SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සංවිධානයේ නැගී සිටීමටත් පෙර සිටම, සමලිංගික පුද්ගලයෙකු වන අබ්දුල්ගේ (ඔහුගේ නම වෙනස් කර ඇත) ජීවිතය තිබුණේ භයානක තත්වයකය.

ඔහු වැරදි පුද්ගලයකුට තම ලිංගික කැමැත්ත ගැන කියා සිටියේ නම්, ඇෆ්ගනිස්ථාන නීතිය යටතේ අබ්දුල්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ඉඩ තිබිණි.

'මාව ඒ ස්ථානයේම මරා දමන්න පුළුවන්'

පසුගිය සතියේ දී තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරවල බලය අල්ලා ගැනීමත් සමග, අබ්දුල් රේඩියෝ 1 නිව්ස් බීට් වෙත පැවසුවේ ඔහුගේ ලිංගික කැමැත්ත ගැන වර්තමානයේ දී හෙළිදරව් වුවහොත් ඔහුව "එම ස්ථානයේදීම මරා දමනු" ඇති බවය.

තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගෙන ඇති අතර, ඔවුන් අන්තවාදී ඉස්ලාමීය මූලධර්ම ක්‍රියාත්මක කරන සටන් කණ්ඩායමකි.

තාලිබාන් සංවිධානයේ ෂරියා නීතිය අර්ථ නිරූපනය යටතේ සමලිංගික සේවනය සපුරා තහනම් වන අතර මරණ දඬුවම ලබා දිය හැකිය.

මෙයට පෙර තාලිබාන් සංවිධානය 90 දශකයේ අග භාගයේ සිට 2001 දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ බලයේ සිටියේය. 21 ක් හැවිරිදි අබ්දුල් උපත ලැබුවේ ඉන් අනතුරුවයි.

"මගේ දෙමාපියන් සහ වැඩිහිටියන් තාලිබාන් සංවිධානය ගැන කතා කරනවා මම අසා තිබෙනවා," ඔහු පැවසීය.

"අපි චිත්‍රපට කීපයක් බලාතිබෙනවා. නමුත් දැන් අපි ඒ චිත්‍රපටය තුළ රඟපානවා වගේ."

'මේ නගරයේ ජීවිතයක් තිබුණා'

මෙම සතියේ දී අබ්දුල් සිය විශ්ව විද්‍යාලයේ අවසාන විභාගයට පෙනී සිටිය යුතු අතර, මිතුරන් සමඟ දිවා ආහාරය සඳහා ගොස්, පසුව තම පෙම්වතා හමුවීමට ද නියමිතව තිබුණි. ඔවුන් දෙදෙනා පළමුවෙන් හමුවී තිබුණේ වසර තුනකට පෙර පිහිනුම් තටාකයකදීය.

ඒ වෙනුවට, ඔහු එක පෙළට සිව් වන දිනටත් ඔහුගේ නිවස තුළ වාඩි වී සිටින්නේය. තාලිබාන් සොල්දාදුවන් මේ වනවිට ද ඔහුගේ ඉදිරිපස දොරටුවෙන් පිටත සිටිති.

තාලිබාන් 1

 

"ජනේලවලින් පිටත තාලිබාන්වරු දකින කොට පවා මට පුදුම බයක් දැනෙන්නේ. ඒ අය දකින කොට මගේ ශරීරය වෙව්ලන්නට පටන් ගන්නවා," ඔහු පැවසුවේය.

"සිවිල් වැසියන් මරා දමනවා. මම හිතන්නේ නැහැ මම කවදාවත් ඔවුන් ඉදිරියේ කතා කරයි කියලා."

අබ්දුල්ගේ ලිංගිකත්වය සඟවා තබා ගත යුත්තේ රටේ නව නායකයින්ගෙන් පමණක් නොවේ.

"ඇෆ්ගනිස්ථානයේ සමලිංගිකයෙකු විදිහට ඒ ගැන ඔබට ඔබේ පවුලට හෝ ඔබේ මිතුරන්ට පවා හෙළි කරන්න බැහැ," ඔහු පැවසීය.

"මම මගේ පවුලට මේ ගැන හෙළි කළහොත් සමහර විට ඔවුන් මට පහර දෙයි, සමහර විට ඔවුන් මාව මරා දමයි."

තම ලිංගිකත්වය සඟවාගෙන සිටියද, රටේ විචිත්‍රවත් නගරය තුළ අබ්දුල් සිය දිවිය සතුටින් ගත කළේය.

"මගේ අධ්‍යයන කටයුතු හොඳින් සිදුවෙමින් පැවතුනා. මේ නගරයේ ජීවිතය තිබුණා, සෙනඟ හිටියා."

සතියක් ඇතුළත තම ජීවිතය තම ඇස් ඉදිරියේම නැති වී යන අයුරු දුටු බව අබ්දුල් පවසයි.

"අපට අනාගතයක් නැහැ."

"මම හිතන්නේ නැහැ මට කවදාවත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා. මගේ යහළුවෝ සමග තිබුණ සම්බන්ධතාවය නැති වුණා. ඔවුන් හොඳින් ඉන්නවාද කියලාවත් මම දන්නේ නැහැ.

"මගේ සහකරු, එයාගේ පවුලේ අයත් එක්කම වෙනත් නගරයක සිරවී සිටිනවා. මට එහෙ යන්න බැහැ, ඔහුට මෙහෙ එන්නත් බැහැ."

 

තාලිබාන් 3

 

'ඔවුන් සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්තිලිංගික පුද්ගලයින් එම ස්ථානයේම මරා දමනු ඇත'

රජය වෙනුවෙන් රැකියාවක නිරත වූ ඔහුගේ පියා තාලිබාන්වරුන්ට බියෙන් සැඟවී ඇත.

අබ්දුල් දන්නා බොහෝ කාන්තාවන් තම ජීවිතය ගැන බියෙන් නිවසින් පිටව නොයති. ඇතැමුන් අවදානමක් ගන්නා නමුත් පිටතට යන්නේ පුරුෂයෙකු සමග පමණි.

පසුගිය සතිය පුරාම අබ්දුල්ගේ මනස වියවුල් වී ඇත.

"මම දැඩි මානසික පීඩනයකින් පෙළෙනවා.

"මේ දේවල් අවසන් කරන්න මට හිතිලා තියෙන්නේ. මට මේ වගේ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නැහැ.

"මට අවශ්‍ය වන්නේ නිදහසේ ජීවත් විය හැකි අනාගතයක්. ඒ වගේම ඔයාට මෙහෙ සමලිංගික වෙන්න බැහැ කියන පුද්ගලයින්ගේ අවධානයට ලක් වෙන්න ඕනේ නැහැ."

වෙනස් පාලනයක් සහ කාන්තාවන්ට වැඩි අවස්ථා ලබා දීමට තාලිබාන් සංවිධානය ලබාදුන් පොරොන්දු ගැන අබ්දුල් බලාපොරොත්තු තබා නොමැත.

"තාලිබාන් සංවිධානය රජයේ රැකියාවලට, පාසලට කාන්තාවන් පිළිගත්තද, ඔවුන් කවදාවත් සමලිංගිකයන් හෝ එල්ජීබීටී මිනිසුන් පිළිගන්නේ නැහැ. ඔවුන් ඔක්කොම එම ස්ථානයේදීම මරා දමයි."

තාලිබාන් 4

 

ඇෆ්ගන් ජාතිකයින් රට හැර යන ගුවන් යානාවල එල්ලී සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පට ගැන සිය අදහස් දක්වමින් අබ්දුල් පවසන්නේ "ඔවුන්ට පිස්සු නැහැ" යනුවෙනි.

"ඔවුන්ට මෙහෙ ව්‍යාපාර තියෙනවා, රැකියා තියෙනවා. ඔවුන් මෙහෙ හොඳ ජීවිතයක් ගත කළා."

"නමුත් ඔවුන්ට ටයර්වල එල්ලිලා ගුවන් යානයක යන්න තරම් පිස්සු නැහැ, ඔවුන් මිය යමින් සිටියේ. ඔවුන් ආරක්ෂිත නැති බව ඔවුන් දන්නවා."

'මට නිදහසේ ජීවත් වීමට අයිතියක් ඇත'

 

Thalei baan cover

 

අබ්දුල් පැවසුවේ ඔහු "රටින් පැන යාමට මාර්ගයක් සොයමින් සිටිනවා" යනුවෙනි.

අබ්දුල් වැනි ඇෆ්ගන් ජාතිකයින්ගේ ආරක්ෂාවට උදව් කිරීමට උත්සාහ කරන සමහර පුණ්‍යායතන සහ සමාජ ක්‍රියාකාරීන් ද සිටිති.

තම රටෙන් සංක්‍රමණිකයන් 20,000 ක් එක්සත් රාජධානිය භාරගැනීමට සැලසුම් කර ඇති බව තමාට ආරංචි වූ නමුත් අයදුම් කිරීමට හෝ ලියාපදිංචි වන්නේ කෙසේදැයි කිසිවෙකු නොදන්නා බව අබ්දුල් පවසයි.

එක්සත් රාජධානියේ පුණ්‍ය ආයතනයක් වන 'ස්ටෝන්වෝල්' එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටින්නේ " "ඇෆ්ගන් එල්ජීබීටීකියු+ සරණාගතයින්ට දිවි ගලවා ගැනීමට, නැවත පදිංචි වීමට සහ සමෘද්ධිමත් ජිවිතයක් ගතකිරීමට උදව් කිරීම" ආරම්භ කරන ලෙසය.

"මට කියන්න අවශ්‍යයි, යමෙකු මගේ පණිවිඩය අසන්නේ නම්, තරුණයෙකු වශයෙන්, මට නිදහසේ හා සුරක්ෂිතව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා," අබ්දුල් පවසයි.

"මගේ වයස අවුරුදු 21 යි. මගේ මුළු ජීවිත කාලයම ගත කළේ යුද්ධයක, බෝම්බ පිපිරීම්, යාළුවො නැති වීම්, ඥාතීන් අහිමි වීම් මැද්දේ.

"අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. අපේ ජීවිත වෙනුවෙන් යාච්ඤා කරන්න."

 

@ BBC

නවතම ලිපි