SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යළිත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමඟ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.

මන්ද, වසර 9 ට පසු, පසුගිය සැප්තැම්බරයේ විදුලි බිල සියයට 75 න් වැඩි කිරීම රටේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් නොව කර්මාන්ත, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට තදින් බලපෑ කරුණක් වූ නිසාය. එහි උණුසුම තවමත් පහව ගොස් නැති අතරතුර, රටේ පවතින දැඩි උද්දධමනය, ආර්ථික අහේනිය නිසා, එම වැඩිවීම දැරිය නොහැකි වියදමක් සේ ජනතාවගේ ජීවන වියදමට දැන් එකතු වී තිබේ.

මෙම පසුබිම තුළ, පසුගියදා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින්, 2009 අංක 20 දරණ විදුලිබල පණතේ 5 වන වගන්තියට අනුව, සාමාන්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශ යටතේ, වියදම් පියවා ගැනීමේ පදනමට අනුව, 2023 වර්ෂයට අදාලව අර්ධ වාර්ෂිකව සිදුකරන විදුලි බිල සංශෝධනයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර අනුමත කරගෙන තිබේ. එම තීරණය හා ඊට බලපෑ ඇති හේතු රටට ප්‍රකාශ වීමත් සමඟ යළි විදුලි බිල වැඩි කිරීමට යෝජනා කිරීම සමාජයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්, ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින්, විදුලි අය කිරීම් ක්‍රමවේදය පිළිබදව අවසන් තීන්දුව ගත යුතුව තිබෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශයක් නිකුත් කරමින්, එවැනි වැඩි කිරීමක් අනවශ්‍ය බවත් ඒ සඳහා වූ යෝජනාවක් තම කොමිෂමට ලැබී නොමැති බවත් ප්‍රකාශ කිරීම මගින් මෙම සංවාදය උණුසුම් මාතෘකාවක් බවට පත්කොට තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිදුකළ වැඩි වීමට අනුව, ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 270 සිට රුපියල් බිලියන 505 ක් දක්වා වැඩි වී ඇති බැව් කියවේ. එහෙත්, ලංකා විදුලිබල මණ්ඩලයට එම ආදායම ලැබුණත් සැබවින්ම තමන්ගේ වියදම් ඇස්තමේන්තු අනුව මෙම වසරේ තවත් බිලියන 300 ක පාඩුවක් සිදුවී ඇති බැව් මණ්ඩලය ප්‍රකාශ කරයි. විදුලි කප්පාදු මැද, යහපත් ජල විදුලි ජනනයක් පැවැති වකවානුවක එම පාඩුව කවර කරුණු මත සිදුවූ දෙයක් දැයි වෙනම විශ්ලේෂණය කළ යුතුව තිබේ.

වර්තමානයේදී, විදුලි ඒකකයක් නිපදවීමට සාමාන්‍යයෙන් රු 35.80 ක් වැය වන බවත්, වත්මන් අය කිරීම් අනුව ඒකකයක් සඳහා සාමාන්‍ය විකුණුම් මිළ රු. 27.50 ක් බැවින් එම පාඩුව ලංවීමට දරන්නට සිදුව ඇති වී බවත් සරලව ප්‍රකාශ වී තිබේ. එබැවින්, වියදම් පියවා ගැනීමට මහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන 80 ක ප්‍රදානයක් ලැබුණු බවත්, තවත් කළ යුතු ගෙවීම් සඳහා රුපියල් බිලියන 50 ක් සඳහා ලංකා බැංකුව වෙතින් ණය මුදලක් ඉල්ලා තිබෙන බවත් විදුලිබල මණ්ඩල බලධාරීන් ප්‍රකාශකර තිබේ. නමුත්, මහජන උපයෝගිතා කොමිෂම ප්‍රකාශ කරන්නේ, මණ්ඩලයේ ඇස්තමේන්තු කුමක් වුවත් තම කොමිෂන් සභා පණතේ බලතල අනුව අනුමත කළ හැක්කේ සාධාරණ මෙන්ම පිළිගත හැකි වියදම් ඇස්තමේන්තුවක් පමණක් බවය. ඒ අනුව, මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය මත හෝ යෝජනා කරන අසාධාරණ ගෙවීම් මත හෝ වැයවෙන පිරිවැයක් අනුමත කිරීමට කොමිෂමට නොහැකිය. එබැවින්, 2023 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව පිළිබඳව තියුණු අවධානයක් යොමු කිරීම කෙතරම් වැදගත් ද බැව් මින් හැඟවේ.

 

අමාත්‍ය මණ්ඩල යෝජනාව

විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් නොබෝදා අනුමත කරනු ලැබූ යෝජනාව ඉලක්ක කොට ඇත්තේ, ලබන 2023 වර්ෂය සඳහා කිසිදු විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමේ යහපත් අභිප්‍රායකිණි. දැනට, දිනකට පැය 2 කුත් විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක අතර, ජනවාරි මස සිට නොරච්චෝල ගල් අඟුරු බලාගාරය සම්පුර්ණ ධාරිතාවෙන් ද, ලංවීම හා පෞද්ගලික අංශය සතු තාප බලාගාර වෙතින් විදුලිය ලබාගැනීමට ද සැලසුම් කර ඇත. තවද, ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වියලි කාලගුණ තත්ත්වයක් ලංවීමේ උපකල්පන මත බලාපොරොත්තුවේ. ඒ අනුව, විදුලි ඒකකයක් ජනනය කිරීමට සාමාන්‍යයෙන් වැය වන මුදල රු. 56. 90 යැයි ගණන් බලා තිබේ. දැනට තිබෙන මිළ ගනන අනුව විකුණුම් මිල රු. 29. 14 යැයි ගණන් බලා ඇති මණ්ඩලය, ලබන වර්ෂයේදී සිදුවිය හැකි මූල්‍ය පාඩුව රුපියල් බිලියන 423 ක් යැයි ඒ අනුව දක්වා තිබේ. තවදුරටත් කිසිදු මූල්‍ය අනුග්‍රාහයක් මණ්ඩලය වෙත ලබා දීමට නොහැකි බැව් මහා භාණ්ඩාගාරය විසින් කර ඇති දැනුම් දීම සැලකිල්ලට ගෙන, එකී පාඩුව පියවා ගැනීමට නම් යළිත් වරක් සියයට 70 කින් විදුලි බිල වැඩි කිරීමට මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, අර්ධ-වාර්ෂික මිළ සංශෝධනයක් ලෙස, ජනවාරි මාසයේ සියයට 30 කින් ද ජූලි මාසයේදී ඉතිරි ප්‍රතිශතයද වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

කෙසේනමුත්, මෙම යෝජනාව තවමත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබාදී නොමැත. ලංවීම යෝජනා කරන වියදම් ඇස්තමේන්තුව විශ්ලේෂණය කොට සාධරණ මිළ වැඩි කිරීමකට කොමිෂම විසින් අනුමැතිය ලබා දිය යුතුව ඇත. එසේ නොවන තාක් එකී යෝජනාව ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට නොහැකි බැව් කොමිෂම අවධාරණයකර සිටී. තවද, ලංකාවේ සාමාන්‍ය කාලගුණ තත්ත්වය හා වර්ෂාපතන රටාව අනුව, ජල විදුලි ධාරිතාව ගැන වඩා නිවැරදි තක්සේරුවක් කළ හැකි වනුයේ අප්‍රේල් සහ ඔක්තෝම්බර් මාස ආසන්නයේ බැව් කොමිෂන් සභාවේ මතය වේ. එබැවින්, ආණ්ඩුව ජනවාරි මස විදුලි බිල වැඩි කිරීම සඳහා උපයෝගි කරගනු ලබන උපකල්පනයන් කෙතරම් නිවැරදි ද යන්න ප්‍රශ්ණකර සිටී. මන්ද, අද වන විට විදුලි ජනනයෙන් සියයට 49 ක් ම රඳා පවතින්නේ, ජල විදුලිය මතය. නමුත්, යෝජනාව අනුව ලබන වසර සඳහා සලකා බලා ඇත්තේ එහි සාමාන්‍ය අගයක් වන සියයට 23 කි. එනම්, ගෙගාවොට් පැය ඒකක 4046 කි. මෙම අගය වැදගත් දත්තයක් වනුයේ ලංවීමට අයත් ප්‍රධාන ජලාශ වලින් විදුලිය නිපදවීමට ඒකකයක් සඳහා යන පිරිවැය රු. 3.07 ක් පමණක් වන නිසාය. ගල් අඟුරු සඳහා එම අගය රු. 47.89 ක් වන අතර ඉන්ධන සඳහා අගය රු. 95 සිට 85 ත් අතර වේ. මෙම ඒකක පිරිවැය වෙනස සුළු පටු එකක් නොවන බැවින්, නිශ්චය ලෙසම මෙම අගයන්ගේ සැබෑ වටිනාකම සහ ලබාගත හැකි ධාරිතාව නිවැරදිව ගණනය කිරීම අත්‍යවශ්‍යම කරුණකි.

 

තෙල් හා ගල් අඟුරු මිළ

ඉදිරි වර්ෂය සඳහා තාප විදුලියට බර තබා ඇති ලංවීම, ගල් අඟුරු මගින් ගෙගාවොට් පැය ඒකක 5097 ක් ද, ලංවීම සහ පෞද්ගලික ඩීසල් හා දැවිතෙල් බලාගාර මගින් ගෙගාවොට් පැය ඒකක 5328 ක් ද නිපදවීමට සැලසුම්කර තිබේ. එනම්, අවශ්‍ය ඉල්ලුමෙන් සියයට 60 ට ආසන්න ප්‍රමාණයක් තාප විදුලිය මත රැඳීමට බලාපොරොත්තුවේ. මේ අනුව, ඩීසල් හා දැවිතෙල් ලබාගැනීම සඳහා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 541 කි. වර්ෂය සඳහා ගල් අඟුරු මිළදී ගැනීමට තවත් ඩොලර් මිලියන 448 ක් අවශ්‍ය බව ගණන් බලා ඇත. මෙම අගයන් අනුව, ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම ඉහළ අගයක් ගන්නා බව සැකයක් නැත. එහෙත්, මෙම වියදම සාධරණ වියදමක් ද යන්න සැක හැර දැන ගැනීම පාරිභෝගියන්ට වැදගත් වේ. මන්දයත්, අද ලෝක වෙළඳ පොළේ තෙල් බැරලයක මිළ ඩොලර් 65-80 අතර අගයක් ගන්නා අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව තෙල් බැරලයක් මිළ දී ගනු ලබන අගය ඩොලර් 140 ක පමණ වේ. මෙම මිළ දී ගැනිම් තුළ අසමාන්‍ය තැරව්කාර ගාස්තුවක් ගෙවන බවට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී සිදුවූ අනාවරණ වලින් පැහැදිලි විය. ඩීසල් ලීටරයක මිළ රු. 420 ක් පමණ ඉහළ අගයක් ගන්නා අතර, ඒ තුළ විශාල බදු අගයක් ඇතුළත්ව තිබෙන බැව් හෙළිදරව් විණි. ඒ අනුව, විදුලිය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස ගනු ලබන ඩීසල් සඳහා ද එවැනි බදු බරක් එකතු කිරීමත්, විදුලි බිලට ඒ බර ඇතුළත් වෙන පරිදි මිළ ගනන් සංශෝධනය කිරීමත් කෙතරම් සාධරණ ද යන්න ගැටළුවකි. සමහර විට, මෙම මිළ ගනන්වලට අනුව විදුලි බිල වැඩි කිරීම තුළින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩු අවම කරගැනීමටත් අතරමැදි තැරව්කරුවන් තෘප්ත කිරීමටත් විදුලිබල හා බලශක්ති ඇමතිවරයා උත්සාහ කරන්නේද? යන සාධරණ සැකයක් ඇතිවේ.

ලබන වර්ෂය, වියළි කාලගුණයක් සහිත වර්ෂයක් සේ සළකා විදුලි ජනනය සැලසුම් කිරීම මගින් හැඟවෙන්නේ, බලශක්ති හිඟයක් ඇති වන බවකි. එම හිඟය පිය මං කිරීමට නම් තාප බලාගාර වෙත වැඩි විශ්වාසයක් තබා කටයුතු කළ යුතු බවය. මෙය පැහැදිලි කළ හැකි තවත් කරුණක් වන්නේ, 2023 වර්ෂය සඳහා යෝජිත විදුලි බිල වැඩි කිරීම සිදු නොකළොත් ලබන වර්ෂයේ මුල් කාර්තුවේ දී පැය 4 සිට 8 දක්වා වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවෙන බැව් කියන ඇමතිවරයාගේ තර්ජනයයි. එනමුත්, ගල් අඟුරු ප්‍රසම්පාදනය අසාර්ථක වී අවශ්‍ය ගල් අඟුරු තොග තවමත් ළඟා වී නොමැත්තේත්, යෝජිත අඩු වියදම් විදුලි ජනන ව්‍යාපෘති තවමත් ක්‍රියාත්මක තත්ත්වයට පත්ව නොමැත්තේත්, විදුලි පාරිභෝගිකයාගේ වරදින් නොවේ. එබැවින්, ලංවීමේ ඇතුළු ආයතන පද්ධතියත්, විෂයභාර අමාත්‍යාංශයේ අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවයත්, විදුලි බිලට මුවා වී පාරිභෝගිකයා පිට පැටවීම කෙතරම් සදාචාරාත්මක ද?

 

සමාජ සාධාරණත්වය

විදුලි බිල වැඩි කිරීමේදී, ඒකකයක් සඳහා වැය වන සාමාන්‍ය අගය වන රු. 59.90, ගෘහස්ථ පාරිභෝගිකයන් 6,709,574 ට බේදයකින් තොරව බලපාන ලෙස අය කිරීමට සිදුවෙන බැව් අමාත්‍යවරයා දැණුම් දී තිබේ. එහිදී, මසකට ඒකක 0-30 අතර පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් ලක්ෂ 14 ට දැනට රු. 8/= ඒකක මිළක් ද, ඒකක 31-60 අතර පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් ලක්ෂ 16 ට දැනට රු. 10/= ඒකක මිළක් ද යනාදී වශයෙන් විශාල සහණයක් සපයා ඇති බැව් ප්‍රකාශ කළේය. එම සහනය තවදුරටත් ලබා නොහැකි බැව් කියා තිබේ. සියලු පාරිභෝගිකයන්ට වැයවන පිරිවැය අනුව ඒකකයට අය කිරීමටත්, දිළිදු ප්‍රජාවට පමණක් සෘජු මුල්‍ය ආධාරයක් සැපයිය යුතු බවටත් යෝජනාකර සිටී. නමුත් එය කවරාකාර යෝජනාවක් ද යන්න පැහැදිලි තවමත් නැත.

ආර්ථික බංකොලොත්භාවය නිසා රටේ ආර්ථිකය දැඩිව සංකෝචනයට ලක්ව තිබේ. දරිද්‍රතාවය සියයට 38 ක් දක්වා වර්ධනය වී ඇති බැව් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රකාශ කර සිටී. මේ අනුව, විදුලි ඒකක 60 ට වඩා අඩු පරිභෝජනයක් ඇති පාරිභෝගික ප්‍රමාණය තවත් ඉහළ යා හැක. ආර්ථිකය ලබන වර්ෂයේදී තවත් සියයට 3 කින් සංකෝචනය විය හැකි බැව් ලෝක බැංකුව ප්‍රකාශ කළේ මෑතකදීය. දැනටමත් විදුලි ඉල්ලුම සියයට 10 කින් පමණ අඩු වී ඇත. මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත්කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් සුභසාධක ප්‍රතිලාභ පණතේ දුප්පත්කම මනින එක් නිර්නායකයක් ලෙස විදුලි පරිභෝජනය මසකට ඒකක 60 ට අඩු යන්න පැහැදිලිව සටහන්කර ඇත. මේ අනුව, විදුලි බිල සැකසීමේදී සමාජ සාධාරණත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.

සැබවින්ම, මසකට ඒකක 60 ට අඩු පරිභෝජනයක් සහිත ගෘහස්ථ සංඛ්‍යාව මිලියන 3 ක් වී තිබීම අද ඊයේ සිදුවූ දෙයක් නොවේ. එය පසුගිය දශකයට ආසන්න කාලයක් පුරා ඇති පරිභෝජන රටාවකි. ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ පරිභෝජනය සැබවින්ම දරද්‍රතාව මට්ටමේ පැවතීමය. අඩු විදුලි පරිභෝජනයක් සහිත එම ජනතාවට අඩු මිළකට විදුලිය ලබාදීම සාධරණවන්නේ ඒ නිසාය. වර්ෂයකට, ජල විදුලියෙන් අවම වශයෙන් රු. 3 ට නිපදවන ගෙගාවොට් පැය ඒකක 3000 මගින්, එම පිරිසට විදුලිය ලබාදෙන බවට උපකල්පනය කළ විට එම විදුලි බිල සහණාධාරයක් නොවන්නේය. ඇත්තෙන්ම, සහණාධාර ලබා දී ඇත්තේ වැඩි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ටය. අධි පරිභෝජනය නිසා වියදම් වැඩි තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වේ. නමුත්, ඔවුන් දැන් ගෙවනුයේ එම වියදමට වඩා අඩු විදුලි ඒකක මිළකි. දැනට විදුලිය අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවද, වැඩි පරිභෝජන රටාවකට හුරු වුවහොත් ඇමතිවරයාගේ විග්‍රහයේ ඇති නොමඟ ගිය කතාව පැහැදිලි වෙනු ඇත.

ලක්ෂ 30 ක් ගෘහයන් අඩු විදුලිබල පරිභෝජනයක රැඳී තිබෙන්නේ ආදායම් හිඟකම සහ දරිද්‍රතාවය නිසාය. ඒ ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වයක් ඉටු විය යුතුය. ඒ සඳහා, ලංවීම පාඩු ලැබිය යුතුය යැයි මින් අදහස් නොකෙරේ. ලංවීම වියදම් පියවා ගැනීමට අදාල ප්‍රශස්ථ පියවර ගැනීමට එම මණ්ඩලය ක්‍රියා කළ යුතුවේ. එහිදී, ජනප්‍රිය මාතෘකා වී ඇති අධික වැටුප්, ප්‍රතිලාභ ගැන කතා කිරීමට වඩා සිදුවෙන තාක්ෂණික නාස්තිය හා දූෂණය අවම කරගැනීම වැදගත්ය. ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් පිළිබඳ සැලකිලිමක් වීමේ දී එහි ආයතනික වියදම විදුලි ඒකකයක් සඳහා ශත 0.83 කි. නමුත් තාක්ෂණික නාස්තිය සියයට 9.69 කි. ප්‍රශස්ත විදුලි පද්ධතියක් ඉලක්ක කර එම අගය සියයට 7 ට අඩු කිරීම අවශ්‍යය. නාස්තිය හා දූෂණය පාරිභෝගිකයා පිට පැටවීම සුදුසු ක්‍රියාවක් නොවේ.

 

පුනර්ජනනීය විදුලිය හා විදුලි අරපිරිමැස්ම

පොසිල ඉන්ධන මත කෙරෙන විදුලි ජනනය, විදේශ විනිමය අනුපාතය මෙන්ම ලෝක වෙළඳපොළ මිළ උච්චාවචනයන් මත ද රඳා පවතී. තාප බලාගාර ඉදිකිරීම සාපේක්ෂ වශයෙන් අඩු ප්‍රාග්ධන වියදමකින් සිදු කළත්, ඊට අඛණ්ඩ යෙදුවුම් සැපයීමේදී අධික මිළක් දැරීමට වර්තමානයේ සිදු වී ඇත. පොසිල ඉන්ධන ආනයනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හා ආර්ථක බංකොලොත්භාවය මෙහිදී වැඩි අවධානයට ගත යුතු කරුණකි. ලබන වසර සඳහා මිළ අධික ද්‍රව්‍ය ඉන්ධන සඳහා පමණක් රුපියල් බිලියන 481 ක් වැය කිරීමට ලංවීම ඇස්තමේන්තුකර ඇති යෝජනාව සැළකිල්ලට ගත් කළ එය කෙතරම් දැරිය හැකිද? යන්න පැහැදිලිය. එබැවින්, වර්තමාන ලෝක ප්‍රවණතාවයන් සැලකිල්ලට ගෙන, දිගුකාලීනව, සුළං බලය, සූර්යය බලය ප්‍රමුඛ පුනර්ජනනීය විදුලි ජනන සංවර්ධනට වැඩි අවධානයක් යෙදිය යුතුය. ඒකකයක් රු. 35/= ට අඩු මුදලකට ලබාගත හැකි පුනර්ජනණීය විදුලි ප්‍රභව සංවර්ධනයට රජයේ නිසි අවධානය තවමත් ලබා දී නොමැති බැව් එම ක්ෂේත්‍රයේ සංවර්ධකයන්ගේ මැසිවිල්ල වී තිබේ. විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් සංවර්ධකයන්ට අවස්ථාව ලබාදීමත්, කලාපීය බලවතුන්ගේ බලපෑමට නතුව විභවය කොල්ල කා ගැනීමට අවස්ථාව සැලසීමත් ආකාර දෙකකි.

රටට ප්‍රශස්ත බලශක්ති සැපයුමක් අවශ්‍ය මොහොතක, දේශපාලන හා ව්‍යාපාරික තැරැව්කාර සහචරයන්ට අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ නොතිබිය යුතුය. එම නිසා අඩු වියදම් පරිසර හිතවාදී විදුලි ජනන පද්ධති කලට වේලාවට ඉදිකිරීම් සිදු නොවූණු බැව් රහසක් නොවේ. දැනටමත්, සංවර්ධන ක්‍රියාවලියේ නොයෙකුත් බාධාවන්ට ලක් වී ඇති මෙගාවොට් 250 ට ආසන්න පුනර්ජනණීය මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා අවසර දීම වහා කළ යුතු කටයුත්තකි. එවන්, සැලසුමකින් තොරව, ලංවීමේ සියළු වියදම් ජනතාව මත පැටවීම රජයකට තරම් නොවන්නේය.

පුනර්ජනණීය විදුලිබල සංවර්ධනය මෙන්ම, විදුලිය සංරක්ෂණයද ඉතා වැදගත් අංගයකි. 2023 වර්ෂය බලශක්ති හිඟයකට තුඩු දෙන්නේ නම්, පුළුල් බලශක්ති සංරක්ෂණ වැඩසටහනකට මෙය තරම් කදිම අවස්ථාවක් නොමැත. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒ සඳහා අනුමැතිය ලත් ආයතනයක් ලෙස ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍යය. අවම වශයෙන් වැඩි විදුලි පරිභෝජනයක් සහිත කර්මාන්ත හා වානිජ ආයතන හෝ ප්‍රමුඛ කරගනිමින් එකී වැඩසටහන දියත් කිරීම අත්‍යවශ්‍ය ය. දැනටමත් විදුලියට වැඩි මිළක් ගෙවන, කර්මාන්තකරුවන්ට හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉන් සහනයක් ලැබීම පමණක් නොව යෝජිත විදුලි ඉල්ලුමෙන් සියයට 5 ක් අවම කිරීමට සැලසුම් සකස් කිරීම වැදගත්ය. පාරිභෝගිකයාට සහනයක් දීමට ඇමතිවරයාට සැබෑ අභිප්‍රායක් ඇත්නම් කළ යුතුව ඇත්තේ විදුලි බිල වැඩි කිරිමේ තර්ජනාංගුලි නිකුත් කිරීම නොව, තමා යටතේ ඇති ආයතන නිසි පරිදි පෙළගැස්සවීමය.

 

ප්‍රතිවිපාක

නැවතත් විදුලි බිල වැඩි කිරීම තුළ රටේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම විවිධාකාරවේ. ලංවීම ණය බරින් මුදවා ගැනීමත්, රාජ්‍ය බැංකු බංකොලොත් බවින් මුදා ගැනීමත් වැදගත් පියවරයන් ලෙස හුවා දැක්වුවත්, අනුමත නොකළ හැකි වියදම් නිසා වැඩිවන විදුලි බිල නිසා ජනතාවටත්, කර්මාන්තකරුවාටත්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයාටත් සිදුවිය හැකි බලපෑම වෙනම තක්සේරු කළ යුතුය. ආර්ථික සංකෝචනය තුළ දැනටමත්, අපනයනය සඳහා නිශ්පාදන කටයුතු සිදුකරන ව්‍යාපාරිකය ස්ථාන වැසී යන තත්ත්වයක් තුළ හා රටින් පිටවෙන පරිසරයක, මෙහි බලපෑම සුළු පටු නොවේ. දෛනිකව, රට තුළ මුදල් උත්පාදනය කරන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර 23,000 ට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇත. පාරට වැටෙන රැකියා විරහිතයන්ගේ ප්‍රමාණය වැඩි වී ඇත. වර්ෂ දෙකකට පෙර රු. ලක්ෂයක වටිනාකම වර්තමානයේ රු. 47,000 ට සමව ඇති තත්ත්වයක් තුළ අසාමාන්‍ය විදුලි බිල වැඩි වීමක් සමාජ අසහනය තව තවත් තීර්ව කිරීමට උත්තේජනයකි. සියයට 10 න් විදුලි ඉල්ලුම පහත වැටී ඇති තත්වයක් තුළ, ආර්ථික සංකෝචනය තවත් සියයට 3 න් අඩු විය හැකි අනාවැකිය තුළ දැරිය නොහැකි විදුලි බිල තවත් සමාජ ආර්ථික පරිහානියකට තුඩු නොදෙන බව කිව නොහැක්කේය. එබැවින් සාධරණ මිළ ගණන් මත, යථාර්තවාදී විශ්ලේෂණ හා නිර්මාණාත්මක විසඳුම් මත ජනතාව මෙම බලශක්ති අර්බුදයෙන් ගලවා ගත යුතුය.

@බන්දුල චන්ද්‍රසේකර

“අනිද්දා” ඉරිදා පුවත්පතට ලියූ ලිපියකි. 2023-12-11

නවතම ලිපි