නූතන චීනයේ පියා ලෙසින් හඳුන්වන මාඕ සේතුංගේ 131 වැනි ජන්ම සංවත්සරයේදී
එනම් දෙසැම්බර් 26 වැනිදා චීන රජය සිය උපායමාර්ගික අභිලාෂයන් අවධාරණය කරමින් නිවේදන දෙකක් නිකුත් කර තිබිණි.
එහි පළමු නිවේදනය හරහා හයවන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය එළිදක්වන ලද අතර, චීනයේ හමුදාමය හැකියාවන් සහ ගුවන් ආධිපත්‍යය පිළිබඳ දැවැන්ත පිම්ම ලෝකයට හඳුන්වා දී තිබේ.
දෙවනුව, ඉන්දීය දේශසීමාව ආසන්නයේ බ්‍රහ්මපුත්‍ර නදියේ ඩොලර් බිලියන 137ක වේල්ලක් ඉදිකිරීමේ සැලසුම් චීනය නිවේදනය කළේය.
ලෝකයේ විශාලතම වේල්ල ලෙස හඳුන්වනු ලබන වේල්ල, ඉන්දියාවට බරපතළ ජල ආරක්ෂණ ගැටලු මතු කරන බව රහසක් නොවේ. මෙය ලෝකයේ වැඩියෙන්ම මුදලක් වැය කර ඉදිකරන යටිතල පහසුකම් වැඩසටහන වේ.
මෙම ජල විදුලි ව්‍යාපෘතිය බ්‍රහ්මපුත්‍ර ගඟ සඳහා ටිබෙට් නාමය වන යාර්ලුං සැන්ග්බෝ ගංගාවේ පහළ ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතය. එසේනම් චීනය හරස් කරන්නේ බ්‍රහ්මපුත්‍ර ගංගාවයි. බංග්ලාදේශයේදී මේ නදිය ජමුනා ලෙස හැඳින්වේ. මෙය චීනය, ඉන්දියාව හා බංගලිදේශය හරහා ගලා යයි. නමුත් දැන් චීනය බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ආධිපත්‍ය ගැනීමට සැරසේ. මේ බැම්ම ගැන ඉන්දියාව සතුටු නොවන නමුත් කරන්නට දෙයක් නැත. යාර්ලන්ග් සංග්පෝ ගඟේ පහළ ප්‍රදේශයේ ඉදිවෙන මෙම වේල්ල මගින් දැනට ලොව විශාලතම ජලවිදුලි බලාගාරය වන ත්‍රී ගොර්ජස් (Three Gorges) වේල්ලට වඩා තුන් ගුණයක බලශක්තියක් උත්පාදනය කළ හැකියි. මෙම වේල්ල ඉදිකිරීම – 2020 අගභාගයේදී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කර තිබිණි. යාර්ලන්ග් සංග්පෝ වේල්ල සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන බලධාරීන් අවධාරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතියෙන් විශාල පාරිසරික බලපෑමක් ඇති නොකරන බවයි. නමුත් එමගින් කොපමණ පිරිසක් අවතැන් වන්නේ දැයි, ඔවුන් සඳහන් කර නැත.
ත්‍රී ගෝර්ජස් ජල විදුලි වේල්ල ඉදිකිරීමේදී මිලියන 1.4 ක ජනතාවක් නැවත පදිංචි කිරීමට අවශ්‍ය විය. චීනයේ පවර් කන්ස්ට්‍රක්ෂන් කෝපරේෂන් විසින් සපයන ලද 2020 ඇස්තමේන්තුවට අනුව මේ වේල්ලෙන් වාර්ෂිකව කිලෝවොට් පැය බිලියන 300 ක විදුලිය නිපදවිය හැකිය. ඔස්ට්‍රේලියාව පදනම් කරගත් විශේෂඥයින්ගෙන් සමන්විත වන ලෝවි ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 වාර්තාවක් සඳහන් කළේ, ටිබෙට් සානුවේ යාර්ලන්ග් සංග්පෝ ගඟ පාලනය කිරීම තුළින් චීනයට ඉන්දියාවේ ආර්ථිකයට බාධාවක් එල්ල කිරීමට ඉඩ ලබාදෙන බවයි. චීන රාජ්‍ය මාධ්‍ය මෙම සංවර්ධනය “පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ආරක්ෂිත ව්‍යාපෘතියක්” ලෙස විස්තර කර ඇති අතර, එය දේශීය සමෘද්ධිය ඉහළ නංවන බවත් චීනයේ දේශගුණික මධ්‍යස්ථතා ඉලක්කවලට දායක වනු ඇතැයි ද පවසයි. මෙම ජල විදුලි ව්‍යාපෘතිය, චීනය ප්‍රකාශ කළ පරිදි, අඩු කාබන් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් හරිත ව්‍යාපෘතියකි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස බ්‍රහ්මපුත්‍ර ගඟේ බලය ප්‍රයෝජනයට ගැනීමේ උත්සාහයක් ලෙස චීනය පසුගිය දශකය පුරා මේ ගංගා ධාරයේ ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර ඇත. පෘථිවියේ ගැඹුරුම මිටියාවත හරහා ගලා යන ගංගාවේ එක් කොටසක් කිලෝමීටර් 50ක දුරක් තුළ මීටර් 2000ක් පහළට ඇද වැටෙන අතර එමඟින් ජල විදුලිය නිපදවීමට විශාල විභවයක් ලබාදෙයි. චීන රජය පසුගියදා ටිබෙටයේ බ්‍රහ්මපුත්‍ර ගඟේ ලොව විශාලතම වේල්ල ඉදිකිරීම අනුමත කිරීමට ගත් තීරණය තවදුරටත් පැහැදිලි කරමින් අනෙකුත් රාජ්‍ය වල ජල විදුලිය සංවර්ධනයට හා අනෙකුත් ව්‍යාපෘති වලට අහිතකර ලෙස බලපාන්නේ නැති බව පවසා තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පැවසුවේ මෙම ව්‍යාපෘතිය පිරිසිදු බලශක්තිය සංවර්ධනය වේගවත් කිරීම සහ දේශගුණික විපර්යාස සහ ආන්තික ජල විපත්වලට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරගත් එකක් බවයි.” අපේ ගංගා සංවර්ධනය සඳහා චීනය සැමවිටම වගකිව යුතු ය. යාර්ලුං සැන්ග්බෝ ගඟේ පහළ ප්‍රදේශවල චීනයේ ජල විදුලි සංවර්ධනය පිරිසිදු බලශක්තිය වේගවත් කිරීම සහ දේශගුණික විපර්යාස සහ ආන්තික ජල විද්‍යාත්මක ව්‍යසනවලට ප්‍රතිචාර දැක්වීම අරමුණු කරයි. එහි ජල විදුලි සංවර්ධනය දශක ගණනාවක් තිස්සේ ගැඹුරින් අධ්‍යයනය කර ඇති අතර, ව්‍යාපෘතියේ ආරක්ෂාව සහ පාරිසරික ආරක්ෂාව සඳහා ආරක්ෂක පියවර ගෙන ඇත,” නින්ග් සඳහන් කර තිබේ.
(යාර්ලන්ග් සංග්පෝ මිටියාවත, යාර්ලන්ග් සැන්ග්බෝ මිටියාවත ලෙසද හැඳින්වේ, එය ලෝකයේ ගැඹුරුම ස්ථානයයි)
ටිබෙටයේ අගනුවර වන ලාසා, ඉන්දීය ඇසෑමයේ අගනුවර වන ගුවාටි සහ බංග්ලාදේශයේ අගනුවර වන ධකා ආසන්නයෙන් මෙම නදිය ගලායයි. රටවල් තුනක ජන ජීවිතයට වැදගත් වූ මෙම බ්‍රහ්මපුත්‍ර නදියෙන් පෝෂණය වන ජනතාව මිලියන 300කට වඩා අධිකය.
ඉන්දියාවේ විශාලතම නදිය ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ ගංගා නම් නදිය යි. එහෙත් ඉන්දියාව හරහා ගලා යන බ්‍රහ්මපුත්‍ර නදිය ගංගා නම් ගඟට වඩා විශාලය. දිගින් වැඩිය. බ්‍රහ්මපුත්‍ර රැගෙන යන ජල කඳ ගංගා නම් ගඟට වඩා වැඩිය. රටවල් 3ක් හරහා කිලෝමීටර 2900ක් ගෙවා බංග්ලාදේශයෙන් මුහුදට ඇදෙන බ්‍රහ්මපුත්‍ර නදිය හරස් කිරීම දිල්ලි ආණ්ඩුව සතුටු කරන්නේ නම් නැත.
මුහුදු මට්ටම අනුව ඉහළම ස්ථානයකින් ආරම්භ වන මහා නදී අතර අග්‍රස්ථානය හිමිවන්නේ මෙම යාර්ලුං/බ්‍රහ්මපුත්‍ර නදියටයි. ආරම්භක අවස්ථාවේදී මෙම නදිය කිලෝමීටර සිය ගණනක් ඇදෙන්නේ මීටර 4000කටත් වඩා මුහුදු මට්ටමේ සිට උසවූ ග්ලැසියර කඳු අතරිනි. අන්ගාසි නම් වූ ග්ලැසියරය මූලික වූ ග්ලැසියර මාලාවකින් මුල් අවස්ථාවේදී යාර්ලුං නදිය පෝෂණය වේ. මෙම යාර්ලුං නදිය ගලන ටිබෙට් සීමාව වූ කලී දකුණු ආසියානු මෝසම් වර්ෂාවට පිටුපා පිහිටි හිමාල සීමාවයි. එවිට එම පළාත්වලට මෝසම් වැසි වැටෙන්නේ අඩුවෙනි. එබැවින් ග්ලැසියර හිම මතින් ඇරඹෙන නදිය බොහෝ දුරක් ශීතල කාන්තාර පළාත් පසුකර ඉදිරියටම ඇදෙන්නීය. එය නම් ලස්සන කතාවකි.
ඉන්දියාව එරට දිගම පාලම ඉදිකරනු ලැබ තිබෙන්නේ ඇසෑමය සහ අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තය යා කරමිනි. ඒ බ්‍රහ්මපුත්‍ර ගංගාව උඩිනි. මෙය 2017 දී නරේන්ද්‍ර මෝදී අතින් විවෘත කරනු ලැබුණි. නව පාලම ඊශාන දිග ඉන්දියාවට මහා පරිමාණයේ සංවර්ධනය දායාද කෙරෙන දොරටුවක් වනු ඇතැයි අගමැතිවරයා පාලම විවෘත කරමින් සඳහන් කර තිබිණි. මෙහි තවත් වාසියක් වන්නේ හදිසි අවස්ථාවක දී ඉන්දීය හමුදාවට කඩිනමින් චීන දේශසීමාව කරා ළඟා වීමට හැකිවීමයි. මේ පාලම කිලෝමීටර් නවයක් දික්වේ. අරුනාචල් ප්‍රදේශ් දකුණු ටිබටය යනුවෙන් හඳුන්වන චීනය එය තමන්ට අයත් භූමියක් ලෙස සලකයි. එහෙත් ඉන්දියාව ‘අරුනාචල් ප්‍රදේශ්‘ සඳහා ඇති සිය අයිතිය කිසිදු ලෙසකින් අත්හැර දැමීමට සූදානම් නැත. මේ පාලම නම් කරනු ලැබ තිබෙන්නේ මේ ප්‍රදේශයේ ජනප්‍රිය ගායකයකු වූ ‘භුපෙන් හෂරිකා’ගේ නමිනි.
වියට්නාමය සහ ඉන්දියාව චෝදනා කරන්නේ දේශපාලන බලපෑම් සඳහා චීනය සිය ජල සම්පත් උපයෝගී කර ගන්නා බවයි. චීනය මීකොං ගඟේ වේලි ඉදිකිරීමේ අරමුණ වියට්නාමයෙන් ජලය ඉවතට හරවා යැවීමට වියට්නාමය චෝදනා කරන අතර ඉන්දියාව බ්‍රහ්මපුත්‍ර ගඟේ වේලි ඉදිකරමින් ඉන්දියාවට ජලය ගලායෑම අඩු කරන බවට ඉන්දියාව චෝදනා කරයි.
නමුත් මේ චෝදනා චීනය පිළිගන්නේ නැත. මෙම නව ඉදිකිරීම බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ගලා බසින කලාපයේ ඇති භූ විෂමතාව මෙන්ම ඉංජිනේරු අභියෝග මතු කරන අතර එය චීනයේ විශාලතම සහ වඩාත්ම අභිලාෂකාමී වැඩසටහනක් වන බව නම් සහතිකය. ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය භූමිකම්පා ඇති වන භූගෝලීය තැටි මායිමක් ආසන්නයේ පිහිටා ඇත. එවැනි පුළුල් කැණීම් සහ කඳු බෑවුම් සහිත පටු දුර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් නායයෑම් වාර ගණන වැඩිවනු ඇතැයි චීන පර්යේෂකයන් මීට පෙර මතු කර තිබිණි. 2020 දී යාර්ලන්ග් සංග්පෝ වේල්ල ව්‍යාපෘතිය සඳහා චීනය සිය සැලසුම් ප්‍රකාශයට පත් කිරීමෙන් ටික කලකට පසු, ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “චීන වේලි ව්‍යාපෘතිවල අහිතකර බලපෑම අවම කිරීම සඳහා” විශාල ජල විදුලි වේල්ලක් සහ ජලාශයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ගවේෂණය කරමින් සිටින බවයි.
විවාදයට තුඩු දී ඇති මීකොං ගංගාව, “ජලයේ මව” ලෙස ද හැඳින්වේ, චීනය, මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය සහ වියට්නාමය හරහා ගමන් කරන ලොව දිගම සහ විශාලතම ගංගාවලින් එකකි. එය ශාක හා සත්ත්ව විශේෂ දහස් ගණනකට නිවහනක් වන අතර මිලියන 60 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය සපයයි. මීකොං ටිබෙට් සානුවේ ඉහළ සිට දකුණු චීන මුහුද දක්වා ගලා යයි. මීකොං යනු පරිමාව අනුව 12 වන දිගම ගංගාව සහ 10 වන විශාලතම ගංගාවයි. මීකොං ගඟ හරස් කර ඉදිකර ඇති වේලි ප්‍රමාණය හැට ඉක්මවයි.
කවරක් නමුත් මෙම වේල්ල නිසා ඉන්දියාව හා චීනය අතර පවතින අවිශ්වාසය තවදුරටත් වර්ධනය කරන බව නම් පැහැදිලිය. චීනයට තමන්ගේ රටින් පටන් ගන්නා ගංගාව හරස් කිරීමට පූර්ණ අයිතියක් ඇත. බ්‍රහ්මපුත්‍ර ගංගාව ගොබි කාන්තාරය අස්වද්දන්නට යොදා ගැනීමට ද චීනයේ බලාපොරොත්තුවක් ඇත.
“මේ වේල්ල ඉදිකිරීම ඉන්දියාව සහ චීනය අතර විශේෂයෙන්ම ජල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ආතතීන් වැඩි කිරීමට ඉඩ ඇත. චීනයේ උඩුගං ජල සම්පත පාලනය කිරීම පිළිබඳව ඉන්දියාව දැනටමත් කනස්සල්ල පළ කර ඇත.”
චීන විශේෂඥයන් විශ්වාස කරන්නේ අරුනාචල් ප්‍රදේශ්හි සිට කිලෝමීටර 22 ක් දුරින් ලොව විශාලතම වේල්ල ඉදිකිරීම චීනය අනුමත කිරීම ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි පහළ රටවලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවයි. වේල්ල පිහිටි ස්ථානය හිමාලය ප්‍රදේශයේ ඇති විශාල ගිරි දුර්ගයක් වන අතර එහිදී බ්‍රහ්මපුත්‍ර ගංගාව අරුනාචල් හරහා බංගලිදේශයට ගලා බසියි. පරිසරවේදීන් පවසන්නේ ටිබෙට් වේල්ල බ්‍රහ්මපුත්‍ර ගංගාවේ ජල ප්‍රවාහය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට ඉඩ ඇති අතර එය ජලජ පරිසර පද්ධතිවලට බලපාන බවයි.
දැනට වසර 20 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ඉංජිනේරු ආශ්චර්යයක් ලෙස කැපී පෙනේ. යැංසි ගඟේ ඉදිකරන ලද මෙම දැවැන්ත ජල විදුලි ව්‍යාපෘතියට ඔලිම්පික් ප්‍රමාණයේ පිහිනුම් තටාක මිලියන කිහිපයක් පිරවීමට ප්‍රමාණවත් තරම් ජලය ඝන මීටර් බිලියන 40ක් රඳවා ගත හැකිය. එහි විශාලත්වය, පෘථිවියේ භ්‍රමණයේ වේගය අඩු කරන බවට විද්‍යාත්මක පදනමක් නොමැතිව ප්‍රකාශයන්ද සිදු කර තිබිණි. ත්‍රී ගෝර්ජස් වේල්ල ලොව විශාලතම වේල්ල වේ. නමුත් බ්‍රහ්මපුත්‍ර වේල්ල සියල්ල පරාජය කරනු ඇත.
@චතුර පමුණුව
divaina