SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ කටයුතු අවසන් කිරීමට (වාර අවසාන) රජය තීරණය කර ඇත.

වාර අවසාන කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (27) රාත්‍රියේ නිකුත් කෙරෙන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රයේ මුද්‍රණාලයට දැනටමත් යොමු කරනු ලැබ ඇත.

වාර අවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 8 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇතැයිද  වාර්තා වෙයි.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනවාරි 27 දා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමටත් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය  යළි පෙබරවාරි 08 ආරම්භ කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවත් ජනවාරි 16 දා 'ද ලීඩර්' ( theleader.lk) පළමුවරට වාර්තා කළේය.

 

 

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම

පාර්ලිමේන්තුව "වාරාවසාන" කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබා ගැනීම යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ. මෙහිදී, වාරාවසාන කිරීම මාස දෙකකට නොවැඩි විය යුතු අතර එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මඟිනි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ දී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතු ය.

වාරාවසාන කර ඇති අවස්ථාවල කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) අනුව; "යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිම කරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේ ද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය."

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු ය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාරාවසාන කර ඇති අවස්ථාවක වුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දීම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාරාවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි එහිදී ජනතිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කල හැක.


වාරඅවසාන කර ඇති විට නැවත කැඳවන්න පුලුවන්ද?


පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුව ද සිදු කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුලත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතු ය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවහීදී කතානායක වරයාට පාර්ලිමේන්තුතු නැවත  කැඳවිය හැකිය.

1958 මැයි 27 දින වාරාවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලහාල පැන නැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 වන දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.


රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

         
නව සැසි වාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේ දී එය හැඳින්වුණේ රාජාසන කථාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

1960 අප්‍රේල් 22 දින ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ආණ්ඩුව රාජාසන කථාව පරාජය විය. 1960 අප්‍රේල් 06 වන දින රාජාසන කථාව ඉදිරිපත් කෙරුණේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසිනි.

එයට ස්තූතිය පළ කිරීමේ යෝජනාව සඳහා විපක්ෂය විසින් ගෙන එන ලද සංශෝධනයට පක්ෂව ඡන්ද 86ක් ද, විරුද්ධව ඡන්ද 61ක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් අටදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නැවත වරක් ස්තුති යෝජනාව සංශෝධනය කරමින් ගෙන එන ලද යෝජනාවට පක්ෂව ඡන්ද 93ක් ද, විපක්ෂව 61ක් ද ලැබුණු නමුත් එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය.

කෙසේ වුව ද, වර්තමානයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදයට බඳුන්වීමක් හෝ ඡන්දය විමසීමක් සිදු නොවේ.


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු:


පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත් කරනු ලබන කාරක සභා, වාරාවසාන කිරිමත් සමග අක්‍රීය වෙයි.

නව සැසි වාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා, සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වෙයි.

# පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

# ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව

# ගෘහ්‍ය කාරක සභාව

# ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාව

# ව්‍යවස්ථාදායක කාරක සභාව

# අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව

# රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

# පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

# රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව

# මහජන පෙත්සම් කාරක සභාව

# පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව


පාර්ලිමේතුවේ සෑම නව සැසි වාරයක් ආරම්භයේ දීම හතර දෙනෙකුට නොඅඩු සාමාජික සංඛ්‍යාවකින් සමන්විත තාවකාලික සභාපති කමිටුවක් පත්කෙරේ.


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාරයන් ආරම්භ වීම:


පාර්ලිමේන්තු වාර්තා අනුව අනාවරණය වනුයේ, 1947 සිට පාර්ලිමේන්තුව පනස් වරක් පමණ වාරාවසාන කර ඇති බව යි.

1978 සිට සැසිවාර 25කට වඩා පවත්වනු ලැබ තිබේ. ඒවා නම්,



# පළමුවන පාර්ලිමේන්තුව, 1978/09/07 දින සිට 1988/12/20 දක්වා - සැසිවාර 07 යි

# දෙවන පාර්ලිමේන්තුව, 1989/03/09 සිට 1994/06/24 දක්වා - සැසිවාර 05 යි

# තුන්වන පාර්ලිමේන්තුව, 1994/08/25 සිට 2000/08/18 දක්වා - සැසිවාර 03 යි

# හතරවන පාර්ලිමේන්තුව, 2000/10/18 දින සිට 2001/10/10 දක්වා - සැසිවාර 03 යි

# පස්වන පාර්ලිමේන්තුව, 2001/12/19 සිට 2004/02/09 දක්වා - සැසිවාර 02 යි

# හයවන පාර්ලිමේන්තුව, 2004/04/22 සිට 2010/02/09 දක්වා - සැසිවාර 04 යි

# හත්වන පාර්ලිමේන්තුව, 2010/04/22 සිට 2015/06/26 දක්වා - සැසිවාර 01 යි

# අටවැනි පාර්ලිමේන්තුව, 2015/09/01 සිට 2020 දක්වා - සැසිවාර 03 යි

# නවවැනි පාර්ලිමේන්තුව, 2020 අගෝස්තු සිට මේ දක්වා -පළමු සැසිවාරය දෙසැම්බර් 12 වැනිදායින් අවසන් කර ඇත.


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)

@theleader.lk