Chatham Street Journal යනු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ එජාපය ඔසවා තැබීමේ මාධ්‍ය භාවිතාවකි.
අරගලය යනු ජනතා ඡන්දයෙන් පරාජයට පත්වුනු රනිල් වික්‍රමසිංහව විධායක බලය සහිත ජනාධිපති තනතුර දක්වා ඔසවා තැබූ මෑත කාලයේ දියත්වුනු විපරීත පරිභෝජන මෙහෙයුමකි. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස නම් කළ වහාම ගෝල්ෆේස් අරගලකරුවන්ට අවශ්‍ය සියළුම යටිතල පහසුකම් රාජ්‍ය අනුග්‍රහයෙන් ලබාදුන් අතර තම පරම්පරාවේ ඉතිරිව ඇති තමාගේ දේශපාලන සම්ප්‍රාප්තිකයා වූ රුවන් විජේවර්ධනට එහි වගකීමද බාර කෙරුනි. අගමැති රනිල් ජනාධිපති වූ සැනින් ඒ සියළුම යටිතල පහසුකම් ආපසු ඇද ගනිමින් ගෝඨාභය ජනාධිපතිවරයා ගෝල්ෆේස් පිටියේ කෙලවරක නිත්‍යනුකූලව ඉදිකර තිබූ විරෝධතා පෙදෙස පවා වහාම ක්‍රියාත්මක වන පරිදි ගැසැට්ටුවක් මගින් ඉවත් කරන ලදී. පසුව සියළුම අරගලකරුවන් විරෝධතාකරුවන් ගාලු මුවදොරින්ද පන්නා දැමිනි.
චැතම් ස්ට්‍රීට් ජර්නලයේ ඝෝෂක නමින් අද ලියා ඇත්තේ එම අරගලයේ පසු අවස්ථාව පිළිබඳ ලිපියකි. එහි මාතෘකාවම ඵෙතිහාසිකය.
----------------------------------
අනාගත ජනාධිපතිට ජයවේවා, නායකතුමාට ජයවේවා, අරගලයේ නායකයාට ජයවේවා, අරගලයට ජයවේවා, කියමින් නොවැම්බර් දෙවෙනිදා පැවැති සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන්, පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ සංවිධානයෙන් මෙන්ම චම්පිකගේ 43 බලකායත්, මෛත්‍රී පාලනයක් ඉල්ලා ශ්‍රිලනිපයත්, දෙමළ ජාතික සන්ධානයත් ඇතුලු දේශපාලන පක්ෂ දහයක් පහළොවක් සමඟ අන්තරය ඇතුලු සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක මහා සංවිධාන ශක්තිය, ජන බලය සහිතව ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත (සිනා නොවන්න) උද්ඝෝෂණ පෙළපාලියක් දියත්ව තිබිණි.
නමුත් වැඩේ ලත් තැනම ලොප් වී ගියේය. මීටර් සියයකට දෙසීයකට වඩා යන්න වුණේ නැත. මෙය පොලිසියේ බාධක නිසා සිදු වූවක් ලෙස ලඝු කර සිදුවූ සන්තෑසිය වසා ගැනිමේ උත්සාහයන් තිබෙන නමුත් ඇත්තටම සිදු වූයේ දේශපාලන මරි මෝඩකම්, අවස්ථාවාදය සහ බැරිකම එකට එකතු වී ඒ මුලුමනින්ම අසාර්ථක වී යෑමය.
කොහොම නමුත් මේ සඳහා සංවිධාන 150 කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන බව මේ අරගලකරුවෝ පුර්ව ප්‍රචාරක කටයුටු සිදු කර තිබිණි. සහභාගිත්වය ගැන සජිත් ප්‍රේමදාස සමඟ ගිවිසුමක්ද අත්සන් කර තිබිණි. වැඩේ සංවිධානයට සති ගණනක් තිස්සේ සාකච්ඡා වට ගණනාවක්ද පවත්වා තිබිණි. අවසානයේ දෙතුන් දහසක පිරිසක් උද්ඝෝෂණයට කැඳවා ගැනීමට සමත් වී තිබිණි. එහෙත් බලාපොරොත්තු වූයේ ලක්ෂ දෙක තුනක මහා ජනතාවකි.
උද්ඝෝෂණයේ ඇත්ත අරමුණ කුමක් වූවත් මෙහි ප්‍රකාශිත අරමුණ වූයේ රාජ්‍ය මර්දනය නතර කරන ලෙස ඉල්ලීමය. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා සිටින ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු නිදහස් කරගැනීම වෙනුවෙනි. ඒ නිසා මෙහි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමත් මෙහි ප්‍රධානම ඉල්ලීම වී තිබිණි.
එහෙත් මේ අරගලයට සම්බන්ධ වන පිරිස මෙම පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ අවංකවමද කියන ගැටළුව තිබේ. මෙම අරගලයේ බහුතරයක් කණ්ඩායම් සහ පුද්ගලයන් තමන්ට ආණ්ඩු බලය ලැබී තිබු කාල වකවනුවල ගෙන ආ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (ඡඕ) අහෝසි කිරීම සඳහා කිසිදු උත්සාහයක් ගෙන නොතිබීම මෙයට හේතුවය. බොහෝ පිරිස් මෙම පනත රැකගැනීම වෙනුවෙන් වෙහෙසුන අය ද වෙති.
සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායකයාව සහ කැබිනට් ඇමැතිවරයකු සිටිය දී මෙම පනත අහෝසි කරන ලෙස තම නායකත්වයෙන් හෝ ආණ්ඩුවෙන් හෝ ඉල්ලා සිටි අවස්ථාවක් තිබේද? නැත. අඩු තරමින් සජබයේ මන්ත්‍රීවරයකුවත් සිටිනවාද? නැත. ත්‍රස්ත සන්නද්ධ කැරළි දෙකකට නායකත්වය දුන් ජවිපෙ ඒ අතීතය මෙතෙක් ප්‍රතික්ෂේප කර නැත. පෙරටුගාමී නායක කුමාර ගුණරත්නම් යනු ආයුධ අතදරමින්, මිනී මරමින් ප්‍රශ්න විසඳන්න ගිය ජවිපෙ කැරළිකරුවෙකි. ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වී සිටි කාලයේ මේ සියලු දෙනා ජවිපෙ නායක මණ්ඩලවල ද සිටියහ. එසේම ජවිපෙ උතුරු නැගෙනහිර දෙමළ සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පිරිසකි. මහින්ද රාජපක්ෂ සාම කතා වලට යන විට ඒ වලක්වා යුද්ධ කරන ලෙස ඔහුව පෙළඹ වූයේ ජවිපෙ නායකයන්ය. යුද්ධ කරන්න ආයුධ තියා ලබ්බක්වත් නෑ කිව් විට තියෙන ලබ්බෙන් යුද්ද කරමු කියා මහින්දට කිව්වෙ ජවිපෙ නායක සෝමවංශය. රජය යුද්ධයේ තීරණාත්මක මොහොතේ සිවිල් වැසියන්ගේ අරක්ෂාවට බර අවි ප්‍රහාර නවතා දැමු විට ඊට එරෙහිව එදා අනුර කුමාර බර අවි වලින් පහර දිය යුතු බව කියමින් පාර්ලිමේන්තුව දෙවනත් කළේය. එදා උතුරේ කැරලිකරුවන් මර්දනය කිරීමට ත්‍රස්ථවාදය වැලැක්වීම පනත යොදා ගැනීම සිදුවිය. නමුත් ජවිපෙ එය වැලක්වීම ගැන එක වචනයක් කියා නැත. එදා ඒ ජවිපය නියෝජනය කළ පිරිසෙන් කොටසක්ප පෙරටුගාමි නමින් අද ත්‍රස්ථ මර්දන පනත අහෝසි කරන්න යැයි කියමින් අරගල කරයි.
මේ වෙලාවේ මතකයට එන්නේ දෙමළ නායකයකු වූ කුට්ටුමනී කිව් කතාවය, අද දෙමළට එන මර්දනය. හෙට සිංහලයාට එන බව ඔහු කීවේ නවසිය අසූ තුනේ දී පමණය.
ඊගාවට චම්පික රණවකගේ නායකත්වයෙන් යුතු 43 බලකාය කියන්නේ යුද්දයට උඩ ගෙඩි දුන් අනික් පාර්ශ්වයයි. තිරශ්චීන මර්දනයක් වෙනුවෙන් මේ අය සෘජුවම පෙනී සිටියේය. ත්‍රස්ථ මර්දනය තමන්ගේ එකම දේශපාලන ව්‍යාපෘතිය කරගෙන චම්පිකලා කාලයක් ගත කළේ එහි අත්පොත ලෙස ත්‍රස්ථ මර්දන පනත අතේ තියාගෙනය.
යුද්දය ජය ගැනීම වෙනුවෙන් ෆීල්ඩ් මාර්ශල් ධුරයක් ලැබූ සරත් ෆොන්සේකාට ත්‍රස්ත මර්දන පනත නොතිබුණා නම් ඔහුට කරන්න යුද්ධයක් නැත. උතුරේ කැරලිකරුවන් මෙන්ම යුද්දයට සම්බන්ධ නැති සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක්ද ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගැනීම ඔහුගේ සහ එවක ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභයගේ නියෝග යටතේ සිදු වුවා මිස ඊට විරුද්ධ වුයේ නැත.
ඒ වගේම ශ්‍රීලනිපය කියන්නේ එදා මහින්ද රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ දේශපාලන පක්ෂයයි. යුද්ධයේ සෙනාධිනායකයා වූ මහින්ද කිසිදා ත්‍රස්ත පනත අහෝසි කරන්න හිතුවේ නැත. මෛත්‍රීපාල සිරිසේන ඒ කාලයේ පනත අහෝසි කරමුය කීවේ නැත.
ආණ්ඩු බලය සහිතව සිටින කාලයේ ඩිෆෙන්ඩර් වලින් කොල්ලන් උස්සන් ගොස් අඩත්තේට්ටම් කළ හිරුණිකාද අරගලයේ සටන්කාමී චරිතයකට පණ පෙවීය. නීතිය අතට ගෙන කටයුතු කරන හිරුණිකාලා ත්‍රස්ත පනත අහෝසි කරන්නැයි කියමින් අරගල කිරීම මොන විහිළුවක්ද යන්න අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
ත්‍රස්ත පනත ඇත්තටම අහෝසි කරගැනීමේ වුවමනාවක් සහිතව මෙතැන යම් කණ්ඩායමක් සිටියා නම් ඒ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පොරා නියෝජිතයන් හෝ එහි මුල්‍ය ආධාර ලබන පූද්ගලයන් සහ සංවිධාන පමණකි. එහෙත් බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ත්‍රස්ත පනත අහෝසි කිරීමේ ඉල්ලීම කරන්නේ ඒ වෙනුවෙන් ඔවුන්ට ඩොලර්වලින්ම වැටුප් දීමනා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ලැබෙන බැවින් මිස වෙන කෙන්හෙඩියකට ද නොවේ.
එදා ත්‍රස්ත මර්දනයට විරුද්ධ නොවුණ සහ ත්‍රස්තයන් මර්දනය කිරීම වෙනුවෙන් ත්‍රස්ත පනතේ නීත්‍යානුකූලභාවය, එහි නිවැරදි බව යුක්තිසහගත බව, සාධාරණ බව පිළිගත් කණ්ඩායම් සහ පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද මේ පනත අහෝසි කරන්න යැයි කියමින් අරගලයක නිරත වීම තනිකරම තක්කඩි අවස්ථාවාදී දේශපාලනයකි.
ලංකාවේ දේශපාලන පක්ෂ ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය විට කබරගොයා තලගොයා කරගැනීම සිදුකරයි. සත්‍ය ලෙසම මේ අය දෙවෙනිදා අරගල කළේ වසන්ත මුදලිගෙ වෙනුවෙන්වත් වෙන කවුරුවත් වෙනුවෙන් වත් නොවේ. ත්‍රස්ත පනත අහෝසි කරගැනීම වෙනුවෙන්වත් නොවේ. ඔවුන්ගේ හුදු ආණ්ඩු විරෝධය හෝ රනිල් විරෝධය මත පදනම්වය. ඒ ඉදිරි මැතිවරණයකදී තමන්ගේ මන්ත්‍රී ආසන රැකගැනීම හෝ ආසනයක් දෙකක් වැඩිකරගැනීම වෙනුවෙන් බොරු මානවහිතවාදී කමක් පෙන්වීමටය.
පෙරටුගාමින් සහ අනෙක් සුළු කණ්ඩායම් මන්ත්‍රී ආසනවලට කෙල හලමින් සිටින බවත් පැහැදිලිය.
අනෙක වැදගත් කාරණයක් මේ වන විට අනාවරණය වී තිබේ. මෙම අරගලය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක් සක්‍රීයව දායක වී සිටීම ගැනය. දෙමළ ඩයස්පෝරාවට මෙරට දේශපාලනයට හා ආර්ථික සංවර්ධනයට මැදිහත් වීම හැකියාව ඇත. මෙරට පුරවැසියන් ලෙස ඒ යමකු සිටිනවා නම් ඒ සඳහා පුර්ණ අවකාශය ඔවුන්ට තිබේ. නමුත් මෙම අරගලය සඳහා සම්බන්ධ වන දෙමළ ඩයස්පෝරා සංවිධාන නියෝජිතයන් මෙයට සහභාගී වන්නේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය, අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මෙන්ම සිංහල බෞද්ධකරණයට, හමුදාකරණයට හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව කටයුතු කිරීම යන කරුණු මුල් කරගෙනය. ඔවුන්ගේ අපේක්ෂාව මේ අරගලයේ බොහෝ කණ්ඩායම් වල දේශපාලන අපේක්ෂා සමඟ ගැටුම්කාරිත්වයක් තිබෙන බව පෙන්වා දිය යුතු නැත. එහෙත් ඩයස්පෝරාවෙන් ලැබෙන මුදල හෝ වෙනත් සංතෝසම් නිසා මේ සියළු දෙනා අරගලය වටා ගොනු වී සිටින්නේ හරියට සීනි ගොඩකට එකතු වන ඇඹලයන් මෙනි.
ඒ කොහොම වෙතත් මේ අය අරගලයට සහභාගී වුයේ ප්‍රකාශිත අරමුණ වෙනුවෙන් නොවේ. ඒ අරමුණ දඩමීමා කරගෙන තමන්ගේ පටු දේශපාලන අභිලාශයන් හෝ පෞද්ගලික ආසාවන් ඉටුකර ගැනීමේ තවත් එක් ඉවෙන්ට් එකක් ලෙස බව පැහැදිලිය.
ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුව ගැනීම ගැනත් යමක් කිව යුතුය.
මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන කවරකු හෝ වේවා එලෙස අත්ඩංගුවට පත් වන්නේ හේතු සහිතවය. මේ පනත හරහා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමක් සිදුව තිබේ නම් ඒවා ගැන අධිකරණයේදී විසඳා ගත හැක. කොහොම නමුත් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අත්අඩංගුවට පත්වන්නේ ගාලු මුවදොර අරගලයට සමගාමීව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධ විමර්ශයයන්ට අදාලවය.
සාමකාමී අරගලයක්ය කියමින් එම ක්‍රියාදාම සිදු වූවද ඒ කිසිසේත් අහිංසක වූයේ නැත, ත්‍රාඩ ප්‍රචණ්ඩත්වයක් මුදා හැර තිබිණි. ගෙවල් දොරවල් වාහන ගිනි තබා විනාශ කිරීම, කොල්ල කෑම, මිනීමැරුම්, පහර දීම් සිදුව තිබිණි. රාජ්‍ය දේපොළ විනාශ කෙරිනි. එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස පවා ගිනි තබා විනාශ කෙරිනි.
අරගලයට නායකයෙක් නැතය, සංවිධානයක් නැතය, මෙය ස්වයං ජනතා නැගිටීමක්ය කියමින් පට්ටපල් බොරු ප්‍රවාදයක්ද සමාජ ගත කෙරුවේ මේ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන්ට වගකිව යුත්තන්ගේ ගැලවීම වෙනුවෙන් බවත් පැහැදිලිය. මෙම අරගලයට ජාත්‍යන්තර බලවේග මැදිහත්ව සිටි බවටත් බරපතල සැකයක් තිබේ. එමෙන්ම මාසික වැටුප් ලබමින් නඩත්තු වූ පිරිසක්ද සිටියේය. මේ අයට වැටුප් ගෙව්වෙ, අරගලය පැවැති මාස හතරක පමණ කාලය මුළුල්ලේ සියදහස් ගණනකට කැම බීම ඇඳුම් පැලදුම් කූඩාරම් සහ අනෙක් සියලු පහසුකම් සපයමින් ඒ පිරිවැය දැරුවේ කවුද යන්න රහසකි. ඇතැම් අරගල නායකයන් නවාතැන් ගත්තේ ගාලු මුවදොර අවට තරු පහේ හෝටල් වලය. මේවාට ගෙව්වෙ කවුද? ජනප්‍රිය වු අරගලකාරිනියක වූ දමිතා අබේරත්නගේ කටින්ම තමන්ට රුපියල් ලක්ෂ හත අටක් ලැබුණු බව කියැවිණි. මේ මුදල් ආවේ කොහෙන්ද යන්න තවම රහසකි.
ජනාධිපති මන්දිරයේ සිට රජයේ මර්මස්ථාන අත්පත් කරගැනීම, පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට කළ උත්සාහය තුළ ඇත්තේ යම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් වූ බවට සාධකයන්ය. පෙරටුගාමී පක්ෂය රටේ නීතිය තමන් තීරණය කරන බවට කළ ප්‍රකාශයන් සේම පසු කාලීනව සරත් ෆොන්සේකා වැන්නවුන් ඉදිරියේ වන සන්නද්ධ කැරැල්ලකට තමන් නායකත්වය දෙන බව, ලක්ෂමන් කිරිඇල්ල රටම ලේ විලක් වෙනු ඇති බව කියා තිබිණි. මේ සජබයේ වගකිව යුතු තනතුරු හොබවන අයය.
එමෙන්ම අරගලයට නායකත්වය දුන් විශාල පිරිසක් වෙනුවෙන් සජබය පහසුකම් සලසා තිබිණි. අරගල භූමියෙන් අරගලකරුවන්ට ඉවත් වීමට සිදුවූ පසුවත් කොළඹ වොක්ෂුවල් වීදියේ ගොඩනැගිල්ලක මාස ගණනක් තිස්සේ අරගලකරුවන් පිරිසකට කන්න බොන්න දී මුදල් හදල් දී නඩත්තු කළේ සජබය විසිනි. මේ සිදුවීම් මාලාව තුළ යම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණක් දියත් වූවාද යන සැකය ඇති නොවේද? රාජ්‍ය පාලකයාට රාජ්‍යය ගැන ඇති වගවීම අනුව යම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක සේයාවක් හෝ ඇති නම් එය වහා විසඳා ගත යුතු වන ගැටලුවක් වීම අනිවාර්යය. එය නොතකා හැරීම නිසා ශ්‍රී ලංකාව මීට පෙර ලොකු වන්දියක් ගෙවා තිබිණි. ඒ පාස්කු ඉරු දින ප්‍රහාරයය.
එදා සිදුවූ දුර්වලතාවල උගත් පාඩම්වල හැටියට මේ ප්‍රචණ්ඩ අරගලයේ අලගිය මුල ගිය වැලගිය තැන් සියල්ල හෙළිකර ගැනීම පොලිසියේ, බුද්ධි අංශවල අනිවාර්ය වගකීම වෙයි. අරගලයට ප්‍රචණ්ඩ මුහුණුවරක් එක් කළ පාර්ශ්ව ගණනාවකි. ඒ අතර පෙරටුගාමීන්
මෙහෙය වන අන්තරයට නායකත්වය දෙන වසන්ත මුදලිගේ මෙන්ම සිරිධම්ම හිමි වැන්නවුන් අත්අඩංගුවට ගෙන රඳවා තබා හෝ ප්‍රශ්න කර අදාළ විමර්ශන කිරීම පොලිසියේ වගකිමකි. පොලිස් විමර්ශන විධික්‍රම තීරණය වන්නේ ලැබෙන තොරතුරු සහ සැකයන් අනුවය. වසන්ත හෝ සිරිධම්ම මිනි මරන්න ගෙවල් ගිනි තියන්න නොගියා
වුව ඔවුන් යටතේ මෙහෙවූ පිරිස් මේවාට සම්බන්ධ විය හැකිය. ඇතැම් විට ඔවුන්වත් නොදැන ඔවුන්ව මෙහෙය වූ බළල් අත් තිබිය හැකිය. ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුවන්නේ මේ නොදන්නා කලාප හෙළිකර ගැනීමට මිස වෙන කෙන්ගෙඩියකට නොවේ.
මේ අනුව අරගල ප්‍රචණ්ඩත්වය ගැන වන විමර්ශන කටයුතු වල සාධාරණත්වය සහ යුක්ති සහගත බව මිසක් වෙනකක් පැහැදිලි නොවේ.
එහෙත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් වන විවේචන මේ අනුව අහෝසි වන්නේ නැත. නුතන ශිෂ්ඨ සම්පන්න ලෝකයේ පිළිගැනීමටට ලක්ව තිබෙන මානව හිමිකම් පිළිබඳ වන කතිකාවන් මත ඒ සංශොධනය විය යුතුය. එහි විවාදයක් නැත. එහෙත් ඒ විය යුත්තේ අද මේ පනත අහෝසි කරන්නැයි කියමින් ප්‍රචණ්ඩ අරගල කරන තක්කඩින්ගේ වුවමණාව අනුව නොවේ. රටේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙසය.
ඝෝෂක