ජවිපෙ (ජාජබ) ආණ්ඩුව හා පෙසප-ජන අරගල ව්‍යාපාරය අතර වන
දශක එක හමාරක් පමණ වූ ගැටුම සතුරු ප්‍රතිවිරෝධයක් ලෙස යළිත් උත්සන්න වී ඇත.
ලංකාවේ වාම-ප්‍රගතිශීලී දේශපාලනය වඩා තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති මෙම ඓතිහාසික මොහොතේ එම දේශපාලන ව්‍යාපාරයන් දෙක අතර යම්කිසි ආකාරයක හෝ සංවාදශීලී මුණගැසීමක් සිදු නොවීම අවාසනාවන්ත තත්වයකි.
අද වනවිට පෙසප සාමාජිකයන් හා හිතවතුන්ට අනුව ජවිපෙ(ජාජබ) ආණ්ඩුව යනු වාමාංශය පාවා දුන් ජනතා විරෝධී,ප්‍රතිගාමී ආණ්ඩුවකි. මෙම ආණ්ඩුවේ කිසිදු යහපතක් ඔවුන් දකින්නේ නැත. මැතිවරණ කාලයන්ට ප්‍රධාන විපක්ෂය විවේචනය කළ ද 'කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත' යන න්‍යායට අනුව නම් පෙසප අංක එකේ ප්‍රහාරය එල්ල කරන්නේ ජවිපෙ(ජාජබ) ආණ්ඩුවටය. සරලව කිවහොත් පෙසපට අනුව පරාජිත විපක්ෂයට වඩා එක අඩියකින් හෝ ජවිපෙ(ජාජබ) ආණ්ඩුව නරකය.
ජවිපෙ සාමාජිකයන් හා හිතවතුන්ට අනුව පෙසප යනු ජවිපෙට වෛර කිරීම හා මනෝරාජික වාමාංශික අලංකාරිකයන් මත පදනම් වූ ප්‍රායෝගිකත්වයෙන් තොර සුළුතර කණ්ඩායමකි. ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගත යුතු නැත. ඒවායෙන් ආණ්ඩු කළ නොහැකිය. ඔවුනට අනුව පෙසප යනු පරාජිත දූෂිත විපක්ෂ බලවේගයන්ගේ තුරුම්පුවක් මිස රටේ ඉදිරි ආර්ථික-දේශපාලන සංවර්ධනය පැත්තෙන් වැඩපිළිවෙලක් ඇති ව්‍යාපාරයක් නොවෙයි. එම නිසා පෙසප ගැන කතා කළ යුතු නැත. නොසලකා හැරිය යුතුය.
ඉහත මානයන් දෙකම අංශභාගයෙන් යුතුය.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව හා මෙතෙක් පැවති ආණ්ඩු අතර වෙනස පැහැදිලිව හදුනා ගෙන ප්‍රතිචාර දැක්වීම වෙනුවට පෙසප මේ මොහොතේ සිදු කරමින් තිබෙන්නේ තමන් ජවිපෙන් වෙනස් ව්‍යාපාරයක් බව එළියට දැනවීමටත්, අභ්‍යන්තර සංවිධාන මානසිකත්වය නඩත්තු කිරීමටත් ජවිපෙ ආණ්ඩුව සමග වන ප්‍රතිවිරෝධය වැඩි කිරීමයි.
ඓතිහාසික දේශපාලන කෝන්තරයන් හරහා පෙනෙන ජවිපෙ(ජාජබ) ආණ්ඩුවට වඩා පොදු ජනතාව විෂයයෙහි වැඩකිරීම අරමුණු කරගත් ආණ්ඩුවක් ඉන් ඔබ්බෙහි ඇති බව පෙසප කමකට ගන්නේ නැත. එය පෙසප නොදකින හා දකින්නට අකමැති අතිරික්තයකි. ජවිපෙ(ජාජබ) ආණ්ඩුව පවතින ධනවාදී ක්‍රමය තුළම කළමණාකාරී තාක්ෂණික ගමනක් තෝරා ගෙන තිබීම යනු ‘රනිල් කරපු වැඩේම කිරීමක්' නොවන බවට වෙන්කර හදුනා ගැනීමේ වාමාංශික න්‍යායික සිහිනුවණක් පෙසපට ඇති බවක් පෙනෙන්නේ නැත.
පුළුල් වාමාංශික-සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පදනම් වී පළමුවැන්න විචාරාත්මක-විවේචනයට ලක් කළ හැකිය. ලක් කළ යුතුය. එහෙත් මේ ආණ්ඩුව 'රනිල්ගේ පාරේම යනවා' වැන්නක් ඉන් අනිවාර්‍යෙන්ම කියවෙන්නේ නැත. ජවිපෙ(ජාජබ) ආණ්ඩුව අපේක්ෂිත සුබසාධනවාදී හා ඇතැම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් රනිල්ලාගේ ක්‍රමෝපායන්ගෙන් වෙන් කර හදුනාගැනීමට නොහැකිවීම හෝ එසේ නොකීම පෙසප බහුජන දේශපාලනයට වාසිදායක වටපිටාවක් නිර්මාණය කරන්නේ නැත.
එහෙත් මේ මොහොතේ ලංකාවේ ඇති වඩාත්ම ආචාරධාර්මික දේශපාලන පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. සිය සමාජවාදී අරමුණ හා ප්‍රතිපත්ති විෂයෙහි දක්වන අනුරාගය හා කැපවීම විසින් එය පෙන්නුම් කෙරෙයි. වඩාත් කනගාටුදායක මානය වන්නේ පෙසප ප්‍රමුඛ ජන අරගල ව්‍යාපාරය විසින් මතුකරන අත්‍යවශ්‍ය ආර්ථික-දේශපාලන යෝජනා,අවධානයන් හා සටන් පාඨයන් මේ වනවිට අවතක්සේරු වී යාමයි. මින් ඇතැම් යෝජනාවන් ජවිපෙ ආණ්ඩුවේ යහපැවැත්මට සහයෝගයකි.
වහාම 'IMF වලින් මර උගුලින් ඉවත් වෙනු' හා 'ඉන්දියානු විජිතකරණයට එරෙහි හොර ගිවිසුම් එපා' වැනි උග්‍ර රැඩිකල් යෝජනාවන් ජවිපෙ ආණ්ඩුවක් ලෙස අද මුහුණදෙමින් ඇති ගෝලීය ආර්ථික හා භූ දේශපාලන සංකීර්ණතා වටපිටාව තුළ ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවය පැහැදිළිය. (මේ ආණ්ඩුව තමන්ගේ ප්‍රතිවාදී අනෙකා වන නිසා ආණ්ඩුවේ ප්‍රායෝගික පහසු-අපහසුතා පෙසපට සතපහකට වැඩක් නැත).
එහෙත් ලංකාවේ ඉහළ ධනපති ස්ථරය හා ධන කුවේර සමාගම් වලින් පැහැර හැර ඇති විශාල බදු මුදල් ප්‍රමාණය අත්කර ගැනීම, ඉන්දීය රජය සමග අත්සන් කළ ගිවිසුම් මොනවාද යන්න ජනතාවට විවෘතව ඉදිරිපත් කිරීම, විවිධ මර්දන අණපනත් අහෝසි කිරීම, පසුගිය අර්බුද සමයන් තුළ අධික ධනයක් අත්කර ගත් ඉහළ ව්‍යාපාරයන්ගේ ධනෝපායන මාර්ග පරික්ෂා කිරීම වැනි යෝජනා වත්මන් ජවිපෙ ආණ්ඩුවට කිරීමට අපහසු කාර්‍යයන් නොවෙයි. ඔවුන් එය කළ යුතුය. එවැනි යෝජනාවන් යොමු කරන පෙසප වැනි පක්ෂයක් සමග පරණ කෝන්තර මානසිකත්වයෙන් පිටත සිට අවම වශයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ සමග කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය පවත්වා ගත යුතුය.
ජවිපෙ ආණ්ඩුව සිදුකරන හා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිත ඇතැම් ජනතාවාදී ප්‍රතිශංස්කරණ වලදී කිසිදු විවෘත සුබපැතීමක් කිරීමට පෙසප දේශපාලන හදවත විවෘත නොවීමත්, පෙසප වැනි ව්‍යාපාරයකින් ජවිපෙ වැනි ආණ්ඩුවකට ඉදිරිපත් වන අත්‍යවශ්‍ය ජනතාවාදී වැඩසටහන්-යෝජනා ජවිපෙ ආණ්ඩුව නොසලකා සිටීමත් එකිනෙක පෝෂණය වන විෂම ප්‍රතිවිරෝධයකි.
අවම වශයෙන් බටලන්ද වධකාගාරයට එරෙහිව යුක්තිය හා දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ පොදු සම්මුතියක් පවත්වා ගැනීමට වත් මෙම දෙපාර්ශවයට නොහැකි වී තිබෙයි.
මේ දෙපාර්ශවය අතර වාමාංශික සහයෝගීතාවයක් සදහා අප විටින් විට යෝජනා හා ක්‍රියාමාර්ග ඉදිරිපත් කළ ද ඒ කිසිවක් සතපහක වැඩක් වූයේ නැත. අපට බලකෙරුණු තෝරාගැනීම වූයේ එක්කෝ පෙසප මූලික කදවුර සමග හිතවත්ව දේශපාලනය කිරීම හෝ ජවිපෙ මූලික කදවුර සමග හිතවත්ව දේශපාලනය කිරීමයි. අපට අනුව ඉහත දෙපාර්ශවයම එක් වාමාංශික දේශපාලන අවකාශයක නියෝජනයක් දෙකක් වන මුත් එම පාර්ශවයන් දෙක අතර ඇත්තේ එකිනෙකා බැහැර කරන සුළු ප්‍රතිවිරෝධයකි. එහෙයින් එම දේශපාලන අක්ෂයන් දෙක එකිනෙක මුණගැසෙන ලක්ෂ්‍යයක් සම්පේක්ෂණය කරනා වාමාංශික දේශපාලනයක නිරත වීම අප වැනි කවයන්ට ඉතා දුෂ්කර කර ඇත.
අප ජාතික ජන බලවේගය හෝ එම ආණ්ඩුවට සපුරා පක්ෂපාතී නැත. ඇත්තේ විචාරශීලී සහයෝගයකි. එසේම පෙසප මූලික ජන අරගල කදවුර විසින් ජවිපෙ/ජාජබ ආණ්ඩුවට මුලිමනින්ම පිටත විපක්ෂයක් ලෙස පිහිටමින් එල්ල කරන ආන්තික විවේචනයන් අප බෙදාගන්නේ නැත.
ජවිපෙ/ජාජබ ආණ්ඩුව බිදවැටෙනවා දකින්නට අප අකමැති වන්නේ එහි ඇති ඇතැම් යහපත් ආණ්ඩුකරණ ලක්ෂණ හා සමහර ජනතාවාදී අභිලාෂයන් පිළිබදව අපට ඇති විශ්වාසයන් තවමත් බිද වැටී නොමැති නිසාය.
එහෙත් විකල්ප වාමාංශික ඉදිරි දර්ශනයක් ගොඩනැගීම හා ඊට අදාළ රැඩිකල් ව්‍යුහාත්මක පරිවර්තනයන් සිදුකිරීම පැත්තෙන් අප වැනි කණ්ඩායම් වලට ඇති දැක්ම හා පෙසප වැනි ව්‍යාපාරයන්ගේ ප්‍රතිපත්තිමය පෙනී සිටීම් අතර සමපාත වීමක්ද ඇත.
21 වන සියවසේ සමාජවාදය පරිකල්පනය කරමින් ඊට අනුයන ව්‍යාපෘතියක් යෝජනා කිරීම අප වැනි කණ්ඩායමක ස්වාධීන දේශපාලන භාවිතය වේ. දැන් ජවිපෙ ආණ්ඩුවේ හා ජන අරගල වාමාංශයේ ක්‍රියාමාර්ග අප කියවා ගන්නේ ඉහත පුළුල් වාමාංශික සිතියම මත පිහිටාය.