SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතාමත්ම හොඳ, සෞඛ්‍ය සම්පන්න ධනවාදයක් පවත්වා ගැනීම සඳහා පෙනී සිටි නැසී ගිය ගොඩයමු කල්ලිය සහ එවැනි ධනවාදයක් වෙනුවෙන් ආර්ථික ප්‍රතිපත්ති සකස් කරන, උපදෙස් ලබා දෙන,

දෘෂ්ටිවාදයක් ගොඩනගන ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත් සමග සිදු කල සංවාද වලදී ධනේශ්වර වෙළඳපොලකරණයට අප එරෙහි වන්නේ වාමාංශික ජනතාවාදයේ ස්ථානයෙන් නොවේ.

 

දක්ෂිනාංශික බලවේග ධනේශ්වර වෙළඳපොලකරණයට පක්ෂපාත වන්නේත් වාමාංශික බලවේග ඊට එරෙහි වන්නේත් 'ජනාතාවට' සෙත සැලසීම සඳහා වන ආර්ථිකවාදයේ ස්ථානයෙනි. එනම්, 'ජනතාව' දුකින් මුදුවාගෙන වඩා උසස් ජීවන තත්වයක් ලබා දෙමින් සුඛිත මුදිත කිරීම සඳහා මාවත වන්නේ සියලු ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීම බව දක්ෂිනාංශික බලවේග විසින් පවසන විට වාමාංශික බලවේග විසින් පවසනුයේ ජාතික දේපොළ, ජාතික සම්පත්, කුණු කොල්ලයට විකුණා දැමීමට ඔවුන් එරෙහි බවය. එසේම වඩා සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යා හැක්කේ රාජ්‍ය අංශය තුලින් බව ආර්ථික විද්‍යාත්මකව තර්ක කොට පෙන්වා දීමට උත්සාහ කරයි. එනම් ඔවුන් දෙපාර්ශවයම එකම වෙළඳපොල වෙනුවෙන් දෙයාකාරයකට පෙනී සිටීමකි.

 

Waruna Rajapaksha ජනතාවාදී ජවිපෙ සිට ජනතාවාදී UNPයට ගොස් තම පූර්ව "ආර්ථික" ස්ථාවරය ප්‍රතික්ෂේප කරන අයෙකි.

Pubudu Jayagodaගේ සුපුරුදු කෛරාටික උත්සාහය වන්නේ පෙසප සාමජිකත්වය වෙත ආමන්ත්‍රණය කිරීම මිස වරුණට පිළිතුරු දීම නොවේ.

 

නමුත් වරුණගෙන් අපට ඇසීමට ඇත්තේ පහත සබැඳියාවන් තුල ඇති සංවාද තුල අප විසින් මතුකරන ප්‍රශ්න වලට ඔහුට පිළිතුරු තිබේද යන්නයි.

(http://www.spartacus.lk/04-12/2023/

http://www.spartacus.lk/%e0%b7%83%e0%b7%8a%e0%b6%b4.../2022/)

 

ස්පාටකස් සාමුහිකය සහ ධනනාත් ප්‍රනාන්දු අතර සංවාදය

ධනවාදය නමැති දුෂ්ට, කෘර, විෂම චක්‍රය පවත්වාගෙන යනු ලබන්නේ ආර්ථික විද්‍යාව මගිනි. ආර්ථික විද්‍යාව සම්පූර්ණයෙන්ම භාරගෙන ඒ මත ක්‍රියා කරනා ප්‍රජාතන්ත්රවදීන් මෙන්ම ආර්ථික විද්‍යානුකූලව නිදහස් වෙළඳපොල ආර්ථික මොඩලය වැරදි බව කියන වාමාංශිකයිනුත් සිටිනුයේ එකම බෝට්ටුවේය. එවැනි සමහර වාමාංශිකයින් විසින් මාක්ස්වාදී ආර්ථික විද්‍යාවක් යෝජනා කරමින් සිටී. ඒ අනුව අධ්‍යතන සමාජයේ සියලු දෙනාම පාහේ ආර්තිකවාදය භාරගෙන ඇත. එය සමාජයේ පහලම පන්තීන් වල සාමාජිකයින් දක්වා එසේය.

එම ආර්ථිකවාදී ස්ථාවරයට එරෙහිව අපගේ ස්ථාවරය වන්නේ ආර්ථික විද්‍යාව සපුරා ප්‍රතික්ෂේප කරන දේශපාලන ප්‍රවේශයකි. එබැවින් ඇඩ්වොකාටා (Advocata) නමැති ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන සහ උපදෙස් ලබා දෙන ඉන්ස්ටිටියුටයේ CEO වන ධනනාත් ප්‍රනාන්දු සමග සංවාදයේදී අපගේ සංවාද ප්‍රවේශය සිදු වූයේ දක්ෂිනාංශික සහ වාමාංශික යන ප්‍රවේශයන් දෙකටම එරෙහිවය.

අතිශය බහුතර ආර්ථික විද්යාඥයින්ට අනුව ව්‍යවසායන් ලාභ ලැබීමට නම් ඒවා පුද්ගලීකරණය කල යුතුය. ලාභ ලැබීමට පමණක් නොව නිෂ්පාදන දියුණුවෙන් දියුණුවට පත්වෙමින් නව නිෂ්පාදන කරා ගමන්ගන්නේද එවිටය. ඔවුනට අනුව එසේ වන්නේ ඒවා එවිට තමන්ටම අයත් තමන්ගේ දේපල නිසාය.

‘මරණ ධාවකය’ නිශ්චිතවම මතුවන්නේ ‘සත්තාවේ’ (being) පිළිවෙල තුල පරතරයේ ප්‍රතිඵලයක් ලෙසයි. එය ආත්මයේ (subject) රැඩිකල් ස්වාධිපත්‍යය සමකාලිකව, එකවිටම නම් කරන පරතරයකි. එසේම ආත්මීයත්වයේ සංකේතාත්මක රාමුව කඩාකප්පල් කිරීමට හෝ යටපත් කිරීමට නිරන්තරයෙන් තර්ජනය කරන දෙයකි (තම ආශාව පාවා දෙමින් තම අරමුණු කරා මාරාන්තිකව හඹා යාම). ෆ්‍රොයිඩ්ට අනුව මරණය යනු හුදෙක් අවලංගු කිරීමක් ලෙස වන ප්‍රවර්ගයක් නොවේ. ඔහු විසින් එය හුදු ‘පැවැත්මෙන්’ (‘existence’) හෝ ජීව විද්‍යාත්මක ජීවිතයෙන් ඔබ්බට පවතින ආත්මීයත්වයේ (අමරණීය) මානයට යොමු කරයි. ඒ අනුව “පවතින මිනිස් ජීවිතය කිසි විටෙක “හුදෙක් ජීවිතය” නොවේ. එය සෑම විටම ජීවිතයේ අතිරික්තයක් මගින් පවත්වා ගෙන යයි”. ‘ප්‍රමෝදයට’ (‘jouissance’) ලක්වීම සඳහා වන මූලික බල කිරීමක් වන්නේ පරිපූර්ණ තෘප්තිය ළඟා කර ගැනීමට සහ එමගින් ‘සත්තාවේ’ පිළිවෙලෙහි පරතරය හෝ “තුවාලය” සුව කිරීම සඳහාය. මෙම ‘ධාවකය’ (‘drive’) සඳහා යම් ආකාරයක බේරුම් කිරීමක් ගෙන ඒමට දරන සදාකාලික හා අශක්‍ය (impossible) උත්සාහයක් මගින් මිනිස් තත්වය සලකුණු වී ඇත. එවිට එය ධාවකය නිරාකරණය කිරීමේ විරුද්ධාභාසී ධාවකයක් වේ. මේ ආකාරයෙන්, ධාවකය කිසි යම් “අතිරික්ත වස්තු” (පරමාදර්ශී අත්දැකීම, ජීවන රටාව, සන්තකයේ තබා ගැනීම යනාදිය) සමඟ සම්බන්ධ වේ. එනම් ආර්ථික විද්යාඥයින් පවසන ආකාරයට ව්‍යවසායන් පුද්ගලික අංශය සතු විට සාර්ථක වන්නේ එබැවිනි (පවතින “මිනිස් ජීවිතය කිසි විටෙක “හුදෙක් ජීවිතය” නොවේ. එය සෑම විටම ජීවිතයේ අතිරික්තයක් මගින් පවත්වා ගෙන යයි)”.  එනම් ආශා කරමින් සිටිනා ආත්මය සඳහා ඔහුගේ ආශාවේ වස්තුව

හඹා යාමට අවශ්‍ය මග විවර කොට දී ඇති තත්වය ධනවාදී ව්‍යවසායකත්වය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වයයි.

‘ධාවකය’ පවතින්නේ “ජීව විද්‍යා ක්ෂේත්‍රයේ” (වෙන භාවිතා කිරීමට යෙදුමක් නොමැති බැවින්) නොවේ. එනම් ආශා කරන වස්තුව කරා වන අපගේ ‘ධාවනය’ “මිනිස් ස්වභාවය” (“nature”) තුල තත්වයක් නොවේ (ධාවක මෙන්ම ආශාව ද ස්වභාවයේ තත්වයක් නොවන අතර ආශාව යනු සැම විටම අනෙකාගේ ආශාවය). ‘ධාවක’ “ජීව විද්‍යාත්මක” අවශ්‍යතාවලින් වෙනස් වන්නේ ඒවා (‘ධාවක’) කිසිදා තෘප්තිමත් කළ නොහැකි ලෙස වන නිසා අතර, වස්තුවක් (object) ඉලක්ක කර නොගෙන එය වස්තුව වටා සදාකාලිකව රවුම් ගසයි. ලැකාන් විසින් තව දුරටත් තර්ක කොට සිටිනුයේ ‘ධාවකයේ’ අරමුණ ඉලක්කයක් (අවසාන ගමනාන්තයක්) වෙත ළඟා වීම නොව, නමුත් එහි ඉලක්කය ලුහුබැඳ යාම (මාර්ගයම) බවයි. ඒ අනුව එහි ඉලක්කය වන්නේ ලුහුබැඳ යාම වන වස්තුව වටා රවුම් ගැසීමකි. මේ අනුව, ‘ධාවකයේ’ සැබෑ අරමුණ පූර්ණ තෘප්තිය පිළිබඳ මිථ්‍යා ඉලක්කයක් නොව, එහි චක්‍ර මාර්ගයට ආපසු යාම (පුනරාවර්තනීය ලෙස) වන අතර, ‘ප්‍රමෝදයේ’ (‘jouissance’) සැබෑ මූලාශ්‍රය වන්නේ මෙම සංවෘත පරිපථයේ පුනරාවර්තන චලනයයි.

ෆ්‍රොයිඩ් ‘ධාවකය’ නිර්වචනය කළේ අඛණ්ඩව පවතින මූලදාතූන් හතරකින් සමන්විත සමෝධානයක් ලෙස බව ලැකාන් මතක් කර දෙයි. එනම්, පීඩනය, අවසානය, වස්තුව සහ මූලාශ්‍රය යන හතරයි. එබැවින් ‘ධාවකය’ යන්න “යම්කිසි අත්‍යන්ත දෙන ලද්දක්, ආදි කාලික දෙයක් හෝ  මූලාවස්ථික (primordial) දෙයක්” ලෙස සංකල්පනය කළ නොහැක. එය සම්පූර්ණයෙන්ම සංස්කෘතික හා සංකේතාත්මක නිර්මාණයකි. කෙසේ වෙතත්, ලැකාන්ගේ සූත්‍ර ගත කිරීම වන්නේ මෙම ද්විත්වවාදය ‘සංකේතනය’ සහ ‘පරිකල්පනය’ අතර ප්‍රතිපක්ෂයක කොන්දේසීන් තුළ මිස විවිධ ආකාරයේ ‘ධාවකයන්’ අතර ප්‍රතිපක්ෂ වීමේ කොන්දේසීන් තුළ නොවේ. මේ අනුව, ලැකාන් සඳහා, සියලුම ‘ධාවක’ ‘ලිංගික ධාවක’ වන අතර, සෑම ‘ධාවකයක්ම’ අධිකතර (අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි), පුනරාවර්තනීය සහ අවසානයේ විනාශකාරී බැවින් සෑම ‘ධාවකයක්ම’ ‘මරණ ධාවකයකි’. ‘ධාවකයන්’ ‘ආශාවට’ සමීපව සම්බන්ධ වේ. ඒ දෙකම මූලාරම්භ වන්නේ ආත්මයේ ක්ෂේත්‍රය තුළය.

එනම්, අප සියල්ල අවදානමට ලක් කිරීමට කැමති යමක් ඇති බව පිළිබඳව සාවදාන වීම තුල එම අතිරික්තය පරමාදර්ශී අත්දැකීම, ජීවන රටාව, සන්තකයේ තබා ගැනීම, “නිදහස”, “උදාරත්වය”, “ගෞරවය”, “කලාව” යනාදී ලෙස හැඳින් විය හැකිය (අවතැන් වූ, නන්නත්තාර ආත්මීයත්වයේ ආකාරය). ඒවා උදාකොට ගත හැකි, සාක්ෂාත් කොටගත හැකි මාර්ගය ඍජුවම පවතින්නේ අධ්‍යාපනය, වෙළඳ පොලට ඇතුල් වීම, භාණ්ඩ සහ සේවා පාරිභෝජනවාදය තුල වැනි ආකාර ලෙසයි. ඇත්තටම ජීවත් වෙනවා යනුවෙන් දැනෙනුයේ අප වැඩියෙන්ම හිතන දේ වෙනුවෙන් එකී මාර්ගයන් ඔස්සේ ජීවිතයම නැති කර ගැනීමේ අවදානමක් ගැනීම සඳහා අප සූදානම් වූ විට නොවේ ද? ධනවාදය ක්‍රියාත්මක වන අකාරය එසේය. ආර්ථික විද්‍යාවේ මාවත එයයි.  

මිනිසුන් මාරාන්තික ලෙස, සැම විටම තම ආශාව (මේ මොහොතේ සංතෘෂ්ටිය) පවා දෙමින් වඩාත් අධිකතර සංතෘෂ්ටියක් වෙනුවෙන් මාරාන්තිකව ධාවනය වන්නේ (අනතුරු වලට ලක් වීමේ සම්භාවිතාවය තුල, රෝගාතුර වීම නොසලකමින්, අනෙකා සමග ගැටුම්කරීත්වයකින්, දිවි පරදුවට තබමින්…) එබැවිනි. ධනවාදයේ ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වයට පදනම් දමන සැබවින්ම පවතින මිනිස් ජීවිතය තීරණය වන්නේ ඒ තුලිනි. ඒ අනුව මරණය යනු හුදෙක් අවලංගු කිරීමක් ලෙස වන ප්‍රවර්ගයක් නොවන අතර ‘පැවැත්මෙන්’ (‘existence’) හෝ ජීව විද්‍යාත්මක ජීවිතයෙන් ඔබ්බට පවතින ආත්මීයත්වයේ (අමරණීය) මානය සලකුණු වීම තුල වන්නේ එසේය.

මේ ආකාරයෙන්, ධාවකය කිසි යම් “අතිරික්ත වස්තු” [පරමාදර්ශී අත්දැකීම (නාසා විද්යාඥයා, මහාචාර්ය, වෛද්‍ය, ඉංජිනේරු…) ජීවන රටාව, සන්තකයේ තබා ගැනීම යනාදිය] සමඟ සම්බන්ධ වන විට ඊට අදාළ ක්‍රියාකාරීත්වය උපරිමයෙන් සහතික කිරීම, ඉදිරියට වර්ධනය කිරීම, සමස්ත සමාජයම අනාගත පරිපූර්ණත්වයක් වෙනුවෙන් බලාපොරොත්තු සහගත වීම සහ ක්‍රියා කිරීම (ඒ තුල සැමවිටම වර්තමාන ‘මිනිසා’ ඉතාම අවාසනාවන්ත වන අතර පරිපූර්ණත්වය සැම විටම අනාගතයේ ඇති බවක් හැඟවුම් කෙරේ), පවත්වා ගැනීම සහ ඒ සඳහා වන මිනිසුන් නිෂ්පාදනය තුල මිනිස් තත්වය සලකුණු වේ [‘ආශාවේ වස්තු හේතුව’ (objets petit a) අවම වශයෙන්, අර්ධ වශයෙන් වන හෝ සම්පූර්ණයෙන් සපුරාලීම පිළිබඳව පොරොන්දුව දරන නමුත් එය කිසිවිටෙක සම්පූර්ණයෙන් එය එක් වරක් වත් සහ සෑම ආකාරයකින්ම ලබා දිය නොහැක. ආශාවේ වස්තු හේතුව (objets petit a) ස්ථීර විස්ථාපනයක පවතින අතර සෑම විටම වෙනත් තැනක පවතී].

ව්‍යවසායන් තමන්ගේ වීම තුල, තමන්ගේ ආශාව කරා යන ධාවනය තුල අලස, අතපසුවීම්, වැරදීම් වලට ඉඩ නොතබමින් අදාළ කාර්යයන් සිදු වන්නේ ඉහත විස්තර කරන ලද තත්වය තුලය. එවිට එවැනි පුද්ගලික ව්‍යවසායක හිමිකරුවා එක් අයෙකු නොවිය හැක. එසේම හිමිකරුවෙකු සොයා ගැනීමට නොහැකි පාර-ජාතික සමාගම් විය හැකිය. ඒ කෙසේ වෙතත් ඒ සමාගම් වල වැඩකරන පහල සේවකයා දක්වා අදාළ ව්‍යවසාය තමන්ගේ යයි හැඟෙන්නේ ව්‍යවසාය ලාභ ලබනවා නම් ඒ අයට ද ඒ ලාභයෙන් කොටසක් ලැබෙන ආකාරයේ ආකෘතිය නිසාය. නමුත් ලාභ බෙදීම අනුව පන්ති විෂමතාවයක් පවත්වා ගැනීම අනීවර්යක් වන්නේ එසේ නොවුවහොත් ඉහතින් විස්තර කොට ඇති තත්වය අහිමි වන බැවිනි. උදාහරණයකට අදාළ ආයතනයේ වැසිකිලි පවිත්‍ර කරන්නා සහ ඊළඟ පහල ශ්‍රේණියේ සේවකයා ලෙස සැලකෙන පියන් අතර පරතරයක් තිබේ. ආයතනය ක්‍රියාත්මක වෙන්නේ ඒ දූරවලිය පැවතීම තුලය. නමුත් එය වසා දැමීම සඳහා ව්‍යාජ සමානාත්මතාවයක් ගොඩනගා තිබේ.

ආර්ථික විද්යාඥයින් අති මහත් බහුතරයකට අනුව පැවතිය යුත්තේ පුද්ගලික ව්‍යවසායන් වන අතර රාජ්‍ය විසින් සිදුකල යුතු ප්‍රධානතම කටයුතු කිහිපය වන්නේ, එම පුද්ගලික ව්‍යවසායන් නියාමනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අධ්‍යාපන ප්‍රතිපත්තීන් සකස් කිරීම, ඒ සියල්ලට අවශ්‍ය ආරක්ෂාව තහවරු කිරීම වැනි කටයුතුය. විශේෂයෙන්ම එහිදී අන් සියල්ලට වඩා ප්‍රමුඛව රජයට පැවරෙන ප්‍රධාන කර්තව්‍ය වන්නේ නියාමනය කිරීමයි. එවිට නියාමන ක්ෂේස්ත්‍රය යනු පුද්ගලික ව්‍යවසායන්හි නිෂ්පාදනය සහ කටයුතු සිදු වන ආකාරය, ඒවායේ ගුණාත්මකභාවය, ඒවායේ ප්‍රතිඵල, සමාජය වෙත සිදු වන බලපෑම, පාරිසරික බලපෑම්, තරඟකාරීත්වය නියාමනය වැනි සමස්තය ආවරණය වන අධිකාරිවාදී බලකරයන් සහිත නෛතික බලතල සහිත ක්ෂේස්ත්‍රයකි. අධිකරණ පද්ධතිය, පොලීසිය, හමුදා ඇතුළු රාජ්‍ය පරිපාලන ක්ෂේස්ත්රයන් ද ඊට අයත්ය. එවිට ආර්ථික විද්‍යාවට අදාළ ප්‍රශ්නය වන්නේ ව්‍යවසායන් ක්‍රියාත්මක වන්නේ පුද්ලික අංශයේදී පමණක් වන විට එම පුද්ගලික අංශයන් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද, ප්‍රමිතිය නිවැරදි ද, වැනි සකල කාරනා නියාමනය කරනා රාජ්‍ය අංශය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් පුද්ගල ආශාව පිළිබඳව තර්කනය තුල දී පුද්ගලික අංශය සාර්ථක වන විට එම ආශාව විසින් නීතිය ඇතුළු සියලු ගුනාත්මකභාවයන්, මානුෂීය තත්වයන් උල්ලංඝනය කිරීම අනීවර්යතාවයක් වන විට ඒවායේ නීතිමය සීමාවන් පවත්වා ගැනීම සහා නියාමනය භාර වන්නේ රාජ්‍ය අංශයටය. එනම්, නියාමනයට සහ නීති ක්‍රියාත්මක කිරීමට සිටිනුයේ ආශාව පිළිබඳව තර්කනය තුල ක්‍රියාත්මක නොවන රාජ්‍ය අංශයයි. එවිට මෙය පැහැදිලි විරුද්ධාභාශයකි. සමනය කල නොහැකි විරුධාභාශයකි. ඒ අනුව අප පවසන්නේ ලාභය උපරිම කර ගැනීමේ, පාඩු නොලබා සිටීමේ, ප්‍රාග්ධන තර්කනය තුලම නියාමනයන් ඇතුළු සියල්ල තීරණය වන බවය.

සියල්ලට වඩා සැලකිය යුතු ප්‍රධාන කාරණය වන්නේ දැනට පවතින තත්වයෙන් ද එපිටට ගොස් මිනිස් සබඳතා ඇතුළු සියලු සබඳකම් වාණිජකරණය වීමයි. එනම් මනුෂ්‍ය සම්බන්ධය යනු තනිකරම පරිපූර්ණ ලෙසම වටිනාකම් අතර ගනුදෙනුවක් පමණක් බවට පත්වීමට නියමිත වීමයි. වෙළඳපොළට සෑම දෙයක්ම අවශෝෂණය කර ගැනීමට හැකියාව ඇති අතර අපගේ ගැඹුරුම සහ සමීප අත්දැකීම් පවා මිලදී ගැනීමට සහ විකිණීමට ඇති භාණ්ඩ බවට පත් වනු ඇත. නව ලිබරල්වාදය යටතේ, අපි සියල්ලෝම ආර්ථික ක්‍රියාකාරීන් පමණක් බවට ඌනනය වීමට නියමිතය (දැනට ඇති තත්වයට පසු කර පරිපූර්ණ වශයෙන්ම) එහිදී අපගේ පුද්ගලික වටිනාකම සම්පූර්ණ වශයෙන්ම තීරණය වන්නේ අපගේ ආර්ථික වටිනාකම මතය. මිනිස් සබඳතාවල වෙළඳ භාණ්ඩකරණය අපව ඌනනය කරනු ලබන්නේ අපගේම ප්‍රතිලාභය සඳහා සූරාකෑමට ලක්වීම සඳහා වන හුදු වස්තූන් බවටය. ඒ අනුව අපගේ අන්තර්ක්‍රියා වල සත්‍යවත්භාවය සහ හැඟීම්මය (emotional) ගැඹුර නැති වීමට එම තත්වය තුඩු දෙයි. මිනිස් සබඳතා වෙළඳ භාණ්ඩකරණය කිරීම මතුපිටින් දිවෙන හා නොගැඹුරු විචක්ෂනශීලීත්වයක් සහිත කිසිවකට සාවධාන නොවන මිනිසුන් නිර්මාණය කරන අතර එහිදී පුද්ගලයන් අන් අය සමඟ අව්‍යාජ සම්බන්ධතා ඇති කර ගැනීමට වඩා තමන් ගැන ප්‍රතිරූපයක් පවත්වා ගැනීමට උත්සාහ කරයි. වෙලඳපොල ලිබරල්වාදයේ අවසාන උත්ප්‍රාසය නම්, එය සියළුම සමාජ අන්තර්ක්‍රියා වෙළඳපල හුවමාරු මට්ටමට ඌනනය කිරීමෙන් ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී පර්යායේ අත්තිවාරම් වලටම වල කැපීමයි. ඒ අනුව Neuralink වැනි තත්වයන් අවශ්‍ය වන්නේ එම අර්බුධය විසඳීම සඳහාය.

ඒ අනුව ධනේශ්වර වෙළඳපොලකරණයට අප එරෙහි වන්නේ එම ස්ථානයෙනි. නමුත් දක්ෂිනාංශික බලවේග ධනේශ්වර වෙළඳපොලකරණයට පක්ෂපාත වන්නේත් වාමාංශික බලවේග ඊට එරෙහි වන්නේත් ‘ජනාතාවට’ සෙත සැලසීම සඳහා වන ආර්තිකවාදයේ ස්ථානයෙනි. එනම්, ‘ජනතාව’ දුකින් මුදුවාගෙන වඩා උසස් ජීවන තත්වයක් ලබා දෙමින් සුඛිත මුදිත කිරීම සඳහා මාවත වන්නේ සියලු ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීම බව දක්ෂිනාංශික බලවේග විසින් පවසන විට වාමාංශික බලවේග විසින් පවසනුයේ ජාතික දේපොළ, ජාතික සම්පත්, කුණු කොල්ලයට විකුණා දැමීමට ඔවුන් එරෙහි බවය. එසේම වඩා සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන යා හැක්කේ රාජ්‍ය අංශය තුලින් බව ආර්ථික විද්‍යාත්මකව තර්ක කොට පෙන්වා දීමට උත්සාහ කරයි. එනම් ඔවුන් දෙපාර්ශවයම එකම වෙළඳපොල වෙනුවෙන් දෙයාකාරයකට පෙනී සිටීමකි.

 

@Spartacus.lk

නවතම ලිපි