ථාවේ ආදායම 2006 මිලියන 2155ක්වූ අතර, එය 2008 දී 3141 කරන්නට අපි සමත්වීමු. විශේෂයෙන් දැව සංස්ථාවේ නිෂ්පාදන වූ විදුලි කණු ප්‍රමාණය බිංදුවේ සිට 50,000 දක්වා ද, සිල්පර ප්‍රමාණය බිංදුවේ සිට 100,000 දක්වා ද, අලිවැට කණු ප්‍රමාණය බිංදුවේ සිට 27,000 දක්වා ද ඉහළ දැමූවෙමි. දැව සංස්ථාවේ ගබඩා හා උපකරණ සහමුලින් නවීකරණය කරන්නට ද සමත්වීමි. අපි විදුලිබල මණ්ඩලයට විදුලි කණු සපයන විට ඔවුන් ඒවා ගෙන්වමින් සිටියේ නෝර්වේ රටිනි. සිල්පර ද, අප්‍රිකාවෙන් හා වෙනත් රටවලින් ආනයනය කෙරෙමින් තිබිණි. මේ නිසා මේ ව්‍යාපාරවලින් ලාභ ලබාගන්නවුන් හා නිතර ගැටීම් ඇතිකරගන්නටද සිදුවිය. අදාළ ඇමැතිවරු දෙපොළ කෙලින් නොසිටින්නට ඇතැම් නිලධාරීන් සියල්ල අවුල් කරන්නට ද ඉඩ තිබිණි.

 

අමාත්‍යාංශයක් දූෂණවලින් තොරව පවත්වා ගැනීම ගැන ද, රජයේ වාණිජ ආයතන බංකොලොත් වන යුගයක ඒවා ලාභ ලබන තරගකාරී ආයතන කිරීමට හැකිවීම ගැන ද නව ආර්ථීකයක් ගැන සිතනා මේ යුගයේ අපේ ආදර්ශය කාටත් ආදර්ශයකි.

 

පරිසර අමාත්‍යාංශයේ තිබූ වැදගත්ම අංගය එහි ජාත්‍යන්තර මානයයි. අපේ ඕසෝන් ඒකකයේ අධ්‍යක්ෂ සුමතිපාල මහතාගේ දක්ෂකම නිසා එකී මානයට ළඟාවූයේ ජාතික ඕසෝන් ඒකකය පමණි. ඕසෝන් වියන රැකීම සඳහා හොඳම ක්‍රියාකාරීකත්වය වෙනුවෙන් සම්මානය 2007 දී ලංකාවට ලැබුණු අතර, කැනඩා තානාපති කාර්යාලයේ සුදු වර්ගවාදීන් හා දෙමළ ජාතිවාදීන් එය ලබා ගැනීමේ උත්සවයට යෑමට මට අවස්ථාව දුන්නේ නැත. මම මාගේ විරෝධය කැනඩා අගමැතිට එක්සත් ජාතීන්ගේ සමුළුවක දී හමුවී දැක්වූවෙමි. පසුව මම ඒකච්ඡන්දයෙන් ඕසෝන් වියන රැකගැනීම සඳහා වූ ‘වියානා සම්මුතියේ’ සභාපති බවට පත්වීමි. දේශගුණ විපර්යාසය ලොවේ ප්‍රධාන තේමාව වනබව දැනගෙන ඒ සඳහා ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවීමි. කාබන් වෙළෙඳාම ප්‍රචලිත කිරීම සඳහා ජාතික කාබන් අරමුදල පිහිටුවීමි. මේවා සියල්ලම බොහෝ පමා වී සිදුකළ දේ වුවත්, අපගේ අනාගතය වෙනුවෙන් සිදුකළ දේ වෙයි. මා විසින්, ගෙනෙනා ලද පාරිසරික ණය බටහිර ජාතීන් ගෙවිය යුතුය යන දැක්මත්, තිරසර සංවර්ධනය මැණීමේ නව දර්ශකයත් විද්වතුන් අතර, හා දුගී රටවල විචාරයට හසුවිය. අපට හඩක් නැති බව හඳුනාගෙන සාර්ක් සමුළුවේ පොදු හඩක් ඇති කරන්නටත්, තෙත් වනාන්තර සන්ධානයට ඇතුළු වන්නටත්, කුඩා දිවයින් සන්ධානයේ නිරීක්ෂකයෙකු වන්නටත් ක්‍රියා කළෙමි. කනගාටුවට මෙන් අපේ විදේශ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් අපට නිසි සහාය දුන්නේ නැත. ඔවුනට පරිසර ප්‍රශ්නයේ ජාත්‍යන්තර මානය පෙනුණේ නැත. එහෙත්, එක්තරා ඉරිදා පුවත්පතකට කෝපන්හේගන් සමුළුව (2009) සඳහා නියෝජිතයන් පත්කර නැති බවට වූ ප්‍රවෘත්තිය නම් දුන්නේ විදේශ අමාත්‍යාංශයේ ලොකු නිලධාරියෙකි! බොහෝ දුගී රටවල් පෝසත් රටවල ආධාර පතාගෙන ඔවුන් විවේචනය නොකර ඩොලර් හිඟමනේ යත් දී මම සෑම විටම සත්‍යය වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් පෙනී සිටියෙමි. මේ නිසාම බටහිර රටවල හිතවාදීන් ඔවුනගේ ඇතැම් සමුළුවලට මට ආරාධනා කිරීමෙන් වැළකී සිටීමට පරිස්සම් වූහ. ඒ අතර, තවත් රටවල් මා අදීන නායකයෙකු ලෙස පිළිගත්තෝය. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව අමතා මම 2008 පෙබරවාරී 18 කළ කතාව සමග අප දශක ගණනක් ලංකාවේ සිදුකළ සංවාදය ජාත්‍යන්තර තලයට ගෙන ගියෙමු. ඒ සියල්ල අතරේ දියුණු රටවල දේශපාලන වංචාවෙන් මුළු ලෝකයම අනතුරේ වැටෙනා ආකාරයත්, අපි ජාත්‍යන්තර තලයට යෑමට දශකයකින් පමණ පමා වීමත්, ගැන ඇතිවන කනගාටුව හැමවිටම මා සිත වෙලා ගත්තේය. මාධ්‍ය ප්‍රචාරයෙන් පසුපසට ගියත් ඇත්ත දියුණුව පැත්තෙන් පරිසර අමාත්‍යාංශය ආදර්ශ අමාත්‍යාංශයක් කරන්නට හැකිවීම ජයග්‍රහණයකට වැඩි දෙයක් ලෙස සලකමි.

 

2009 වර්ෂය ඇරඹුණේම සුභ ආරංචි සමගය. ජනවාරී 01 දා සිට 09 වැනිදා දක්වා වූ කාලය තුළ මාන්කුලමේ සිට අලිමංකඩට කොටින්ගේ නිල අගනුවර වූ කිලිනොච්චිය, උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් වූ පරන්තන් ද සමග වූ ප්‍රදේශ අත්කරගන්නට අපේ හමුදා සමත් විය. 2000දී අලිමංකඩ වැටීමත් සමග අප ඇතිකළ ජාතිකවාදී දේශපාලනයේ උච්ඡ ස්වරය 2009දී අලිමංකඩ යළි නොවැටෙන්නට අල්ලා ගැනීම විය. දෙපසින් පැමිණ ප්‍රසන්න හා ශවේන්ද්‍ර හමුදා නායකයන් අලිමංකඩදී එක්වන දර්ශනය විඳගත්තේ කඳුළු පිරී දෙනෙතිනි. අනුරාධපුරයේ රහසේ වළදමන ලද අලිමංකඩ ඛේදවාචකයෙන් මියගිය දරුවන්ට යුක්තිය ඉටුවුණේ එදාය.

 

2009 මාර්තු 08 දා රටේ ප්‍රචලිත ජ්‍යෙතිෂඥයෙක් දාන ගෙදරකදී හමුවුනෙමි. ඔහු කීවේ අද තියුණු ග්‍රහ මාරුවක් ඇතිවන බවය. ඇතැම් අය ප්‍රභාකරන් අද මිය යන බව කීව ද එය පසුව සිදුවන බව හෙතෙම කීවේය. පසුදින යුද බිමේ සිටිනා අපේ මිතුරෙකුට කතා කර තත්ත්වය විමසුවෙමි. ජ්‍යෙතිෂවේදියාගේ ග්‍රහමාරු කතාව ද කීවෙමි. ඔහු වේදනාවෙන් කීවේ ඊයේ හා පෙරේදා අපට දරුණු ප්‍රහාර එල්ල වූ බවය. අපි ආපස්සට ගිය බව ද කියවිණි. මම රත් වුණෙමි. කොටි යළිත් පරණ සෙල්ලම දමා අපව බිඳ දමයි ද යන සැකය ඇතිවිය. වහාම උඩ යට විවිධ අංශවලට කතා කළෙමි. තත්ත්වය පාලනය කර ඇති බව දැනගැනීමෙන් පසුවය එදින මට නින්ද ගියේ.

 

අප්‍රේල් 05 දා ආනන්දපුර සටනින් තීපන් මියගිය බවත්, සෙසු නායකයින් පුතුමාතලන් බලා පලාගිය බවත්, වාර්තා විය. තීපන් කොටින්ගේ යුද නායකයාය. දැන් ඉතින් කොටි අවසානය කරා පැමිණ ඇති බව මට හරියටම හදවතට වැටහිණි. නූතන විජිතර පුර සටන ලෙස ආනන්ද පුර සටන පෙන්වා පුවත්පතකට ලිපියක් ලීවෙමි.

 

මැයි 11 දා දිගටම මම සිටියේ යුද මුක්ත කලාපයේ සිදුවන දේ ගැන උනන්දුවෙනි. එක දිගට දුරකතන මගින් අපේ හිතවතුන්ගෙන් රණබිමේ තොරතුරු ගනිමිනි. ප්‍රසන්නගේ සේනාංක වඩ්ඩුවාල් දිය පැන්නුම පැන උතුරට ගොස් ෂවේන්ද්‍රගේ සේනාංක සමග එක්වූවාය යන්න මිහිරිතම පුවතක් විය. අප දන්නා ඉතිහාසයේ ප්‍රථම වරට මුහුදු වෙරළේ හැම අඟලකම අයිතිය අපට ලැබිණි. එදාම (මැයි 14) ආචාර්ය පාලිත කොහාන හා ආචාර්ය විජයානන්ද එක්සත් ජාතීන්ට අපේ මුහුදු සීමාවේ නව අයිතිය පිළිබඳ දත්ත සටහන් භාර දුන්නේය. දශක ගණනක් පමා වූ මේ කාර්යයට අපේ භූ විද්‍යා කාර්යාංශයේ භූ විද්‍යාඥයින් සම්බන්ධ වීමත්, නිරන්තරයෙන් ඔවුන් සමග තොරතුරු හුවමාරු කිරීමත් සිදුකර ගත්තෙමි. අපේ දරුවන්ට තව කලකින් හෝ ලැබෙනා නව මුහුදු සම්පත් අයිතිය ගැන ප්‍රබෝධයට පත්වුනෙමි. TGS නෝපෙක් ආයතනය අපට මන්නාරම් ද්‍රෝණියේ දත්ත නොදී සිටීමට උත්සාහ කළ අවස්ථාවේ ඒවා ලබා ගැනීමට අප කළ අරගලය ද සිහිවිය. රටේ තෙල් සම්පත නෝර්වේ ජාතිකයන්ට පවරා දුන් රනිල්ගේ 2002 පෙබරවාරි 12 දරණ තෙල් සම්පත් ගිවිසුම හෙළිකර, එය නතර කිරීමට පුරෝගාමී වූයේද අපය. එය අපට පෙන්වා දුන් ක්‍රිස් ධර්මකීර්තිවද සිහිකරන්නේ කෘතඥපූර්වකවය. එමෙන්ම, අපේ රට මෙන් 23 ගුණයක් විශාල සාගර භූමි ප්‍රදේශයක අනේක සම්පත් මතු පරපුරට නොවේදැයි සිතා රණවිරු ජයග්‍රහණය දරුවන්ගේ විජයග්‍රහණයක් බව දැන සතුටු වුණෙමු.

 

මැයි 15 වැනිදා අපි බැසිල් රාජපක්ෂයන්ගේ කාර්යාලයේ හමු වී විජයග්‍රහණය සැමරීමේ ආකාරය ගැන සාකච්ඡාවක් පැවැත්වූයෙමු. පියවර කීපයකින් එය සිදුකිරීමට ඉටා ගත්තෙමු. පාර්ලිමේන්තුව අමතා කරන ප්‍රකාශය, ජනතා සමරුව, හමුදා සංදර්ශනය ආදී ලෙස එය මනාව සංවිධානය කෙරිණි. එදින සවස්වරුවේ දී මගේ ජංගම දුරකතනයට දෙමළ සන්ධාන මන්ත්‍රී කෙනෙක් පණිවුඩයක් එවා තිබිණි. ඒ කොටි නායකයින් යටත්වීමට සූදානම් බවය. මම එය බැසිල් රාජපක්ෂ මහතාට දැන්වූයෙමි. ඒ වනවිට ඔහුව තවත් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන තිබිණි. මෙය උපායක් විය හැකි බවට සැකයක් ද පැවතිණි. පසුව වාර්තා වුණේ නන්දිකඩාල් කලපුව හරහා පලායන්නට දරූ උත්සාහය ව්‍යර්ථ වූ බවය. එක්සත් ජනපද හමුදාවලට ජාත්‍යන්තර රතු කුරුසය හරහා භාර වීමට කොටි නායකයින් දැරූ උත්සාහය ද ව්‍යයර්ථ කෙරිණි.

 පටි 5

 

ජනාධිපතිතුමා ජයග්‍රාහීව මව්බිමට සැපත් වූ මැයි 17 වැනිදා මම ද ගුවන්තොටුපළට ගියෙමි. මම සාමාන්‍යයෙන් මෙවැනි උත්සව පුළුවන් තරම් මග හරින්නෙමි. නමුත්, හදවත් ප්‍රීතියෙන් ඔද වැඩී තිබිණි. මව්බිම සිප ඉදිරියට එන එතුමාට ඉදිරියට ගොස් ආචාර කළෙමි. එතුමා වහාම මා වැළඳ ගෙන ඉතා උණුසුම් ලෙස “අපි දිනුම්” යැයි කීවේය.

 

@පාඨලී චම්පික රණවක

මීළඟට එල්ලාවල මේධානන්ද හිමියන් කෘතිය පිළිබඳව ලියූ සටහන බලාපොරොත්තු වන්න.

පටි 1පටි 2පටි 3

 

පටි 4පටි 6

 

ච්ඒස

නවතම ලිපි