SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලයිලා ලෙබ්බේ, උපන්නේත් ඉගෙනුම ලැබුවේත් අක්කරෙයිපත්තුවේ ය.

ඇයට ළමාවියේ පටන්ම විශාල සිහිනයක් තිබුනි. ඒ සිහිනය ඇය ද ඇතුලත් පරපුරේ පොදු සිහිනය වූ ඉංජිනේරුවෙක්, දොස්තරෙක් හෝ ගණකාධිකාරියෙක් වීම නම් නොවේ; පුංචි ගුරුවරියක් වීමය. ළමයින්ට ඉගැන්විමය. ඇගේ අම්මලාට, අම්මම්මාලාට[ ආත්තම්මා] සිදුවු ආකාරයට ගෙදරට “බැලමෙහෙවර” කර මදි පාඩුවට මැදපෙරදිග ගොස් බැලමෙහෙවර කිරිමෙන් ගැලවෙන්නට ලයිලාට බලවත් වුවමනාවක් තිබුණි. සමහරවිට මේ සිහිනය ඇයට දෙන්න ඇත්තේ ද අම්මාය. ඕ මැදපෙරදිග සිට කොළඹට ගුවනින් එන අතරේ ලැබුණු විවේකයෙන් මේ කල්පනාව ලබන්බට ඇත. කොහොම නමුත් ලයිලාට තිබූ මේ සිහිනය අපොස සාමන්‍යපෙළ මහ ඉහලින් සමත්වීමත් සමඟ වඩාත් වැඩිවෙන්නට ඇත. අවාසනාවට කෝවිඩ් මාරයා ලංකාවට කඩාපාත් වුනේ ඇය උසස්පෙළ පංතියට ඇතුලත් වූ අවුරුද්දේමය.

අවුරුදු 16ක් පිරෙද්දී ලයිලා පීපී වැනෙන පියකරු මලක් මෙන් ගෙදර දුවපැන ඇවිදිමින් සිටියාය. ඇයට පාසල් යාමක් ද නැත. ඇය, වාපා [තාත්තා] ඇතුළු පවුලේ පිරිමි ඥාතීන්ගේ ඇස්වල ඇනෙනෙ කටුවක් බවට පත්වන්නේ මෙතැන් පටන් ය. මේ මෝඩ පිරිමි රැල විශ්වාස කරන්නේ ස්ත්‍රීන් යනු පිරිමින්ගේ ලිංගික වුවමනාවන් සපුරා අනතුරුව දරුවන් වැදිමේ මැෂිමක් බවට පත්විය යුතු බවය. මේ විශ්වාසය හා ‍රටේ පවතින මුස්ලිම් විවාහ නිතියේ අනුබලය ලැබූ මේ පිරිමි රැල වහාම ලයිලා කසාද බන්දා දීමට යුහුසුලු වුහ.

පලස්තීනයේ ලයිලා හා අක්කරෙයිපත්තුවේ ලයිලා -

‘තමා තවමත් නව යොවුන් දැරියක් බවත් ඉගෙනීම අවසන් කර ගුරුවරියක් වූ පසු වැඩිහිටි පිරිමින් කැමති ඕනෑම “පිරිමියෙක්” සමඟ විවාහ විමට කැමති බවත් ලයිලා හඬා වැටෙමින් කිවාය. ඇගේ එම ඉල්ලිම මේ පිරිමි රැලට ඇසුනේ ‘පලස්තීනයේ ලයිලා ඛාලිඩ්’ ලෝකයේ මුල්ම ගුවන් යානා කොල්ලය සිදු කරමින් කළ නිවේදනය ඊශ්‍රායෙල් ආන්ඩුවට ඇසුණු ආකාරයට ය. “මට කසාදයක් නොව ගුරුවරියක් වෙන්නට දෙන්නැයි” ආක්කරෙයිපත්තුවේ ලයිලා කළ ඉල්ලීම එහි පිරිමින්ට ඇසුනේ “ පලස්තීනයේ නිදහස පතා පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනිමට මේ ගුවන් යානය පැහැරගෙන යමි” යන පලස්තීන ලයිලාගේ ඉල්ලීම වගේ ය. අක්කරේපත්තුවේ පිරිමි රැල ලයිලාගේ ඉල්ලීම දෙස බැලුවේ පලස්තීන ලයිලාගේ ඉල්ලීම දෙස පලස්තිනයේ සතුරන් බලන ආකාරයට ය. ඔවුහු වහාම “ලේ මාංශයෙන් සැදි ස්ත්‍රී මැෂිමක්” සොයන පිරිමියෙක් සොයා පුංචි ලයිලා කසාද බැන්දා දුන්හ. ඇගේ අහිංසක සිහිනය රළුපරළු පිරිමි පයින් පාගා චප්ප කර දැමූහ.

මේ අවනඩුව පසිඳලූ ආකාරය අක්කරේපත්තුවේ පිරිම්න්ට පොදු සතුටක් ගෙන දුන්නත් එහි එක් තරුණයෙකුට පමණක් ශෝකයක් හා කම්පාවක් ඇති කළේ ය. ඒ තරුණ අමීන් ය. අමීන් පේරාදෙණිය සරසවියේ සිසුවෙක් ය. කෝවිඩ් වසංගතය නිසා සරසවි වසා තිබූ මේ කාලයේ අමීන්ට “සංස්කෘතික වසංගතයක්” කළ මේ අපරාධය ලෙහෙසියෙන් අමතක කළ නොහැකි විය. ඔහු සරසවියේ මිතුරුකැලට ‘ලයිලා ලෙබ්බේ’ ගේ ඉරණම කීවේ ය. එය වෙනස් කිරීමට මැදිහත් වීමට නොහැකිවීමේ කම්පාව කීවේ ය. ඒ ගැන කෙටි චිත්‍රපටයක් තනා සෙසු නිදහස්කාමීන් සමඟ ලයිලාගේ අත්දැකීම බෙදාහදා ගැනිමේ වුවමනාව මතු වූයේ මේ කතාබහ සිදුවෙන අතරේ ය.

mulla 2

‘ලයිලාගේ කතාව’ සිනමාව නැඟෙයි

අමීන්ගේ සරසවි මිතුරුමිතුරියෝ ‘ලයිලා’ චිත්‍රපටය හැදීමට විවිධ උපකාර කිරීමට ඉදිරිපත් වුහ. සරසවි ඇදුරුමඬුලේ සිටි සිනමා අධ්‍යක්ෂකවරියක් අමීන්ගේ සහායට ඉදිරිපත් වීම ඔහුට මහත් ධෛර්‍යයක් විය. පුත්තලමෙන් පේරාදෙනියට පැමිණි නීතිපීඨයේ “පාතිමා” පර්දාව නොගලවා ලයිලාගේ චරිතය රඟපෑමට ඉදිරිපත් වූවාය. කොළඹින් පේරාදෙණියට ගිය “ නස් රිමා” චිතරපටියේ සහාය අධ්‍යක්ෂණය බාර ගත්තාය. මුස්ලිම් හා හින්දුවරුන් එක්වී තනන ‘ලයිලාගේ කතාව” රූ ගත කිරීමට අක්කරෙයිපත්තුවට කොළඹින් ගියේ බෞද්ධ හා ක්‍රිස්තියානි කැමරා කණ්ඩායමකි. කෙටියෙන්ම කීවොත් මේ සිනමාව පිරිසිදු ලාංකික සිනමාවක් බවට පත්වෙමින් තිබුනේ ය.

රූගත කිරීමේ දින යෙදුනේ නොවැම්බර් අග සතියට ය. සියල්ලෝම ඒ වෙනුවෙන් අක්කරෙයිපත්තුවට ගියහ. සරසවි සිසුවෙකු වු “අමින්” මේ සියළුම දෙනාට හැකිපමණින් පහසුකම් සැලසුවේ ය. අඩු වියදම් හෙවත් ‘ලෝ - බජට්’ චිත්‍රපට තැනෙන්නේ සිනමා කණ්ඩායමට ඥාතිමිත්‍රාදින්ගේ නිවෙස්වල නවාතැන් හා කෑමබිම සැපයීමෙන් ය. මේ නිසා ‘ලයිලාගේ කතාව’ සිනමාවට නැඟීම අක්කරෙයිපත්තුවට රහසක් නොවීය. එකම “රහස” වි තිබුනේ එහි ඇතැම් චරිතවලට දෙමළ බස කතාකරන හින්දුවවරුන් යෙදීම පමණි. විශේෂයෙන්ම නිළියන් සොයා ගැනිමේ දී මේ විකල්පය යොදා ගැනීම හැර වෙනත් විසඳුමක් “අමින්” ට නොවීය. චිත්‍රරපටයේ මුල් රූ ගැන්වීම් දිනයේ උදේ වරුව වැඩිකලබලයක් නැතිව නිදහසේ කෙරුණේ ය. එහි සිටින “තාලිබාන් මුල්ලාවරු” සරසවි ගිය අමීන් මෙන්ම ඔහුගේ නාඳුනන මිතුරුකැල “නටන නාඬගම” දෙස සැකයෙන් හා විමසිල්ලෙන් බලා සිටියහ. මේ වග සිනමා කංඩායම නොදැන සිටියෝ ය.

 

“තලේබාන් මුල්ලාවරු” අවි අතට ගනිති

දහවල් වෙද්දී අක්කරේපත්තුවේ දැඩි උණුසුම කඳුකරයේ, බඟවන්තලාවේ සිට රඟපැමට ගිය “හින්දු ලීලාට” සැරට දැනුනේ ය. “ලීලා” රඟපාමින් සිටියේ වැඩිහිටි මුසොල්මානු ස්ත්‍රී චරිතයකටය. මේ නිසා සම්ප්‍රදායික බුර්කාවක් හෙවත් අබයාවක් ඇගේ කොස්ටියුමය හෙවත් රංග වස්ත්‍රය වී තිබුනේ ය. මුළු සිරුරම වැසෙන සේ අඳින බුර්කාවෙන් මුහුණ ද වෙනම කළු රෙදි කඩකින් වැසෙන්නේ ය. දැස් පවා කළු දැල් රෙද්ද්කින් බැඳී වැසෙන්නේ ය. හිරිහැරකාරී රංග වස්ත්‍රය යටින් එන උණුසුම “ලීලාට” දරා ගත නොහැකි විය. ඇය රඟපාන අතරතුර ලැබුණු කෙටි විවේකයේ දී මහමඟ අයිනේ සිට බුර්කා රංග වස්ත්‍රයේ මුව ආවරණය ඉවත්කර ගලන දහඩිය පිස දැමුවාය. එකෙනෙහිම අක්කරේපත්තුවේ විදි පුරා හාහූවක් පැතිරුනේ ය. ඊළඟ මොහොතේ තලේබාන් මුල්ලාවරු පොලු මුගුරුගෙන දර්ශණ භූමියට කඩා වැදුනාහ.

“වහාම රූගන්විම් නතර කරණු. නැතිනම් කැමරා ආම්පන්න සියල්ලම කුඩුපට්ටම් කරමු. නළුනිළි කැලට ගල් ප්‍රහාර දෙමු. රංග භූමියේ තැනිම්වලට [සෙට්] ගිනි තබමු. මේ තරුණ සිනමා කණ්ඩායමේ සහායට, උපකායට, ආරක්ෂාවට, කිසිවෙක් නොසිටියේ ය. අක්කරෙයිපත්තුවේ සිටින තාලිබාන් මුල්ලාවරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්තාවෙන්, එක්සත් ජාතීන්ගේ විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියෙන් හා අන්තර්ජාතික මානව හිමිකම් නීතියෙන් තහවුරු කර ඇති අදහස් දැරීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කරද්දී එහි ඇති ලංකා පොලිසිය මේ මානව උරුමය “බලු කූඩුවට” දමා වසා “ආරක්ෂා” කරමින් සිටියේ ය...! එහි සරළ අදහස තාලිබාන් මුල්ලාවරු සමඟ ලංකා පොලීසිය ද එකම ප්‍රතිපත්තියක පිහිටා සිටින බව නොවේ ද?

mulla 3

ඊළාම් යුද්ධය හා ආබ්දුල්ලා නිකායේ ඉරණම

“අමීන් හා ඔහුගේ ආරධිත සිනමා කණ්ඩායම චිතරපටය තැනීම පසෙක ලා දිවි රැකගන්නට අක්කරෙයි පත්තුවෙන් පළා ගියහ. ඔවුන්ට නවාතැන් හා රංග භූමි පහසුකම් සැලසුනේ මඩකලපුවේ හින්දු ගම්මානයක දීය. එයත් හරියටම මීට වසර 15 කට පෙර කලා රසිකයන් මෙන්ම සවදේශීක මුස්ලිම් දහමක් අදහන නැගෙනහිර කාත්තන්කූඩීයේ ‘අබ්දුල්ලා’ නිකායට අත් වූ ඉරණම ය. මේ ආකාරයට කාත්තන්කූඩියෙන් පළවා හැරි අබ්දුල්ලා නිකායේ බැතිමතුන්ට රැකවරණ හා ආරක්ෂාව සැලසුනේ හින්දු ගම්ම්මාන වලින් ය.

මේ සියවස ආරම්භයේම ලංකාවේ වහාබ්වරුන්ගේ සන්නද්ධ ජිහාඩ් ආගමික හමුදාව "මිත්යාදෘශ්ටිකයන් සංහාරය" කිරීම ඇරඹුවේය. මේ වනවිට රජයේ හමුදා හමුදා හා ඔත්තුසේවා සමඟ ඊළාම් කොටි හමුදාව මැඩලීමේ යෙදී සිටි මේ ජිහාඩ් හමුදාවට සූෆී මුස්ලිම්වරුන් ද මැඩලීමේ රාජකාරිය සවය්ංවම මෙහෙය වීමට ඉඩක් ලැබුනේය. රජයේ හමුදා වලින් ලැබුණු හැඳිනුම්පත් ආයුධ හා බොම්බ මේ වහාබ් ජීහාඩ්වාදීහු නිල නොවෙන ෆට්වාව ක්රියාවේ යෙදවීමට යොදා ගත්හ. ඒ අනුව තරීකතුල් මුෆ්ලිහීන්වරුන් ගේ නිවෙස් වලට වෙඩි ප්රහාර හා බොම්බ ප්රහාර එල්ල වුනේය. ඔවුන්ගේ කාත්තන්කූඩි භාවනා මධ්යස්ථානය ගිනි දැමුනේය. විශේෂයෙන් මේ ප්රහාරයේ ගුරු අබ්දුල්ලා [රාහ්] හා නිකායේ ප්රධාන අනුගාමීන් ඉලක්කවී තිබුනේය.

පල්ලි හා සොහොන් විනාශකිරීම

මීටත් වඩා ප්රචන්ඩකාරී හිංසාවාදී ප්රහාරය තරීකතුල් මුෆ්ලිහීන් සූෆී මුස්ලිම්වරුන්ට එල්ල කෙරෙන්නේ 2004 වසරේ ඔක්තොඹර් 31 වෙනිදා රාත්රියේ දීය. 500ක් පමන වූ සන්නද්ධ කාත්තන්කූඩී වහාබ්වාදී ජීහාඩි හමුදව පලමුව යලි ගොඩනඟා තිබූ ‘මෙත්තායි’භාවනා අසපුව ට ගිනි තබන්නේය. එහි පුස්තකාලය ද එම ගින්නටම පුදන්නේය. අනතුරුව අබ්දුල්ලා ගේ බැතිමතුන්ගේ නිවාස හා ව්යාපාරික ස්ථාන ද පහර දී විනාශ කර ගිනි තබන්නේය.

මේ අපරාධ සමුහය සිදුවෙද්දී පොලිසියෙන් හෝ රජයේ ආරක්ශක හමුදාවල වලින් කිසිම බාධාවක් සිදුවූයේ නැත. සමහර විට රජයේ හමුදා මේ තමන් පුහුණුව දී සන්නද්ධ කල ජිහාඩ් හමුදාව ඊලාම් කොටින්ගේ ම කොටසක් විනාශ කරනාවායයි සිතන්නට ඇත. නමුත් ප්රචන්ඩ ක්රිය ඉදිරියේ පොලීසියේ තපස් රැකීම විවේචනය කරමින් නිවෙදනය නිකුත් කල එම පදනමේ සභාපති එම්. සී. ඒ. හමීඩ් කාත්තන්කූඩි පොලිසිය ජීහාඩ් අපරාධකරුවන්ට සහාය දුන් බව ට චෝදනා කලේය. පසුව එම පොලීසිය මේ බරපතල අපරාධ සමූහයේ සැකරුවන් හැටියට පුත්ගලයින් 8 දෙනෙක් අත් අඩංගුවට ගත්තත් පසුව ඔවුන් ඇප පිට මුදා හැරියේය. පසුව මේ ගැන පොලිස් මූලස්ථානයට පැමිනිලි කෙරුනේය. අනතුරුව 2005 අවුරුද්දේදී ශ්රි ලංකා මානව හොමිකම් කොමිසමට පැමිනිල්ලක් හැටියට ඉදිරිපත් කෙරුනේය.

මේ පිළිබඳ පරීක්ශනයක් පැවැත්වූ මානව හිමිකම් කොමිසම රටේ ආන්ඩුක්රම ව්යවස්ථාවෙන් තහවුරුවී ආරක්ශා කර ඇති තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තරීකතුල් මුෆ්ලිහීන් සූෆීවරුන්ගේ උල්ලංගනය වී ඇති බව තීන්දු කර මේ වෙනුවෙන් එය නිවැරදි කිරීමට පොලිස්පති වරයාට නිර්දේශ ද ඉදිරිපත් කලාය. නමුත් ඉතාම කනගාටුදයක ලෙස පොලිසිය මේ නිර්දේශ නොතකා සිටිය බව මුෆ්ලිහීන්වරු කියති. 2006 දෙසැම්බර් 01 වෙනිදා මියගිය මේ නිකායේම බැතිමතෙකුගේ සිරුර දෙසැම්බර් දෙවෙනිදා ගොඩ දැමු වහාබවාදීහු ඉස්ලාම් ආගමේ භ්රෂ්ටයන්ට කාත්තන්කූඩියේ ඉස්ලාමීය ආගමික සුසාන භූමියක මිහිදන් විමට අවසර නැතැයි කියමින් පල්ලි භූමියෙන් එලිය ඇද දැමූහ.

පසුව එනම් 2006 දෙසැම්බර් මස 06 වෙනිදා ගුරු ෂෙයිහූල් මුෆ්ලිහීන් එම්. එස්. එම්. අබ්දුල්ල [රාහ්] අභාවප්රාප්ත වුනේය. ඔහුගේ දේහය එදිනම ආගමානුකූලව භූමිදාන කෙරුනේය සූෆී ඉස්ලාමයේ අනෙකුත් ශාන්තුවරුන්ට මෙන්ම අබ්දුල්ලා [රාහ්] වෙනුවෙන්ද සමාධියක් ඉදිවුනේය. මේ ආකාරය ඉස්ලාමිය ආගමානුකූල අවමඟුලක් හෝ සමාධියක් එම ආගමේ භ්රෂඨයෙකුට කාත්තන්කූඩියේ දී හිමි නැතැයි කාත්තන්කූඩි වහාබ්වාදීහු තීරනය කලහ. වහාබ්වාදීහු ඔහුට ඉස්ලාමීය ආගමානූකූල භූමිදානයක් පැවැත්වී මට විරුද්ධව හර්තාලයක් කැඳවූහ. රජයේ හමුදා වලින් ලැබුනු නිල අවි ආයුධවලින් සන්නද්ධවී සිටි ජීහඩ් හමුදා නගරයේ සියලුම රජයේ කාර්යාල හා බැංකු වසා දැමීමට නියෝග කලහ. නගරයේ සියලුම කඩ සාප්පු වසා දැමීමට ද නියෝග කෙරුනේය. ජීහාඩ් නියෝග බාර නොගත් වෙළද සැල් කොල්ලකරුවන් අතට පත් වුනේය. අනතුරුව ගිනි දැමුනේය.

අබ්දුල්ලා නිකායේ නීතිමය සටන

සමස්ත ලංකා ජමෙයිතුල් උලමාවරු, කාත්තන්කූඩි ජමෙයිතුල් උලමාවරු, මුස්ලිම් පල්ලි සංගමය, සෙසු වහාබ් ඉස්ලාමීය සංගම් හා එක්වූ කාත්තන්කූඩි නගර සභාව ගුරු අබ්දුල්ලාගේ ඉස්ලාමීය භූමිදානයට විරුද්ධව දෙසැම්බර් 11 වෙනිදා නඩුවක් ගොනු කලේය. ඉස්ලාමීය සම්ප්රදාය හා චාරිත්ර කැඩූ අබ්දුල්ලාට ආගමානුකූල අවමඟුලක් පැවැත්විමත් සොහොන මත සමාධියක් ඉදිකිරීමත් තරීකතුල් මුෆ්ලිහීන්වරු ආගමික බලධාරීන්ගෙන් අවසර නොගත් බවත් ඔවුහු නීතිමය තර්කයක් ඉදිරිපත් කලහ. වසර 2007 දී ගරු අධිකරණය මේ පෙත්සම නිශ්ප්රභා කලාය. නමුත් 2007 වසරේදීම මානව හිමිකම් කොමිසම " ආගමක නිකායන් අතරේ පැන නඟින මතභේද වලට" මැදිහත් විය නොහැකි බවට තීන්දුවක් දෙමින් එයට විසඳුමක් සෙවීමට මුස්ලිම් ආගමික අමාත්යාංශයේ හෝ ජාතික ජමෙයිතුල් උලමාවේ උපදෙස් පටහන ලෙස දැනුම් දුන්නේය.

මේ මතභේදය වඩාත් උග්ර කරමින් 2006 දෙසැම්බර් 13 වෙනිදා කාත්තන්කූඩි නගර සභාව භාවනා අසපුවේ ගෝලාකාර කොත නිතී විරෝධී ඉදි කිරීමක් බවට නිවේදනය කර එය කඩා දමන්නැයි නියෝග කලේය. මේ වතාවේදී පොලීසිය නගර සභාවේ නියෝගය පිලි පැදීමට පැමිණි නිලධාරීන් හා එක්වූ වහාබ්වාදීන් ට මෙත්තායි භාවනා අසපුවට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය. මෙයින් ප්රකෝපවූ වහාබ්වාදීහු එහි තිබූ පොලිස් මුරපොලට පහර දුන්හ. පොලිස් නිලධාරින්ට ද තුවාල කලහ. අනතුරුව පොලිස් ජීප් රියක්ද විනාශ කලහ. මේ ගැටුමේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමෙන් වාහාබ්වාදීන් තිදෙනෙක් මරා දැමුනේය.

වහාබ්වාදය හා මුල්ලා පාලනය

නමුත් තවත් දින දෙකකින් එනම් දෙසැම්බර් 15 වෙනිදා භාවනා අසපුවට කඩා වැදුනු කාත්තන්කූඩි නගර සභා නිලධාරීන් හා වාහාබ් වාදීහු උසාවි නියෝග හා පොලිස් නියෝග කඩ කරමින් එහි ගොලාකාර කොත් කැරැල්ල කඩා දැමූහ. අබ්දුල්ල [රාහ්] ගේ සමාධිය බිඳ සොහොන හාරා සිරුර පැහැර ගත්හ. පසුව රහසිගත තැනක්දී එය ටයර් දමා ගිනි තබා විනාශ කලහ. එදිනම අබ්දුල්ලගේ කාත්තන්කූඩියේ ජීවත් වූ අනුගාමිකයන්ගේ නිවාස 117 ගිනි දමා විනාශ කෙරුනේය. තිදෙනෙකුගේ අත්පා කපා දැමුනේය. ඔහුගේ බැතිමතුන් වැඩි දෙනෙක් නැගෙනහිර පලාතෙන් පන්න දැමුනේය. මේ සිදුවීම් වල පටන් වාහාබි තව්හීඩ්වරුන්ගේ ප්රචන්ඩ ක්රියා ක්රමක්ක්රමයෙන් වර්ධනය වුනේය. වසර 2008 දී කාත්තන්කූඩි නගර බලධාරීන් හා නිල උලමාවරුන් මුෆ්ලිහීන් සූෆී මුස්ලිම්වරුන්ගේ වාර්ශික මහා දානෝත්සවය නතර කිරීමට අසාර්ථක උත්සාහයක යෙදුනේය.

වසර 2008 පෙබරවාරි 7 වෙනිදා මුෆ්ලිහීන් සූෆීවරුන් ගොනුකල පෙත්සමක් විභාගකල කොළඹ ශ්රේෂ්ඨාධිකරනය වසර 2004 හා වසර 2006 දී කාත්තන්කූඩියෙන් එලවා දැමූ මේ මුස්ලිම්වරුන් 500 ක් පමන දෙනාට පෙරලා යාමට ඇති අයිතියත් ඔවුන්ගේ ආරක්ශාවත් ඇදහීමේ අයිතියත් තහවුරු කලේය. ඔවුන්ට සති දෙකක් ඇතුලත යලි පදිංචී කිරීමට ද නියෝග කලේය. මේ අධිකරන නියෝගයට සති දෙකකක් සපිරෙන දිනයේදී එනම් පෙබරවාරී 22 දා මේ 500ක් පමන අවතැන් වූවෝ කාත්තන්කූඩියට ලඟා වූහ. ඔවුන් එස්.ටී එෆ් හෙවත් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ රැකවරනය යටතේ එහි යන විටත් සන්නද්ධ වහාබ් ජිහාඩ් හමුදාව අවි ගෙන පහර දීමට රැක සිටියහ. පලමුව සවකීය දේවස්ථානය වූ භාවනා අසපුවට ඇතුළු ඔවුන්ට පැයක් ඇතුලත පිට වෙන්නැයි පොලිසියට නියෝග කලේ ය. පසුව අබ්දුල්ලා අනුගාමිකයෝ අධිකරන නියෝගය ඉටු නොවීම ගැන පෙබරවාරි 27 වෙනිදා යලිත් ශ්රේෂ්ඨාධිකරනයට පැමිනිලි කර සිටියහ.

මේ දීර්ඝ නීතිමය සටන අවසානයේ අබ්දුල්ලා නිකායේ අනුගාමිකයන් යලි කාත්තන්කූඩියේ පදිංචියට ගියේ උසාවි නියෝගයකින් පසු වසර ගනනාවකින් ය. මේ සිදුවීම් සියල්ලෙන්ම තහවුරු වන්නේ ලංකාවේ වෙසෙන වාහාබ්වරු හා මුල්ලාවරු සවුදි අරාබියේ හා ඇෆ්ගන් තාලිබාන් පාලනය අනුව හැසිරෙනවා මිස මේ රටේ නීතියට යටත් නැති බව නොවේ ද? එසේ නම් මේ රටේ වැසියන් රටේ නිතිය හා සාමය රැකීම වෙනුවෙන් ලංකාවේ සිටින ලක්ශයක් පමනවන පොලිස් හමුදාවක් නඩත්තු නඩත්තු කරන්නේ කුමක ද? නැගෙනහිර පලාතේ දී විශේෂයෙන්ම මේ පොලිස් හමුදාවට සහාය වීමට විශේෂ පුහුණුවක් ලැබූ විශේෂ කාර්‍ය බලකාය හෙවත් එස්.ටී.එෆ් හමුදාවක් ද රඳවා සිටී. ඔවුන් ලබන වැටුප් වෙනුවෙන් ඉටු කරන්නේ කවර වර්ගයක සේවාවක් ද?

අලුත් පමපරාවක්, නව පරම්පරාවක් සවකීය ආගමික හා සංස්කෘතික බරවය කපා දැමිමට සුදානම් වෙද්දී ඔවුන්ගේ උපකාරයට කිසිවෙක් නැද්ද? මේ රටේ පාලකයන් හා රාජ්‍ය ආරක්ෂකයන් මේ අන්තවාදයට නිහඬබවේ සහාය දෙන පසුබිමක් තුල අනාගතයේ එන නිදහස් පරම්පරාවලට කවර වර්ගයක ඉරණමක් අත්වනු ඇති ද?

පිංතුර

මොහමඩ් අමීන්

[මේ ලිපියේ මුල් කොටසේ පුත්ගල නාම ඔවුන්ගේ ආරක්ෂාව පතා වෙනස්කර ඇත. අබ්දුල්ලා නිකායේ තොරතුරු රචකයාගේ ‘ලංකාවේ වහාබ් ප්‍රචන්ඩත්වයේ ඉතිහාසය’ නොපළ කෘතියෙනි.]

@අරුණ පුවත්පත

නවතම ලිපි