SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ගනිස්තානයේ අද තත්ත්වය

යුද සමයේදී තම රජය වෙනුවෙන් සේවය කළ හා ඇමරිකානු හමුදාවට පක්ෂපාතීත්වය දැක්වූ ඇෆ්ගන් වැසියන් අතහැර නොදමන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. වොෂින්ටන් පාලනයෙන් කරන ප්‍රකාශ කෙතරම් දුරට භූමියේ යථාර්තයක් කළ හැකිද යන්න සැක සහිත වුවත් කාබුල් ගුවන් තොටුපළේ සිටින හමුදා ඒකක ලහි ලහියේ කටයුතු කරමින් සිටින බවක් අද ජ්‍යාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

දිනකට ගුවන් මගින් රැගෙන ආ හැක්කේ මඟීන් 5000-9000 අතර ප්‍රමාණයක් බවත් ලියකියවිලි කටයුතු සම්පූර්ණ කර එසේ රැගෙන ඒමට සූදානම් කළවුන්ගේ ලැයිස්තුව දිගු වී ඇති බවත් පෙන්ටගන් ප්‍රකාශක ජෝ කිර්බි අද පවසා තිබුණා. අද දිනය තුළ එසේ 2000 ක මඟීන් ප්‍රමාණයක් ගුවන් යානා මඟින් රැගෙන ආ බවත් ඒ පිරිස අතර ඇමෙරිකානුවන් සිටියේ 300ක පමණක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. ඉදිරි දින කිහිපය තුළ තවත් 6000ක පිරිසක් එසේ රැගෙන ඒමට සූදානම් කර ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළා. අගෝසතු 31 වන විට ඇෆ්ගන් වැසියන් 22000ක් පමණ මුදවා ගැනීමට පෙන්ටගනය විසින් සැළසුම් සකස්කර ඇති බවයි වාර්තා වන්නේ.

 

ශානක 1

 

තවමත් ඇමෙරිකානු හමුදාව යටතේ ඇති කාබුල් ගුවන් තොටුපළ තුළ දැනට කොටු වී ඇති ඇෆ්ගන් ජාතිකයන් සඳහා වීසා ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා හමුදා කණ්ඩායම් යොදවා ඇති බව New York Times පුවත්පත අද වාර්තා කළා.

ගුවන් තොටුපළට ඇතුළු වන ගේට්ටු අසළ තවමත් දහස් ගණනක ඇෆ්ගනිස්තානුවන් පිරිසක් රැඳී සිටිනවා. තලේබාන් සෙබළුන් එම ජනතාවට පොලු මුගුරු වලින් හා රයිෆල් වලින් පහර දෙන ආකාරයේ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතිනවා. නේටෝ ප්‍රධානියා තලේබාල් සංවිධානයෙන් ඉල්ලා සිටියේ පලා එන ඇෆ්ගනිස්තාන වැසියන්ට හිරිහැර නොකරන ලෙසයි. ගුවන් තොටුපළේ කැඩී ඇති තාප්ප උඩින් තම දරුවකු ඇමෙරිකානු සොල්දාදුවකු වෙත භාර දෙන පියෙකුගේ වීඩියෝවක් ද මේ අතර වුණා.

 

ශානක 4

 

විරුද්ධවාදීන්ගෙන් පළිනොගන්නා බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළද ඇමෙරිකානු හා නේටෝ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කළ පිරිස් දඩයම් කිරීමේ කටයුතු තලේබාන් සංවිධානය විසින් මේ වන විටත් අරඹා ඇති බව එක්සත් ජාතීන්ට සම්බන්ධ බුද්ධි තොරතුරු විශ්ලේෂන ඒකකයක් විසින් වාර්තා කර තිබෙනවා. තලේබාන්වරු හිටපු ආරක්ෂක සාමාජිකයන් සොයා ගෙයින් ගෙට ගොස් සෝදිසි කරන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම් හා ඝාතනය කිරීම් වාර්තා වන බවත් එම වාර්තාවේ සඳහන්. පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඔහුව වෙඩිතබා මරා දමන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ අද සංසරණය වුණා. මේ අතර මාධ්‍ය වේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන් හා හසාරා වැනි සුළු ජනවාර්ගික කොටස් ද තර්ජනයට ලක්ව තිබෙනවා. කාබුල් හා ජලාබාද් වැනි නගර වල වාහන සෝදිසි කිරීම සඳහා තලේබාන් මුරපොළවල් ස්ථාපිත කර ඇති බවත් ප්‍රධාන නගර වසා දමා විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමේ හා සමූල ඝාතන ක්‍රියාවලියක් සිදුවීමේ අවදානමක් ඇති බවත් අදාල බුද්ධි ඒකකය පෙන්වා දෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගේ ආරක්ෂාව සඳහා Facebook ගිණුම් සඳහා ආරක්ෂිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දී ඇති බව Facebook සමාගම පවසා සිටිනවා. මිතුරු ලැයිස්තු පිරීක්සා බලමින් තලේබාන් සංවිධානය තම විරුද්ධවාදීන් දඩයම් කළ හැකි බැවින් මේ පියවර ගත් බව සමාගම නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඇෆ්ගනිස්ථානය තුළදී යමෙකුගේ Facebook ගිණුමක මිතුරු ලැයිස්තුව පිරීක්සා බැලීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

ශානක 2

 

ඇෆ්ගනිස්තානයේ නිදහස් දිනය ඊයේට යෙදී තිබුණු අතර සමහර ප්‍රදේශවල ජනතාව වීදිවලට බැස ජාතික කොඩි ප්‍රදර්ශනය කරමින් එය සමරන ආකාරය මාධ්‍ය වාර්තාකර තිබුණා. තලේබාන් සංවිධානයේ විරෝධය නොතකා ජනතාව තම සම්ප්‍රදායක නිදහස් දිනය සැමරුවා. තලේබාන් සංවිධානයට විරෝධය දක්වන සටන් පාට කියමින් ගමන් කළ මේ නිදහස් දින පෙළපාලි වලට එම සංවිධානයේ සෙබළුන් විසින් තැබූ වෙඩි තැබීම් වලින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

මේ අතර කාබුල් ගුවන් තොටුපළින් පිටත් වූ ගුවන් යානයක පිටත එල්ලී ගොස් ඉහළ අහසේ සිට බිම පතිත වී මිය ගිය දෙදෙනාගේ එක් අයෙක් ඇෆ්ගනිස්තාන ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ කීඩකයකු බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. සකී අන්වර් නම් වූ මේ තරුණයාගේ වයස අවුරුදු 17ක් . ගුවන් යානා වලට යට වී හෝ එහි පිටත එල්ලී සිටීම නිසා අනතුරට පත්වී මියගිය ප්‍රමාණය වාර්තා වූ අගයට වඩා වැඩි විය හැකි බවට ද මත පළවී තිබෙනවා

 

@ශානක මධුශාන් ලියනගම

2021 අගෝස්තු 20, ලෝකය එකම යායක්

නවතම ලිපි