තව මාස දෙකකින් පමණ රට බංකොලොත්ය කියන ලේබලය ගලවා ගැනීමට අපට හැකිවනු ඇති බව කම්කරු සහ විදේශ රැකිය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (30) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක් අමතමිනි.
විදෙස් රැකියාවලට තරුණ තරුණියන් පුහුණු කිරීමේ කටයුත්ත සදහා පළාත් සභාවල සහයෝගය ලබා ගැනීම අරමුණු කරගෙන මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසීය.
"තව නොබෝ දිනකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ඩොලර් බිලියන 2.8ක් ලැබෙනවා. ඒ සමගම අපි බංකොලොත් රටක්ය කියන තැනින් ඈත් වෙනවා. ඒ අනුව තව මාස දෙකක් යන විට බංකොලොත් රටක්ය කියන ලේබලය ගලවා ගැනීමට අපිට හැකියාව ලැබෙනවා.
ලංකාවේ ආර්ථිකය හෙළ රජ දවසේ ඉදලා මේ තරම් පහළට කඩාගෙන වැටිලා නෑ. මේ රට බංකොලොත් රටක් කියලා කිව්වේ පළමු වතාවට. මේ වෙනකොට මහ බැංකුව අපේ රට බංකොලොත් රාජ්‍යයක් විදියට නිවේදනය කරලා තියෙනවා. මෙතැනින් එහාට ණය ගෙවන්නේ නෑ, ණය ගෙවන්න බෑ කියලා කිව්වා. එතකොට එහෙම උනාම ණය දෙන්නෙත් නෑ. ආයෝජන එන්නෙත් නෑ. එහෙම බංකොලොත් වුන රටක තමයි දැනට අපි ජීවත් වෙන්නෙ"
නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි!
අපට නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. නිෂ්පාදන ආර්ථිකය වෙනුවෙන් අපි කාලයක් කටයුතු කරලා තිබුණේ නෑ. ව්‍යවසායකයන්ට අලුතින් කර්මාන්ත හදන්න නොදී වැඩ කරපු, කර්මාන්ත හකුලන්න කටයුතු කරපු කාලයක් අපට තිබුණේ. සෘජු විදේශ ආයෝජන එන විට ඒවාට අවශ්‍ය පසුබිම අපි නර්මාණය කෙරුවෙ නෑ. එහෙම තිබියදී නිෂ්පාදන ආර්ථිකයකට යන්න කොතරම් කාලයක් යාවිද?
සේවා ආර්ථිකයක් ලෙස රට දියුණු කරන්න ඕන කියලා තිබියදී අපිට ටිකක් ඉක්මනින් ඉදිරියට යන්න පුලුවන්. ඉක්මනට ඩොලර් ටිකක් අරගෙන එන්න පුළුවන්. ඒකත් එක්ක ශුද්ධ ආදායම හැටට හතලිහක් විදියට තමයි ඒන්නෙ. විදේශිකයෝ ආවාට තවත් කොටසක් සල්ලි එළියට යනවා.
එහෙනම් අපි රටක් විදියට මොනවාද කළ යුත්තේ. ඉක්මනින් අපිට ශුද්ධ ඩොලර් ආදායමක් ගන්න පුලවන් වෙන්නේ විදේශ රැකියා ක්ෂේත්රයෙන්. අපි බිලියන 7.6 ක් ලංකාවට ගෙන්නුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ගන්නේ බිලියන 2.8 යි. ඒ අනුව අපි කලින් හිටපු තැනට ගියත් රටේ ප්‍රශ්ණ ටික විසදා ගන්න අපට පුලුවන්.
මාසිකව ලැබෙන ඩොලර් මිලියන දෙසීය ගණන, වැඩි කරගෙන මාසයකට ඩොලර් බිලියනක ආදායමක් ලබාගැනීමට අපි කටයුතු කරනවා. අවුරුද්දකට ඩොලර් බිලියනක් ගෙන්න පුලුවන් නම් අපිට කොතැනකට එන්න පුලුවන්ද. පිලිපීනය, පකිස්ථානය, ඉන්දියාව වගේ රටවල වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන්. ඉන්දියාවට පසුගිය අවුරුද්දේදී ඩොලර් බිලියන 100ක් ලැබුණ නිසා තමයි ඉන්දියාවට ඩොලර් බිලියන 400ක විදේශ විනිමය සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ.
පළාත් සභා සමග එක්ව විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු පාඨමාලා ආරම්භ කරනවා!
මෙතනින් එහාට යන්න පියවර ගැනීම අපි හැමෝටම තියෙන වගකීමක්. මෙතැනින් එහාට යන්න අපි මොනවද කරන්නේ කියලා හිතන්න ඕන. අපි බදු ලිපි ගොනු ලක්ෂ 16 ක් තිබිච්ච රටක්. නමුත්, අපි ඒ බදු ලිපි ගොනු සංඛ්‍යාව ලක්ෂ 4 ක් දක්වා අඩු කරගෙන රාජ්‍ය ආදායම බරපතල විදිහට අහිමි කරගගත්තා. ඩොලරයේ අගය කෘතිමව පාලනය කරන්න ගිහින් උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු වෙන්න ගත්තා. තෙල් ටික, ගෑස්, බෙහෙත් ගෙන්වන්න මුදල් තිබුණේ නෑ. ගල් අගුරු, තෙල්, ගෑස් ණයටවත් අපේ රටට නොදෙන තත්වයකට වැටිලා තිබුණා. අපි දැන් ඒ තැනින් පියවරක් ඉදිරියට එමින් තිබෙනවා. ජපානය, චීනය, ඉන්දියාව අපිත් එක්ක යම් යම් එකගතාවයන්ට පැමිණෙනවා.
ලෝකය ඉන්දියානුකරණය වීමත් එක්ක ලෝකයේ බොහෝ රටවල ඉහළම නිලධාරීන් ඉන්දියානු ජාතිකයින්. බ්‍රේන් ග්‍රේන් එකක් වෙනුවට බ්‍රේන් ගේන් එකක් වෙත යන්න ඕන.
දකුණු කොරියාව කඩා වැටුණ වෙලාවේ කොරියානු ජාතිකයින් මැද පෙරදිගට ගිහින් රැකියා කළා. නැවත රටට ඇවිත් කර්මාන්ත ආරම්භ කළා. ඒ කර්මාන්තවලින් තමයි රට ගොඩ නගාගත්තේ. කෙටි කාලීනව කල්පනා කරන්නේ නැතිව, දීර්ඝ කාලීනව කල්පනා කරලා කටයුතු කළ යුතුයි. කුඩා කුඩා කර්මාන්ත නිර්මාණය කළ යුතුයි. රට පුරාම ව්‍යවසායකත්වය නිර්මාණය කළ යුතුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට විතරක් මේක තනිවම කරන්න බෑ. ඒ නිසා තමයි පළාත් සභාවල සහාය ලබාගෙන විදේශ රැකියා ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.
රටක් විදියට අපි පුහුණුවට කැමැති නැති අය. බිලියන 3.2ක් වෘත්තීය පුහුණු අධිකාරිය අවුරුද්දකට පුහුණුවීම් සදහා වෙන් කරනවා. නමුත්, කිසිම වෘත්තීය සුදුසුකමක් නොමැතිව අපේ අය රැකියා ඉල්ලනවා. සාමාන්‍ය පෙළ කරල උසස් පෙළ කරල ඒක සුදුසුකමක් කියල හිතල රැකියාවක් ඉල්ලන්න අපේ අය පුරුදු වෙලා තියෙනව. සාමාන්‍ය පෙළවත් නැති අය පවා කොහොම හරි පාස් පෝට් එක හදාගෙන මන්ත්‍රීවරයා ගාවට හෝ ඇමතිවරයා ගාවට ඇවිල්ල ඡන්දයට පෝස්ටර් ගැහුවා කියලා රැකියාවක් ඉල්ලනව. ඒ සුදුසුකම්වලින් රැකියාවක් ගන්න ගන්න බෑ. රැකියාවක් ගන්න වෘත්තීය සුදුසුකම් අවශ්‍යයි. අනිත් එක තමයි අපේ රටේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ දේශපාලඥයන්ට පෝස්ටර් ගහන එකත් රැකියාවක් ගන්න සුදුසුකමක් විදිහටයි. දේශපාලඥයනුත් ඒ විදිහටම හිතල වැඩ කරපු නිසා තමයි අද වෙනකොට රාජ්‍ය ආයතන මේ තරම් සේවකයන්ගෙන් පිරිල ඉතිරිලා ගිහින් තියෙන්නෙ. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුව තියෙනවා. ඒ සඳහා අපට වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ ජාතික වැඩපිළිවෙලක් විය යුතුයි.
රටට අවශ්‍ය කරන ශ්‍රමිකයා කෙබඳු කෙනෙක් විය යුතුද?
රටට අවශ්‍ය කරන ශ්‍රමිකයා කෙබඳු කෙනෙක් විය යුතුද යන්න උතුරු මැද පළාත් සභාව විසින් හොඳ විශ්ලේෂණයක් කර තිබෙනවා. එහි ආණ්ඩුකාර මහීපාල හේරත් මැතිතුමා ඇතුළු කණ්ඩායම හොඳ ආදර්ශයක් රටට හඳුන්වා දීල තියෙනව. 13 වැනි සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවල තිබුනට ඒවායින් හරියට අපි වැඩක් අරගෙන නෑ. නිකං බොරුවට 13 ප්ලස් ද 13 මයිනස් ද කියල කතා කර කර හිටියට වැඩක් නෑ. අපි දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 13 වැනි සංශෝධනය අනුව වැඩ කළ යුතුයි. අපි උතුරු මැද පළාතට ගිහින් අධ්‍යයනය කෙරුව ඒ වැඩපිළිවෙළ. ඒක ඉතාම හොඳ වැඩපිළිවෙළක්. ඒ වැඩ පිළිවෙළ රටටම නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා. මේ වැඩසටහන පළාත් නවයම සම්බන්ධ කරගෙන ඉදිරියට කරගෙන යාමේ වගකීම මම අපේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මැතිතුමාට පවරනව. ඒ අනුව පළාත් නවයම සම්බන්ධීකරණය කරමින් රට පුරාම සිටින තරුණ තරුණියන් ඒකරාශී කරල ඔවුන්ව පුහුණු ශ්‍රමිකයන් බවට පත්කිරීමේ වගකීම එතුමාට පැවරෙනව.
විදේශ රැකියා සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීමේ වගකීම මෙච්චර කාලයක් දැරුවෙ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විතරයි. නමුත් දැන් අපි ඒ වගකීම විමධ්‍යගත කිරීම තමයි මේ වැඩසටහන මගින් බලාපොරොත්තු වෙන්නෙ. ඒ අනුව, මේ කටයුත්ත සාර්ථක කරගැනීමට පළාත් නමයම නියොජනය කරමින් පැමිණි තමුනනාන්සේලාගේ සහය අපට අවශ්‍ය වෙනව.
අපි මේ වෙන කොට ලෝක ශ්‍රම වෙළෙඳ පොළ පිළිබඳ විශ්ලේෂණයක් කරමින් ඉන්නව. අපි බලාපොරොත්තු වෙනව ඒ අනුව ලෝක ශ්‍රම වෙළෙඳපොළ තුළ තිබෙන නව ප්රවණතා මොනවද කියල හඳුනා ගැනීමට. අපි බලනව ලෝක ශ්‍රම වෙළෙඳපොළ තුළ අවුරුදු දහයකට පහළොවකට තියෙන ප්රවණතා මෙනවද කියල. එහෙම උනාම මෙරට තරුණ තරුණියන් රැකියාගත කරීම අපට පහසු වෙනව.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර,උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ද කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා සහ පළාත් නවය නියෝජනය කරමින් පළාත් ලේකම්වරු ඇතුළු නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
@පුවත් අනුග්‍රහය - අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය