SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ඇසූ පැනයකට මා ලබා දුන් පිළිතුර පහත දක්වමි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

මම කිසිදු විටෙක පක්ෂයෙන් ඉවත් වී නැහැ. මම අදටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. ඒත් 2018 වසරේ ජූනි මාසයේ සිට පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට හෝ රැස්වීමකට මට ආරාධනා ලැබෙන්නේ නැහැ. අපේ තාත්තා, අම්මා, මල්ලී සහ මම අවුරුදු 85කට ආසන්න කාලයක් නියෝජනය කළ අත්තනගල්ල ආසනයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මාව ඉවත් කළා.

ඒ ඉවත් කළේ මම පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කතා කළ නිසා. පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියයට අනූවක් විරෝධතාව ප්‍රකාශ කර තිබියදී, පක්ෂයේ කිසිදු නීත්‍යනුකූල අනුමැතියකින් තොරව පොහොට්ටුව සමග ගිවිසුම්ගත වීමට විරුද්ධ වීමයි අපි කළ වරද. ස්වාධීනව සිට පක්ෂය ශක්‍තිමත් කරගෙන ඉදිරියට ගෙන යන ලෙසයි අපි ඉල්ලා සිටියේ. පොහොට්ටුව සමග සන්ධානගතවීමෙන් අපේ පක්ෂය විනාශ වන බව අපි අවධාරණය කළා. අපි එදා වසර තුනකට කලින් කියපු දේ අද ඇත්තක් වෙලා තිබෙනවා. ඒගොල්ලොත් අද ඒ දේ පිළිගන්නවා.

 

chandrika 1

 

අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුනේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.

මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.

මේ අවස්ථාවාදී, බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙලා, දූශ්‍ය නොවූ, ඇත්තටම පක්ෂයට ආදරය කරන, ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට මේ පක්ෂය භාර දිය යුතුයි. මේ බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න බැහැ. මෙවැනි අය සමග කටයුතු කර මගේ වේලාව නාස්ති කරන්න මම සූදානම් නැහැ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

නවතම ලිපි