ජනතා විමුක්ති පෙරමුණ නවීකරණය කළේ අනුරය. 1984 සිට 2024 දක්වාම
සියයට පහෙන් උඩට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් රැගෙන දුන්නේ අනුරය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී ඔහුට එරට රජයෙන් ලැබුණ සුවිශේෂ පිළිගැනීම බොහෝ සේ කතාබහට ලක්ව තිබේ. මෝදි අගමැතිවරයා ඉතාම ළෙන්ගතුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිළිගැනීම ඉන් විශේෂිතය. ඉන්දියාව සහ ලංකාව අතර යෝජනා වී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව දෙරට නායකයන් අතර තවදුරටත් සාකච්ඡා පැවැත්විණි. මෙම සංවර්ධන ව්‍යාපෘති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ගේ පාලන සමයේ සිටම දෙරට අතර සාකච්ඡා කෙරෙමින් පවතින ව්‍යාපෘති වේ. එම සාකච්ඡා යටතේ ආයෝජන කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කිරීම ඉන්දීය රජයේ අරමුණය.
වත්මන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය විශේෂිත වෙන්නේ ඒ නිසා නොවේ. ඉන්දියාව සතුරකු ලෙස සැලකූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයා ලෙස ඔහුට ඉන්දියාව සමග ගනුදෙනු කිරීමට සිදුවී ඇති නිසාය. ‘‘එට්කා’’ වැනි ඉන්දීය වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව දැඩි හඬක් නැගූ පක්ෂ නායකයකු ලෙස වත්මන් ජනාධිපතිවරයාට එම ගිවිසුම්වලට ඍජුව මුහුණ දීමට සිදුවී ඇති නිසාය. ජවිපෙ ආරම්භක නායකයාගේ සමයේ සිට පතුරුවා හැර ඇති ඉන්දීය විරෝධය මිතුරු දමක් ලෙස පරිවර්තනය කිරීමට ඔහුට සිදුවී ඇති නිසාය.
ජනතා විමුක්ති පෙරමුණ නවීකරණය කළේ අනුරයි.
ජනතා විමුක්ති පෙරමුණ නවීකරණය කළේ අනුරය. 1984 සිට 2024 දක්වාම සියයට පහෙන් උඩට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් රැගෙන දුන්නේ අනුරය. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රටේ ජනාධිපතිවරයා බවට පත් කළේ අනුරය.
විජේවීරට බැරිවූ විප්ලවය සැබැවින්ම සිදු කළේ අනුරය. ජවිපෙ ආරම්භක නායක විජේවීර සිය ජීවිතයේ අවසාන සමය ළංවෙමින් තිබියදී එක කොළ කැබැල්ලෙන් රටම අක්‍රීය කළේය. කොළ කැබැල්ලක සටහන් තබන ලද පණිවිඩයක් බෙදා දුන් පමණින් කඩ සාප්පු වැස්සවීමට, ගමනා ගමන සේවා නතර කිරීමට, කාර්යාල හා කර්මාන්ත ශාලාවල වැඩ නතර කිරීමට විජේවීර හැදූ බලවේගයට හැකියාව ලැබී තිබිණි. එම කොළ කැබැල්ල බෙදා දුන් පමණින් ආරංචිය තටු ලබා පියාඹයි. එදා රෑ රටම අඳුරේ තැබිය යුතු යැයි කොළකැබැල්ල තුළ ඇති පණිවිඩයයි. එම පණිවිඩය සෑම ගෙදරකම ක්‍රියාත්මක වෙයි. විදුලිය නිවෙයි. පණිවිඩය නොදුටු අයත් ආරංචිය ආ සැණින් නිවස අඳුරේ තැබෙයි. රටේ සම්පූර්ණ ජන ජීවිතයම පාලනය කරන බලයක් තුන් වසරක් තුළදී ගොඩනඟාගැනීමට විජේවීරට පුළුවන් විය. රටේ ජනතාවගේ වැඩි පිරිසක් පිළිපැද්දේ ජනාධිපතිවරයා හා සන්නද්ධ හමුදා මූලස්ථානයේ අණ නොව දෑසින් නොදුටු ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණදෙන නිලධාරි කීර්ති විජයබාහුගේ අණය. එජාප රජය ජවිපෙ තහනම් කළා සේම ජවිපෙ එජාපය ද තහනම් කළේය. එහි නායකයන් හා සාමාජිකයන් මරා දැමිණි. පවුල් පිටින් සමූලඝාතනය කෙරිණි. එවන් භීෂණයක් මෙරට මෑත ඉතිහාසයේ නොවීය.
කැරැල්ල මැඩපවත්වා ටික කාලයකින් මැතිවරණ දේශපාලනයට ආ ජවිපෙටද ජනතාව සැලැකුවේ දේශප්‍රේමීන් එදා රටට සැලකූ ආකාරයටමය. භීෂණ සමයේ තමන් විඳි දුක් කන්දරාව හා පණ බියෙන් ජීවත් වූ ආකාරය ජනතාවට අමතක වී තිබුණේ නැත. එනිසා ජවිපෙ නම හා සීනුව ලකුණ ඉදිරියෙන් කතිරය ගසන්නට ජනතාවගේ අත කීකරු වුණේ ද නැත. අද ජවිපෙ ගැන පම්පෝරි ගසන දේශපාලකයන්ට අමතක වුණාට ජනතාවට ජවිපෙ අතීතය අමතක වුණේ නැත. සියයට පහේ ප්‍රතිශතයෙන් එහාට, ලක්ෂ පහේ ඡන්ද ප්‍රමාණයෙන් එහාට, ජවිපෙට යාමට නොහැකි වූයේ ඒ නිසාය.
බේබද්දා සමග පවුල් කන්න බැරිවා සේ ජවිපෙ සමග ආණ්ඩු පිහිටුවන්න බැරි බවත් තේරුම් ගත්තේ අනුරයි.
ජවිපෙට යළි පණ දුන් සෝමවංශටත් තේරුම් ගන්න බැරි වූ ඒ ඇත්ත තේරුම් ගත්තේ අනුරය. බේබද්දා සමග පවුල් කන්න බැරිවා සේ ජවිපෙ සමග ආණ්ඩු පිහිටුවන්න බැරි බවත් තේරුම් ගත්තේ අනුරය. ජවිපෙ ටිකෙන් ටික දියකර හරිමින් මාලිමාව බිහි කළේ අනුර ජනතාවගේ තීරණය තේරුම් ගත් නිසාය. මාලිමාව නිර්මාණය කර දේශපාලනය කිරීමේ ප්‍රතිඵලය අද අනුර භුක්ති විඳින්නේත් ඒ නිසාය. හැමදාම සියයට තුනේ එල්ලී සිටි ජවිපෙ සාමාජිකයන් අද ඇමැති ධුර භුක්ති විඳින්නේ අනුරට ඒ අවබෝධය තිබූ නිසාය.
ජවිපෙ නායක අනුරට වඩා මාලිමාවේ නායක අනුර ධනේශ්වරයට බර වූයේය. මාලිමාවේ නායක අනුරට වඩා ජනාධිපති අනුර ධනේශ්වරයට තවත් ළං වූයේය. එලෙසම ජවිපෙ නායක අනුර ඉන්දීය විරෝධී වූවා සේම මාලිමාවේ නායක අනුර ඉන්දීය හිතෛශී විය. එනිසාම විපක්ෂයේ සිටියදී අනුර ඉන්දියාවට ගෙන්වා රජ සබයට සූදානම් කෙරිණි. ජනාධිපතිවරණයෙන් අනුර දිනුවේ ඉන් පසුවය.
ඉන්දියාවට ලංකාවම විකුණන්න හැදූ රනිල්ටවත් නැති රජ සැලකිලි ඉන්දියාවෙන් ලබාගත්තේ අනුරයි.
ජනපති අනුරගේ පළමු විදේශ නිල සංචාරය වූයේ ඉන්දියාවය. මෝදිගේ ඉන්දියාව අනුර පිළිගත් හැටි බලන්න ලස්සනය. අනුර ඉන්දියා ගිය හැටිත් බලන්න ලස්සනය. ඉන්දියාවට ලංකාවම විකුණන්න හැදූ රනිල්ටවත් නැති රජ සැලකිලි අනුරට ඉන්දියාවෙන් ලැබුණේය. එයට හේතුව අනුර ජවිපෙ නායකයා ලෙස නොව රටේ ජනාධිපති ලෙස ලෝකය කැරකෙන හැටි ගැන ඉගෙන ගෙන සිටින නිසාය. වෙන්න ඕනෑත් ඒකය. ඉන්දියාව අතහැර ලංකාවට ගමනක් නැත. ඉන්දියාවට වුවමනා යමක් ගැන කියන විට ඒ ගැන තේරුම් ගැනීමට හැකි අවබෝධයක් ලංකාවේ ජනාධිපතිවරයාට තිබිය යුතුය.
අනුරට ඒ අවබෝධය හොඳින්ම තිබූ බව සංචාරයේ රූපරාමුවලින් මනාව දැක ගත හැකි විය. ඉල්ලන දේ දෙනවා ද නැද්ද කියන එක වෙනම කතාවකි. වසර දොළහක් තිස්සේ සාකච්ඡා කරන එට්කා ගිවිසුමත් තෙල් නළයත් අදානිගේ සුළං බලාගාරත් අනුර යෝජනා කළ දේ නොවේ. මහින්දගේ, මෛත්‍රීගේ, ගෝඨාභයගේ, රනිල්ගේ ජනාධිපති ධුර කාලවල සිට ටිකෙන් ටික සාකච්ඡා කර ඉදිරියට එන යෝජනාය. සමහර යෝජනා දැන් ගිවිසුම්ද අත්සන් කර ඉදිරියට යන ඒවාය. මෝදි අනුරගෙන් ඉල්ලුවේ ඒ වැඩ ටික ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය එකඟතාවයය. ඒ එකඟතාව දුන්නා ද නැද්ද අප දන්නේ නැත. මහින්දලාත්, ගෝඨාභයලාත් රනිල්ලාත් ඉන්දියාවත් සමග එකඟ වූ දේ ගැන නිවැරැදි චිත්‍රය කවදාවත් එළියට දැම්මේ නැත. ඒත් වැඩේ ටික ටික ඉන්දියාවට අවශ්‍ය ඉලක්කය කරා සෙමින් ඇදී යන්නේය. ඉන්දියාවටත් ඉවසීම හොඳින්ම පුරුදු නිසා ගමන යන්නේ එක දවසින් ගන්න නොව ටිකෙන් ටික හෙමින් හෙමින් ගොස් තෙල් නළයක් දෙරට යා කරන පාලමත් එට්කා ගිවිසුමත් හරි වෙලාවට ඔබා ගන්නය.
වඩාත්ම අගය කළ යුත්තේ මෝදි අනුරගේ කරට අත දා ගැනීමවත්, අනුර ඉන්දියාවේදී කළ කතාවවත් නොවේ. ඒවා සාමාන්‍ය දේශපාලනය ය. වඩාත්ම අගය කළ යුත්තේ ඉන්දියාවත් සමග ජවිපෙ ගෙන ගිය නයි මුගටි වෛරය ජවිපෙ නායකයා විසින්ම අවසන් කිරීමය. හැට දහසක ජීවිත වැනසූ ඉන්දීය වෛරය ජවිපෙ නායකයා විසින්ම අවසන් කර දැමීමය.
අනුරට පෙර ජවිපෙ නායකයා වූ රෝහණ විජේවීර 1987 මහා භීෂණ කැරැල්ල ක්‍රියාත්මක කිරීමට පදනම හදාගත්තේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමෙනි. විජේවීරට ඇත්තටම කැරැල්ල අරඹන්න වුවමනා වී තිබුණේ ඉන්දීය ආක්රමණයටත් පෙර 1984 කැලේ සැඟවුණු අලුතමය. එහෙත් වනාන්තරයෙන් වනාන්තරයට සැඟවෙමින් අවුරුදු කීපයක් ගත කළ පසු අඬන්න සිටි මිනිසාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නේ රජීව් ගාන්ධි බලහත්කාරයෙන් උතුරට ගුවනින් ආහාර දැමීමෙනි. 1987 කැරැල්ලට විජේවීර පාර කපා ගත්තේ මේ ආක්‍රමණයය. සටන ඉන්දීය ආක්‍රමණයට එරෙහි ‘‘දේශප්‍රේමී සටනක්’’ කර ගත්තේ ඉන් පසුවය. විජේවීරගේ මේ කැරැල්ල නිසා හතළිස් දහසක් තරුණ පරපුරද ජවිපෙට එරෙහි පාර්ශ්වවල දස දහසක්ද පොළොවට පස්වූහ. ඒ මහා විනාශය සිදුවූයේ ඉන්දීය ආක්‍රමණිකයාට එරෙහි ‘‘දේශප්‍රේමී’’ අරගලයකට විජේවීර පාර කැපූ නිසාය. ඉන්දියාව ලාංකිකයන්ගේ පරම හතුරකු කෙරුවේ විජේවීරය. ඉන්දියාව නිසා ජීවිත පනස් දහසක් අහිමි කරන්නට පාර කැපුවේත් විජේවීරය. ඉන්දියන් ආක්‍රමණයක් ගැන ලාංකික හදවත අවදියෙන් තැබුවේත් විජේවීරය. රජීව් ගාන්ධි ජේ.ආර්. ලවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රිංගවූ 13 වැනි සංශෝධනය ව්‍යවස්ථා පොතට පමණක් සීමා කළේත් විජේවීරය. විජේවීරගේ අරගලය නොතිබුණේ නම් පළාත් සභා නිසා උතුර එදා රජ ඔටුනු පලඳින්න ඉඩ තිබුණේය.
පළාත් සභා දියාරු කළේත් විජේවීරය. විජේවීර හැදූ ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයා ඉන්දියානු වෙළෙඳ ආක්‍රමණයට සුජාත භාවයක් ලබා දීම එසේ මෙසේ විප්ලවයක් නොවන්නේය. තරුණ පරම්පාවකම අධ්‍යාපනය කඩාකප්පල් කළ, තරුණ පරම්පරාවක්ම මිහිමතින් අතුගා දැමූ පනස් දහසක මිනිසුන් සහ ගැහැනුන් දරු පවුල්වලට අහිමි කළ භීෂණයට හේතු කාරකයා වූ රටක් සමග අත්වැල් බැඳගැනීමම රාජ්‍ය තාන්ත්‍රික විප්ලවයකි.
‘‘එපා’’
විපක්ෂයේ සිටියදී ආණ්ඩුව සිදු කරන හැම දෙයටම විරුද්ධවීම මෙරට විපක්ෂය බිහිවූ දා සිටම පුරුදුව සිටි ක්‍රමය වේ. දේශපාලන පක්ෂ ආරම්භ වූ එක්දහස් නවසිය තිස් ගණන්වල සිටම විපක්ෂයේ සටන් පාඨය වූයේ ‘‘එපා’’ යන අකුරු දෙකය. ඩී.එස්. සේනානායක කෘෂිකර්ම ඇමැතිවරයා උතුරුමැද මහා කැලෑව කපා ගොවි ජනපද ඇති කරන අවස්ථාවේ එදා විපක්ෂයේ සිටි වාමාංශිකයන්ගේ එකම සටන් පාඨය වූයේ ‘‘එපා’’ යන අකුරු දෙකය. කාක්කන් වැනි මදුරුවන්ගෙන් පිරුණු රූස්ස වන ගහණයේ ඇති කරන ගොවි ජනපදවල ගොවීන් පදිංචි නොකරන ලෙස එදා ඔවුන් කළ හඬ තැළීම ගොවිජනපද ව්‍යාපාරයට මහත් හානියක් විය.
මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය බිහිවූ දා සිටම විපක්ෂයේ එකම සටන් පාඨය වූ ‘‘එපා’’ යන අකුරු දෙක ඉන්පසුව සෑම විපක්ෂයක්ම පොදු ශික්ෂා පදය බවට පත්විය. බණ්ඩාරනායකගේ ජනසතු කරණයට, ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකයට, ප්‍රේමදාසගේ ගම්උදාවට, උතුරේ ත්‍රස්තවාදය මර්දනය කිරීමට, එල්ල වූ එකම සටන් පාඨය ‘‘එපා’’ යන අකුරු දෙකය. 1993දී කණ්ඩලම හෝටලය ඉදිකරන අවස්ථාවේ එකල ශ්රීලනිපය ප්රමුඛ විපක්ෂය කණ්ඩලමේ වාඩිලාගෙන හෝටලයට එරෙහි මහා සටනක නිරත විය. 1994දී ආණ්ඩු පෙරළියෙන් පසු ශ්රීලනිපය ආණ්ඩුව බලයට පත්වූ පසු කණ්ඩලම හෝටලයට විරුද්ධව මාරාවේශයෙන් කෑ ගැසූ ශ්රීලනිපය දේශපාලකයන් ඇමැතිවරුන් ලෙස හෝටලයේ නිරන්තර පාරිභෝගිකයන් බවට පත්වූහ. ජවිපෙ විපක්ෂයේ සිටියදී ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කළ සෑම ආණ්ඩුවකටම විරුද්ධව නැගූ සටන් පාඨය වූයේද ‘‘එපා’’ යන අකුරු දෙකය. ජවිපෙ ආණ්ඩුව බවට පත්වූ පසු එදා ‘‘එපා’’ යන අකුරු දෙක ඕනෑ යන ක්රමානුකූල පෙරළියකට ලක්කර ඇති බව දැක ගත හැකිය.
ඉන්දියාව ලංකාව මත බලෙන් අටවන්නට යන ‘‘එට්කා’’ වෙළෙඳ ගිවිසුමට ජවිපෙ නායකයා ලෙස විරුද්ධ වූ අනුර, ජනාධිපති ලෙස එම ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට එනඟවීමම අනුරගේ ආණ්ඩුව තුළ ඇතිවී තිබෙන විප්ලවීය වෙනස පිළිබඳ සාක්ෂියකි.
‘‘එට්කා’’ වෙළෙඳ ගිවිසුමක් ගැන සිතන්නට වසර සියයකටත් පමණ පෙරද ඉන්දියානු වෙළෙඳ ආධිපත්‍යයක් ගැන ලංකාවේ වාණිජ ප්‍රජාව තුළ බියක් තිබිණ. එයට හේතුව වූයේ කොළඹට පැමිණ පැලපදියම් වී සිටි ඉන්දියානු වෙළෙඳ ප්රජාවය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් ආසියාවේ තම යටත් විජිත සියල්ලම එකට ගෙන පාලනය කළ නිසා ඉන්දියානු බුරුම මැලේසියා ආදී සියලු බ්‍රිතාන්‍ය යටත් විජිතවල වෙළෙඳුන්ට ලංකාවට පැමිණ වෙළෙඳාම් ඇරඹීමට හැකි වී තිබිණ. යටත්විජිත කාලයේ කොටුවේත්, මෝදරත් සහල් වෙළෙඳාම පාලනය කළ නාටුකොට්ටයන්ද රෙදිපිළි වෙළෙඳාම කළ බායිලාද ඉන්දියානුවන්ය. නාටුකොට්ටයන් මෙරට ස්ථාවර වුණේ හෙට්ටි යන නාමය ද ලබාගෙනය. මෙපමණක් නොව, කොළඹ කොටුවේ වෙළෙඳාම් කළ වෙළෙඳුන්ගෙන් සියයට දෙක තුනක්වත් ලාංකිකයන් සිටියේ නැත. මේ වෙළෙඳුන් ආපසු ඉන්දියාවට ගියේත් නැත.
එදා නගරවල වෙළෙඳාම් කළේ ඉන්දියානු වෙළෙඳුන්ය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් අසල්වැසි රටවල හැත්ත බුරුත්තම ලංකාවට එන්න පාර විවෘත කළා මිස, යටත් විජිතවාදීන් ආපසු යද්දී මේ පිරිස ආපසු ගෙන ගියේ නැත. යටත්විජිතවාදීන් මෙරටින් ගිය පසුත් වෙළෙඳාම පාලනය කළේ ඉන්දියානුවන්ය. ඒ කාලේ එට්කා ගිවිසුම් අත්සන් කරනවා තබා ඒ ගැන සිතා තිබුණේ වත් නැත. හාල් ගෙනාවේත්, පිටි ගෙනාවේත්, අල, පරිප්පු, බොම්බයි ලූනු ගෙනාවේත් භාරතයෙනි. එරටින් නැව් දහයක්වත් බඩු මෙරටට පටවද්දී මෙරටින් නැවක්වත් බඩු එරටට ගෙන ගියේ නැත. අද කාලේ භාෂාවෙන් කතා කරන වෙළෙඳ වාසිය එදා මෙරටට ලැබුණේත් නැත. උපරිම වාසිය එරටටය. අඩුම වාසිය මෙරටටය. අවුරුදු සිය ගණනක් ඉන්දු-ලංකා වෙළෙඳාම සිදු කෙරුණේ ඒ විදිහටය. හැබැයි අද එට්කා ගිවිසුමක් අත්සන් කර මෙරටටත් වෙළෙඳ වාසියකට ලිඛිතව එකඟ වෙනවා නම් ඒ වැඩේ මසුරං බව අමුතුවෙන් කියන්න ඕනෑත් නැත.
එට්කා නැතත්, අවුරුදු සිය ගණනක් තිස්සේ මෙරට අඟනුන්ගේ ගත වසන සාරිය ගෙන එන්නේ ඉන්දියාවෙනි. එකක් දෙකක් නොව සියයට සියයක්ම සාරි ගෙනෙන්නේ ඉන්දියාවෙනි. කහ, සූදුරු, කොත්තමල්ලි, සිංහල බෙහෙත්බඩු, ඖෂධ, ත්‍රිරෝද රථ ලැයිස්තුව ඉවරයක් නැත. ඉන්දියාව නැතිනම් මේ කිසිවක් නැත.
එදා අනුරත් කලාප නායකයකු වූ විජේවීරගේ කැරැල්ල ඉන්දියානු භාණ්ඩ තහනම් කළ අවස්ථාවේද මේ ප්‍රශ්නයම ලංකාවේ ජනතාවට තිබුණේය. එහෙත් ජවිපෙ සන්නද්ධ හස්තය වූ දේශප්‍රේමීන්ගේ තුවක්කුවට බියේ සමහර වෙළෙඳුන් ඉන්දියන් භාණ්ඩ විකිණීම, ආනයනය අත හැරියාට සමහර වෙළෙඳුන් එම භාණ්ඩ විකුණුවේ රහසිගතවය. එසේ විකිණූ වෙළෙඳුන් ගණනාවකටම දේශප්‍රේමී තුවක්කුවෙන් පිළිතුරු ලැබිණි. ඉන්දීය භාණ්ඩ ආනයනය කළ තොග වෙළෙඳුන් ගණනාවක්ම පිටකොටුවේදී මහා දවල් වෙඩි තබා මරා දැමිණි. ඒ මිනිසුන් කර තිබූ ‘එකම වැරැද්ද’- දේශප්‍රේමීන් එපා කී අණ නොතකා ලංකාවේ මිනිසුන්ට ඉන්දියානු භාණ්ඩ ගෙනැවිත් දීමය.
අනුර ඉන්දියාව සමග කළ සාකච්ඡාවේ අරමුණ ද ඉන්දීය භාණ්ඩවලට නිදහසේ ගලා ඒමට ඉන්දියාව ඉල්ලන එට්කා ඇතුළු ගිවිසුම් ගැන සාකච්ඡා කිරීමය. එදා ඒ හේතුවෙන්ම අහිංසකයන් මරා දැමූ පක්ෂයක වත්මන් නායකයා විසින්ම ඉන්දීය භාණ්ඩවලට නිදහසේ ගලා ඒමට දොරගුළු විවර කරන සාකච්ඡාවම විප්ලවයකි. එය විප්ලවයක් වන්නේ හැමදාම ඉන්දියාවට ගැති වූ රනිල්ලා වගේ නොව ඉන්දියන් විරෝධීව සිටි අනුර කරන නිසාය.
අනුරලාගේ දෛවයේ අපූරු සරදම
එට්කා වෙළෙඳ ගිවිසුම ලංකාව විදේශ රටක් සමග අත්සන් කරන්නට යන පළමු වෙළෙඳ ගිවිසුම නොවේ. එවැනි වෙළෙඳ ගිවිසුම් ගණනාවක් ලංකාව විදේශ රටවල් සමග අත්සන් කර ඇත. එට්කා ගැන යම් කණ්ඩායමකින් විරෝධයක් මතුව ඇත්තේ මෙම ගිවිසුම භාණ්ඩ පමණක් නොව, සේවා ගිවිසුමක්ද වන නිසාය. මෙමගින් ඉන්දියාව ඉල්ලා සිටින්නේ, මෙරට සේවා වෙළෙඳපොළද ඉන්දියානුවන්ට විවෘත කරන ලෙසය. විරෝධය දක්වන පිරිස කියා සිටින්නේ මෙමගින් ඉන්දියානු බාබර්ලාගේ සිට කම්කරුවන් දක්වා ශ්‍රමිකයන් මෙරටට ඒමේ ඉඩක් ඇති බවය. එවැනි තාර්කික විරෝධතා ද ඇති මුත් ඉන්දියාව දායක වන සෑම කටයුත්තකටම විරුද්ධ වන විරෝධතාකරුවන්ද මෙරට සිටින බව අමතක කළ නොහැකිය. මහින්දලා, රනිල්ලා එට්කා ගෙනෙන්න හදද්දී විරුද්ධ වූ අනුරලාටම අද එට්කා ගෙනෙන්න සිදුවී තිබීම දෛවයේ අපූරුම සරදමය.
@ප්‍රේමකීර්ති රණතුංග