මේක හැමෝම කියවන්න ඕන පෝස්ට් එකක්.. මම අද ඔබට කියන්නේ ඩෙන්මාර්කයේ මිනිස්සු ළමයි හදන විදිය ගැන...
මේක බොහෝ බටහිර රටවලට පොදු ඇති. නමුත් මම දන්නෙ මේ රට ගැන.
ඩෙන්මාර්කයේ බොහෝ විට දරුවො හදන්නෙ දරුවන්ට ඉතාම ආදරය අය පමණයි. අපේ රටේ වගේ හැම ජෝඩුවකටම දරුවෙක් ඉන්න ඕනි කියල මතයක් මේ රටවල නැහැ. ඒ වගේම අපේ රටවල වගේ වයසට ගියාම තමන්ම බලා කියාගන්න දරුවො හදන ආකල්පයක් මිනිසුන්ගෙ ඇත්තෙම නැහැ.
ඩෙන්මාර්කයේ ඉතාම පහසුවෙන් සෞඛ්‍යාරක්ෂිතව අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කරගන්න පුළුවන් සහ උපත් පාලන ක්‍රම ගැන නව යොවුන් වයසෙදිම ලැබෙන දැනුම නිසා අනවශ්‍ය දරුවන් ඇත්තේම නැති තරම්.
ඒ වගේම දෙමව්පියන් දරුවන් ලබන වයස්සීමාත් විවිධයි. සමහරුන් විශ්ව විද්‍යාල හෝ උසස් අධ්‍යාපනය මැදදීම ඉතාම තරුණ වයසෙදි දරුවන් හදනවා. තවත් අය අපේ රටවල වගේ ඉගෙනීම අවසන් කරල රැකියාවට යොමු වුන අළුත දරුවන් ලබනවා. උදාහරණයකට මගෙත් එක්ක වැඩ කරන බොහෝ වෛද්‍යවරියන් එලෙස මව් වරුන් වූ අය...
යම් කොටසක් ඉන්නවා මැදිවිය වෙනකල්ම නිදහසේ ජීවත් වෙලා දරුවන් පතන. තවත් උදවිය ඉන්නවා දරුවන් අනවශ්‍ය බරක් . ඊට වඩා ජීවිතය විඳල නිදහසේ ඉන්න ඕනි කියල හිතන.
ඒ වගේම තමන්ට දරුවො හිටියත් ,නැතත් , දුප්පත් රටවල දරුවො එක් කෙනෙක් හෝ කිහිප දෙනෙක් දරුකමට හදාගන්න පවුල් බොහොමයක් ඉන්නවා.
කොහොම උනත් බොහෝවිට දරුවො හදන්නෙ දරුවන්ට ඇත්තටම ආදරය අය පමණයි.
සමාජ සම්ප්‍රදායකට හෝ සමාජ බලපෑමකට දරුවො හදන ක්‍රමයක් නැහැ. අපේ රටවල වගේ යුවලකට දරුවෙක් නැතිකම මොනම විදියකින්වත් වෙන කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නෙවෙයි.
දරුවන්ට ලමා කාලයේ අවශ්‍ය රැකවරණය සහ ආදරය දෙනවා හැර මේ රටවල දෙමව්පියන්ට අපේ රටවල මව්පියන්ට තියෙන බොහෝ ප්‍රශ්න සහ වගකීම් නැහැ. දරුවන්ට ඉහලටම උගන්වලා හොඳම රැකියාවක් අරන් දෙන පීඩනය ඔවුන්ට නැහැ.
මේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුව තමන් කැමති රැකියාව හෝ අධ්‍යාපන ක්ෂේත්‍රය තෝරගන්නෙ දරුවන්මයි. ඒ සඳහා නිසි වයසෙදි සෑම අධ්‍යාපන ක්ෂේත්‍රයක් ගැනම සහ රැකියා අවස්ථා සහ රැකියා හරහා ඉහලට ඉගෙනීම ගැන දැනුම දරුවන්ට පාසැලෙන් ලැබෙනව. දෙමව්පියන් දරුවන්ට යන්න මඟක් සකසන්න ඕනි නැහැ. උදාහරණයකට මගේ දියණිය කවදා කවුරු වෙයිද කියලවත් මම තවම හිතල නැහැ. ඇය ඉහලටම ඉගෙන ගන්නවට ශ්‍රී ලාංකික මගේ යටි හිත කැමති වුනත් ,ඇය ඉතාම සුළු රැකියාවක් තෝරගත්තත් ඒ හා සමාන ඉතා හොඳ ජීවිතයක් ගෙවන්න හැකි යථාර්තය මම සමාජයේ දකිනව.
ඒ වගේම මෙහි සියළුම පාසැල් සහ ඉහල අධ්‍යාපනය නොමිලේ නිසා දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් ඉතුරු කරන බර මව්පියන්ට නැහැ. අවුරුදු 18 වෙනකල් රජයෙන් මුදල් දෙනව දරුවන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් දෙම්පියන්ට. දුප්පත් පෝසත් තරාතිරම නොබලා. ඊලඟට අවුරුදු 18න් පසුව අධ්‍යාපනයෙ යෙදෙන සියළුම දරුවන් අතටම රජයෙන් මුදල් දෙනව.. හරියට අපේ මහපොල ශිෂ්‍යත්වය වගේ.
දරුවො වෙනුවෙන් දේපල එකතු කරන ක්‍රමයක් මෙහි නැහැ. තමන්ගෙ දේපල දරුවන්ට පැවරීමකුත් නැහැ බොහෝවිට. ඇත්තටම එහෙම පවරනවා නම් ඒවට යෙදෙන නොයෙකුත් බදු නිසා ඒක දරුවන්ට බරක්. රටේ ආර්ථික ස්වභාවය අනුව දරුවන්ට ඊට වඩා ලෙහෙසියෙන් තමන්ටම දේපල මිලදී ගන්න පුළුවන්.
ඊලඟට වයසට ගියාම දෙමව්පියො බලාගන්නෙ රජයෙන්. ඒ කියන්නෙ මහලු මඩම් වලට මව්පියො එනවම නෙවෙයි. එහෙම සාත්තු නිවාස වල ඉන්නෙ මහළු අයගෙන් 4% ක විතර ප්‍රමානයක්. ඔවුනුත් බොහෝ විට ඩිමෙන්ෂියා , ඇල්ෂයිමර්ස් වගේ අමතක වීමේ රෝග සහ නොයෙකුත් රෝග තියෙන තනියම ජීවත්වීම අපහසු අය. 80% පමණ වැඩිහිටියන් ඉන්නෙ ඔවුන්ගෙ මුල් නිවාස වල. ඔවුන්ට අවශ්‍ය ප්‍රමානය අනුව සේවා සැපයීම් සහ සාත්තු සේවය රජයෙන් කරනවා. ඉතුරු කොටස තමන්ගෙ මුල් නිවාස විකුණල වැඩිහිටියන් සඳහාම තියෙන නිවාස යෝජනා ක්‍රමයක හෝ වැඩිහිටි ගම්මාන වල නිවෙස් මිලදී ගන්නව. වැඩිහිටි නිවාස යෝජනා ක්‍රමයක ඔවුන්ව රැක බලාගන්න සහ නිවාස පිරිසිදු කරන්න එහිම සේවා මඩුල්ලක් ඉන්නවා.
වැඩිහිටි ගම්මාන පාලනය කරන්නෙ එහිම පාලක මඩුල්ලක්. සමාන විනෝදාංශ තියෙන සාමූහිකව මිතුරු මිතුරියන් සමඟ එදිනෙදා ජීවිතය බෙදාගන්න කැමති වැඩිහිටි අය එවැනි ගම්මාන තෝරගන්නව. කොහොමත් මෙහි වැඩිහිටියන් එකිනෙකාට උදව් කරගන්න ඉහල මිතුරු ජාලයක් තියෙන පිරිසක්. කතාව දිග වෙන නිසා මම ඒ ගැන වෙනම ලිපියක් ලියන්නම් දවසක.
කොහොම නමුත් දෙමව්පියො දරුවො හදන්නෙ තමන්ව බලාගන්න නොවෙයි. නමුත් දෙමාපියන් සහ දරුවන්ගෙ බැඳීමේ අඩුවකුත් නැහැ. මම දන්න බොහෝ පවුල් සහ මගේ දියණියගේ මිතුරු මිතුරියන්ගෙ දෙමව්පියන් සති අන්තයේ සෙනසුරාදා දිනය සහ නත්තල් නිවාඩුව ගත කරන්නෙ වැඩිහිටි දෙමව්පියන් සමඟ. මට මතකයි නත්තල් නිවාඩුවට සතියකට පෙරම මගේ දියණියගෙ ගුරුවරිය ඇගේ පවුල සමඟ වෙනත් දූපතක ඉන්න දෙමව්පියන්ගේ නිවසට යන බවත් , ඒ ගමනට ඔවුන් සමඟම ඇගේ සැමියාගේ දෙමව්පියන් ( ඔහු එකම පුතු බැවින්) සහභාගි වන බවත් ඇය කිව්වා. ඒ වගේම දෙමව්පියන්ගෙන් දුරස් වුන දරුවොත් කොයි රටේ වගේම ඉන්නව.
තව දෙයක්. මෙහෙ ටියුෂන් සහ වාර විභාග නැති නිසා ලංකාවෙ දෙමව්පියන්ට තියෙන ලොකුම බර සහ වියදම මෙහි නැහැ.
මේ හැම කාරණාම බලද්දි මෙහි දෙමාපියන්ට බොහෝ දුරට තියෙන්නෙ දරුවන් විඳින්න විතරයි. විශේෂයෙන් ඔවුන්ගෙ ලමා කාලයේදි. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් උපරිම කැප වෙනවා. ඔවුන් අපි වගේ නොවෙයි. අපි වගේ දරුවන් සෙල්ලම් කරනකල් බලාගෙන ඉන්නෙ නැහැ. ඔවුන් සමඟ ඒ විදියටම සෙල්ලම් කරනවා. දරුවන් සමඟ සෙල්ලම් බත් උයන, ඔවුන් සමඟ හිම ක්‍රීඩා සහ නොයෙකුත් ක්‍රීඩා කරන , ලමයි තරමටම නටන දඟලන දෙමව්පියෝ මිස අපි වගේ අත් බැඳගෙන දරුවන් සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න දෙමව්පියන් දකින්නේම නැහැ. අපිට ඒ ගැන ලැජ්ජාවකුත් හිතුන අවස්ථා බොහෝයි.
ඒ වගේමයි ඔවුන් නිතරම හිතන්නෙ ලමයින්ට උපරිම ලමාකාලය දීම ගැනමයි. ගුරු දෙගුරු සාකච්ඡා නිතරම ඒ ගැනමයි. ඊලඟට නිතරම දෙමව්පියන්ගෙන් කෙටි පණිවිඩ හෝ ලියුම් ලැබෙනවා මගේ දියණිය සමඟ සති අන්තයේ හෝ හවස්වරුවක සෙල්ලම් කිරීමට ඔවුන්ගේ දරුවෙකුට අවස්ථාව ඉල්ලල. සමහරවිට දරුවන් රාත්‍රිය යහළුවෙකු ගෙදර ගතකරනවා දෙමව්පියන් කතා කරගෙන.
ඒ වගේම මේ රටවල දරුවො පාසැල් යන්නෙ තනියම. ආරක්ෂාව උපරිම නිසා ඒ ගැන දෙමව්පියන්ට බරක් නැහැ. පාසැලෙනුත් ඒ සඳහා දරුවන් යොමු කරනවා. උදාහරණයකට බයිසිකල් සති විටින් විට පාසැලේ තියෙනව. ඒ සතියට පාසැල් එන්න ඕනි බයිසිකලයෙන් විතරයි. ඒ වගේම හෙල්මට් එක , බයිසිකලයේ ලයිට් හැමදේම හරියට තියෙනවද කියලත් ඒ සතියෙ බලනව.
ලොක් ඩවුන් නිසා ඊයෙ මගේ පහේ පන්තියේ දුවගෙ ඔන්ලයින් පාසැලේ ක්‍රියාකාරකම තනියම 5km ක් පයින් ගිහින් ඒ ගිය පාර මං සලකුණු සහිතව විස්තර කිරීම. ඉතින් ඇය තනියම ගියා. තව යාළුවෙකුත් මගදි මුණ ගැහුන කිව්ව වෙන මඟක යන.
පෙරේදා පාඩම එලියෙ ගෙදරින් දුර තැනක තනියම විනාඩි 15 ක් නිහඬව ඉඳල එයාගෙ පංච ඉනිද්‍රියන්ට ඒ නිහඬතාවය හරහා දැනුන දේවල් විස්තර කිරීම. තවත් දවසක පරිසරයේ නිහඩ තැනක පැය බාගයක් ඉඳගෙන ඉඳල කතන්දරයක් ලිවීම.
මේ කියමන් හරහා ඔබට හැඟීමක් එනව ඇති දරුවො ස්වාධීන ජීවිතයකට කොයි තරම් පාසැලෙන් යොමු කරනවද කියල. මේවට දෙමව්පියො පස්සෙන් යන්න බැහැ.
ඉතින් මම මේ හැම දේම කිව්වෙ ඩෙන්මාකයේ දෙමව්පියො ගැන අවබෝධයක් ගන්න. මම ඒ කොටස නොගැලපුවානම් ඔබට හිතෙයි දරුවන්ට කිසිම ආදරයක් නැති අම්මල තාත්තල මේ රටවල ඉන්නෙ කියල. මොකද ලංකාවෙ ඉන්න කාලෙ මම හිතුවෙත් එහෙමයි. එහෙම හිතුනොත් මම දෙන්න යන පණිවිඩය ඔබ ග්‍රහණය කරගන්නෙ වැරදි තැනකින්. ඒ නිසයි මුල් විස්තරය ලිව්වෙ.
ඒ වගේම සමාජ ආර්ථික ක්‍රමය අනුව මේ කිව්ව එක දෙයක්වත් අපේ රටේ ක්‍රියාත්මක කරන්නත් බැහැ. නමුත් මම ඊලඟට කියන දෙය විතරක් කොයි රටෙත් පුළුවන්. බොහෝ දුරට.
ඒ තමයි මේ රටේ දෙමව්පියන් දරුවන් පරිසරයට නිරාවරණය කරන විදිය.
ගැබිණි මව්වරුන් හැසිරෙන්නෙ සාමාන්‍ය විදියට. පොදු වාහනයක ආසනයක් දුන්නත් ඔවුන් බොහෝවිට ආචාරශීලීව ප්‍රතිෂේප කරල හිටගෙන යනව. ප්‍රසූතියට ආසන්න වෙනකල්ම ඔවුන් රැකියා වලට යනව. ඒ විතරක් නොවෙයි පුරුදු විදියටම ජිම් එකටත් යනව.
මෙහි කාලගුණ තත්වය අනුව සතියකට සැරයක්වත් වැස්ස . ඒ වගේම එය බොහෝවිට මද සුලඟක් සමඟ එන හිරිකඩ වැස්සක්. ඒ හුළඟට කුඩ ඔරොත්තු නොදෙන නිසා මිනිස්සු සහ දරුවො වැස්ස වගක් නැතිව තෙමි තෙමී යන්න පුරුදුයි. මාස ගනනක දරුවොත් වගක් නැතිව වැස්සෙ , පින්නෙ , හිමේ අරන් යනව ලොකුවට ආවරණය නොකර.
ඉස්කෝලෙ ඇරිල ගෙදර එන දරුවො මඩ වලක් දැක්කොත් ඒකට පැනල මිස මඟ ඇරල එන්නෙ නැහැ. හිම ගොඩක් දැක්කොත් එහි රූටල මිස එන්නෙ නැහැ.
මගේ දුවගෙ සපත්තු දෙක , ජැකට් එක නිතරම මඩ කරියෙක්ගෙ වගේ. ලංකාවෙ වගේ කිරි සුදු ,ඇඳුමටත් වඩා පිරිසිදු සපත්තු දාන පුරුද්දක් මෙහි දරුවන්ට නැහැ. හැමෝම දාන්නෙ මඩකරි සපත්තු.
එහෙම උනත් මගේ දියණිය අපිරිසිදු කෙනෙකුත් නොවෙයි. පාසැල ඇරිල ආව ගමන්ම ඇඳුම් මාරු නොකරම ගෙදර අස්කරන එක ,වැකුම් කරන එක ඇගේ පුරුද්දක් හැමදාම. මුළු ගෙදරම සතියකට සැරයක් පුටු මේස කකුල් පවා පිරිසිදු කරල මොප් කරන්නෙ ඇයමයි මගේ ඉල්ලීමක් අණක් නැතිවම.
ඒ වගේම පාසැල් ඇතුලට වෙනම පහසු සෙරෙප්පු යුගලක් හෝ මේස් පමණක් දරුවන් පලදින නිසා පාසැල් ඇතුලත හුඟාක් පිරිසිදුයි.
නමුත් ඔහු බොහෝ විට පාසැල් ක්‍රියාකාරකම් සහ ඉගෙනගැනීම් මේ වැස්සෙ පින්නෙ එලිමහනෙ සහ කැලෑවල කරනව. එදාට පාඩමට පරිසරයට යන්න අවශ්‍යනම් අද වැස්ස කියල නොයා ඉන්න ක්‍රමයක් ගුරුවරුන්ගෙ නැහැ. සතියේ පාඩම් විස්තරය දෙමව්පියන්ගෙ අන්තර්ජාල පිටුව හරහා බලන්න පුළුවන් නිසා පිටතට යන දවසට එදාට කාලගුණ විස්තරයට අනුව සූදානම් කිරීම දෙමව්පියන්ගෙ වගකීමක්. එහෙම නැතත් තියෙන ඇඳුමක් දාගෙන වැස්සෙ හරි හැමෝම එලියට යනව.
මෙහි ගැහැණු පිරිමි හැම දරුවෙකුටම ගස් නගින්න , ඉහල තැනකදි සමබරතාවය තියාගන්න පුළුවන්. ගහක් දැක්කොත් කණුවක් දැක්කොත් රිලවු වගේ නගින එක පොඩි ලමයින්ගෙ පුරුද්දක්. ඔවුන්ගෙ මොන්ටිසෝරිවල උනත් පිටත හදල තියෙන්නෙ එහෙම උස් තැනකදි වුවත් සමබරතාවය රැකගැනීම අරමුණු කරගත් සරල ආම්පන්න. ලමා සෙල්ලම් පිටිත් ඒ වගේ. හරියට අපේ ආමි ට්රේනිං මධ්‍යස්ථාන වල වගේ.
ඉතින් මේ විදියට පරිසරයත් එක්කම හැදෙන දරුවො හරිම නිරෝගියි. ඉතාම කර්කශ කාලගුණික තත්ව වලදි පවා ඔවුන් අසනීප වෙන්නෙ හරිම කලාතුරකින්. මම දුවගෙන් අහල බලනවා නිතරම. ලමයිට හෙම්බිරිස්සාව උණ පවා හැදෙන්නෙ හරිම කලාතුරකින්.
ඔබ ඊලඟට කියයි ඕවා ඩෙන්මාකය වගේ පිරිසිදු රටවලට කලාට අපේ රටවලට ගැලපෙන්නෙ නැහැ කියල. නැහැ ලංකාවට පුළුවන්.
මට මතකයි මම බදුල්ල මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය අංශයෙ මගේ මුල්ම පත්වීම , වැඩ කරන කාලෙ වතු දෙමල අම්මලා ප්‍රසූතිය සඳහා එනව. ඔවුන් ඇතැමුන්ගෙ අසීරු ප්‍රසූතියකින් පස්සෙ දරුවො අඬන්නෙ නැතිව ඉන්නව. එතකොට මම දරුවට ස්වසන බට දාන්න උත්සාහ කරද්දි ඉතාම පලපුරුදු වින්නඹු අම්මල කියනවා "නෑ ඩොක්ටර් මේ දරුව කීයට හරි අඬනවා. විනාඩි 4ක් ඇතුලත නොහැඬුවත් මෙයාලගෙ මොලේ මැරෙන්නෙ නැහැ . මෙයාල ගලේ ගැහුවත් මැරෙන්නෙ නැහැ. දළු කඩන අම්මලාගෙ මේ දරුවො බඩේදිම හැම දුකක්ම දරාගන්න පුරුදු වෙලා එන්නෙ "කියල .
ඔවුන් ඒ හැම විටෙකම වගේ නිවැරදි වුනා.
ඉතින් මමත් ඒ විදියටම හිතල මගේ ගර්භනීකාලෙ වැස්සෙ තෙමිල ,සීතල වතුර නාල ,කාර් එක තනියම එලවල කිසි අමුතු දෙයක් නොකර හිටිය. මාස 3 දී දුවව වැස්සට අල්ලල ගෙට ගෙනාව. ඊට පස්සෙ නිතරම එහෙම කලා.
පුංචි කාලෙ එයත් එක්ක වැස්සෙ නැටුව.
මවුකිරි හැර වෙන කිසිම කිරි වර්ගයක් දුන්නෙ නැහැ කහට දාල අපි බොන කිරි දෙවේලම එයාටත් දුන්න හැර. ඇත්තටම මම දෙතුන් විටක් දෙන්න උත්සාහ කලත් ඇය ප්‍රතිෂේප කලා.
මාස 10 ඉඳල අපි කන කෑම ටිකක් සැර අඩුවෙන් හදල මේස පුටුවක වාඩිකරල එයාටම කන්න දුන්න. ඊට පස්සෙ කවදාවත් කැව්වෙ නැහැ එයා කන තරමක් හැර. මම කවදාවත් සුදු ජාතිකයො අවුරුද්ද පහුවුන දරුවන්ට කෑම කවනව දැකල නැහැ.
ඔබ හුඟක් දෙනෙකුට මතක නම් අපිට කවලත් නැහැ අපේ අම්මල. ඒ වගේම අවුරුදු දෙකේ ඉඳල ඇය තනියම නෑවා. මම මුල් කාලෙ සබන් ගියාද කියල බැලුව විතරයි.
හැමදාමත් ඇයට අවුරුදු 3න් මොන්ටිසෝරි යන කාලෙ ඉඳල තනියම ඇඳ ගන්න පුරුදු කලා. ඔබ විශ්වාස නොකරයි නමුත් මම ඇයට පැම්පර්ස් ඇන්දුවෙ එකම එක දවසයි මඟුල් ගෙදරකට. මාස 3 ඉඳලම ටිකෙන් ටිකට කොමඩ් එකට අල්ලල මම ඇයව bladder training කලා. මාස 6-8 වෙද්දි මුත්‍රාශය පාලනය කරගන්න ඇය ඉගෙන ගත්තා.
එතකොට කුරුල්ලෙකුට වගේ පලතුරු කැව්වෙවත් ,මාංශ භක්ශකයෙකුට වගේ මස් මාළුම කැව්වෙවත් නැහැ.
පුංචි කාලෙම අත අතඇරල වගකීමක් ඇතිව පාරෙ අයිනෙන් යන්න පුරුදු කලා.
එතකොට විෂබීජ ? මම ඇයට කිරිදෙන මාස ගනනක පුංචි කාලෙ වැඩ කලේ නුවර මහරෝහලේ කායික රෝග දැඩි සත්කාර ඒකකයෙ. විෂබීජ ගුහාවක. වැඩ ඇරිල එහෙමම ඇඳුම් පිටින් කාර් එකේ යන ගමන් කිරි දෙනව ඉස්සර. එතකොට ගෙදර ඔබේ දරුවට ඊට වඩා කෙතරම් අවම විෂබීජ අවධානමක්ද ?
මේ හැමදේම මම කලේ ඔබ ඉන්න ලංකාවෙදි. අපි මෙහෙ ආවෙ ඇයට අවුරුදු 5දි.
මේ අවුරුදු 11 දිම මම ඇයට ප්‍රතිජීවක ඖෂධ කවදාවත් දීල නැහැ. අවශ්‍ය නොවුන නිසා. ඩෙන්මාකයේදි ඇය එකම එක සැරයක් උණ හැදිල ඇගේ වෛද්‍යවරය ලඟට ගියා. මොකද මගේ දරුවට බෙහෙත් දෙන්න මෙහි බැහැ. පරීක්ෂා කලා පමණයි. කිසිම බෙහෙතක් දුන්නෙ නැහැ. ඒ මෙහි ප්‍රතිකාර කරන විදිය. තදට උණ නිසා මම ඇහුව පැය 6න් 6ට පැරසිටමෝල් දෙන්නද කියල. වෛද්‍යවරය පුදුම වෙලා ඇහුව "ඒ ඇයි. ඇඟ රිදෙනවනම් රිදුන වෙලාවට දෙන්න. උණ කියන්නෙ රෝග ලක්ෂණයක්. මෙයා උණ වලිප්පුව හැදෙන කෙනෙකුත් නෙවෙයි. ඉතින් මොකටද උණ අඩුකරන්නෙ. හිත රවට්ටන්නද ? ඒක තිබුණට මොකෝ "කියල. ඒ වෙලාවෙ ඔහුගෙ නිවැරදිකම ඉස්සරහ සහ ලංකාවෙ අපේ රවටන උපායමාර්ග ගැන මට දැනුනෙ හරිම ලැජ්ජාවක්.
ඉතින් ඔය විදියට මම දුව ලංකාවෙ හදල තිබුණෙත් මේ ඩෙන්මාකයේ දරුවො හදන විදියටමයි. ලංකාවෙ වතුකරයෙ දරුවො හදන විදියටමයි. ලංකාවෙ අන්ත දුප්පතුන් දරුවො හදන විදියටමයි.
ඒ කියන්නෙ පරිසරයත් එක්ක දරුවො හදන එක.
ඒක අපිට අමුතු දෙයක් නොවෙයි. මට මතකයි මම පුංචි කාලෙ හැදුනෙත් එහෙම. ගමේ ,කුඹුරෙ ,ඇලේ දොලේ අපි සෙල්ලම් කලේ. ඇඟේ සමබරතාවය තියාගෙන අපි ගස් නැග්ග. ගස් උඩත් සෙල්ලම් ගෙවල් දැම්ම. වැස්සෙ නටල ලිප් බොක්කෙ ගිණිතැප්පා.
අපි ප්‍රතිජීවක (antibiotics ) මුලින්ම බිව්වෙ වයස 20 ත් පැනල. එතකල්ම කොත්මල්ලි. අද ඔබේ දරුවෙ වගේ වයස මාස ගනන් වලදි නෙවෙයි. මගේ දුවට මම තවමත් කොත්මල්ලි දෙනවා හෙම්බිරිස්සාවට. එහි ප්‍රතිජීවක ගුණයක් තියෙන බවට ලමාරෝග මහාචාර්ය මුදියන්සේ රස්නායක මහතා කිව්ව නිසා එක දවසක.
අදටත් ඩෙන්මාකයේ මිනිසුන්ට හැදෙන බොහෝ ඉතාම අසාධ්‍ය බැක්ටීරියා අසාදන රෝග පෙනිසිලින් වලින් සනීප කරන්න පුළුවන්. මට මෙහෙට මුලින්ම ආවම හිතුනෙ 1960 ගනන්වල රටකට ආව වගේ. පෙනිසිලීන් තවම පාවිච්චි කරද්දි. නමුත් ඒක තමයි ප්‍රතිජීවක භාවිතයේ ස්වර්ණමය පරිස්සම.
අපේ රටවල අද පෙනිසිලීන් වලට සනීප වෙන රෝග නැහැ. ප්‍රතිජීවක අවභාවිතය නිසා. ඒකට වග කියන්න ඕනි වෛද්‍යවරු විතරක් නෙවි. හැම පුංචි කැස්ස හෙම්බිරිස්සාවටම බෙහෙත් ගන්න යන සහ දවසෙන් ලෙඩ සනීප කිරීම බලාපොරොත්තු වෙන ඔබ. දෙන ප්‍රතිජීවක මාත්‍රාව සනීප වුන ගමන් මගදි නවත්තන ඔබ.
දරුවගෙ හැම ලෙඩටම බෙහෙත් මල්ලක් දෙන ,ප්‍රතිජීවක මල්ලක් දෙන වෛද්‍යවරයාටත් වඩා watch and wait කියල ඔබේ දරුවගෙ ජීවිත අවධානම අතට අරගෙන බලාගෙන ඉන්න වෛද්‍යවරු බොහෝ අවස්ථාවල නිවැරදි සහ බුද්ධිමත් බවත් තේරුම් ගන්න. ඔබ එතනට ආවොත් අපේ වෛද්‍යවරුන්ට හරි ලේසියි නිවැරදිව ප්‍රතිකාර කරන්න.
ඒ නිසා දරුවො හදද්දි තව පරිස්සම් වෙන්න. ඕනිවට වඩා පරිස්සම් නොකර ඉන්න පරිස්සම් වෙන්න, අවශ්‍ය අවස්ථාවල හැර.
හොරගල විමලතිස්ස - උපුටා ගැනීමකි.