ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය.
මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා ගියහ.
ඔහු ජීවිත විනාශ කළේ තම පුත්‍රයා වන ජෙහන්ගිර්ගේ මරණයේ පළිය ගැනීමටය.
පහළොස් දහසක් කූඩාරම් මධ්‍යයේ ඉදිවුණු සුවිසල් කූඩාරමෙහි තිමුර් රැඳීසිටියේ උත්සවකාරී විලාසයෙනි. ඔහු පසුපස සංගීත කණ්ඩායම විය. ඔහුගේ පාමුල ඔහුගේ ගෝත්‍රයේ උදවිය, රජුන්, කුමාරවරු සහ රදළ ප්‍රධානීහු සිටියහ. තරමක් වත් ඔහු ආසන්නයේ සිටියේ කෙර්මානි නම් කවියාය.
මේ දරුණු පාලකයා සොයා එක් දිනක් ගැහැණියක් පැමිණියාය. ඇය තමාට තිමුර් අධිරාජයා මුණගැසීමට අවශ්‍ය බව බලකොට සිටින්නීය.
“ඇය මෙතැනට ගෙන එනු!” තිමුර් නියෝග කළේය.
ඔහු ඉදිරිපිට ඇය සිටගත්තාය.
ඇය නිරුවත් දෙපයින් යුතුව හිරු එළියට පිළිස්සුණු කඩමාළු වැරහැලි ඇඳ සිටියාය.
අධිරාජයා ඉදිරිපිට කිසිදු වෙව්ලීමකින් තොරව ‘බයසේත් සුල්තාන් පරාජය කළේ ඔබවහන්සේද?” ඇය විමසුවාය.
“ඔව්, මම තමයි. මම තව බොහෝ දෙනෙකු පරාජය කළා. මම තවමත් ජයග්‍රහණ වලින් හතිවැටිලා නැහැ.”
“අහන්න, ඔබවහන්සේ කවරෙක් වුණත් ඔබ මනුෂ්‍යයෙක්. මම අම්මා කෙනෙක්. ඔබවහන්සේ මරණය වෙනුවෙන් සේවය කරනවා. මම සේවය කරන්නෙ ජීවිතය වෙනුවෙන්. ඔබ වහන්සේගෙන් මට වරදක් වෙලා තියෙනවා. මම ආවෙ ඒ වැරැද්ද නිවැරැදි කරල ඒ පාපෙන් ඔබවහන්සේව ගලවගන්නයි. ඔබවහන්සේගෙ ආදර්ශ පාඨය ‘ශක්තිය යුක්තිය වේ’ කියන එක බව මිනිස්සු මට කිව්වා. මම ඒ ආදර්ශ පාඨය පිළිගන්නෙ නැහැ. ඔබ වහන්සේ මට යුක්තිය ඉෂ්ඨ කරන්න ඕන. මොකද මම අම්මා කෙනෙක්.”
මේ බලවත් වචන පිටුපස ඇති බලය තේරුම් ගැනීමට තරම් රජු ප්‍රඥාවන්තයෙකු විය.
“ගැහැණිය, ඉඳ ගනින්. මම කැමැතියි සවන් දෙන්න.”
අධිරාජ්‍යයාගේ හිතවත් රජවරුන් සහ කුමාරවරුන් මධ්‍යයෙහි පලස මත වාඩි වුණු ඇය තම කථාව ආරම්භ කළාය.
“මම ඉතාලියෙ සලෙර්නෝ කියන ඈත පළාතෙ කෙනෙක්. මගේ පියා ධීවරයෙක්. මගේ ස්වාමි පුරුෂයත් එහෙමයි. අපට පුතෙක් හිටියා. එයා තමයි මුළු ලෝකෙන්ම හරිම ලස්සනම ළමයා.” ඇය කීවාය.
“හරියට මගේ ජෙහන්ගීර් පුතා වගේ” මහළු ආඥාදායකයා මිමුණුවේය.
“නැහැ, මගේ පුතා තරම් දක්ෂ කඩවසම් ළමයෙක් වෙන කොහේවත් හිටියෙ නැහැ” ගැහැණිය අධිරාජ්‍යයාට බාධා කළාය.
“සරාසෙන් මුහුදු මංකොල්ලකාරයෝ අපේ වෙරළට ගොඩ බහින කොට ඔහුට යන්තම් අවුරුදු හයයි. උන් මගේ පියාත්, මගේ ස්වාමි පුරුෂයාත්, තව බොහෝ දෙනෙකුත් මරා දැම්මා. උන් මගේ පුතාව අරගෙන ගියා. එදා ඉඳන් අවුරුදු හතරක් තිස්සේ මම මහපොළොවෙ හැමතැනම ඇවිදිමින් මගේ පුතාව සොයනවා.
“දැන් ඔහු ඉන්නේ ඔබ වහන්සේ ළඟයි.
බයසේත් සුල්තාන් සරාසෙන් මුහුදු මංකොල්ලකාරයන්ව යටත් කරගත්තා.
ඔබ වහන්සේ බයසේත් සුල්තාන්ව යටත් කරගෙන ඔහුගෙ වස්තුව සහ දේපොළ අත්පත් කරගත්තා.
මගේ පුතා ඉන්නෙ කොතැනද කියල ඔබ වහන්සේ දැනගන්න ඕන.
ඒ නිසා ඔබවහන්සේ මට මගේ පුතාව ලබා දෙන්න ඕන.” ගැහැණිය කියා සිටියාය.
තමන් නුවණක්කාරයන් යැයි සැමවිටම සිතා සිටින රජවරු ඇතුළු හැමදෙනාම මහ හඬින් සිනාසුණහ.
“මේ ගෑනිට පිස්සු!” ඔවුහු කීහ.
තමර්ලේන් මහත් පුදුමයකින් ඇය දෙස බලා සිටියේය.
“ඔව් ඇයට පිස්සු, හැම අම්මා කෙනෙකුටම වගේම ඇයට පිස්සු” වෙරිමතින් සිටි කෙර්මානි කවියා මෘදු ලෙස කීවේය.
එවිට ගැහැණිය මෙසේ කීවාය: “මට මගේ දරුවා ආපසු දෙන්න. මම ඔහුගේ අම්මා. මම ඔහුට ආදරෙයි.”
තිමූර් ලෙන්ග් අධිරාජයාගේ සිත කම්පනය කරන්නට ඇය සමත්වූවාය.
“අවුරුදු 30ක් තිස්සේ මම දිගටම යුද්ධ කරනවා. මහපොළොව මගේ දෙපයට පෑගී වේදනාවෙන් මිරිකුණා.
සිය දහස් ගණන් මිනිස්සු මා සමග සටන් කළා. ඒ රාජධානි, වස්තුව, දේපළ වෙනුවෙන්.
ඒත්, පළමු වතාවට තමයි මට මුණගැහුණේ මනුස්සයෙක් වෙනුවෙන් සටන් කරන කෙනෙක්.
මම හිතා ගෙන හිටියෙ මනුස්ස ජීවිතය කියන්නෙ කිසිම වටිනා කමක් නැති දෙයක් හැටියටයි.
නමුත් දැන් මා ඉදිරියේ ගැහැණියක් වාඩි වී සිටිනවා. ඇය මට අමතන්නේ සමානයකු ලෙසයි. ඇය මගෙන් බැගෑපත්ව ආයාචනා කරන්නේ නැහැ. ඇය තදින්ම ඉල්ලා සිටිනවා.
මේ ගැහැණිය මෙතරම් ශක්තිමත් ඇයිද යන්න දැන් මට තේරෙනවා. ඒ ඇය තම දරුවාට ආදරය කරන නිසයි. මම ඇය ඉදිරියේ හිස නමනවා.”
කිසිවකු ඉදිරිපිට හිස නොනැමූ ප්‍රතාපවත් තිමුර් ලෙන්ග් අධිරාජ්‍යයා අම්මා ඉදිරියේ හිස නැමුවාය.
ඉන් පසු ඔහු තම සේනාවට නියෝග කරන්නේ තම අධිරාජ්‍යයේ අස්සක් මුල්ල නෑර සොයා බලා ඇයගේ පුත්‍රයා සොයා ගෙන එන ලෙසය. එසේ සොයා ගන්නා තැනැත්තාට වටිනා ත්‍යාගයක් හිමිවේ. පුතා සොයා දෙන තුරු අම්මාට තමා සමග තම කූඩාරමෙහිම නැවතීමට ඔහු ආරාධනය කරයි.
(මේ කතාව එන්නේ මක්සිම් ගෝර්කිගේ “ඉතාලි කතන්දර” නම් කෙටි කතා එකතුවෙහි එක් කෙටි කතාවකය. )