ලොවට ජීවය දෙන ඇය බිළිඳියක් ලෙස ඉපිද දියණියක් ලෙස හැදී වැඩී පතිනියක් මවක් ගෘහණියක් ලෙස සිය වගකීම් යුතුකම් ඉටුකර
සිය සැදෑ සමය තුළ ද තම නිදහසද දරුවන්ගේ දරුවන් වෙනුවෙනුත් කැපකර අවිවේකීයව මියයයි. සිය ජීවන ගමන තුළ ජීවිතයේ ආරම්භයේ සිටම අවසානය දක්වා විවිධ භූමිකා රඟපාන ස්ත්‍රිය ඇතැම් සමාජවල දේවත්වයෙන්ද ඇතැම් සමාජවල පාපී වහලියක් ලෙස ද ගැරහුම් ලබයි. පවුල විවාහය ඥාතිත්වය ආගම අධ්යාපනය නීතිය දේශපාලනය තුළ ස්ත විවිධ හැල හැප්හැප්පීම්වලට ලක්වුවද අද වන විට සියලු අභියෝග ජය ගනිමින් ලෝකය තුල ජව සම්පන්නව නැගී සිටිනු දක්නට ලැබේ.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය ජීව විද්‍යාත්මක බෙදීම පදනම් කරගෙන ඇති වූ සමාජ විද්‍යාත්මක බෙදීමකි. පුරුෂාධිප්‍ය සහිත සමාජය තුළ මෙය වඩාත් තීව්‍ර වූ අතර ඒ තුළ ස්ත්‍රිය විවිධ පීඩාවන්ට මුහුණ දෙන ලදී. ලොව මුල් සමාජ තුළ සමූහයේ නායකත්වය කාන්තාවට හිමි වූ අතර කෘෂිකාර්මික යුගයේ පුරුෂයාට ශ්‍රමයේ වටිනාකම වැඩිවීමත් සමග ස්ත්‍රියකගේ වටිනාකම ගිලිහිනි. භාරතය බ්‍රාහ්මීය සමාජය තුළ ඇය ඉතා පීඩාවන්ට ලක්වූ අතර ඉන්දියාවේ පැවති සති පූජාව තුළ සැමියා මියගිය ස්ත්‍රියට සිය සැමියාගේ ම දර සෑයට පැන මිය දෙන්නට සිදුවිය. චීන මැදපෙරදිග රටවල පමණක් නොව කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන යුරෝපයේ රටවලද කාන්තා ගෘහස්ථ හිංසනය හා සමාජ හිංසනය එතරම් වෙනසක් නොවීය දෑවැද්ද හා ස්ත්‍රිය දරුවන් බිහිකිරීම වැනි කාරණා හේතුවෙන් ස්ත්‍රී උපත් පාලනය කරන්නට සමහර රටවල් උත්සාහ දැරීය. එනම් ස්ත්‍රිය සිය ශරීරය තුල ගර්භාෂ පිහිටීමේ වරදට බිලිඳු වියේදීම මරණ දඬුවම විඳින ලදී.
ඇය සම්බන්ධව ලාංකීය සමාජ දෘෂ්ටිය භාරතයේ තරම් ඍණාත්මක නොවුණ ද එතරම් වෙනස කුදු නොවීය ගැහැණු වැඩ, ගැහැනුන්ගේ නුවණ හැඳිමිටේ සහ ගැහැණුන්ගෙ පින කුණු මුල්ලේ වැනි වදන් සමාජගතවී ඇති අතර ඇය පිළිබඳව වටිනාකම ඇය විසින්ම නැතිකරගත් වුවත් ඉතිහාසයේ සිට අද දක්වාම වාර්තාවේ ලංකාව තුළ පුරුෂ මූලික ගෘහස්ථ හිංසනයට ලක්වන අවස්ථා වාර්තා වේ මෙය සෘජුව පහරදීමක් පමණක් නොවන අතර මානසිකව ඇතිවන අවතක්සේරු කිරීම් වධ හිංසනයන් මෙයට අන්තර්ගත වේ.
ශ්‍රී ලංකාවේ ජන ජනගහනයෙන් සියයට 51% එකක් කාන්තාවන් වන අතර පාර්ලිමේන්තුවෙහි ස්ත්‍රී දේශපාලන නියෝජනය සියයට 6% ක ටත් අඩු වේ. පළාත් පාලන ආයතන වල තත්වය මීටත් වඩා අඩුය. පසුගිය පළාත් පාලන මැතිවරණවලදී 25% ක ස්ත්‍රිය දේශපාලන නියෝජනය තහවුරු කිරීමට උත්සාහයක් ගත් අතර විවිධ බාධක මධ්‍යයේ යම්තාක් දුරට එම තත්ත්වයට ළඟා වීමට හැකි වුවද එය බලාපොරොත්තු වූ තරම් ම නොවීය. පවුල් බැඳීම් මැතිවරණ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට නොහැකියාව සංස්කෘතිකමය බාධාවන් ප්‍රධාන වශයෙන් කාන්තා දේශපාලන සහභාගීත්වය අවම වීමට හේතුවේ.
ආගම තුල බරපතල ලෙස කාන්තාව පීඩනයට ලක්වන අතර ඇය අපිරිසිදු තැනැත්තියක් ලෙස සමාජගත මතයක් ඇත .හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ වැඩම වුවද කාන්තාවන්ට දළදා මන්දිරයේ තේවාව අකැපය. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩම වුවද කාන්තාවන්ට බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුව තහනම්ය.ස්ත්‍රීන්ගේ ඔසප්වීම් කාලසීමාව තුළ ඇයට දේවාල භූමි තහනම් අතර ස්ත්‍රි දෙවඟනන් වැඩ ඉන්නා භූමි ද තහනම්ය. ස්ත්‍රිය දෙවඟනන් වැඩ ඉන්න දේවාලවලට පුද පූජා කරන්නේ පිරිමි කපුවන් විසින් ය. සමාජය විසින් ගොඩනගාගත් ඒ පිළිබඳ දුර්මත සමාජ ප්‍රගමනයට ප්‍රබල ලෙස බලපා ඇත.
මැදපෙරදිගට සිය ශ්‍රමය විකුණන විදෙස් විනිමය ගෙනෙන ස්ත්‍රියගෙන් යැපෙන අපේ රට තුළ ස්ත්‍රිය පවතින තත්වයට වඩා වැඩි වටිනාකමක් හා අවස්ථාවක් ලබාදිය යුතු අතර ඇයගේ භූමිකාව හා කාර්යභාරය නිසි ලෙස අවබෝධ කරගතහොත් රට සංවර්ධනය කිරීම එතරම් අපහසු නොවේ.
ස්ත්‍රිය සංවේදී වන අතර ඇය දක්ෂ නිරීක්ෂකයෙකි. ඇයට තියුනු සමාජ ඉවක් ඇති අතර ඒ තුළ ගැටලු හඳුනාගැනීම හා අවශ්යතාවයන් අනු ප්‍රමුඛතාවයන් පෙළගස්වමින් මනාලෙස ගැටලු කළමනාකරණය කිරීමේ හැකියාව ඇයට ඇත. ස්ත්‍රිය පුරුෂයාට සාපේක්ෂව මනා සැලසුම්කරණයකින් යුක්ත අතර පවුල තුළ සියලු කටයුතුවලට නායකත්වය දෙමින් ක්‍රියාත්මක වීමේ හැකියාව ඇත. එමෙන්ම කුමන බාධක ආවත් සියලු බාධක ජය ගනිමින් සිය අරමුණු කරා ළඟා වීමේ ශක්තිය ස්ත්‍රිය සතුවේ.
ඇයගේ මෙම හැකියාවන් පවුලක දියුනුවට අත්‍යවශ්‍ය වන අතර ඇයව ක්‍රමවත් උපදේශනයක් හා බල ගැන්වීමකින් පහසුවෙන් රටේ සංවර්ධනය කරා යොමු කළ හැකිය. මන්ද සංවර්ධන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපක්‍රමයන් ඇය ඇයගේ ජීවිතය තුළ නිතැතින්ම පුරුදු පුහුණු කරන බැවිනි.
ඒ සඳහා දැනට පවතින ක්‍රමවේද හා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම ප්‍රමාණවත් නොවන අතර ග්‍රාමීය කාන්තාවගේ ආකල්ප වෙනස් කිරීමේ සමාජ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක් අවශ්‍ය වන අතර එය තුළ ස්ත්‍රිය සිය ශක්තීන් හඳුනා ගනී. එමෙන්ම පවතින වාතාවරණය අවබෝධ කරගැනීම සහ අනාගතයේ සංවර්ධිත රටක් තුළ ඇයගේ භූමිකාව අවබෝධ කරගෙන ඒ අනුව ඇය සකස් කලයුතු වේ. එවිට ඇය සිය හැකියාවන් අවදි කර ගනිමින් රට නිවැරදි දිශාවට මෙහෙයවනු ඇත.
කතිකාචාර්ය දීපිකා උදයකාන්තී
රජරට විශ්ව විද්‍යාලය