SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සූර්ය සහ සුළං ඇතුළු පුනර්ජනනීය විදුලිය පිළිබඳවත් ගල් අඟුරු, දැවිතෙල්, නැප්තා සහ

ඩීසල් ඇතුළු තාප බලාගාර පිළිබඳවත් විශාල මිථ්‍යා මත රාශියක් පිරී ඉතිරී ඇති තතු යටතේ ප්‍රශ්නය පිළිබඳව කතා කිරීමට ආරම්භ කළ යුත්තේ කොතනින්දැයි පවා සිතා ගැනීමට අපහසු ය.

 

 

මූණු පොතේ සමහරුන්ට අනුව ලංවිම සභාපතිවරයාගේ බිරිඳට පවා ගල් අඟුරු බලාගාර හිමි ය. අපි මේ මනස්ගාත එකින් එක ලිහමු.

 

1. ලෝකයම පුනර්ජනනීය බලශක්තිය දෙසට ගමන් කරනවාද?

 

එක්තරා දුරකට ඔව්. නමුත් හැමෝම යන්නෙ එක වේගයෙන් නෙවෙයි. මොකද පුනර්ජනනීය විදුලිය දිශාවට යන රටවල් බලාපොරොත්තු නොවූ ගැටළු රාශියකට මුහුණ දුන්න නිසා. පසු ගිය කාලෙ වේගයෙන් පුනර්ජනනීය විදුලිය දිශාවට ගිය රටවල සාපේක්ෂව විදුලි බිල වැඩියි (උදා :- ඩෙන්මාකය, ජර්මනිය, නෙදර්ලන්තය).

 

උදාහරණයකට ගෑස් වලින් නිපදවන විදුලියේ මිල වැඩි නිසා දකුණු ඕස්ට්‍රේලියාව දිගින් දිගටම අඩු මිල සුළං සහ සූර්ය බලය පද්ධතියට එකතු කළා. නමුත් පුනර්ජනනීය විදුලිය පද්ධතියට වැඩි වැඩියෙන් එකතු කරන කොට බැටරි පද්ධති, සම්ප්‍රේෂණ මාර්ග වැනි අවශ්‍ය වෙන අමතර ආයෝජන හේතුවෙන් විදුලි බිල ඉහළ ගියා. අදටත් ඕස්ට්‍රේලියාව වැඩිම විදුලි බිල තියෙන්නෙ වසරකට පුනර්ජනනීය විදුලිය 74% නිපදවන දකුණු ඕස්ට්‍රේලියාවෙ.

 

2. පුනර්ජනනීය විදුලිය පද්ධතියට වැඩි පුර එකතු කරනකොට විදුලි බිල වැඩි වෙනව නම් අපි මොකද කරන්න ඕන?

 

අපි ජර්මනිය ඕස්ට්‍රේලියාව වගේ පොහොසත් රටක් නෙවෙයිනෙ. අපේ පාරිභෝගිකය ඒකකයට රුපියල් 30ක් ගෙවන්නත් අකමැතියි නෙ. (දකුණු ඕස්ට්‍රේලියාවෙ - රු. 84යි, ජර්මනිය රු. 115යි, නෙදර්ලත්නය රු. 75යි).

 

ඉතින් බැටරි පද්ධති වල, සූර්ය පැනල වල මිල ක්‍රමයෙන් අඩු වෙමින් යන නිසා අනාගතයෙදි ඒවායේ මිල අපි වගේ රටකටත් දරාගන්න පුළුවන් වන මට්ටමට අඩු වේවි.

 

ඒ නිසා කළ යුත්තේ අපේ රටට ආර්ථිකයට දරාගත හැකි වේගයකින් පුනර්ජනනීය විදුලිය පද්ධතියට එකතු කර ගැනීම.

 

3. ඉතින් ලංවිම පුනර්ජනනීය විදුලිය සැලසුම් කරේ ඒව නො දැන ද?

 

මුලින්ම කාරණයක් කියන්න ඕන. 2030 දි 70%ක් පුනර්ජනනීය ශක්ති ප්‍රභව විලින් විදුලිය නිපදවිය යුතුයි කියන එක ලංවිම කරපු යෝජනාවක් නොවයි. ඒක රටේ දේශපාලන නායකත්වය ගත්තු දේශපාලන තීන්දුවක් (ඔව් .. රටේම වගාවන් 100%ක් කාබනික කරන්න, රජයේ ආදායම මදි වෙලා තියෙද්දි බදු අඩු කරන්න, විනිමය අනුපාත සහ පොළී අනුපාත බලෙන් අඩු අගයක තියාගන්න, වැනි තීන්දු අතරින් එකක් තමයි ඔය 70% තීන්දුවත්). ඒ නිසා ඒක කරන්න පුළුවන්ද, බැරිද, සල්ලි තියෙනවද කියල අහන්න එපා.

 

රටේ දේශපාලන අධිකාරිය ප්‍රතිපත්තමය තීන්දුවක් ගත්තම ලංවිම රජයේ ආයතනයක් විදියට බැඳිල ඉන්නව ඒක ක්‍රියාත්මක කරන්න.

 

ඒ අනුව 2030දි 70%ක් පුනර්ජනනීය විදුලිය කරා යන ගමනේ පියවරක් විදියට 2024 වසර සඳහා වහලය මත සූර්ය බලාගාර 160MW ගන්න සැලසුම් කරා. නමුත් 2024 වසරෙදි වහලය මත සූර්ය බලාගාර 600MW ක් පද්ධතියට සම්බන්ධ වුණා.

 

4. එහෙම වුණේ ඇයි?

 

ඒකට හේතුව රු. 37ක් වැනි ඉහළ අගයක් සූර්ය විදුලියට ගෙවීම. රු. 37 අගය තීන්දු වුනේ සූර්ය පැනල, ඉන්වටර් වල මිල ඉහළ අගයක තිබුණු, ලංකාවේ බැංකු පොලිය 25%කටත් වඩා වැඩි අගයක තිබුණු සහ ඩොලර් එක රු. 365ක විතර තිබුණ තත්වයක. පස්සේ ඩොලර් එක අඩු වෙද්දි, පොලී අනුපාත අඩු වෙද්දි පැනල සහ ඉන්වටර් වල මිල අඩු වෙද්දි ගෙවන රේට්ටුව 2024 ජුලි වෙනකම් අඩු කළේ නැහැ. සූර්ය විදුලියට ගෙවන රේට්ටුව අඩු කිරීම කියන්නෙ දේශපාලනිකව සංවේදී කාරණාවක් වීම මේ සඳහා බලපාන්න ඇති. දේශපාලකයන්ට පුළුවන් වෙන්න ඕන ඒ මොහොතේ ජනප්‍රිය නොවන නමුත් ආර්ථිකයට දිගු කාලීන වශයෙන් හිතකර තීන්දු ගන්න.

 

මෙහි ප්‍රතිඵලයක් විදියට තමයි පද්ධතියට දරාගත නොහැකි 600MW ක පමණ වහලය මත සූර්ය බලාගාර ධාරිතාවක් 2024 දි පද්ධතියට සම්බන්ධ කෙරුණෙ. ලංවිම සැලසුම් කරල තිබුණ විදියට සිද්ද වුනා නම් බැටරි පද්ධති සම්බන්ධ කරගන්න ඕන 2026 දි.

 

4. 2030 දි 70% ක් පුනර්ජනනීය විදුලියට යන්න ලංකාවට පුළුවන්ද?

 

මේ ප්‍රශ්නයට උත්තර දීම අතිශය භයානක වීමත් දේශපාලනිකව සහ වෘත්තීමය වශයෙන් ස්වයං විනාශකාරී වීම නිසා ප්‍රශ්නය තේරෙන හැමෝම කට වහගෙන ඉන්න තීරණය කරල තියෙනවා.

 

පොඩි උදාරහණයක් දෙන්නම්. මෑතකදී උතුරු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය (Northern Territory) තීරණය කළා ඒ අය කලින් සැලසුම් කරපු ආකාරයට “2030 50%ක් පුනර්ජනනීය ශක්ති ප්‍රභව වලින් විදුලිය නිපදවීම” සඳහා වූ සැලසුම අතහැරල දාන්න. දැනට ඔවුන් 20%ක් පුනර්ජනනීය විදුලිය නිපදවනවා. හේතුව විදියට සඳහන් වුණේ ඩොලර් බිලියන 5කට අධික වියදම, පද්ධතියේ ස්ථාවරත්වය සහ විදුලි සැපයුමේ විශ්වාසනීයත්වය දුර්වල වීම, විදුලි බිල ඉහළ යාම වැනි කාරණා.

 

5. ඉතින් ලංකාවට 2030 දි 70%ක් පුනර්ජනනීය විදුලියට යන්න මොන තරම් මුදලක් අවශ්‍ය ද?

 

දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි මුළු මුදල ඩොලර් බිලියන 11ක් අවශ්‍ය වෙනවා.

 

සම්ප්‍රේෂණ මාර්ග වලට ඩොලර් බිලියන 1.6කුත් බැටරි වලට ඩොලර් බිලියන 1.5කුත් ඇතුළුව සම්ප්‍රේෂණ පද්ධතියට ඩොලර් බිලියන 5ක් අවශ්‍ය වෙනව.

 

බලාගාර වලට ඩොලර් බිලියන 6ක් අවශ්‍ය වෙනවා.

 

ඒ අනුව වසරකට ඩොලර් බිලියන දෙකක් විතර අවශ්‍ය වෙනව 2030 දි 70%ක් පුනර්ජනනීය විදුලියට යන්න.

 

ලංකාවෙ දැනට වසරකට උපරිම සෘජු විදේශ ආයෝජන ලැබුණු වසර වන 2018 වසරෙදි ලැබුණු මුළු සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.61ක් පමණ යි.

 

ඒ නිසා මෙය දැවැන්ත අභියෝගයක්. ඔන්න මං බෑ කිව්වෙ නෑ. මේක දැවැන්ත අභියෝගයක්!

 

6. ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධ විශාල රැකියා, කර්මාන්තයක්, ව්‍යාපාර ප්‍රමාණයක් තියෙනව. ඒවට මොකද වෙන්නෙ?

 

2024 දි 600MW ක් සම්බන්ධ කිරීම සැලසුම් වලට ඔබ්බෙන් සිදුවුණු කාරණාවක්. අසාමාන්‍ය තත්වයක්. මේ කර්මාන්ත, රැකියා මේ විදියටම පවත්වාගෙන යන්න නම් 2025 අවුරුද්දෙත් පද්ධතියට 600MW ක් සම්බන්ධ කරන්න වෙනවා. මේක කරන්න පුළුවන් කමක් නෑ හේතු කීපයක් හින්ද.

 

I. ලංකාවෙ විදුලිබල පද්ධතිය සූදානම් නැහැ ඒ තරම් සූර්ය විදුලිය ගන්න.

II. ඒ තරම් වේගයෙන් විදුලිබල ඉල්ලුම වර්ධනය වෙන්නෙ නැති නිසා.

III. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බිල ඉහළ යා හැකි නිසා

 

දැන් මොකක්ද වෙන්න යන්නෙ?

 

දැනට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ගිහිල්ල තියෙනව වහල මත සූර්ය බලාගාර වලට ගෙවන අලුත් රේට්ටු යෝජනා කරල. මේ රේට්ටුව තීරණය කරන Financial model එක අඩු වැඩි වශයෙන් පරණ එකම තමයි එක කාරණයක් හැර.

 

මේ ගණන් හැදීමේ දි සාමාන්‍යයෙන් සලකන්නෙ මුළු ආයෝජනයෙන් 70%ක් ණය මුදලක් ලෙස ගන්නා බවත් ඉතිරි 30% පුද්ගලික පුද්ගලික මුදලින් යොදවන බවටත්. ඉතින් මේ 30% ක ආයෝජනයට ප්‍රතිලාභ (ROE) වශයෙන් වසරකට 11.47% ක් තමයි අරගෙන තියෙන්නෙ. මේ 11.47% කියන්නෙ වසර 10ක භාන්ඩාගාර බිල්පත් වලට ගෙවන රේට්ටුව. නමුත් කලින් වතාවත් වල සූර්ය විදුලියට ගෙවන මේ ROE එකට 3% වැඩි පුර ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට තමයි ගණනය කළේ. මෙවර 3% ක premium එක ඉවත් කරල තියෙනවා. හේතුව සූර්ය විදුලිය 2024 වසරෙදි දිගුකාලීන ජනන සැලසුමට වඩා විශාල වශයෙන් එකතු වී තිබීමත් එ නිසාම පද්ධති පාලනය සැලකිය යුතු ලෙස අභියෝග වලට මුහුණ දීමට සිදුවීමත්.

 

බැරිවෙලාවත් මේ 3% ඉවත් නොකළා නම් ගණන කීයක් වෙයි ද? අපේ ගණනයට අනුව නම් තව රු. 1.50ක් පමණ තමයි වැඩි වෙන්නෙ. සූර්ය විදුලියට ගෙවන මුදල මෙහෙම අඩු වෙන්නෙ ඇයි? හේතුව 2024 මුල් භාගයට වඩා දැන් පොලී අනුපාතිකයන්, ඩොලරයේ අගය, සූර්ය පැනල සහ ඉන්වටර් වල මිල අඩු වීම.

 

ඒ අනුව දැනට සූර්ය විදුලියට ගෙවන රේට්ටුව වන රු. 27.06 කියන අගය රු. 19.61කට අඩු වෙන්නෙ හේතු දෙකක් නිසා.

 

‌I. ආයෝජනයට ප්‍රතිලාභ (ROE) සඳහා එකතු කළ 3% ක premium එක ඉවත් කිරීමෙන් රු. 1.50ක් පමණ.

II. සූර්ය පැනල සහ ඉන්වටර්වල මිල අඩු වීම, පොලී අනුපාතික අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම වැනි හේතු නිසා රු. 5.80 ක් පමණ.

 

කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තවම තීන්දුවක් අරගෙන නැහැ. නිවැරදි මොහොතේ රටට හිතකර ජනප්‍රිය නොවන තීන්දු නොගැනීම නිසා තමයි 2024 වසරේ 160MW ක් වෙනුවට 600MW ක් ලැබෙන තැනට වැඩ සිද්ධ වුනේ. සූර්ය විදුලිය හොඳ දෙයක් වුනත් සැලසුම් කළාට වඩා ලැබීම ප්‍රශ්නයක්. සියලු කාරණා සලකා බලා කැබිනට් මණ්ඩලය ජනප්‍රිය තීරණ වෙනුවට රටට ආර්ථිකයට හිතකර තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

 

 

@ බුද්ධික විජයවර්ධන

මුහුණුපොතිනි.

නවතම ලිපි