SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටක සිර ගෙවල් වැඩිවත්ම, රටක වැරදිකරුවන්, දඩුවම් ලබන්නන් වැඩිවත්ම එය ඒ රටේ සමාජ ආර්ථික දේශපාලනයේ පැතිකඩයන් නිරූපනය කරන්නකි.

එහෙත් හෘද සාක්ෂියට අනුව වරදකරුවන් හා නිවැරදිකරුවන් කිරා මැන බලන යාන්ත්‍රණයට ඔබ කොතෙක් එකග වන්නේද?  ජීවන බරට උරදිය නොහැකිව කී දෙනෙක් නම් සිර ගෙවල්වල කූරු ගනිනවා ඇද්ද? නැතහොත් වඩා හයපත් ලොවක් ගැන දුටු සිහින මත කොතෙක් නම් දේශපාලන සිරකරුවන් ලෙස සිරගෙවල්වල රඳවනු ලැබ ඇද්ද?

සිර දඩුවම් පිළිබඳව ඇවිලී යන කතාබහක් මැද්දේ මේ සටහන ඉන් එහාට සුවඳැතිව විසිරුනු ජීවන අභිලාෂයන් සහිත තවත් එක් සහෘදයෙකුගේ සිරගත දිවියේ නොසැලෙන බුද්ධි ප්‍රභාවයි.

අද හෙටම මැකී යන දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ කතිකාව පැන නැගි මොහොතේ මේ සටහන වැදගත් වනු ඇත. මේ ඔහුගේ කතාවයි. ඔහුගේ සිරගත දිවියේ අරුත්බර පණිවුඩයයි.

වසර ගණනාවක් තිස්සේ දේශපාලන සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින්නන්ට නිදහස ලබාදීම පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවිය. ඒ මොහොතේම සිතට නැගුණේ එක්තරා සුවිශේෂී දේශපාලන සිරකරුවකු පිළිබඳවය. දමිළ සහෘදයන්ට නම්  ඒ නම හුරු පුරුදුය. මේ සටහන සිංහල සහෘදයන් උදෙසාය.

ඉතින් මේ දේශපාලන සිරකරුවා ගැන කොතනින් පටන් ගන්න ද මම?

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු යැයි කිව්වොත් පිළිගන්නවා ද ඔබ..?

සිර ගෙදර සිටිමින් ම සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන ලේඛකයෙකු යැයි කිවහොත්

පිළිගන්නවාද ඔබ...?

එසේ ලියූ ඔහුගෙ නවකතාවකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවුණා යැයි කීවොත්..?

ඒ නවකතාව මෙරට ජ්‍යෙෂ්ඨතම පරිවර්තකයකු අතින් සිංහලට පරිවර්තනය වූ බව කීවොත්..?

රජයේ බන්ධනාගාරයක සිටිමින් ඔහු ලියූ නවකතාව සිංහලට නගා ප්‍රකාශයට පත්කිරීමට අනුග්‍රහය සපයන්නෙත් රජයේම දෙපාර්තමේන්තුවකින් යැයි කීවොත්...?

අරූන් 2

ඔව්..... ඒ සියල්ල ම සත්‍යයක්.

නමින් සිව ආරූරන් වන ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ 2008 වසරෙදි අත්අඩංගුවට පත්වෙනව. තවමත් මේ ඉංජිනේරු උපාධිධාරියා සිටින්නෙ බන්ධනාගාරගතව. යාවරුම් කේලීර්, යාළිසෛ යන නවකතාත්, පූමාංචෝලෛ යන කෙටිකතා සංග්‍රහයත් සිරගතව සිටිමින් ඔහු කළ නිර්මාණ. ඔහුගෙ 'යාළිසෛ' නවකතාවට 2015 වසරෙදි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවීම සුවිශේෂී සිද්ධියක්.

(මෙම නවකතාව සිංහලට පරිවර්තනය කිරීම සඳහා තම වටිනා කාලය කැප කළ පණ්ඩිත් මඩුලුගිරියේ මහතාටත්, සම්මානිත සිංහල දමිළ කෘති විශේෂ ව්‍යාපෘතියක් යටතේ පරිවර්තනය කර ප්‍රකාශයට පත්කරන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවටත් අප ස්තුතිවන්ත විය යුතුයි.)

ආරූරන්ගේ මෙම නවකතාව පිළිබඳ ප්‍රවීණ සාහිත්‍යවේදී එම්.කේ.මුරුගානන්දන් මහතා ලියූ සටහනකින් කොටසක් මෙසේ උපුටා දක්වන්නේ මේ පක්ෂියාට ඉක්මනින් ම කූඩුවෙන් මිදී යාමට අවකාශ සැලසේවායි පතමින්.....

" දේශපාලන සිර කූඩුවේ පක්ෂියා - සිව ආරූරන් ලියූ යාළිසෛ නවකතාව යුද ගිනි මැද ගෙවුණු ජීවිතයක පැතිකඩකි. යුද්ධය අප ජීවිත හා බැඳී තිබුණි. එය බොහෝ දෙනෙකුගේ ජීවිත මුළුමනින්ම ගිල දැම්මේය. තවත් ඇතැමුන්ගේ ජීවිත කපා කොටා සී සී කඩ කළේය. කිසිදා මැකිය නොහැකි කැළැල් අපමණය. එම ජීවිතය තුළින් ලද මානසික පීඩා විස්තර කළ නොහැකි තරම්ය. ඇතැමෙක් මේ සියල්ල විඳ දරාගෙන අපි මේ කිසිවකින් නොසැලෙන්නෙමු යි කියා පෑමට උත්සාහ දරති. මෙම නවකතාව ද එයට උදාහරණයකි. සන්සුන් දිය වැළක් සේ ගලා යන මෙම නවකතාවේ අන්‍ය භාෂා මිශ්‍ර වදන් නැත. ශුද්ධ දමිළ බසින් ලියා ඇත.

මෙම නවකතාව 2014 වසරේ ප්‍රකාශයට පත්ව තිබෙන අතර, එයට වසර හයකට පමණ පෙර සිට අද දක්වා ම දේශපාලන සිරකරුවකු ලෙස සිටින ඔහු තවමත් සිර ගෙදර කම්බිකූරු ගනිමින් සිටියි. කාලය කා නොදමා පෑන අතට ගැනීම ශ්‍රී ලංකා දමිළයකු ලෙස ලද භාග්‍යයකි. මෙයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවීම එහි ප්‍රතිඵලයයි."

(ස්තුතිය - ගිරිතරන් නවරත්නම් ට)

ජී.ජී.සරත් ආනන්ද

නවතම ලිපි