ලංකාවේ ලිංගික සේවයේ යෙදීම නීතියෙන් තහනම් දෙයක් නොවෙයි.
ඒක වරදක් නෙවෙයි. පසුගිය කාලයේ නඩු තීන්දු ගණනාවක් හරහා එය ඔප්පු කර තිබෙන්නක්.
ඔබට මතක ඇති කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ආසන්නතම කාල සීමාවේ දීපු ඓතිහාසික නඩු තීන්දුව.
ඒ තමයි ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බව.
ගණිකා වෘත්තිය හා සම්බන්ධව දැනට ඇති ප්‍රධානම පනත් දෙක වන්නේ ගණිකා නිවාස ආඥාපනත හා පාදඩ ආඥාපනතය.
පාදඩ ආඥාපනත සකස් කරල තියෙන්නෙ1841 පමණය.
එහෙත් එය දොළොස් වතාවක් පමණ සංශෝධනය වී තිබෙනවා.
ඒ පනතට අනුව යමෙක් වරදකරුවකු වෙන්නේ ජීවත් වෙන්න පැහැදිලි ක්‍රමවේදයක් තිබියදී ඒවායෙහි නොයෙදී තැන තැන රස්තියාදු වෙමින් අනුන්ගෙන් යැපෙමින් හා හිඟාකමින් අනුන්ට හිරිහැරයක් ලෙස ජීවත් උනොත් පමණයි.
ඒ වගේම පනතට අනුව ලිංගික ශ්‍රමිකයින් ප්‍රසිද්ධ ස්ථානයක අවිනීත ලෙස හැසිරෙමින්, යමෙක් ලිංගික කාර්යයට පොලඹවා ගැනීමට කටයුතු කළොත් එයත් වරදක් විදිහටයි සඳහන් වෙන්නෙ.
මීට අමතරව ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට නීතියෙන් අවසර දී නෑ.
මේ සියලු නෛතිකමය කාරණා සලකා බලන විට ලංකාවේ කිසිදු නීතියකින් ගණිකා වෘත්තිය තහනම් කරල නැති බව සනාථ වෙනව.
මෙන්න මේ වගේ තත්වයක් යටතෙ තමයි මේ පොලීසි කළයුතු රාජකාරි සියල්ල පසෙකලා කුණු රසය සොයමින් මෙවැනි කටයුතු වල නියැලෙන්නෙ.
නෛතිකමය තත්ත්වය එසේ වුවත් වර්තමානයේ උපත් පාලන කොපුවක් ළඟ තිබීමත් අත්අඩංගුවට ගැනීමට කාරණාවක් විදිහටයි අපේ රටේ පොලිසි සලකන්නෙ.
එය හාස්‍යජනකය. විකාරරූපීයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් ෆැකල්ටි ඔෆ් සෙක්ස් කර්තෘ චින්තන ධර්මදාස මෙහෙම ලියනව.
තලංගම පොලිසිය ගණිකා නිවාසයක් වටලන්න යනවා. නිම්රෝස් මීඩියා කියල පාදඩ යූටියුබ්කාරයො ටිකක් තමයි තලංගම පොලිසියේ මීඩියා පබ්ලිසිටිවලට පාවිච්චි කරන්නෙ. පොලිසිය විසින් මේ කියන ගණිකා නිවාසයෙන් කාන්තාවන් පිරිසක් එලියට අරගෙන එනවා. කිසිදු උසාවියකින් තවමත් වරදකරුවන් කර නැති මේ කාන්තාවන් ඒ කැමරා ඉදිරියේ නිරුවත් කරනවා. ගර්භනී කාන්තාවන් වෙනම අරගෙන පෙන්නනවා.
මොකක්ද මේ නීතියේ සදාචාරය? මේ පොලිස් නිලධාරීන්ට විරුද්ධව පුද්ගලිකව නඩු පැවරිය යුතුමයි. යූටියුබ්කාරයන්ට මෙවන් අවස්ථා වීඩියෝගත කරමින් තමන්ගේ චැනල්වල විව්ස් වැඩි කරගන්නට කාන්තාවන් බිලිදීමේ වරද කරන්නෙ මෙතන පොලිසියයි. මේක අශිෂ්ට අසභ්‍ය අමුනුස්ස ක්‍රියාවක්. නීතිය ක්‍රියාත්මක කරන අය එය කරන්නේ මෙයාකාරයෙන් නම් මේ රටේ මිනිස් ගරුත්වය සහ මිනිස් අයිතිවාසිකම් ගැන කවර කතන්දරද? පොලිසිය කරන්නෙ කුණු රහ බෙදන එකයි. ඒ වෙනුවෙන් මිනිස් ජීවිත බිලිදෙන එකයි. අපි කියන සදාචාරය මේකයි.
උපුල් ශාන්ත සන්නස්ගල විසින් හෙළිදරව් කළ තලංගම පොලීසියේ තුච්ඡ ක්‍රියාදාමය ගැන චින්තන තවදුරටත් මෙහෙමත් කියනවා.
එතනදි සන්නා මේ වගේ මීඩියා චැනල් කරන අයට නිවැරදිම වචනය පාවිච්චි කරනවා. යූටියුබ් ගණිකාවො. මේ වගේ පබ්ලිසිටි වෙනුවෙන් නීතිය ගණිකා වෘත්තියේ යොදවන පොලිස් නිලධාරීන්ටත් නිවැරදිම වචනය වෙන්නෙ ඒක. පොලිස් ගණිකාවො. ගණිකාවන් යැයි කියමින් අත්අඩංගුවට ගත් පිරිස ගැන සාක්ෂි නැති වුනාට සදාචාරයේ වේශයෙන් එතනට ගිය යූටියුබ් සහ පොලිස් ගණිකා පිරිසගේ වීඩියෝ සාක්ෂි තියෙනවා.”
ලංකාවේ කිසිදු නීතියකින් ලිංගිකව එක්වීම තහනම් කරල නෑ.
පරදාර සේවනයත් තහනම් නෑ.
ඒ වගේ පසුබිමක ලැගුම්හල්වලට කඩා පනින පොලිස් නිලධාරීන් එහි සිටින වැඩිහිටි ගැහැනු, පිරිමි දෙපාර්ශ්වය අත්අඩංගුවට ගන්නෙ කුමන නීතියක් යටතේද?
ඔවුන්ට එවැන්නක් කිරීමට බලය ලබා දුන්නෝ කවුරුන්ද?
මේවා වැඩිහිටියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම්.
සමාජ සංස්කෘතික ආකල්පවලට ඇති බිය නිසා නොවන්නට මොවුන්ට මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නීතියේ පිහිට පතන්න පුළුවන්.
අපේ සමාජයේ තවමත් පවතින්නේ පුරුෂ මූලික ගති ලක්ෂණයන්.
ඒ නිසා ස්ත්‍රිය සුචරිතවත් විය යුතුය යන ආකල්පය සමාජයේ මුල්බැහැ ගෙන තියෙනවා.
කාන්තාවගේ සුචරිතවත් බව තීරණය කරන්නෙ කවුද?
සිමොන් ද බෝවා ඇයගේ සෙකන්ඩ් සෙක්ස් කෘතිය මගින් කියනවා ගැහැණියට සිය නිදහස ලබාගැනීමට සිදු වී ඇත්තේ පිරිමියකු මගින්ය කියල. මේක කියල දශක ගණනාවක් ගතවුනත් මෙයයි තවමත් අපි ජීවත්වන සමාජයේ ඇත්ත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය වරක් ලේඩි ලීඩර් යූ ටියුබ් නාලිකාවත් එක්ක සංවාදයකට එක්වෙමින් කියනවා “අද කාන්තාව ලංකාවේ සම අයිතිය ලබාගෙන ඉන්නෙ. ඒක පාවිච්චි කරන්නෙ නැති එකයි වෙලා තියෙන්නෙ” කියල.
ඒත් රෑ දහයෙන් පස්සෙ තරුණියො හතර දෙනෙක් කොළඹ නගරයේ පාරෙ ඇවිදගෙන ගියාට දඩ ගැහුවෙත් මේ සංවාදය තිබුනු දවස්වලමයි.
ඒත් පොලීසියෙන්ම තමයි. සම තැන තියෙනවනම් ඇයි පිරිමින්ට දඩ නොගසා ඒ තරුණියන්ට විතරක් දඩ ගැහුවෙ?
ඒ දඩ ගැහුවෙ පාදඩ පනත යටතේයි.
ස්ත්‍රියගේ සුචරිතවත් බව අපේක්ෂා කරන පිරිමි මූලික සමාජය ගණිකා වෘත්තිය හෙළා දකින්නේත් ඒ අනුවයි.
ඒත් සැබෑව නම් ගණිකාව විවේචනය කරන මිනිසුන්ම රහසිගතව ඔවුන්ගේ පහස සොයා යෑම නොවේද?
සිරා ටෝක් අවසන් කිරීමට කලින් වැදගත් දෙයක් සිහිපත් කරන්න අවශ්‍යයි.
ලංකාවේ කාන්තාවන් රටේ ආර්ථිකයට දායක වන ප්‍රධානම ජන කොටසක්. ඇය රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන්නියක්.
ඔබට මතක ඇති පහුගිය පාලන කාලයේ මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයා වසර 60කට අධික කාලයක් තිස්සෙ කාන්තාවට තහනමක්ව පැවති මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීම සහ මත්පැන් මිළදී ගැනීම සම්බන්ධ නීතිය සංශෝධනය කලා.
මෙහිදී මංගල කිව්වෙ 1955 වසරේ සිට ක්‍රියාත්මක මෙම නීතිය මගින් කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බවයි.
එහෙත් ගැසට් නිවේදන නිකුත් කර දින කිහිපයකින් නැවත පෙර තිබූ නීතියම යළි පනවන්නට එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන්නේ ලංකාවේ කාන්තාවන්ට සමානව සැලකීම හා අයිතීන් ලැබීමේ කාලය තවදුරටත් දීර්ඝ කරමින්.
එදා මංගල කියන්නට උත්සාහ කළ පණිවුඩය හිටපු ජනාධිපතිනියටවත්, හිටපු ජනාධිපතිටවත් නොතේරුනේ ඇයි?
මේ රටේ ස්ත්‍රීවාදී කතිකාවල නියැලෙන ස්ත්රීන්ට නොතේරුනේ ඇයි?
එදා ඒ සිදුවීම නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති වෙත ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් රාජධානියේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික තරුණියක් වූ කාවින්ද්‍යා තෙන්නකෝන් මෙහෙම කියල තිබුණ.
"ඔබේ රටේ කාන්තාවෝ තමන් ගැන තීන්දු ගන්න තරම් ස්වාධීනයි. දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා. එවැනි සැබෑ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න. ඔබේ පුරුෂෝත්තමවාදය පසුවට තබා ගන්න."
ඇය තමන්ගෙ අධ්‍යාපනය ලබන අතර වියදම් පියවා ගැනීමට එරට මත්පැන් අළෙවි හලක සේවය කරනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගියදා ලිංගික වෙනස මත හිංසාවන්ට ලක්වන ප්‍රජාව රැකීමේ ජාත්‍යන්තර දිනයට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තරයට ප්‍රතිඥාවක් දුන්නා.
ඒ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වෙනස්කම්වලට ලක්නොවී අභිමානයෙන් ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව”
තලංගම පොලීසියේ නිළධාරීන්ගේ ඒ අවනීතිය හා තුච්ඡ හැසිරීම තුළ මේ ප්‍රතිඥාව කෙසේ ක්‍රියාත්මක වේද?