ජාතික ජන බලවේගය තම කුළුදුල් ආණ්ඩුකරණය ඇරැඹුවේ තුනෙන් දෙකක අධික ජන බලයක් සහිතවය.
දුර්වල මෙන්ම භේද බින්න වූ විපක්ෂයක් සහිතවය. සාම්ප්‍රධායික පක්ෂවල දශක ගණනාවක් තෙම්පරාදු වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහමුලින්ම ඉවත් කළ මැතිවරණ ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවෙන් අඩකටත් වඩා පත්ව ඇත්තේ නවකයින්ය.
කෙසේ වුවද ඉතිරිව සිටින විපක්ෂයේ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් නවක ආණ්ඩුවට එකක් පරයා නැගෙන මාතෘකා හරහා ඔවුන්ව අපහසුතාවන්ට පත්කිරීමට සැදී පැහැදී සිටිති. ඒ අතර ජාජබ ජනතා නියෝජිතයින් කියන කරන දේවල් සමාජ මාධ්‍ය තුළ දැඩි විචාරයට තුඩුදෙන කාරණා බවට පත්කරන්නට සූදානම් රැල්ලක් ඇරැඹී ඇත.
මේ නිසාම ජාතික ජන බලවේගයේ නියමු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුකරණයට ක්‍රම ක්‍රමයෙන් තම බලපෑම වැඩි කරමින් සිටින අතර, ආණ්ඩුවේ ගන්නා තීරණ පක්ෂ කාර්යාලයෙන් අනුමත විය යුතුය යන්න සමාජ මතවාදයක් ලෙස සාකච්ඡාවටද ලක්ව ඇත.
මේ පහත පලවන්නේ ඉරිදා දිවයින පුවත්පතේ සිරිමන්ත රත්නසේකර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකි.
- බලය තියෙන්නේ අපිට. අණපනත් ගෙනත් හරි රට හදනවා!
- කවුරු බිරුවත් තවලම ඉදිරියට යනවා!
- මේ ගෙවෙන්නේ සංක්‍රාන්ති සමයක්!
- ජනතාව පැතූ වෙනස අපි කරනවා, ඒකාන්තයි!
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගෙන මේ වනවිට මාස එකහමාරක් පමණ ගතවෙනවා. මේ තාක් ආණ්ඩුවේ කටයුතු ගැන ඇත්තට ම සතුටු වෙන්න පුළුවන්ද?
පිළිතුර –
ඔව්. සතුටු වෙන්න පුළුවන්. අපි ආණ්ඩු බලය ලබාගෙන වෙනස්කම් රැසක් සිදු කරමින් යනවා. නමුත් මේතාක් කටයුතු ගැන විවිධ අයට, විවිධ මත තිබෙන බව අප නොදන්නවා නෙවෙයි. ඇතැම් අය සතුටෙන් නොවන බව අපි දන්නවා. අපි ගත්තෙ සෑම අතින්ම විනාශ කරපු රටක්. ඒක ගොඩනැඟීමේ කාර්යයේ දී බාධක රැසක් තිබෙනවා. ඒ දේවල්වලට විධිමත් උත්තර සොයමින් සහ උත්තර සපයමින් ආණ්ඩුවේ කටයුතු නිසි ලෙස ඉදිරියට යනවා.
ආණ්ඩුව ගෙන යෑමේ දී බාධක රැසක් තිබෙන බව ඔබ කියනවා. ඒ බාධක මොනවාද?
පිළිතුර –
ආණ්ඩු බලය ක්‍රියාත්මක කිරීමට තිබෙන යාන්ත්‍රණය පරණ එකක්. එය, පසුගිය කාලය පුරාවට දේශපාලනීකරණය වූ වංචාව, දූෂණය ඉයවහ ගිය එකක්. මේ යාන්ත්‍රණය මුළුමනින්ම එකවර ඉවත් කර තවත් යාන්ත්‍රණයක් එතැනට මාරු කරන්න බැහැ. ඒ නිසා ඇතැම් තැන්වල ගැටලු තිබෙනවා. අපි මේ රටේ දේශපාලන සංස්කෘතිය ඉහළ සිට වෙනස් කර තිබෙනවා. ඒ වෙනස සියලු තැන්වලට කා වැද්දීමට යම් කාලයක් අවශ්‍යයි.
සැකයක් තියාගන්න එපා රටේ ජනතාව පැතූ රට අපි ගොඩනඟනවා.
ඔය කියන කාලය කෙතරම් දුර එකක්ද?
පිළිතුර –
අපට ගොඩක් කාලයක් යන එකක් නැහැ. අපට තව මාස කිහිපයක් වෙනස් කරමින්, වෙනස් කරමින් යන්න වේවි. දැන් වංචා දූෂණ නතර වෙලා. දේශපාලඥයන්, නිලධාරීන් පගාගන්න බයවෙලා තිබෙනවා. ඒවගේම ප්රජාතන්ත්රවාදී, මාවත් එළිපෙහෙළි වී තිබෙනවා. ජාතිවාදය දැන් නැහැ. ජනතාවගේ ජීවිතවලට පහසුවක්, ලෙහෙසියක් එකතු වී තිබෙනවා. ඒ වගේම අනික් පැත්තෙන් ඉතිහාසය පුරා පැවැති ගැටලු රැසකුත් තවම තිබෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ගැටලු සතියෙන් දෙකෙන් මැජික් වගේ විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් යාවි. කාලයක් ඒ වෙනුවෙන් වැය කරන්න සිදු වුවත් ඒ දේවල් අනිවාර්යයෙන්ම අපි කරනවා. මේ ගෙවීමෙන් පවතින්නේ රට හරි මඟට ගන්නා සංක්‍රාන්ති කාලයක්.
ඔබ ප්රජාතන්ත්රවාදය ගැන කතා කළා. නමුත් වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනය කරන්න සැරසෙන බවට ලොකු චෝදනාවක් තිබෙනවා. ආණ්ඩුවේ ඉහළ මැති ඇමැතිවරුන් මාධ්‍ය මර්දනයක් සඳහා වන අදහස් ගැබ්ව ඇති ප්‍රකාශ ගණනාවක් නිකුත් කරන බව අපට දකින්න තිබුණා. ජාතික ජන බලවේගය මේ සැරසෙන්නේ ප්රජාතන්ත්රවාදය ගැන කතා කරමින් මාධ්‍යයට අත තියන්නද?
පිළිතුර –
කොහොමත්ම නැහැ. මාධ්‍යයට අත තියෙනවා නම් නීතිය පැත්තෙන් ඒ දේ කරන්න අපට අවස්ථාව නැතුවා නෙවෙයි. අතීත ආණ්ඩු මාධ්‍යයට අත තිබ්බ හැටි ඔබට අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන්ව ඝාතනය කළා. පැහැර ගත්තා. බිය වැද්දීම් කළා. මාධ්‍යයට මොනවද ඒ අය නොකළේ. අපි එහෙම මොකුත් කරලා තිබෙනව ද ? අපි එහෙම දෙයක් කරන්න හීනෙකින්වත් හිතන්නෙ නැහැ.
හැබැයි බොරු නොකියා ඉන්න මාධ්‍යයට වගකීමක් තිබෙනවා. දේශපාලන පක්ෂ, දේශපාලනඥයන්ව විවේචනය කරන්න මාධ්‍යයට ඇති අයිතිය අපි පිළිගන්නවා. විවේචන සුහද සිතින් භාර ගන්න අපි ලෑස්තියි. අපේ නොදන්න අඩුවක් අපි දකින්නේ මාධ්‍ය හරහා. රටේ ඉදිරි ගමන සඳහා මාධ්‍ය අත්‍යවශ්‍යයි. ඒ ගැන කිසි සැකයක්, විවාදයක් නැහැ. හැබැයි කිසියම් මාධ්‍යයක් හිතාමතා බොරු කියනවානම්, හිතාමතා අපේ අදහස් විකෘති කර පළ කර ජනතාව නොමඟ යවන්න උත්සාහ කරනවා නම් ඒක පරාජය කර යුතු නැද්ද?
මේ කටයුතු අපට නීතියෙන් සීමා කරන්න පුළුවන්. හැබැයි මාධ්‍ය විසින් මේ සඳහා ස්වයං නිර්නායකයන් හදාගන්න ඕනෑ. අපි ඊට බොහොම කැමැතියි. ඇත්තටම මම මේ කරන චෝදනාව සියලු මාධ්‍යයට කිසිසේත් අදාළ නැහැ. මේ චෝදනාව එල්ල වන්නේ දේශපාලන වුවමනා මත කටයුතු කරන මාධ්‍ය ආයතනයක්, දෙකක්, සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට පමණයි.
මේ ආණ්ඩුව බලයට එන්නේ හොරු අල්ලනවා කියන ප්රමුඛ සටන් පාඨය පෙරදැරි කරගෙන. නමුත් දැන් ආණ්ඩුව හොරු අල්ලන එක පැත්තක තියා බස්වල කෑලි ගැලවීමට ප්‍රමුඛතාවය දී ඇති බව ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.
පිළිතුර –
ඇත්තටම ඔය දේශපාලන පක්ෂග්රාහී ටික දෙනෙක් කරන දේශපාලන අදහස් දැක්වීම්. ඔවුන්ට විවේචනයක් කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අපි අහනවා ක්ලීන් ශ්‍රී ලංකා හොඳද නැද්ද? අතිශය බහුතරයක් මේ කටයුතු අගය කරනවා. හොඳ දෙයක් කරන්න යද්දි මතුවන පොඩි අඩුපාඩුවක් දෙකක් පදනම් කරගෙන හොඳම දේට පහර ගහන එක සාධාරණ නැහැ.
පසුගිය දින කිහිපය තුළ පාතාල ක්‍රියාකාරකම් සක්‍රිය වී ඇති බව පෙනෙන්න තිබෙන කාරණයක්. මෙහිදී ඝාතනයන් රැසක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කළා. මීට හේතු ලෙස පොලිසියේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන්නේ ආණ්ඩුවේ ඇතැම් කටයුතු නිසා පොලිසිය ගොඩක් තැන් අතහැර ඇති බවයි.
පිළිතුර –
ඉතිහාසය පුරාම පාතාල ක්‍රියාකාරකම් අඩු වැඩි වශයෙන් සිදුවුණා. මේ වනවිටත් යම් යම් සිදුවීම් වාර්තා වෙනවා. ඒවාට එරෙහිව ආරක්ෂක අංශ නිසි ලෙස ක්‍රියා කරාවි. ආණ්ඩුවේ කටයුතු නිසා පොලිසියට අතහැර දමන්න කිසි තැනක් නැහැ. හොයලා බලන්න අපගේ දේශපාලන නියෝජිතයන් කිසිවකු හෝ වැරදිකරුවන් මුදාගන්න, අරව කරන්න, මේවා කරන්න කියලා පොලිසියට කතා කරල තියෙනවද කියල. අපි දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලිසිය මුළුමනින්ම නිදහස් කර තිබෙනවා. අපේ කිසි මන්ත්‍රීවරයෙක් ස්ථානාධිපතිවරුන්ට කතා කර මගේ මිනිහෙක් ඇතුළේ ඉන්නවා එළියට දාන්න කියලා කියන්නෙ නැහැ.
පොලිසියට ඉතිහාසය කවරදාවත් නැති නිදහසක්, ස්වාධීනත්වයක් ලැබිල තිබෙනවා. පොලිසිය ඒ නිදහස, ස්වාධීනත්වය භාවිත කළ යුත්තේ රටේ සාමය රකින්න. එහෙම නැතුව වෙන වෙන අදහස් ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඇත්තට ම ඔබ කිව්වා වගේ ඇතැම් අපරාධ සිදුවීම්වලට පොලිසිය නිසි මැදිහත්වීම් කර නොමැති අවස්ථාවන් වාර්තා වෙනවා.
ඒ කියන්නේ ඒ ගැන දැනුවත්..
පිළිතුර –
ඔව්. මෙතැන දී පොලිසියේ අතිබහුතරයක් හොඳ නිලධාරීන් ඉන්නේ. හොඳ මිනිස්සු ගොඩක් අතරේ එහෙම නැති කිහිප දෙනකුත් ඉන්නවා. පොලිස්පතිවරයා මඟහැර අරක වුණේ කොහොමද, මේක වුණේ කොහොමද කියලා අනිත් නිලධාරීන්ගෙන් විමසා බලන්න අපි තාම කැමැති නැහැ. පොලිස්පතිවරයා හරහාම පමණයි වැඩ කෙරෙන්නේ.
අල්ලනවයි කී හොරු අල්ලන්නේ කවදාද?
පිළිතුර –
හොරු අල්ලන ආයතන අප රටේ තුනක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම. මේ ආයතන තුනට ම අපි අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. හැබැයි අපි ඒ අයගේ රාජකාරිය අපි අතට ගන්න යන්නෙ නැහැ. එසේ වීම තුළ සිදුවෙන පමාවීම් තිබෙන්න පුළුවන්. ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර හමුවක් පසුගියදා පැවැත් වුණා. නඩු පැවරිය හැකි සිදුවීම් ගණනාවක් තිබෙනවා. හැබැයි නඩු පැවරිය හැකි වන්නේ හරි ක්‍රියා පිළිවෙත අනුව. නඩු පැවරීමේදී සිදුවන අඩුපාඩු නිසා වැරදිකරුවන් නිදොස් වී ගෙදර යා යුතු නැහැ. සියල්ල නීතිය අනුව ඉදිරියට යනවා. යම් පමා වීම් තුළ අල්ලන්නේ නැහැ කියන එක ගැබ් වෙන්නේ නැහැ. අපි හොඳ දේවල් හොඳ විදිහට කරනවා මිසක්. හොඳ දේවල් වැරදි විධියට කරන්නෙ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන අපි විශ්වාසය තබා තිබෙනවා. ඒ ආයතනවල කවුරුන් හෝ නිසි ලෙස කටයුතු නොකරනවානම් ඒක වෙනස් කරන්න අපි ලෑස්තියි.
ඔබ හිතන විධියට එය කිරීමට ආණ්ඩුවට නොහැකි වන්නේ නම් ඊළඟට ගන්න පියවර කුමක්ද?
පිළිතුර –
අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙනවා. අපට ඕන නීතියක්, ඕන පනතක් සම්මත කිරීමේ අවස්ථාව තියෙනවා. අලුතින් නීතිය හදලා වෙනස් කළ යුතු තැන් වෙනස් කරන්න අපට පුළුවන්.
අලුත් ආණ්ඩුවක් බලයට පැමිණියත් ඇතැම් රාජ්‍ය නිලධාරින් ට්‍රැක් එකට දාගන්න තවම නොහැකි වී තිබෙන බව පෙනෙන්න තිබෙන කාරණයක්. ආණ්ඩු මාරු වුණාට නිලධාරීන් ඒ වෙනසට භාජනය කර ගන්න නොහැකි ගැටලුව කුමක්ද?
පිළිතුර –
දශක ගණනාවක් තිස්සේ ගිය ක්‍රමවේදයක් වෙනස් කිරීමේ දී ගැටලු තිබෙනවා. ඒ ගැටලුව තමයි මේ තිබෙන්නේ. රට වෙනස් වෙනවාට මිනිස්සු කැමැතියි. හැබැයි තමන්ට වෙනස් වෙන්න මොකක්දෝ නොහැකියාවක් තිබෙනවා. මිනිස්සු හොඳම දේවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි හොඳම දේවල් කරන්න ගියහම ඒ දේවල්වලට අනුගත වෙන්න බැරි ප්‍රශ්නයක් ඇතැමුන්ට තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළටත් සිදුව ඇත්තේ ඒ දේ නොවේද?
පිළිතුර –
පැහැදිලිවම ඔව්. රටක් වෙනස් කරන එක ආණ්ඩුවකට තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආණ්ඩුවකට තීන්දු තීරණ මැදිහත් වීම් කරන්න පුළුවන්. හැබැයි ඊට අදාළ ආයතනවලට, ජනමාධ්‍යට, පොදු මහජනතාවට මේක හොඳ පැත්තට පෙරළීමේ ලොකු වගකීමක් තිබෙනවා. අපට ඡන්දය දුන් ජනතාවට තව වගකීමක් තිබෙනවා රට හොඳ පැත්තට රැගෙන යෑමට සහාය දැක්වීම.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්වීමත් සමග ජනතාව ඔවුන්ට ලැබෙන සහන සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවකින් සිටියා. නමුත් මේ වනවිට ජනතා සහන කියන කාරණය ගොඩක් දුර බලාපොරොත්තුවක් වී තිබෙනවා.
පිළිතුර –
අපේ බලාපොරොත්තුව සහනය ලබාදීම. අපේ අභිප්‍රාය එයයි. අපි ආණ්ඩුව ගනිද්දී ජනතාවට සහන දෙන්න පුළුවන් මට්ටමක ආණ්ඩුවක් නෙවෙයි අපට ලැබුණේ. බංකොලොත් ආණ්ඩුවක්. එම නිසා අපි කැමැති සහන ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. එයට යම් කාලයක් ගතවේවි.
අපේ රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගැට ගහල තියෙන්නේ. එම නිසා කවුරුත් දන්න කාරණය තමයි, මේ වගේ වෙලාවක අපට එය කඩාගෙන එළියට යන්න බැහැ කියන එක. එයත් සමග වැඩ කරන්න ගියහම රනිල් වික්‍රමසිංහ රජය එකඟ වූ කොන්දේසි තිබෙනවා.
එහෙම හිරවූ තැනක සිට තමයි අපි ජනතාවට මෙසේ හෝ සහන ලබාදී තිබෙන්නේ. අපි රුපියල් පහළොස් දහසක්ව තිබූ පොහොර සහනාධාරය විසිපන්දහසක් කළේ, ධීවරයන්ට ඩීසල් සහනාධාරය දෙන්න කටයුතු කළේ, අස්වැසුම ප්‍රතිලාභීන්ට දෙන දීමනා ඉහළ දැම්මේ එවැනි තත්ත්වයක් යටතේ. පාසල් දරුවන්ට පාසල් උපකරණ ගන්න රුපියල් හයදහසක මුදලක් වෙන් කළා. ජීවන වියදම යම්කිසි ආකාරයකින් පාලනය කළ නිසා උද්ධමනය අඩුවී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබූ ඉලක්ක එහා ගොස් විදේශ වත්කම් වැඩි කර ගන්න අපට පුළුවන් වී තිබෙනවා.
අපේ වැඩපිළිවෙළ තුළ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහනක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක වීමත් තුළ ජනතාවට මීට වඩා සහන ලැබෙන්න නියමිතයි. ආණ්ඩුව ලබාගෙන මාස එකහමාරක කාලයක් තුළ අපි සෑහෙන දේවල් පටන් අරගෙන ක්‍රියාත්මක කර තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ හැම තිස්සෙම කිව්වේ ඊළඟ සති දෙක මීට වඩා අමාරු කියලයි. ඒ අය බලාගෙන හිටියේ 2048 රට හදන්න. අලුත් දෙයක් කරනකොට ඒ සඳහා යම් කාලයක් යනවා. ඔය අලුත් ගෙදරකට එහෙම ගියහම ටික දවසක් යනකන් නින්ද එහෙම යන්නෙ නෑනේ. ඒ වගේ තමයි මේ කාලයත්. ඇත්තටම මේ යන්නේ සංක්‍රාන්ති කාලයක්. කවුරු මොන මඩ අවලාද නැඟුවත් තවලම ඉදිරියට යනවා.
ආයෝජකයන් රට තුළ ආයෝජනයන් කිරීම සම්බන්ධයෙන් මොන වගේ තත්ත්වයක්ද තිබෙන්නේ?
පිළිතුර –
රටවල් රැසක විදේශ ආයෝජකයන් අප රට තුළ ආයෝජනය කරන්න කැමැත්ත පළ කර තිබෙනවා. ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු රටවල් රැසක ආයෝජකයන් මෙහි පැමිණ ආයෝජනය කරන්න කැමැත්ත පළ කර තිබෙනවා. මීට කලින් විදෙස් ආයෝජකයන් මුහුණ දුන් ගැටලු, පගා ඉල්ලීම් ගැන විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතාට විස්තර ලබාදී තිබෙනවා. දැන් කවුරුත් පගා, අල්ලස් ඉල්ලන්නේ නැහැ.
ඇමෙරිකානු තානාපතිවරිය පවා පසුගියදා සඳහන් කළේ ඔබ වංචා, දූෂණ නැති රටක් හදන්න අපි ආයෝජකයන් එවන්නම් කියල. ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජනය කරන්න සුදුසු පරිසරයක් දැන් රට තුළ ගොඩනැඟී තිබෙනවා. අයවැයෙන් පසු රට පිළිවෙළකට ගමන් කරන්න පටන් ගනීවි.
ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 159දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඔවුන්ගේ මන්ත්‍රී වැටුප පක්ෂයට ලබාගන්නා බවත් එම නිසා ඔවුන්ට සිය ජීවිතය ගෙන යන්න හරි හමන් මුදලක් නැති බවත් චෝදනා එල්ල වෙනවා.
පිළිතුර –
අපේ සියලුදෙනා නිදි නැතිව වැඩ කරන අය. රෑ එකොළහයි එකොළහමාර වෙනකන් වැඩ කරන මැති ඇමැතිවරු අපට ඉන්නේ. කිසිම මන්ත්‍රීවරයෙක් මන්ත්‍රී වැටුප, තමන්ට ලැබෙන මුදල් ගැන කන්කෙඳිරි ගාන්නෙ නැහැ. මේ සුවිසල් ජයග්‍රහණය ලබාගත්තේ අපි හැමෝම එකාවන්ව මහන්සි වෙලා. එම නිසා මන්ත්‍රීවරයකුට ලැබෙන දේවල් පොදුවේ මෙම ව්‍යාපාරයට අයිති යන අදහස අපට තිබෙනවා. ව්‍යාපාරයක් භේදයකින් තොරව එකාවන්ව මහන්සි වී ලබාගන්නා ජයග්‍රහණයක කිහිපදෙනෙක් වැඩි ප්‍රතිලාභයක් භුක්ති විඳින එක සාධාරණ නැහැ. එම නිසා මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට යන බව ඇත්ත. හැබැයි ඔවුන් සඳහා වැයවන සියලු වියදම් අපි දරනවා. එතැන දී පොඩි මුදලක් පක්ෂයට ඉතුරු වෙන්න පුළුවන්. මේ දේවල් පිළිබඳ කිසිවකුට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න පළ කරන්නේ එළියේ ඉන්න පිටස්තරින්. අපේ ක්‍රමවේදය ගැන අවබෝධයක් නැති පිරිස් එහෙම කියන එක අපි කරගෙන යන දේශපාලනයට ප්‍රශ්නයක් නෙවෙයි.
මේ ව්‍යාපාරයට පිරිස් ආවේ සැප ජීවිත ගත කරන්න නෙවෙයි. අපි කලින් ජීවත් වෙච්ච විදිහට ම ජීවත් වෙමින් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. තාමත් අපේ මන්ත්‍රීවරු බොහෝ දෙනකුට වාහන නැහැ. රටේ ජනතාව සතුටු වෙන්න ඕන හොරකම් කරපු දේශපාලඥයන් හිටපු රටක මන්ත්‍රීවරු තමන්ගේ වැටුප පරිත්‍යාග කර වැඩ කරන එක පිළිබඳව. ඒකට ප්‍රශ්නයක් හදන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. ජාතික ජන බලවේගය තුළ වැඩ කරන සියලුදෙනා අවබෝධයක් ඇතිව කැමැත්තෙන් වැඩ කරන අය. ඒ අය ලෑස්තියි කැප කිරීම් කරලා පෙන්නන්න. අපගේ සංස්කෘතියක් තියෙනවා එකිනෙකා රැක බලාගැනීම. අපි කිසි කෙනෙක් අත් හරින්නේ නැහැ.
කෙනකුගේ දුකක දී අසනීපයක දී අපි ඔහුව තනි කරන්නේ නැහැ. ඔහු රැකබලා ගන්න අපි සියලුදෙනාම මැදිහත් වෙනවා. සාමූහිකව එකිනෙකා රැක ගන්නා ක්‍රමයක් අපි තුළ තිබෙන්නේ. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම අපේ ජීවිත තුළින් ආදර්ශයෙන් කරන්න ඕන එකක්. අපිත් එක්ක ඉන්නෙ අවබෝධයෙන් සහ කැමැත්තෙන් ආපු අය නිසා ඔය කියන ප්‍රශ්න කිසිවක් මේ ව්‍යාපාරය තුළ නැහැ.
සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන කාර්යාලය නඩු තීන්දුවක් අනුව ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයිති වී ඇති බව වාර්තා වෙනවා. නමුත් ලංකා සීනි පුද්ගලික සමාගමේ සේවකයන් පවසන්නේ දීර්ඝ කාලීන සැලසුමක් මත ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළක් අනුව මෙම අහිමිවීම සිදුවූ බවයි. ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ආණ්ඩුවක් තුළ මෙම රාජ්‍ය දේපළ රැක ගනීවි යැයි සේවකයන් තුළ අදහසක් තිබෙනවා. ඒ සඳහා මැදිහත්වීමක් කරන්න රජය සූදානම්ද?
පිළිතුර –
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් මා තුළ නැහැ. නමුත් අපේ ප්‍රතිපත්තිය තමයි රාජ්‍ය දේපළ රැක ගැනීම. ඒ තුළ සිට අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ජනතාව අපට බලයක් දුන්නෙ විශාල බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු ආරම්භ කර තිබෙනවා. ඕනෑම දෙයක් පටන් ගනිද්දී ඊට බාධක කම්කටොලු එනවා. ඒ නිසා අපි හොඳ දේවල් කරන්න යන එක අත්හරින්නෙ නැහැ. ආණ්ඩුවක් ලෙස ජනතාව පැතූ වෙනස කරන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ ගැන ජනතාවට සහතිකයක් දෙනවා.
සාකච්ඡා කළේ
@සිරිමන්ත රත්නසේකර
දිවයින