SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන පිළිබඳ විවෘත හෙළි කිරීම් සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එම හෙළිදරව්වලදී වැඩියෙන්ම සඳහන්ව ඇත්තේ  රජයේ මාධ්‍ය ආයතනවල නම් බවත් දැනගන්නට තිබෙනවා.

කෙසේ  නමුත්, ඒ පිළිබදව අදාල පුද්ගලයන් සම්බන්ධ කරගෙන සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර  තිබුනේ “එය ඇත්තක් නම්” යනුවෙන් සැකයක් ද මතු කරමින්.

මේ පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනුයි.

එසේම  රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවදුරටත් කියා සිටියේ කියා සිටියේ, ඒ පිළිබදව තමන්ට තවමත් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

 

පත්තර හිංසන 3

“මට එවැනි කිසිදු නිල පැමිණිල්ලක් ලැබිල නැහැ... නමුත් මට එවැනි පැමිණිල්ලක් ලැබුනා නම් මම වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් වෙනවා, එය ඇත්තක් නම්, අනිවාර්යයෙන්ම ඔව්, අපි ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවා”, යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, මේ පිළිබඳ විමර්ශනයක් සිදු කර, මාධ්‍යවේදිනියන්ට ආරක්ෂිත පරිසරයක වැඩ කිරීමට හැකි වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් පැවසීය. අමාත්‍යවරයා මෙසේ සඳහන් කර සිටියත් අදාළ විමර්ශන සිදු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය අමාත්‍යවරයා හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ තවමත් හෙළි කර නොමැත.

මෙම පසුබිමේ තමන් ශ්‍රී ලංකාවේ දිනපතා පුවත්පතක සේවය කරමින් සිටියදී, පිරිමි වෘත්තීය සගයකු විසින් තමාව දූෂණය කරන බවට තර්ජනය කළ බවට මාධ්‍යවේදිනී සාරා කැල්ලපත විසින් ට්විටර් පණිවුඩයක් මගින් හෙළි කර තිබෙනවා.

“අපි සාමාන්‍ය කතාබහක් කරමින් ඉන්දදී එක පාරක්, මගේ පිරිමි වෘත්තීය සගයෙක් මාව දූෂණය කරනවා කියලා තර්ජනය කළා.”  ඇය පවසනවා.

2010-17 කාලය තුළ (නම සඳහන් නොකළ) පුවත් පතක සේවය කරමින් සිටියදී මුහුණ දුන් හිංසනය පිළිබඳව ඇය කළ හෙලිදරව්වත් සමඟ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුළ තමන්ට විඳීමට සිදු වූ ලිංගික අතවර පිළිබඳ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ ගලා එන්නටවුනා.

 

පත්තර හිංසන 4

හිටපු ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදක හාවි වීන්ස්ටයින් විසින් සිදු කරන ලද ලිංගික අපරාධ සම්බන්ධයෙන් හෙලි වීමත් සමඟ, 2017 දී එක්සත් ජනපදයේ ආරම්භ වූ #MeToo ව්‍යාපාරය හා සමානව, ඇය තැබූ ට්වීට් පණිවුඩය, තවත් බොහෝ කාන්තාවන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියට පත් කිරීමට පොළඹවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සීමාවාසික ජනමාධ්‍ය පුහුණුව ලැබූ, එක්සත් ජනපද මාධ්‍යවේදිනියක වන ජෝර්දාන් නාරින්, එම ට්විටර් පණිවුඩය පළවීමත් සමඟම සටහන් කර තියන්නේ, තමන් ශ්‍රී ලංකා රජයේ පුවත්පතක් වන ‘ඩේලි නිව්ස්’ හි පුහුණුව ලබමින් සිටියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සගයකු විසින් දිගින් දිගටම ඇය ලිංගික හිරිහැර වලට ලක් කළ බවයි.

ඇය ඔහුව හැදින්වූයේ “H****L” ලෙසයි.

“ඔහුගේ වචන වලින්ම කියනවා නම්, ඔහු තමා ශ්‍රී ලංකාවේ මෙතෙක් දැක ඇති හොඳම මාධ්‍යවේදියා. මට ඔහුගෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනකං ඉවසීමක් නැතුව හිටියේ. ඒත් වුනේ, මාස දෙකක් පමණ මට අනවශ්‍ය ලෙස වාසි සැලසූ ඔහු, පස්සෙ මට කෑගහන්න පටන් ගත්ත, මාව නිතරම අපහසුතාවයට පත් කරන්න පටන් ගත්තා, නිතරම මාව අතපත ගාන්න ගත්තා” මාධ්‍යවේදිනිය සඳහන් කරනවා.

අවසානයේ දී ඇය විසින් පුවත්පතේ ප්‍රධාන කතුවරයාට, මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව  ඔහුට ඉල්ලා අස්වන ලෙස දන්වා තිබෙනවා. පසුව  'ඩේලි මිරර්' පුවත්පතට සම්බන්ධ වී තිබෙන ඔහු දැන් නීතිඥ වෘත්තියේ නියැලී සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන තොරතුරු වලින් හෙළිවෙනවා.

පත්තර හිංසන 6

එසේම , සිය අත්දැකීම් බෙදා ගනිමින් මාධ්‍යවේදිනී සහ්ලා ඉල්හැම් සටහන් කර තියන්නේ, දැන් මුද්‍රණය නොකෙරෙන “කීර්තිමත් පුවත්පතක ප්‍රසිද්ධ කතුවරයකු” විසින් තමාට ලිංගික අතවර කළ බවත්, ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස තම පවුලේ අයට බලපෑම් කළ බවත් සඳහන් කර ඇත.

තමන්ට සිදුවූ හිංසන විස්තර කරන තවත් මාධ්‍යවේදිනියක වන කාවින්ද්‍යා තෙන්නකෝන් හෙලි කර ඇත්තේ , 15 හැවිරිදි ශිෂ්‍යාවක් ලෙස ඇය ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩසටහනක් සඳහා සහභාගි වීමේදී, වේශනිරූපණ ශිල්පියකු විසින් ඇයව විටින් විට අනවශ්‍ය ලෙස ස්පර්ෂ කරනු ලැබූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩසටහන් අධ්‍යක්ෂක වෙත පැමිණිලි කිරීමෙන් පසුව , එම ශිල්පියා ඇය වෙත යොමු කිරීමෙන් වැළකී ඇති මුත්, ඔහු එම ආයතනයේ දිගටම සේවය කර තිබෙනවා.

 

පත්තර හිංසන 5

ඉන්පසුව ඇය MTV ආයතනයේ වැඩසටහනකට සම්බන්ධව සිටියදී එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් ඇය බලෙන් සිප ගැනීමට උත්සාහ කළ ආකාරය සහ එම සිදුවීමෙන් පසුවත් මාස ගණනාවක්ම ඔහු සමඟ එකට වැඩ කිරීමට ඇයට සිදුවූ අයුරු ඇය විස්තර කර තිබෙනවා.

මෙම ලිංගික හිංසන සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අතර, පුවත්පත් සහ රූපවාහිනී ආයතන වල මධ්‍යම මට්ටමේ මාධ්‍යවේදීන් මෙන්ම, පසුව දේශපාලන වෘත්තීන් සඳහා යොමු වූ ජ්‍යෙෂ්ඨයන් ද වන බවත් වාර්තා වෙනවා.

මෙම හෙලිදරව් කිරීම් වලින් පසුව, වින්දිතයන්ට සිය සහයෝගය පළ කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ , “මෙම චෝදනා කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

එසේම  සමූහයක් වශයෙන්, අප වැඩ කරන ස්ථාන තුළ අපගේ සියලු සගයන්ට ආරක්ෂිත සහ සමානාත්මතාවය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහතික කිරීම අපගේ වගකීමකි,” යනුවෙනුත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

මේ අතර "පත්තර කන්තෝරුවල ලිංගික හිංසන “ඉංග්‍රීසි මාධ්‍ය ට සීමාවී නැති බව  සඳහන් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයත් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

"ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවල සිදුවී යැයි කියන මේ සිදුවීම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවක් ඇරඹුණද, සිංහල සහ දෙමළ භාෂාවෙන් වැඩ කරන ඇතැම් ජනමාධ්‍ය ආයතනවල ද මෙවැනිම තත්ත්වයන් ඇති බව පෙන්වාදීමට කැමැත්තෙමු." යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙනවා.

 

පත්තර හිංසන 2

එසේම ජුනි 25 වැනි සිකුරාදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ ලිපියක් මගින්, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ , ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙසයි.

එම සංගමය පෙන්වා දෙන පරිදි ,මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන තුළ සේවය කරන මාධ්‍යවේදිනියන්ට මෙන්ම කාර්යාලයෙන් පිටත සේවය කරන මාධ්‍යවේදිනියන්ට ද , (ප්‍රාදේශීය වශයෙන්), මාධ්‍ය ආයතනවල වෙනත් අංශවල රැකියා කරන කාන්තාවන්ට ද, මාධ්‍ය ආයතනවල ඇතැම් ජනමාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව, කර්තෘවරුන් සහ සංස්කාරකවරුන්ගෙන් ද, ලිංගික හිංසන සිදුවූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබෙනවා.

එවැනි ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් වන සියලු සාක්ෂි සහ තොරතුරු ආයතන ප්‍රධානීන්ට දැනුම්දීමට, හිංසනයට පත් ජනමාධ්‍යවේදිනියන් සහ තවත් මාධ්‍යවේදීන් කණ්ඩායම් උත්සාහ කළ අවස්ථා ද තිබෙන නමුත්, එවැනි අවස්ථාවල බොහෝ විට සිදුවී තිබුණේ, ආයතන ප්‍රධානීන් විසින් ඒවා නොසලකා හැරීම  බවයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසන්නේ.

 

පත්තර හිංසන 1

  • ඒ අනුව සිය ලිපිය හරහා යෝජනා 5 ක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා  තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලා ඇත්තේ , මෙම ඉල්ලීම් ජනමාධ්‍ය ආයතන වෙත යොමු කර මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පවත්වා කාන්තාවන්ට නිදහසේ සේවය කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දෙන ලෙසයි.

 ඒ අනුව

  •  ලිංගික හිංසනයක් සිදුවූ වහාම ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම සඳහා ආයතන ප්‍රධානීන්ට පැමිණිලි කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැමිණිලි කිරීමටත් මාධ්‍ය ආයතනවල රාජකාරි කරන කාන්තාවන් දැනුවත් කිරීම.
  • කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයන් ගැන කුමනාකාරයෙන් හෝ දැනුවත් වූ වහාම ඇයගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඇයව හිංසනයට පත් කළ පුද්ගලයන්ට එරෙහිව ආයතනික වශයෙන් කටයුතු කිරීම සහ ඔහුට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට හිංසනයට භාජනය වන කාන්තාවන් ධෛර්යමත් කිරීමට මාධ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන් දැනුවත් කිරීම,
  • මාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන් යම් ලිංගික අපයෝජනයකට මුහුණ දුනහොත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ කාන්තාවන්ට ජනමාධ්‍ය ආයතනවල සිදුවන ලිංගික හිංසන නතර කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදුකිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙනම ස්වාධීන අංශයක් ස්ථාපිත කිරීම,
  • කාන්තාවන්ට රාජකාරි කරන ස්ථානයේ සහ රාජකාරි නිසා ඇතිවන ලිංගික හිංසන අවම කිරීමට සහ එවැනි ගැටලු ගැන සාකච්ඡා කිරීමට මාධ්‍ය ආයතන තුළ වෙනම කාන්තා නිලධාරිනියක් පත්කිරීම,
  • හිංසනයන්ට පත්වන කාන්තාවන් සඳහා නොමිලයේ මනෝ උපදේශන සේවා ලබාගැනීමට ස්වාධීන ආයතනයක් හෝ අංශයක් පිහිටුවීම.

එම කරුණු 5 වනවා.

උපුටාගැනීම The Leadertv

නවතම ලිපි