විශ්වවිද්‍යාල විද්‍යාර්ථියා ලාංකීය ගැමි වහරෙහි එන ලෙස "විස්‌සවිද්‍යාලකාරයා"
(මෙම ලිපියේ "විස්‌සවිද්‍යාලකාරයා" යන වචනයේ එන සියලු ද්වනිතාර්ථ ද සමග යොදා ගැනෙන්නේ එකල හෝ මෙකල විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි හා සිටින සිසුවා වෙනුවෙනි) ලෙස අප හඳුන්වන්නේ ඉන් ගම්‍ය වන ඔහු පිළිබඳ වීරත්වය හා බුද්ධි ප්‍රභාව කැටි මහේශාක්‍ය ප්‍රතිරූපය නිසා පමණක් නොව, ඒ හරහා ඔහු ප්‍රතිසංස්‌කරණය නොහැකි ලෙස ගොනාට ඇන්දවී ද තිබෙන නිසා ය. විද්‍යාර්ථියා "විස්‌සවිද්‍යාලකාරයා" වීම තුළ කොතරම් ගොනාට ඇන්දවී තිබේ ද කිවහොත් ඔහුට තම මූලික භූමිකාව පවා හඳුනා ගැනීමට නොහැකි ව අරමුණක් නැති, තමා කවුද, කුමන දිසාවකට ගමන්කරන්නේ ද යන්න හඳුනා ගැනීමට නොහැකි ව වල්මත්වූ එකකු බවට පත් ව තිබේ.
විශ්වවිද්‍යාලවල එදා මෙන් ම අද ද පැනනගින ගැටලුවලට ප්‍රධාන හේතූව විද්‍යාර්¨ථි භූමිකාවෙන් "විස්‌සවිද්‍යාලකාරයාගේ" භූමිකාවට ඒමෙන් පසු පැනනැගෙන ඉහත කී වල්මත් මානසිකත්වයි. වල්මත් බවට මූලික ම පදනම වැටෙන්නේ පාසල් සිසුවා විශ්වවිද්‍යාලයට පැමිණි විගස, ඔහුගේ ඥාන සම්පාදක භූමිකාව ගලවා ඔහු ව පූර්ණකාලීන සටන්කරුවකු ලෙස බෞතිස්‌ම කිරීමත් සමගම ය.
විටෙක මෙහි ඉතිහාසය විශ්වවිද්‍යාලය තරම් ම පැරණි ය. තමා විශ්වවිද්‍යාලයට පැමිණි මූලික ම අරමුණ, එනම් ඥානනය හුදු විකල්පයක් පමණක් වී, මින් පසු ඔහු තුළින් රාජ්‍යයට එරෙහි සටන පෙරට එන්නේ ය. එහි දී දැනුම හා එම දැනුම ලබාදෙන විශ්වවිද්‍යාලය නමැති ආයතනය පවා ඔහු ගේ "මහාඅනෙකා" බවට පත්වේ. විශ්වවිද්‍යාලය ඔහුගේ සතුරාගේ දෘශ්‍යමාන නියෝජිතයා ය. මෙම තත්ත්වය දැන් ඝන ව මුදවා තිබෙන පාරභෞතිකයෙකි. අලුතින් දුන් සටන් භූමිකාව පිළිබඳ පාරභෞතිකය, එනම් මිත්‍යාව කෙතරම් පද්ධතික විඥානය තුළට කිඳාබැස තිබේ ද කිවහොත්, 'ඔරිජිනල්' සිසුවා යනු සටන්කරන "විස්‌සවිද්‍යාලකාරයා" ය. විද්‍යාර්ථියා අපතයෙකි. බාහිර සමාජය ද මෙම මිත්‍යාව එදා සිට ම ඒ අයුරින් ම පිළිගෙන තිබේ. ඔවුන් සිතන්නේ ද සිසුවා 'විස්‌සවිද්‍යාලකාරයා' මිස, විද්‍යාර්ථියා නොවන බව ය. බොහෝ විශ්වවිද්‍යාල සටන් හුදු ව්‍යාජ ඒවා බව දැන දැන ම බාහිර සමාජය ඒවා ගැන නොතකන්නේ සිසුවා ඒ තම සමාජ භූමිකාව ර`ගදැක්‌වීමේ ක්‍රියාවලියේ යෙදී සිටින බව සිතමිනි. 'විස්‌සවිද්‍යාලකාරයාගේ' සමාජ ප්‍රකාශනය දැනුම නොව, සටන බව බාහිර සමාජයේ තාමත් පවතින මෝඩ අදහසකි.
විශ්වවිද්‍යාල සිසුවා විද්‍යාර්ථියාගෙන් ගලවා "විස්‌සවිද්‍යාලකාරයා" බවට පත්කරන්නේ මාර්ක්‌ස්‌වාදීන් විසිනි. ඊනියා සර්ව සාධාරණ ලෝකයක් උදෙසා වන සටන දියත් කිරීමට පහසුම මග විශ්වවිද්‍යාලය බව තැකූ මාර්ක්‌ස්‌වාදී දේශපාලකයා තම රොමැන්තික අලංකාරෝක්‌ති හරහා දෙමාපිය ග්‍රහණයෙන් මිදී විශ්වවිද්‍යාලය නමැති 'නිදහස් බිමට' පැමිණි නොපැසුණු විද්‍යාර්ථියා ඉතා පහසුවෙන් හීලෑ කරගන්නේ ය. එනම් 'විස්‌ස විද්‍යාලකාරයෙකු' කරන්නේ ය. ඔහු එසේ කරන්නේ අරමුණු දෙකක් එකවර ඉටුකර ගැනීම සඳහා ය. එකක් විද්‍යාර්ථියාගේ මෙන් නොව 'විස්‌සවිද්‍යාලකාරයාගේ' නොපැසුණු බව හරහා නැගෙන ප්‍රශ්න කිරීමකින් තොර පාක්‌ෂික භාවයයි. අනෙක නම් 'විස්‌සවිද්‍යාලකාරයාට' 'බුද්ධිමතකු' ලෙස බාහිර සමාජයේ තිබෙන සංකේතීය බලයයි.
පළමුවෙනි කරුණ 'එනම් ප්‍රශ්න කිරීමකින් තොර පාක්‌ෂික භාවය' යන කරුණ මගින් ම දෙවැනි කරුණ විසංයෝජනය කළ ද 'විස්‌සවිද්‍යාලකාරයා' යනු ප්‍රශ්න නොකර පිළිගන්නකු බව ගැමියා නොදන්නා හෙයින් දෙවැනි කරුණ මඳක් වැඩියෙන් විමසා බැලිය යුත්තකි. 'විස්‌සවිද්‍යාලකාරයා' බුද්ධිමතකු බවට වන විශ්වාසය සහමුලින් ම ගැමි නිර්මාණයකි. මෙම ගැමි-නිර්මාණය 'විස්‌සවිද්‍යාලකාරයා' ඉතා සූක්‌ෂම ලෙස තම සමාජ ප්‍රාග්ධනය ලෙස දැන් ස්‌ථාපිත කොටගෙන තිබෙන බව ඇත්තකි. එහෙත් මෙය ව්‍යාජයකි.
සරල ම උදාහරණයක් ගනිමු. 'විස්‌සවිද්‍යාලකාරයා' අතීතයේ පටන් ම ඉතා පහසුවෙන් කිසියම් මතවාදයකට හීලෑකරගත හැකි ය. ඔහු ආකර්ෂණීය මතයකට, පුද්ගලයකුට වහා නැමෙන සුළු ය, ඉන් වහා ගිණිකන වැටෙන සුළු ය. බොහෝ 'විස්‌සවිද්‍යාලකාරයින්' මාර්ක්‌ස්‌වාදයට ඇදෙන්නේ චේ ගුවේරා ගේ කඩවසම් පෙනුම නිසා ය. චේ ගුවේරාට තිබෙන තැන කාල් මාර්ක්‌ස්‌ට වුව නැතිවන්නේ මාර්ක්‌ස් කඩවසම් නැති නිසා ය. 'ආදරය වේ' වැනි හැ`ගුම්බර පාර භෞතිකවලින් පෙනීයන ලෙස, 'විස්‌සවිද්‍යාලකාරයා' චේ ආගමක්‌කොට අදහන්නේ, එසේ කිරීමට පටන් ගත් දා සිටම මාර්ක්‌ස්‌වාදය අවසන්වන බව නොදැන ය.
කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනීයන්නේ 'විස්‌සවිද්‍යාලකාරයාගේ' තුළ තිබෙන බොලඳ බව නොවේ ද? ඔහු ගේ සුවිශේෂී බුද්ධිමත් බව නොව පෘථග්ජන බව නොවේ ද? විමසුම් නුවණ නොව ආදානග්‍රාහිත්වය නොවේ ද? මේ අතර 'විස්‌සවිද්‍යාලකාරයා', නිදහස්‌කාමී, අදීන, වීයකු ය යන මිත්‍යාව හැට සහ හැත්තෑව දශකවල මාර්ක්‌ස්‌වාදී ඌරුවක් ගත් චිත්‍රපටවලින් ද තවදුරටත් ජනහිත්වලට කාන්දු කරන ලදී. මේවා නිර්මාණය කළේ ද රොමැන්තික මාර්ක්‌ස්‌වාදීන් විසිනි. කෙසේවෙතත්, මිනික්‌බිති ව 'විස්‌සවිද්‍යාලකාරයා' මෙකී අරුමැසි මාර්ක්‌ස්‌වාදී රූපරාමුවල සදාතනික ව තනිවීමට තීරණය කරන ලද අතර ගැමියා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගත්තේ ය.
'විස්‌සවිද්‍යාලකාරයා' පිළිබඳ සියලු මිත්‍යා හෙළිවන්නේ, ඔහු විශ්වවිද්‍යාලයෙන් පිට ව ගිය සැණින් ය. පවතින රජයට හා එහි දේශපාලන ක්‍රියාකාරිත්වයට එරෙහි මරාගෙන මැරෙන සටනක් කරන 'විස්‌සවිද්‍යාලකාරයා' විශ්වවිද්‍යාලයෙන් පිටව යන මොහොතේ සිට ම සටන අතහරින්නේ හිරිකිත හිතෙන ලෙස ය. එදා ද අද ද එසේ ය. එදා මෙන් ම අද සටන්කරුවෝ පවතින රජයේ ඉහළ තනතුරුවලට පත් ව, උදාහරණයක් ලෙස පරිපාලකයකු, මන්ත්‍රීවරයකු, ඇමතිවරයකු හෝ පොලීසියේ ඒ.එස්.පී. කෙනකු බවට පත්වී ශිෂ්‍ය සටන් මර්දනය කිරීමට පෙරළා විශ්වවිද්‍යාලට පැමිණෙති. වත්මන් උසස් අධ්‍යාපන ඇමතිවරයා ද හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයකු බව අප අසා තිබේ. මාර්ක්‌ස්‌වාදී පෙළපොත්වලින් අහුලා ගත් සටන් පාඨ කියමින් වීදි සරන විශ්වවිද්‍යාල සටන්කරුවන් දැන්නම් බොහෝවිට නවතින්නේ ෆේස්‌බුක් ගිණුම්වල ය. ඒ ද නිකම් නොවේ, ටයිපටි පැළඳගෙන ධනවාදී කාර්යාල පරිශ්‍රයක අසිරිය තම හිතවතුන්ට උජාරුවෙන් පෙන්වමිනි. ඔවුහු ඊට, තම හිතවතුන්ගේ, ලයික්, එකක් ද අපේක්‌ෂා කරති.
'විස්‌සවිද්‍යාලකාරයා' එක්‌වර ම පැතිමාරු කරගන්නේ ඇයි? සරල ය. ඒ අන් කිසිවක් නිසා නොව, ඔහුට දැන් අරමුණක් ලැබී තිබේ. තමා දැන් ජීවත්වනවා ය යන හැ`ගීම ඔහු තුළට ගමන්කොට තිබේ. ඒ අනුව, ඔහු තම විසිරුණු, ඉලක්‌ක, අරමුණු නැති ජීවිතය නැවත එකදුපාදා කරන්නේ ය. ජීවිතයට අරමුණක් දෙන්නේ ය. ඒ ඔස්‌සේ, ඒ පසුපස තම ගමන දිශාගත කරන්නේ ය.
කෙසේ වෙතත්, 'විස්‌සවිද්‍යාලකාරයන්' තුළ ආරම්භයේ පටන් ම මාර්ක්‌ස්‌වාදීන් විසින් පැලපදියම් කර තිබූ ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිවාදය නිසා 'විස්‌සවිද්‍යාලකාරයා' හා මෙරටේ රාජ්‍ය නිරන්තරයෙන් ම ගමන්කර තිබුණේ එකිනෙකට විරුද්ධ දිසාවන්ට ය. වර්තමානයේ ද එය එසේ ය. මින් අදහස් වන්නේ වෙනස් දේශපාලන මත දැරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිs විය යුතු ය. එහෙත් වෙනත් දෘෂ්ටිවාද දැරීම පිළිබඳ ප්‍රශ්නයකි. දෘෂ්ටිවාදයක් විසින් කිසියම් පද්ධතියක සුසමාදර්ශී වෙනසක් අපේක්‌ෂා කරන අතර දේශපාලන මතයක් විසින් ඉල්ලා සිටින්නේ සමාන පද්ධති ප්‍රදේශයකි. ලංකාවේ විශ්වවිද්‍යාල ව්‍යාපාරය ගොඩනංවා ඇත්තේ එකහෙළා රාජ්‍යයට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිවාදයක් මත ය. භයානකත්වය ඒ ය. ඒ විසින් නිරන්තරයෙන් ම ඉල්ලා සිටියේ පවතින රාජ්‍ය ක්‍රමයට විරුද්ධ වන ලෙස ය. පවතින ක්‍රමය තම සතුරා ලෙස දකින ලෙස ය. විශ්වවිද්‍යාල ආයතනය හා ගුරුවරයා පවා ධනවාදී කඳවුරේ නියෝජිතයකු ලෙස 'විස්‌සවිද්‍යාලකාරයාට' දිස්‌වන්නේ මේ නිසා ය. අවසානයේ 'විස්‌සවිද්‍යාලකාරයා' විද්‍යාර්ථියෙකු වීම සහමුලින් ම අතහැර තම දෘෂ්ටිවාදී සතුරාට එරෙහි සටන්කරුවෙකු බවට පත්වන්නේ ය. 'විස්‌සවිද්‍යාලකාරයා' හා රාජ්‍ය අතර පවතින සම්බන්ධය පෙන්වා දිය හැකිවන්නේ සීතල යුද සමයේ සෝවියට් දේශය හා ඇමරිකාව අතර තිබූ ගැටුම ආශ්‍රයෙනි.
මේ අනුව, ලංකාවේ විශ්වවිද්‍යාලය හා රාජ්‍ය ගොඩනංවා තිබෙන තර්කනය එහෙම්පිටින් ම අතාර්කික ය. නූතන රාජ්‍ය විසින් ඉල්ලා සිටින එක් ප්‍රධාන ඉල්ලීමක් වන්නේ රාජ්‍යයේ සියලු අංශ, විශේෂයෙන් අධ්‍යාපන අංශය, එක් පොදු අරමුණක් කරා ගමන් කළ යුතු බව ය. එසේ කිරීමෙන් පමණක් ම රාජ්‍යයේ පොදු අරමුණු, එනම් තමාගේ අරමුණු සාක්‌ශාත්කරගත හැකි ය. රාජ්‍ය ධනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් අධ්‍යාපනය ඊට සමගාමී විය යුතු ය.
ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ධනවාදී ය. අප විසින් ම ඊට එක හෙළා එක`ග වී තිබේ. එසේ නොමවූයේ නම් වර්තමානයේ රාජ්‍ය බලය දරනු ඇත්තේ සමසමාජ, කොමියුනිස් පක්‌ෂ හෝ ජනතා විමුක්‌ති පෙරමුණ විසිනි. එහෙත් ගෙදර දී ධනවාදී ආණ්‌ඩුවලට ඡන්දය දී විශ්වවිද්‍යාලයට ගොස් මාර්ක්‌ස්‌වාදී න්‍යාය පත්‍රවලට වැඩකිරීම ලංකාවේ තිබෙන සුවිශේෂී තත්ත්වයකි. තව ද පෙරළා වසර හතර අවසානයේ නැවතත් ධනවාදී පක්‌ෂයක සාමාජිකයකු වීම ඊටත් වඩා සුවිශේෂි තත්ත්වයකි.
මෙම සුවිශේෂී රූපාන්තරනය අතරතුර 'විස්‌සවිද්‍යාලකාරයාට' අර්බුද රැසකට මුහුණ දීමට සිදුවේ. ඉන් ප්‍රමුඛතම ය වන්නේ තමා කවුද, තමාගේ දිශාව කුමක් ද යන්න පැහැදිලි ව ඔහුට නිර්වචනය නොවීම ය. 'විස්‌සවිද්‍යාලකාරයාගේ' මෙම ව්‍යාකූල, දෙබිඩි තත්ත්වය-එනම් අනන්‍යතා අර්බුදය - ඔහු ව ව්‍යාකූල කරන්නේ ය. බියට පත්කරන්නේ ය. ඔහු අරමුණක් නැති, දිසාවක් නැති අයකු බවට පත්කරන්නේ ය. පරාධීන රංචු-යෑපුම්කරුවකු බවට පත් කරන්නේ ය.
@colombawassa.blogspot.com