SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යම් දේශපාලන ස්ථාවරයක සිට දේශපාලනයේ යෙදෙන කෙනෙකු තමන් ලෝකය දකින ආකාරය (ලෝක දැක්ම), එනම් තමන්ගේ දාර්ශනික ස්ථාවරය, තමන්ගේ දේශපාලන ස්ථාවරය (දෘෂ්ටිවාදී),

කෙටියෙන් පවසන්නේ නම් තමන්ගේ "වාදය" වෙනස්කොට ගෙන ස්වයං විවේචනයක් සිදු කොට පවතින වෙනත් දෘෂ්ටිවාදයක් වැළඳගෙන නැවතත් වෙනත් දේශපාලනයක නිරත විය හැකිය.

ඒ සඳහා පැහැදිලි වර්තමාන උදාහරණයක් වන්නේ ජවිපෙ සහ පෙසප සිට UNPයට හෙයියන්මාරු වූ වරුණ රාජපක්ෂයි. ඔහු පවසන ආකාරයට ඔහු දැන් ශුද්ධ ලිබරල්වාදියෙකි. ඔහු ලිබරල්වාදය වෙත සංක්‍රමණය වී ඇත්තේ මාක්ස්-ලෙනින්වාදයේ සිටය.

වරුණ සමග ජවිපෙ සහ පෙසප සිටි සමාන්තර සගයා වන පුබුදු ජයගොඩ තවමත් ශුද්ධ මාක්ස්-ලෙනින්වාදියෙකි. ඔහු මාක්ස්, එංගල්ස්, ලෙනින් පරිපූර්ණ සහ අශුද්ධ ශාස්තෘවරුන් සේ තවමත් සලකයි. නමුත් වරුණ තම පූර්ව ස්ථාවරය ප්‍රතික්ෂේප කරමින් ලිබරල් ශාස්තෘන් එසේ බව දැන් සලකයි (වරුණ විසින් තම ආගම වෙනස්කොට ගෙන ඇත).

වරුණ එක් දෘෂ්ටිවාදයකින් තවත් දෘෂ්ටිවාදයකට ගමන්කොට තමන්ගේ පූර්ව දෘෂ්ටිවාදී ස්ථාවරය වැරදි බව දැන් පවසයි. එනම් තම පූර්ව ලෝක දැක්ම (සෑම විටම දර්ශනයක් යනු ලෝක දැක්මකි) වැරදි බව පිළිගෙන නව ලෝක දැක්මකට (දර්ශනයකට) මාරු වී ඇත. දැන් ප්‍රශ්නය වන්නේ වරුණගේ වර්තමාන ලෝක දැක්ම නිවැරදි බව ඔහු දන්නේ (තමන් හටම තහවුරුකොට ගන්නේ) කෙසේද යන්නයි. එසේ නොමැති නම් එය වරුණ වෙත තහවරු කොට දෙන්නේ කවුද යන්නයි (වරුණට අදාළ මහා අනෙකා කවුද යන්න).

එහි දිගට නොගොස් ප්‍රශ්නය නැවතත් වෙනත් අකාරයකින් නැගිය හැකිය. එනම් ඕනෑම අයෙකුට තම පූර්ව දෘෂ්ටිවාදය (ලෝක දැක්ම, එසේ නොමැති නම් දර්ශනය, නැතිනම් තම ආගම) ප්‍රතික්ෂේපකොට, එය වැරදි බව පිළිගනිමින් වෙනත් දෘෂ්ටිවාදයකට (ආගමකට) මාරුවිය හැකිය.

 

chapika madawa

වරුණ මාක්ස්-ලේනින්වාදයේ සිට ලිබරල්වාදයට මාරුවූවාක් මෙන් නැවතත් ලිබරල්වාදයේ සිට වෙනත්වාදයකට ද මාරුවිය හැකිය (එසේ වූ අය ලොව ඔනෑ තරම් ඇත). උදාහරණය වන වරුණට අදාලව පවසන්නේ නම් එවිට තම ලිබරල්වාදී ස්ථාවරය සහ ඊටත් පෙර සිටි මාක්ස්-ලෙනින්වාදී ස්ථාවරය ද වැරදි බව ඔහුට පැවසිය හැකිය.

තමන්හට විද්‍යාව විසින් පවසන දේ, විද්‍යාවේ හාස්කම් සහ කීර්තිය පිළිබඳව ඇසෙන, දකින තාක් දුරට, පොත් පත් කියවිය හැකි, ජන මාධ්‍ය ඇසුරු කල හැකි, තාක් දුරට ඕනෑම අයෙකුගේ තම දෘෂ්ටිවාදී ස්ථාවරයන් වෙනස්විය හැකිය. ඒ අනුව එහි කෙළවරක් තිබිය හැක්කේ ආයු කාලය පිළිබඳව ප්‍රශ්නය තුල පමණි. එවිට දේශපාලනය යනු එවැනි දෘෂ්ටිවාදී ස්ථාවරයන් අතර තරඟයක්ද (ලිබරල්වාදයට අනුව එය එවැනි තරඟයක් සහ ඕනෑම දෘෂ්ටිවාදයකට තරඟ කිරීමේ නිදහස ඇතිබව සහ තරඟ කිරීමේ සමාන අවස්ථා තිබිය යුතු බව එය පිළිගනී)? එවැනි තරඟයක් නම් නිවැරදි දෘෂ්ටිවාදය තේරීපත්විය යුත්තේ ඒවා අතර යම් ජයග්‍රහණයක් තුලින්ද? එසේ නම් ජයග්‍රාහි නිවැරදි දෘෂ්ටිවාදය තෝරන්නේ කවුද?

ඉහත ප්‍රශ්න වලට කිසිවෙකුට පිළිතුරු දිය හැකි නම් අප ස්ථානගතවන විමුක්ති දේශපාලන ස්ථාවරය තවදුරටත් වලංගු නොවේ. ඒ අර්ථයෙන් නිර්මාල් දෙවසිරි වැනි අය පිළිගන්නා ස්ථාවරය වන "බටහිර ඉවුරේ දර්ශනය" සඳහා ද මෙම ප්‍රශ්න කිරීම ඉතාම වලංගු වේ.

ඊගෝව තුලින් පැමිණෙන සහ ඊගොව තුලින් භාරගන්නා දර්ශනයන් (වරුණ මාක්ස්-ලේනින්වාදියෙකු වීම සඳහා සහ ඊටත් වැඩියෙන් ලිබරල්වාදියෙකු වීම සඳහා තම අනන්‍යතාවය පිළිබඳව අර්බුධය හේතුභූත වේ. වරුණට පමණක් නොව සියලු දෙනාහට එය පොදුය) පිළිගන්නේ නම් ඕනෑම දෘෂ්ටිවාදයක් ඕනෑම අයෙකුට දරා සිටීමේ අයිතිය ද පිළිගත යුතු සේම, බලය සහ තරඟකාරීත්වය තුලින් එම දෘෂ්ටිවාදයන්ගේ ජයග්‍රහණයේ සුජාතකරණය වීම ද පිළිගත යුතු වේ. නමුත් නැවතත් ජයග්‍රහණයේ කොන්දේසීන් තීරණය කරන මහා අනෙකා කවුද? එසේම එවිට යම් දෘෂ්ටිවාදයක් සුජාතකරණය වීම සහ එහි අධිපත්‍යට ලක්වීම පිළිගත හැක්කේ කෙසේද?

දෘෂ්ටිවාදයක් භාරගන්නේ නම් ඒ තුලින් දිශානත වන්නේ සමාජ ගොඩනැංවීමක් (“සමාජ ගොඩනැංවීම්වාදය”) වෙතටය.

“සමාජ ගොඩනැංවීම්වාදය” අර්ථවත් කළ හැකි වන්නේ ‘යථ’ (The REAL) වෙතට ඇති සම්බන්ධය නියෝජනය කිරීමේ ක්ෂේත්‍රය (යථාර්තය සංස්ථාපනය වී ඇත්තේ සංකේතනය මගින් සහ සංකේතනය යනු සත්‍යයේ වේශයෙන් ප්‍රභන්ධය භාරගන්නා ස්ථානයයි) ඇතුලත එහි ප්‍රතිවිපාක දැනෙන්නට වීම තුල පමණි (දෘෂ්ටිවාදයක් පදනම් කරගත් පරිකල්පනීය විකල්ප).

සරලව යථ යනු සංකේතීයකරණයට ප්‍රතිරෝධය වන, සම්පූර්ණයෙන් ග්‍රහණය කර ගැනීමට හෝ භාෂාවෙන් නිරූපණය කළ නොහැකි දේ වේ. අප විසින් එය අවරෝධනය කිරීමට උත්සාහ කරන විට පවා සෑම විටම අපව හොල්මන් කිරීමට නැවත පැමිණෙන යථාර්තයෙහි ක්ෂිතිමය සහගත කර්නලය එයයි.

ඒ අනුව යථ යනු සංකේතවත් කිරීමට හෝ සමාජ පිළිවෙල තුලට ඒකාබද්ධ කිරීමට නොහැකි යථාර්ථයේ ක්ෂිතිමය සහගත කර්නලයයි. එය භාෂාවෙන් හෝ චින්තනයෙන් ග්‍රහණය කර ගැනීමට දරන සියලු උත්සාහයන්ට ප්‍රතිරෝධය දක්වන "අශඛ්‍යයි" ("impossible"). ඒ අනුව යථ යනු "සත්භාවත්මක" හෝ එය මනුෂ්‍ය තත්වයේ සංස්ථාපක වේ. එනම් යථ යනු සංකේතීය රටාවට සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ නොහැකි යථාර්ථයේ ක්ෂිතිමය සහගත කර්නලයයි.

මෙම සන්දර්භය තුළ ප්‍රතීඝතාව යන්නෙන් අදහස් කරන්නේ යථ සහ සංකේතීය රටාව අතර ඇති මූලික ගැටුමයි. සංකේතීය රටාව යනු අපගේ සමාජ ලෝකය ව්‍යුහගත කරන අර්ථ සහ සංඥාකරණීය පද්ධතියයි. අප අවට ලෝකය තේරුම් ගැනීමට සහ සම්බන්ධ වීමට අපට මාර්ගයක් ලබා දෙන්නේ භාෂාව, නීති සහ සිරිත් විරිත් ජාලයයි. සමාජ ගැටුම් මතුකරනු ලබන්නේ, එනම් සමාජ ගැටුම් සඳහා උත්පාදනය ලබා දෙනුයේ යථ සහ සංකේත රටාව අතර මෙම මූලික ප්‍රතීඝතාවයයි. සංකේතීය රටාව උත්සාහ කරන්නේ යථ වසන් කිරීමට, එය අවරෝධනය කිරීමට සහ අතුරුදහන් කිරීමටය. ‍

කෙසේ වෙතත්, යථ සෑම විටම සමාජ ගැටුම්, දේශපාලන කැලඹීම් සහ වෙනත් ආකාරයේ කඩාකප්පල් කිරීමේ ස්වරූපයෙන් සංකේත රටාව හොල්මන් කිරීමට නැවත පැමිණේ. ඒ යථ යනු හුදෙක් නොසලකා හැරිය හැකි හෝ මර්දනය කළ හැකි දෙයක් නොවන බැවිනි. ඒ තුලින් සංකේත රටාව කඩාකප්පල් කරන අතර එහි ආවේනික ප්‍රතිවිරෝධතා හෙළිකරයි. ඒ සෑම විටම යථාර්ථය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා රාමුවක් සපයමින් සංකේත රටාව තුලින් සමාජ පර්යාය යථ වසන් කිරීමට උත්සාහ කරයි. මෙම සංකේත රටාව නිර්මාණය වන්නේ දෘෂ්ටිවාද, මිථ්‍යාවන් සහ සමාජ ප්‍රතිමාන වලින් වන අතර එමඟින් අපට ලෝකය සහ එහි අපගේ ස්ථානය අවබෝධ කර ගැනීමේ මාර්ගයක් සපයයි.

යථ සමඟ ගැටුම අවදානම් ව්‍යාපාරයක් වන නමුත් එය සැබෑ නිදහස සාක්ෂාත් කර ගැනීමට ඇති එකම මාර්ගය ද වේ. යථට මුහුණ දීමෙන්, අපට සංකේත රටාවේ සංරෝධනයන්ගෙන් නිදහස් විය හැකි අතර විමුක්ති විභවයන් සඳහා නව හැකියාවන් විවෘත කළ හැකිය.

යථ සමඟ ගනුදෙනු කිරීමට ඇති එකම ක්‍රමය එයට මුහුණට මුහුණ දීමයි. මෙයින් අදහස් කරන්නේ යථාර්ථයේ ක්ෂිතිමය සහගත කර්නලය පිළිගැනීම සහ එය වසන් කිරීමට සංකේතාත්මක නියෝගයේ උත්සාහයන් ගැන සෑහීමකට පත්වීම ප්‍රතික්ෂේප කිරීමයි.

ඉහතින් අසන ලද ප්‍රශ්න වලට කෙනෙකුට පිළිතුරු ලබා දිය හැකි නම් අප පිළිගන්නා විමුක්ති දේශපාලනයේ දිශානතිය (විමුක්ති දේශපාලනය ද “සමාජ ගොඩනැංවීමක්” ලෙස කෙනෙකුට අර්ථකථනය කල හැකි බැවින්) අර්ථවත් කළ හැක්කේ එහි ප්‍රතිවිපාක නියෝජන ක්ෂේත්‍රය ඇතුලත දැනෙන ‘යථක්’ සම්බන්ධයෙන් පමණි. සංකේතීය නිෂ්පාදිතයන් තුල ස්ථානගත විය නොහැකි දෙය යනු මූලිකම ප්‍රතීඝතාවයකි. අවතාරමය ඌනපූරණයක වේශයෙන් යථාර්තය හොල්මන් කරන්නට නැවත පැමිණෙන යථෙහි අංගය මෙයයි. විමුක්ති දේශපාලනය තුලින් ද සිදුවන්නේ “සමාජ ගොඩනැංවීමක්” නම් (කෙනෙකු එසේ තර්ක කරන්නේ නම්) එය අර්ථවත් කළ හැක්කේ එහි ප්‍රතිවිපාක නියෝජන ක්ෂේත්‍රය ඇතුලත දැනෙන යථක් සම්බන්ධයෙන් පමණක් වන්නේ එබැවිනි.

ඒ අනුව පැවසිය හැක්කේ විමුක්ති දේශපාලනය පිළිගන්න අයෙකු හට "දැන් මම ඉන්නේ ඉස්සර කලින් මම සිටි 'වාදයේ' (මාක්ස්-ලෙනින්න්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, ජාතිකවාදය, ෆැසිස්ට්වාදය... ලෙස තවත් ඕනෑ තරම් 'වාදයන්' පැවතිය හැකිය) නොවේ... මට දැන් ලෝකය හරියටම වැටහේ... මම දැන් ඒ 'වාදයට' අදාළ මාගේ පූර්ව දේශපාලන ස්ථාවරය ප්‍රතික්ෂේප කරමි... මට ඒ ගැන ඇත්තේ ස්වයං විවේචනයකි... මම දැන් පරිනත බැවින් මම මගේ පූර්ව ලාදුරු වලිප්පු වලින් ගැලවී සත්‍ය අවබෝධ කොට ගෙන ඇත... ඒ මම ලෝකය පිළිබඳව දැනුම වැඩි කොටගත් නිසාය (මම මත තීරණය වන දේශපාලනය)... වැනි ලෙස පැවසිය නොහැකි බවයි. එනම් විමුක්ති දේශපාලන ආස්ථානය යනු දෘෂ්ටිවාදී ගූඩකරණය විසින් ගිල ගන්නා ආස්ථානයක් නොවේ. විමුක්ති දේශපාලනය ස්ථානගත විය යුත්තේ යථෙහි ප්‍රතීඝතා තුල බැවින් ආගමකින් තවත් ආගමකට මාරුවීමේ හැකියාවක් එය තුල නොමැත (වරුණ මාක්ස්-ලේනින්වාදියෙකුව සිට ලිබරල්වාදියෙකු වීම වැනි ලෙස). එසේම එය 'ස්වාමි කතිකාවක්' ද නිර්මාණය නොකරයි.

බුද්ධිමය සංවාදය අවශ්‍ය වන්නේ තමන්ගේ ආගම් පිළිබඳව සංවාද කිරීම සඳහාය. ඒ තුලින් යම් ප්‍රතිපලයක් වේ නම් සිදුවන්නේ ද තම තමන්ගේ ආගම් මාරු කොට ගැනීමට හැකි වීමයි. නිර්මාල් දේවසිරි වැන්නෙක් පරිනත වන විට ආගම් කිහිපයක සුසංයෝගී නිෂ්පාදනයක් වී ඇත්තේ ද එබැවිනි.

අප පෙලන, දේශපාලනයේදී අපට අදාළ ස්ථානය, එනම් ප්‍රශ්නය වන්නේ අපගේ ජීවිත වලට අදාළ සියල්ල තීරණය කරනා අධිකාරීත්ව දූරාවලියක් පැවතීමයි. එබැවින් ඇත්තේ මාවත් දෙකක් පමණි. එනම් එසේ පැවතීම පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. ඒ අතර මැද ආස්ථානයන් තිබිය නොහැකිය. තිබේ නම් ඒවා දෘෂ්ටිවාදීය. අධිකාරීත්ව දූරවලියේ පැවැත්ම පිළිගන්නේ (උදාහරණයකට චම්පික රණවකගේ ජනරජ පෙරමුණ විසින් දැන් ඍජුවම පවසා සිටින්නේ තම පක්ෂය ඍජුවම ප්‍රභූ ආධිපත්‍ය පිළිගන්න බවත් සමාජය සෑම විටම පැවතිය යුත්තේ ප්‍රභූවරයෙකුගේ ආධිපත්‍ය තුල බවත්ය). නම් රෝග ලක්ෂණ ලෙසින් ඉස්මතුවන 'යථ' නියෝජනය කිරීමේ ක්ෂේත්‍රය ඇතුලත එහි ප්‍රතිවිපාක දැනෙන්නට වීම තුල විවිධ දෘෂ්ටිවාදයන් වැළඳගනිමින් (තම ස්ථාවරයන් වෙනස් කොට ගනිමින්) සමාජ ගොඩනැංවීම්වාදයන් වැළඳගත හැකිය.

ඒ සඳහා බුද්ධිමය සංවාද පැවැත්විය හැකිය. "බටහිර ඉවුරේ දර්ශනය", "සින්දු කියන අරගල", සුනිල් විජේසිරිවර්ධන, විජයානන්ද ජයවීර වැනි ශාස්තෘවරුන්ගේ ධර්ම දේශනා, වැනි අතොරක් නැති බුද්ධි පාචන ක්‍රියාකාරකම් වල යෙදිය හැකිය. එවිට එවැනි ඕනෑම අයෙකුට ෆැසිස්ට්වාදය, තලෙයිබාන්වාදය වැනි 'වාදයන්' ප්‍රතික්ෂේප කල හැක්කේ ඒවා "හොඳ" බුද්ධිමය, මානුෂීය වාදයන් නොවන බව පවසමින් පමණි. එසේම ෆැසිස්ට්වාදය, තලෙයිබාන්වාදය වැනි තත්වයන් ඇති වන්නේ බුද්ධිමය සංවාදය නොමැති නිසා බව ද ඔවුනට පැවසිය හැකිය. ඒ අර්ථයෙන් පාඨලී චම්පික රණවකගේ එක්සත් ජනරජ පෙරමුණ විසින් දරනා ස්ථාවරයට ද වාමාංශික බුද්ධිමය සංවාදකරුවන්ට එකඟ විය හැකිය.

@ ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි