2022 අයවැය පහුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.
රටේ ඇතිවී තිබෙන අර්බූධයට විසඳුම් 2022 අයවැයෙන් ඉදිරිපත් කරල නෑ.
උදාහරණ වශයෙන්
- මේ අයවැය තුළරාජ්‍ය ණය ගෙවීමට අදාල යෝජනා නෑ
- තව කොපමන කාලයක් ආනයන සීමා පනවගෙන සිටින්නේද සහ එයට විසදුමක් නෑ
- විදේශ විනිමය අනුපාතය හරහා මහ බැංකුව කෙරෙහීත් රජය කෙරෙහීත් ඇතිවී ඇති අවිනිශ්චිතතාවයට කිසිදු යෝජනාවක් නෑ
- අපනයන දිරිගැන්වීම සඳහා වැඩපිළිවෙලක් නෑ
- සේවා සැපයීම මගින් සංචිත ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් නෑ
- සංචාරක කර්මාන්තයේ කඩා වැටීම මත විදේශ මුදල් නොලැබීම සහ එයට විසදුමක් යෝජනා වෙලා නෑ
- බොරතෙල්, පොහොර, ගෑස්, වරායෙන් මුදවාගැනීමට ඇති භාණ්ඩ මුදවා නොගැනීම,බෙහෙත්, සිමෙන්ති, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ක්‍රමවේදයක් පෙන්වල නෑ.
ඒ විතරක් නෙවෙයි එදිනෙදා අත්‍යවශ්‍ය ආහාරවල මිළ ගණන් අහස උසට ගිහින්. දවසට තුන්වේල කාපු මිනිස්සු දැන් දැන් එක වේලක් පවා අමාරුවෙන් කන්න වෙන තත්ත්වයකට පත්වෙලා.
ඉතිං රටවැසියො දිගින් දිගටම කලකිරීමෙන් ඉන්නවා. දැන් මේ ආර්ථික අර්බූධය ඉතා ඉක්මනින් දේශපාලන අර්බූධයක් බවට පත්වෙමින් තියෙනවා.
මේ කියන දේශපාලන අර්බූධයට ආණ්ඩුවට ඇති විසදුම් කුමක්ද?
විපක්ෂයේ දේශපාලන පක්ෂ ආන්ඩුවට එරෙහිව ගන්න තීන්දු තීරණ මොනවාද?
ඒ වගේමයි පහුගිය සතියෙ අපි කතාකළා මේ අයවැය මගින් බැසිල් රාජපක්ෂගේ මූලික අභිප්‍රාය මොකක්ද කියන එකත්. දිගින් දිගටම මේ විදිහට ජනතාව කලකිරීමත් ජනතාවගේ විරෝධය එල්ලවීමත් ආන්ඩුවට සුභ නෑ. ඒ නිසායි බැසිල් රාජපක්ෂ ලග එන මැතිවරණ ඉලක්ක කරගනිමින් ගමේ මන්ත්‍රීවරුන්ට මුදල් වෙන් කළේ. ගමේ සංවර්ධනයට කොන්ත්‍රාත් වලට මුදල් වැඩි වශයෙන් වෙන්කරන්නෙ ඒ හරහා ගමේ ඡන්ද මැෂිම ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවෙනුයි.
ඒ නිසා අපිට පේනව බැසිල් රාජපක්ෂ මේ කරන්නෙ ආර්ථික අර්බූධය දේශපාලන අර්බුධයක් වීමට පෙර රටවැසියාගේ කැමැත්ත දිනාගැනීමට කටයුතු කිරීම කියල.
අපි මීට කලින් කිව්ව විදිහට ගෝඨාභය ආණ්ඩුව බිහිවුනේ සහ සැදුම් ලද්දේ ජාතිකවාදයේ උවමනාවට බව. ඒ සඳහා මහන්සිවී කටයුතු කළ ජාතිකවාදීන් වන විමල් වීරවංශ, ගෙවිදු කුමාරතුංග, නලින් ද සිල්වා, උදය ගම්මන්පිල සහ පැරණි වමේ පක්ෂ සහයෝගය දැක්වීම නිසා ගෝටාභය ආණ්ඩුව තුළ ජාතිකවාදීන් බලමුළුව ප්‍රබල උනා. ඒ නිසාම ඔවුන් සහ බැසිල් අතර පවතින්නේ ප්‍රතිවිරෝධයක්. මේකට හේතුව තමයි බැසිල් දැඩි ලිබරල්වාදියෙක් වීම.
මෙවැනි තත්වයක් තුළ මහින්ද රාජපක්ෂ කඳවුර ඡන්දදායකයා විසින් අත්හළහොත් ඔවුන් විපක්ෂය කරා යෑම නැවැත්වීමට දැඩි වෙහෙසක් ජාතිකවාදී කඳවුර දරමින් ඉන්නවා. යම් හෙයකින් රාජපක්ෂ කඳවුරෙන් බලය විතැන් වුවහොත් ඒ බලය ජාතිකවාදී හා රාජපක්ෂ හිතවාදී ඩලස් ප්‍රමුඛ කරගනිමින් ගොඩනැගිය හැකියි.
රාජපක්ෂ පවුලේ දේශපාලනය ඉන් අහෝසි උනොත් එය නාමල්ගේ ඉදිරි පැවැත්මට වගේම නාමල් සම්බන්ධයෙන් මහින්දගේ බලාපොරොත්තුවත් බිඳී යාමක් වෙනව. ඒ නිසා බැසිල්ට ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණය ගෙන ඒමට නොහැකි තත්වයක් ඇති වුවහොත් ජාතිකවාදී කණ්ඩායම සමග නාමල්ගෙ දේශපාලන ගමන සම්බන්ධ කිරීමේ අරමුණ මත මහින්ද ගේ සහයෝගය සහ ආශිර්වාදය මෙම ජාතිකවාදී බලවේගයට හිමිවෙලා තියෙනවා.
මෙන්න මේ මහජන මන්ත්රණ සභාව ගොඩනැගෙන්නේ මේ ආශිර්වාදයත් සහිතවයි.
ආණ්ඩුවේ දේශපාලනය මෙසේ දෝලනය වෙද්දී විපක්ෂයේ කතාබහ මීට වෙනස් ආකාරයක් පෙන්නුම් කරනවා. සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවේ ආර්ථික අර්බූධය දේශපාලන අර්බූධයක් දක්වා වර්ධනය කරමින් උද්ඝෝෂන පෙළපාලි රැස්වීම් තියමින් කරන්නේ සහ සජිත්ගේ උවමනාව ඊලග මැතිවරණයකදී ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයට වැඩි බලයක් ලබාගැනීමයි.
නමුත් ඔහුගේ නායකත්වයේ දුර්වලතා සහ ඔහුගේ පක්ෂය තුළ මේ වනවිට ඇති වී තිබෙන අර්බූධකාරී තත්ත්වය නිසා සජිත්ට එය ලේසි පහසු කාරණයක් නෙවෙයි. මීට හේතුව වෙන්නේ සමගි ජන බලවේගය තුළ මේ වනවිටත් සජිත් පරයා පෙරමුණ ගැනිමේ උවමනාවකින් චම්පික ගේ නායකත්වයෙන් යුත් 43 සේනාංකය ක්‍රියාත්මක වීම.
මේ තත්වය තුළ සජිත්ගේ නායකත්වය සහ සජබ පැවැත්ම විශාල ගැටළුවක් බවට පත්වී ඇති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය කෙසේ හෝ සජිත් සහ සජබ ගමන නැවැත්වීමට විශාල වෙහෙසක් දරනවා. මීට හේතුව එජාපයට මන්ත්‍රී ආසනයක් පමණක් හිමිවන තත්ත්වයට එම පක්ෂය කඩා වැටුනේ මේ සමගි ජන බලවේගය නිසායි. එජාපය නැවත ශක්තිමත් කිරීමට නම් සජිත් සහ සජබ විනාශ විය යුතුයි. ඒ සඳහා රනිල්ට මේ මොහොතේ කළහැකි හොඳම ක්‍රියාමාර්ගය වෙන්නේ චම්පික ඇතුළු 43 සේනාංකය ශක්තිමත් කිරීමයි.
චම්පික සවිමත් කිරීම තුළ ඊට සමපාතීව සජිත් දුර්වලවීමත් ඒ හරහා සජිත් පිළේ ශක්තිය 43 සේනාංකය වෙත විතැන් වීමත් සහ චම්පිකට විරුද්ධ කොටස් සජිත් අතහැර එජාපය කරා ඇදී යාමත් එහිදී සිදුවනු ඇති. එමනිසා රනිල්ට අනුව එජාපය ශක්තිමත් කරගැනීමට සජිත් ප්‍රේමදාස රාජපක්ෂ කඳවුරෙන් පරාජය වීම හෝ වෙනත් 43 සේනාංකය වැනි කණ්ඩායමක් හමුවේ පරාජය විය යුතුයි. මෙහිදී රනිල්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ සජිත් රාජපක්ෂ කඳවුරෙන් පරාජය වී සමගි ජන බලවේගය රනිල් සමග එකතු වනු දැකීමටයි. එසේ නොවී රාජපක්ෂ විරෝධය හමුවේ රටේ ජනතාව සජබයට ඡන්දය ලබාදෙන්නේ නම් එය වැලැක්වීමට ඇති විකල්පය 43 සේනාංකයයි.
එසේ නැතිනම් රනිල්ට අනුව ඉදිරි මැතිවරණයකදී ජවිපෙය ප්‍රබල විය යුතුය. රාජපක්ෂ විරෝධය හමුවේ 69 ලක්ෂයේ ඡන්දදායකයෝ ජවිපෙට එක් වෙනවා වෙනුවට බොහෝ දුරට සිදුවිය හැක්කේ ජාතිකවාදී කඳවුරට එක්වීමයි. එසේ වුවහොත් ආණ්ඩු විරෝධී කොටස් ජවිපෙට එක්වීමක් සිදු වෙන්නෙ නෑ. ඒනිසාම ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීම සඳහා ජවිපෙට සිදුවන්නේ සජබයේ ඡන්දදායකයා ඔවුන් වෙත ආකර්ශනය කර ගැනීමයි.
ඒ අනුව සිදුවිය හැක්කේ සජබය දුර්වලවීම හා ජවිපෙය ශක්තිමත් වීමයි. සජබය දුර්වල වීම මගින් පෙරලා සිදු වන්නේ රනිල්ගේ උවමනාව සාක්ෂාත් කිරීමයි. එම නිසාම රනිල් 43 සේනාංකයට මෙන්ම ජවිපෙටද උදව්කරමින් ඉන්නවා. මේ නිසාම ජවිපෙ ශක්තිමත් වීමත් පෙරලා 43 සේනාංකය ශක්තිමත් වීමත් හරහා මෙම කණ්ඩායම් දෙක ඉදිරි මැතිවරණයකදී ඒකාබද්ධව කටයුතු කිරීමක් බොහෝ දුරට සිදුවිය හැකියි.
මෙහිදී වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ අනුරගේ සහ පාඨලීගේ තමන් වෙත බලය තහවුරු කරගැනීමේ උවමනාවයි.
සජබය තුළ රැඳී සිටීම පාඨලී චම්පිකගේ ජනාධිපති සිහිනයට තව දුරටත් බාධාවකි. මන්ද සජිත් සහ ඔහුගේ දේශපාලන ගමන දෙස බලන විට දීර්ඝ කාලයක් රනිල්ට ලැදිව සහ හම්බන්තොටට වී විශාල කට්ටක් කෑම තුළ අපට පෙන්නුම් කරන්නේ රටේ ජනාධිපති වීම සඳහා ඔහුට තිබූ බලවත් උවමනාවයි. කොතෙක් වැඩ බැරි වුවත් ඒ උවමනාව පසෙකලා පාඨලීට අවස්ථාවක් දීම සිදුවීමට නොහැකියි. එබැවින් එක්කෝ පාඨලී සජබයේ බලය ඇල්ලිය යුතුය. නැතිනම් 43 සේනාංකය සජබෙන් වෙන්වී වෙනම පෙරමුණක් සාදාගත යුතුයි.
පවතින තත්ත්වයන් හමුවේ 43 සේනාංකය මගින් පමණක් මැතිවරණයකට එළැඹී යම් ජයක් හෝ ලැබීම අසීරු බැවින් 43 සේනාංකය කවුරුන් සමග හෝ සන්ධාන ගත විය යුතුය. ඒ සඳහා පාඨලී චම්පිකට අරමුණු දෙකක් තියෙනවා.
පළමු අරමුණ වෙන්නෙ රතන හිමි හා උදය ගම්මන්පිලගේ මැදිහත්වීම මත ජාතිකවාදී කඳවුර හා සම්බන්ධ වී එමගින් යම් බලයක් තහවුරු කර ගැනීමයි.
එය අසීරු වන්නේ නම් පාඨලීගේ ඊලග අරමුණ වෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීමයි.
චම්පිකට ජනාධිපති හෝ අගමැති වීමට හැකිනම්, අනුරට ජනාධිපති හෝ අගමැති විමට හැකිනම්, ඔවුන්ගේ දේශපාලන මතයන් කුමක් වුවත් මෙම කණ්ඩායම් දෙක එකතුවීමේ හැකියාවක් පවතිනවා. එසේ පෑහෙන සන්ධානයකට ජාතික ජන බලවේගයේ සහයෝගයද රතන හිමි සහ උදය ගම්මන්පිලගේ සහයෝගයද ඒ වගේම රනිල්‌ගේ සහයෝගයද හිමිවනු ඇති. එහි ප්‍රබලතාවය අනුව ඒ හා එක්වීමේ හැකියාවක් මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හිමිවිය හැක.
ශ්රිලනිපය තීරණයන්ට පැති හතරක් පවතිනවා.
බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත පොහොට්ටු පක්ෂය දිනන්නේ නම් ඒ සමග එක්වීමේ හැකියාවත්,
රාජපක්ෂ කඳවුරට එල්ලවී ඇති විරෝධය මත එම බලය අහිමි වන්නේ නම් ඊලගට ශක්තිමත්වන ජාතිකවාදී කඳවුර සමග එක්වීමේ හැකියාවත්,
සජිත් ඇතුලු සමගි ජන බලවේගය බලවත් වන්නේ නම් ඔවුන් සමග එකතු වීමේ හැකියාවත්,
එසේත් නැතිනම් ජවිපෙ සහ පාඨලීගේ 43 සේනාංකය එක්වීම තුළ එය ශක්තිමත් වන්නේ නම් එය සමග එකතු වීමේ හැකියාවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තියෙනවා.
එහිදී ඔවුන් ගණන් හදනු ලබන්නේ ඔවුන්ට හමුවන මන්ත්‍රී ආසන ගණන සමගයි. එහිදී දිනීමේ විභවයක් සහ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ඔවුන්ට හමුවන කණ්ඩායම සමග ඔවුන් එක්වනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය සමග එක් වීමේ හැකියාවක් නොමැත්තේ ශ්‍රිලනිපයේ ඡන්ද දායකයා සජිත් සමග එකතුවීම ප්‍රතික්ෂේප වීම තුළ ඡන්දය ලබාදීමක් වේයැයි සිතිය නොහැකි බැවිනි. පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වීමේ හැකියාව මේ වන විට පහව ගොස් අවසන්ය. ඒ අනුව වාසිදායකම තත්වය උදාවනු ඇත්තේ ජවිපෙ පාඨලී එක්වන සන්ධානය තුළට ශ්‍රිලනිපය එකතු වේනම්ය. ඒ අනුව ජවිපෙ, 43 සේනාංකය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී සෑදෙන සන්ධානයක් බිහි වීමේ තත්වයක් උදා වී ඇත.
ශ්‍රිලනිපද එකතු වී ජවිපෙ 43 සේනාංකය සමග හැදෙන සන්ධානය තුළ ඔවුන් වෙත වැඩි නැඹුරුවක් රටවැසියා තුළ ඇතිවීමත් ඒ හරහා පාඨලීටත්ටත් ශ්‍රිලනිපයටත් වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් හිමිවීමත් සිදුවනු ඇත. ඒ නිසා කොතෙක් සාකච්චා කලත් ජය ලැබිය හැකි කණ්ඩායම සමගයි ශ්‍රීලනිපය එකතු වෙන්නෙ.
ඒ වගේම පාඨලී සහ ජවිපෙ ඉදිරියේදී හැදෙන බලවත් සන්ධානයක් තුලට විමල් සහ ජාතිකවාදි පිලේ සිටින කොටස්ද එකතු විය හැකියි.
ජවිපෙට දැනට සමාජයේ කැමැත්තක් ප්‍රකාශ වුවත් එය යතාර්තයක් වී වැඩි ආසන ප්‍රමාණයක් ලබාගැනීමට නම් ජවිපෙ අනිවාර්ය ලෙසම සන්ධාන ගත විය යුතුයි. ජවිපෙට දැන් වෙනත් විකල්පයක් ද ඉතුරු වී නොමැත.
ඒ නිසා ඉදිරියේදී සෑදෙන ජවිපෙ පාඨලී සන්ධානයක් වියහැකි තාවකි. එමෙන්ම ඒ සඳහා සජබයේ කොටසක්ද? ශ්‍රීලනිපයද, ජාතිකවාදී කඳවුරේ පිරිසක්ද, මංගල පාර්ශවයේ කොටස්ද සම්බන්ධ විය හැකියි.
කොහොම උනත් ඉදිරියේදී ඇතිවීමට නියමිතව ඇත්තේ තවත් බල පොරයක්.
එනම් පොහොට්ටුව තුල ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාද, බැසිල්ද යන තරගය තියෙනවා.
ඒ සමගම නාමල් ඉහලට ඒමේ උත්සාහයක් පැවතීමත් ගැටලුවක්.
සජබය තුල සජිත්, පාඨලී බල පොරය දැනටමත් ආරම්භ වෙලා.
සජිත්ට පාඨලීගේ කරදරයෙන් ගැලවිය යුතුය. එය පක්ෂය තුලින්ම මතුවන්නක්.
පාඨලීට ඕනේ කෙසේ, කවුරුන් සමග හෝ අත්වැල් බැඳගනිමින් තම අරමුණ වන ජනාධිපති සිහිනය සාර්ථක කරගැනීමයි.
අනෙක් පැත්තෙන් දැන්ම තියා මීලග ජනාධිපති යැයි හිතමින් වැඩකරන අනුරටද අවශ්‍ය කෙසේ කවුරුන් හෝ සමග එකතුවී ඉදිරියේදී ජනාධිපති වෙන්නටයි.
එබැවින් අපට කීමට ඇත්තේ කිනම් වර්ගයේ සන්දාන හැදුවද එහි අරමුණ වන්නේ රට ගොඩනැගීම නොව බලයම පමණක් බවයි.
මෙවැනි තත්ත්වයක් තුල රටවැසියාට නම් විසඳුමක් එවිද යන්න ප්‍රශ්නයකි.
නිදහසින් පසු ගෙවීගිය වසර 75 සේම ඉදිරියටත් මේ ක්‍රමය තුළ විසඳුම් සොයන වංමාංශිකයාටත් දක්ෂිනාංශිකයාටත් සිවිල් ක්‍රියාධරයාටත් ලැබෙන එකම ප්‍රතිඵලය පසුවූ වසර ගණනාව වැන්නක්ම වනු ඇති.
විපරීත සමාජ ක්‍රමය තුළ ලබාගත හැකි ඉන් එහා විපරීත පිළිතුරක් තිබෙනවාද?
@ සිරිමලී ලියනගම