SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු අමාත්‍ය මහානාම සමරවීර සහ ඛේමා පද්මාවතී සමරවීර යන අයට දාව 1956 අප්‍රේල් 21 දා මෙලොව උපත ලද මංගල සමරවීර

වසර 65කුත් මාස 4යි දින 3ක් ආයු වළඳා අද අවසන් ගමන යන්නේ ඔහුගේ ජීවිතයෙන් පමණක් නොව අපේ කාලයේ දේශපාලනයේ ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තුවට ද නැවතීමේ තිත තබමිනි.

මාතර රාහුල විද්‍යාලයෙන් සිප්සතර හැදෑරීම ඇරඹූ මංගල සමරවීර කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද පසුව ලන්ඩනයේ වෝල්ටම්ෆොරස්ට් විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපන කටයුත සිදුකළේය. පසුව ලන්ඩන්හි ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් ඇඳුම් පැළඳුම් සැලසුම් සහ තාක්‍ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් හිමිකර ගැනීමට සමත් විය. පසුව ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ සැලසුම් උපදේශකවරයෙකු ලෙස සේවය කළ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්‍යවරයකු වශයෙන් ද සේවය කළේය. ‍

 

1983 කළු ජූලියෙන් මෙසිරලක මිනිස් ප්‍රාණීන් තැනින් තැන මරාදමන අයුරු සියසින් දුටු මංගල සමරවීර ඊට එරෙහිව සමාජ සංහිඳියාව ගොඩනැගිය යුතු යැයි හැඟිමෙන් පසුවෙද්දී, එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ඉල්ලීම අනුව මෙරට දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ විය.

ඒ් 1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර ආසන සංවිධායක ධූරය ලද මංගල සමරවීර එතැන් පටන් අවසන් ගමන් යනතුරාවට තමන්ටමට වූ දේශපාලන ප්‍රතිපත්තියක්, දේශපාලන දර්ශනයක් සහ ඒ වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් සහිත දේශපාලන චරිතයක් විය.

1989 පළමුවරට පාර්ලිමේන්තුවට තේරීපත් වූ මංගල අඛණ්ඩව 2020 දක්වා වසර 31ක් පුරාවට සිය දේශපාලන ප්‍රතිපත්තිය ඛණ්ඩනය කර නො ගත් එකම ප්‍රායෝගික දේශපාලකයා ද මංගලය. එය තවදුරටත් 1989 අප්‍රේල් 03 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සිදුකළ සිය ප්‍රථම පාර්ලිමේන්තු කතාවේ සිට 2020 පෙබරවාරි 20 වෙනිදා මැතිසබේ සිදුකළ අවසන් කතාව දක්වා වූ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා සාක්ෂි දරනු ඇත.

මංගල සමරවීර මහජන නියෝජිතයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වූ අවධිය මෙරට දේශාපාලනය බෙහෙවින්ම ව්‍යාකූල වී තිබිණි. දේශප්‍රේමී බලහත්කාරය හා රාජ්‍ය භීෂණය විසින් තරුණ ජීවිත දහස් ගනනින් නිරපරාදේ රටට අහිමි කළේය. එවන් පසුබිමක පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ ගොඩනැගිලි දේශපාලනය වෙනුවට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු රටට උවමනාකර තිබුණේය. මංගල සමරවීරගේ දේශපාලන දැක්ම හා දේශපාලන භාවිතාව ප්‍රතිනිර්මාණය වන්නේ එවන් වූ ජනතා අපේක්ෂාවන් සමගය.

පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ ගොඩනැගිලි දේශපාලනය වෙනුවට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයකු රටට උවමනාකර තිබුණේය. මංගල සමරවීරගේ දේශපාලන දැක්ම හා දේශපාලන භාවිතාව ප්‍රතිනිර්මාණය වන්නේ එවන් වූ ජනතා අපේක්ෂාවන් සමගය.

රාජ්‍ය භීෂණ සමයේ සියලු ආකාරයේ ඝාතන හා පැහැර ගැනීම්වලට එරෙහිව සටන් සගයකු වූ මංගල සමරවීර මුළුමහත් රටේම රජකළ අවනීතිය අයුක්තිය හා අසාධාරණයට එරෙහිව සනාථ වූ දේශයක් උදෙසා දරුවන් අහිමිව හැඬූ කඳුළින් දිවි ගෙවූ මව්වරුන් එකතු කරමින් “මව් පෙරමුණ“ නම් සංවිධානය ගොඩනැගීය. මංගල සමරවීර සමග මහින්ද රාජපක්ෂ ද එහි සම කැඳවුම්කරුවන් විය.

ශ්‍රී ලංකාව වෙලාගෙන සිටි සිවිල් යුද වතාවරණයට තිත තැබීමේ අරමුණින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය හා එක්ව ජාතින් අතර සාමය ගොඩනැගීම අරමුණු කොට ගත් 'සුදු නෙළුම් ව්‍යාපාරය'ට උරදුන් අතර 'පොතයි ගඩොලයි' හරහා යාපනය පුස්තකාලය ගොඩනැගීමට ද පියවර ගත්තේය.

එසේම මෙරට සංනිවේදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනස්කම් සිදුකිරීමට නොබියව පියවර තැබූ මංගල සමරවීර ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට පියවර ගත්තේය. එසේම එකල නගර අලංකරණයට නව මානයක් එක්කරමින් කොළඹ නගර සංවර්ධනය වගේම මහල් නිවාස ගොඩනැගීමට අවශ්‍ය පියවර තැබීම ද මංගල දේශපාලනයේ සුවිශේෂී මංසලකුණු විය.

එපමණක් නොව අනාගත සංවර්ධන ඉලක්ක කරා යන ගමන වෙනුවෙන් වූ නීල හරිත ආර්ථිකයක් පදනම් කරගත් "Vision 2025" හරහා 'ගම්පෙරළිය', 'Enterprise Sri Lanka' වැනි ප්‍රායෝගික වැඩසටහන් තුළින් මහජනතාවට රටේ අනාගතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු දැල්වීමට සමත් විය.

 

මංගල සමරවීර දේශපාලන ගමන් මග කෙටියෙන්...

1989/02/15 - පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම

1994/08/16 දින පැවති මහ මැතිවරණයෙන් ජයගෙන දෙවන වරට පාර්ලිමේන්තුවට පත්වීම සහ තැපැල් හා විදුලි සංදේශ කැබිනට් අමාත්‍ය ධූරයට පත්වීම.

පසුව නාගරික සංවර්ධන කැබිනට් අමාත්‍යධූරය ද මුදල් නියෝජ්‍ය ඇමතිධූරය ද හෙබවිය.

2001 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා ද විය.

එකල වරාය සහ ගුවන් අමත්‍ය මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කළේය.

2005 ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කළමනාකරු වශයෙන් කටයුතු කළ මංගල සමරවීර ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී.

2007 ජනවාරි මස විදේශ කටයුතු අමාත්‍යධූරය වෙනුවට වරාය ගුවන් අමාත්‍යධූරයට පත්කරන ලද අතර 2007 පෙබරවාරි 07 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මංගල සමරවීර කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කරන ලදී.

පසුව එතෙක් තමන් දේශපාලනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමුදී ශ්‍රීපති සූරියආරච්චි සමග එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන ('ම') පාර්ශවය නිර්මාණය කළේය.

එකල නීති විරෝධී පුද්ගල අතුරුදන් කිරීම්, රාජ්‍ය දේපළ අවභාවිතය සහ හිතුවක්කාරී ආණ්ඩු පාලනයට එරෙහිව කටයුතු කළ මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවක් අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිය දේශපාලනය ඉදිරියට ගෙන ගියේය.

ඒ අනුව එතෙක් පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව කටයුතු කළ මංගල සමරවීර 2015 ජනවාරි 08 ඵෙතිහාසික දේශපාලන ජයග්‍රහණයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළේය.

පසුව නැවතත් විදේශ කටයුතු අමාත්‍යධූරයට පත් වූ අතර පසුව මුදල් අමත්‍ය ධූරය ද සමග ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කළේය.

මේ රට දියුණු සංවර්ධිත රටක් වශයෙන් ගොඩනැගීමට නම්, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව මත පදනම් වූ සංවර්ධනයක් සිදුකළ යුතු බව කවදත් විශ්වාස කළ මංගල සමරවීර මහතා ඒ කාර්යය ඉටුකිරීමට මේ පවතින දේශපාලන පක්ෂ හා තවදුරටත් කටයුතු කිරීමෙන් ඵලක් නොවන බව තේරුම් ගැනීමෙන් පසු 2020 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් පසුව සිය තීරණය වෙනස් කොට පාර්ලිමේන්තු දේශපාලනයට තිත තැබුවේය.

ඉන් පසුව මේ රටේ දේශපාලනයේ සැබෑ වුවමනාවන් සහිත පුද්ගල හා කණ්ඩායම් ඒකරාශී කරගනිමින් සැබෑ දේශප්‍රේමීන් නමින් නව දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීමට උරදුන්නේය. එසේම අපේක්ෂාවන්ගෙන් පිරුණ තරුණ තරුණියන් හා එක්ව සිය ජීවිතයේ අවසන් හුස්ම පොද මිහිතලයට මුදාහරින මොහොත දක්වා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මේ රටට සුගතියක් අත්කරදීමේ පරම අභිලාශය වෙනුවෙන් සිය කාලය, ධනය, ශ්‍රමය කැපකළ අපේ කාලයේ සමකල නොහැකි අපූර්ව දේශපාලන චරිතයකි මංගල සමරවීර.

 

සුබ ගමන් මංගල!

 

 

@ theleader.lk

නවතම ලිපි