SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි.

2016 ඔක්කෝබර් 13 වැනි දින මාගරිටා එල්වීරා රොමේරෝ BBC යට පැවසුවේ මට ඒ දිනය සිහිකර අඩන්න අවශ්‍යයි යනුවෙනි. ඇය කැරැල්ල මෙ‍හෙයවු කාන්තාවන් හතරදෙනාගෙන් එක් අයෙකි.

මාරියා ජුරායස් ගොන්සාලේස් ,ජොසපිනා එස්ට්‍රඩා, මාගරීටා එල්වීරා සහ මෙලීසා මෙක්සිකෝ ඉතිහාසය වෙනස් කලෝය. ඔවුහු මෙක්සිකොව උඩියටිකුරු කළහ.

මෙක්සිකෝවේ අපරාධ රජයන ප්‍රධාන නගර 10 අතර චැරන් (Cheran) නගරය සුවිශේෂය. මක්නිසාද එහි වෙසෙන්නේ නූතනත්වය වැළඳගත් ආදිවාසී ප්‍රජාවකි. 2010 ජනවාරි සිට මැයි අතර කාලය තුළ පමණක් එහි මරා දැමූ මිනිසුන්ගේ සංඛ්‍යාව 599 කි. විසිදහසක ජනගහණයක් ඇති මේ කුඩා නගරයේ දිනපතා කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය වෙළදාම නිසා මිනිසුන්ට අතපය අහිමි විය; ජීවිත අහිමි විය. නගරය පාලනය කලේ මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය වෙළෙන්දා වන ලා ෆැමිලියා මිචෝවාකානා ය (La Familia Michoacana ). ෆැමිලියා ඉදිරියේ චෙරන් නගරයේ උසස් පොලිස් නිලධාරීන්ද නගරාධිපතිද සියලු පක්ෂවල දේශපාලකයෝද සිය අවලං නකුට වැනූහ.

cheran 2

මේ වෙළෙන්දා සිය අපරාධ විවිධාංගීකරණය කලේය. එහි ප්‍රතිපලයක් ලෙස නගරයේ ගැහැනු සිය ගෙවල්වල එලිපත්ත මත බලාසිටියදී අවට ඇති කැලයේ දැවැන්ත ගස් කපා පටවාගත් ට්‍රක්රථ එක පෙලට නගරයේ නිවාස පසුකරමින් තිබුනේය.

වඩාත් බැරෑරුම් වූයේ නගරයට ජලය සපයන ජලපෝෂිත ප්‍රදේශවල දිය උල්පත් දැව ජාවාරම්කරුවන්ගේ පොරෝ පහරවලින් ගස් කපා වනාන්තර එලි කිරීමෙන් දිනපතා සිඳී යාමට පටන් ගැනීමයි. නගරයට ජලය නැතිවුවහොත් එය අපායක් වනවාට කිසිම සැකයක් නැත. චැරන් හි ගැහැනු මූලික වී වනාන්තරයට වැදී දැව ජාවාරම්කරුවන්ට මෙසේ පැවසූහ.

'' දැනටමත් දිය උල්පත් හිඳිල! ඉතිරි උල්පත් ටිකත් ඔය විදිහට ගස් කැපුවොත් හිඳිල යයි. ඔබේ දරුවනුත් අපේ දරුවනුත් බොන්නෙ මොනවද ?

brave 2

තිත්ත කුණුහරුපෙන් ඔවුනට බැණවැදුණ දැව ජාවාරම්කරුවෝ මේ අසරණ ගැහැණුන්ව පන්නා ගත්හ. එහෙත් ඔවුන් ගියේ පුපුරා යන තරම් කේන්තියෙනි. ප්‍රංශ විප්ලවයේදී පිරිමින්ට වඩා දරුණු වූයේ ගැහැණුන් බව ඔබ සමහර විට අසා ඇත. චෙරන්හි ගැහැණුත් එසේ වූහ. ඔවුහු මුලු නගරයේම ගෙන් ගෙට ගියහ. සාකච්ඡා කළහ. මනා ලෙස සංවිධානය වූහ.

2011 අප්‍රේල් 15 උදෑසන චෙරන් නගරයේ අහසකරා හඩ නගමින් මල් වෙඩි ඉගිල ගියේය. සියලුම පල්ලිවල ඝණ්ඨා නාද දිණි. විප්ලව‍ය ඇරඹී තිබිණි. මුකවාඩම් ලා ගත් ගැහැණු කැති පොරෝ මන්නා ගෙන ගෙවලින් එළියට බැස්සෝය. මරියා ජුරායස් ගොන්සාලෙස් , ජොසපිනා එස්ට්‍රාඩා සහ මෙලීසා අත තුවක්කු තිබිණි. ඔවුහු පළමුව නගරයට පිටතින් ඇති ප්‍රදේශවලින් නගරයට සම්බන්ධ වන පාරවල් තුනෙහිම ආයුධ සන්නද්ධ මිනිසුන් තබා පාරවල් වසා දමා මුර කපොලු දැමූහ. අනතුරුව ගැහැණු සෙමින් සෙමින් වනාන්තරයට ඇදුණහ. ගස් කපා ලොරිවලට පටවාගෙන එන පළමු ට්‍රක් රථය තුවක්කු පෙන්නා නතර කළහ.

 

cheran 3

බිමට ඇදගත් ලොරි රියදුරා සහ සහායකයාව බැඳ දැමූහ. මෙසේ 30දෙනෙක් අත්අඩංගුවට ගත් පසු ට්‍රක් රථ 7 ක් මහ මාර්ගය මැද ගිනි තැබූහ. ජාවාරම්කරුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගත්හ. ප්‍රාන ඇපකරුවන් බේරා ගැනීමට මුර කපොලු හරහා පොලීසිය සමඟ ආ නගරාධිපතිවරයා පන්නා ගත්හ. පොලිසිය මේ නගරයෙන් පිටවිය යුතු බවට තර්ජනය කළෝය. පොලිසිය නොගිය බැවින් ඔවුහු පොලිසිය ඉදිරියේම ප්‍රාන ඇපකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබූහ.  පොලීසිය නගරයෙන් පිටවිය. නමුත් ඔවුන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් ක‍ලේ නැත. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවිය යුතු යැයි අණ කළහ. සියලු දේශපාලකයෝ නගරයෙන් පිටවූහ. අනතුරුව මේ ප්‍රචණ්ඩ ගැහැණු නගරය තම අත්වලට ගත්හ.

cheran 5

නගරයේ සියලු දෙනාම සන්නද්ධ කළ ඔවුහු නගරය වටා ආරක්ෂක වළල්ලක් සෑදූහ. මුර කපොලුවලින් පිටතින් එන්නවුන් තම අනන්‍යතාව පෙන්විය යුතුය. එය සෑහේ නම් පමණක් ඔවුන්ට නගරයට ඇතුළුවිය හැක. ඔවුහු මෙක්සිකෝ පෙඩරල් ආණ්ඩුවට තමන්ට ස්වයං පාලනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. යම් කොන්දේසි වලට අනුව මධ්‍යම ආණ්ඩුව එකී ස්වයං පාලනය පිලිගෙන තිබිණි. ඔන්න ඔහොම දැන් මේ නගරය පාලනය කරන්නේ ඒ නගරයේම මිනිස්සුය. උසාවිවල නඩු අහන්නේ නගරයේ කීර්තිමත් මිනිසුන්ය. ඔවුන්ට විභාග කිරීමට බැරි නඩු මෙක්සිකෝ නීතිපති වෙත හරවා යවයි.

ඉන්මාස තුනකට පසු නගර වැසියන් තමන්ගේම ප්‍රජා පොලිසියක් වන “රොන්ඩා කොමියුනිටාරියා” සංවිධානය කළහ. මධ්‍යම රජයේ පොලිසිය සංවිධානාත්මක අපරාධවලට “අනුබල දෙන” බැවින් මෙය අවශ්‍ය බව ඔවුහු පැවසූහ. නීතිවිරෝධී ලෙස දැව කැපීම වැළැක්වීම සඳහා ඔවුහු වනාන්තර මුර සංචාර ආරම්භ කළ අතර ටිකෙන් ටික නගරය සාමයේ කේන්ද්‍රයක් කලහ.

cheran 4

"චෙරොන්හි අද්විතීය ආණ්ඩු ක්‍රමය තුළ, සැබෑ බලය මුළුමනින්ම ජනතාව අතර පවතී. ඉදිකිරීම් කටයුතුවලදීද, රැකියා අවස්ථා ලබා දෙන්නේ කාටද, රාජ්‍ය සේවා වෙන් කිරීම සහ අයවැය වියදම් අධීක්ෂණය කිරීම දක්වා එකමුතුවකින් තොරව ගත් එකම තීරණයක් හෝ නොමැත. ප්‍රජා එක්රැස්වීමේ බලය වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයකට වඩා ඉහළින් පවතී. ”

ප්‍රජාව සතුව ඇති කැලෑ හෙක්ටයාර 22,000 න් හෙක්ටයාර් 12,000 ක්ම 2019 වනවිට පයින් සහ ඕක් වනාන්තරවලට අනුරූප වි ඇත.. කෙසේ වෙතත්, අපරාධ කණ්ඩායම් හෙක්ටයාර් අට දහසකට වඩා කපා තිබු අතර එය ප්‍රජා ආර්ථිකයට දැඩි ලෙස බලපෑවේය.

brave 3

නගරයේ අවංක මිනිසුන් අතින් නගර සභාව පාලනය වේ. දැව ජාවාරම්කරුවන් අතින් විනාශ වී ගිය හෙක්ටයාර් අට දහසේද ඔවුහු නැවත රුක් රෝපණය කරති. 2018 දී ඔවුහු තමන්‍ගේම ගුවන්විදුලි මධ්‍යස්ථානයක් පිහිටුවාගත්හ. 2010 අප්‍රේල් සිට මැයි දක්වා ඝාතන 599 ක් සිදුවූ නගරයේ ඔවුන් පාලනය බලය ලබාගත් 2011 වසරේ සිට 2016 දක්වා එකදු ඝාතනයක් හෝ වාර්තා වී නැත. ඒ ඔවුන් පාතාල කල්ලි මැරයන් පන්නා දැමු බැවිනි. මෙක්සිකෝ රජය මේ වනවිට ස්ථිරවම චැරන්හි ස්වාධීන පාලනය පිළිගෙන ඇත.

අප මේ කියන්නේ දැන් මෙක්සිකෝවේ චැරන් නගරය සුඛිත මුදිත බව නොවේ.තවමත් එහි දරිද්‍රතාව තිබේ. තවමත් පුංචි පුංචි රංඩු සරුවල් තිබේ. එහෙත් කලින් පැවතියාට වඩා එය දස දහස් ගුණයක් අගනේය. දේශපාලන පක්ෂ තහනම් කර ඇති නිසා එහි මිනිසුන්ට බෙදෙන්න මරාගන්න දෙයක් නැත.

cheran 6

ඔවුහු කතාබහ කරමින් එකිනෙකාට උදව් කරමින් සිය ජීවිත ගෙන යති. දැන් ඔවුන්ට මරණ තර්ජන නැත. අතපය අහිමිවීම් නැත. ගැහැණුන් නිකරුණේ වැන්දඹුවන් නොවෙති. කොටින්ම චැරන් ජනතාවගේ හිස්වලට ඉහලින් දැන් තුවක්කු නැත. දැන් ඇත්තේ නිදහසේ යමක් සොයාගෙන කා සතුටෙන් නින්දට වැටීමය.

මෙක්සිකෝවේ චෙරන් යනු අද ලෝකයේ දේශපාලකයන් නැති එකම නගරයයි. මැතිවරණ නොමැති එකම නගරයයි.

දේශපාලන පක්ෂ පාට නැති එකම නගරයයි. කොටින්ම රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධාන දැති රෝදයක් වන පොලිසියක් නැති නගරයයි. ඔවුන් ඔප්පු කර ඇත, තමන්ට දේශපාලකයන් නොමැතිව ජීවත් විය හැකිබව. නගරයට පොලීසියක් නැති වූවාට මිනිසුන් සාමකාමී නම් එකිනෙකාට ගරු කරන්නේ නම් නගරයකට පොලීසියක් අවශ්‍ය නැතිබව.

උපාලි ජයසිංහ

නවතම ලිපි