සමහර රටවල් විසින් රනිල් වෙත මේ දක්වා ඇති ආකාරයේ සමුළු සඳහා ආරාධනා කරනුයේ
ලංකාවේ "ජනතාවට" රනිල් නමැති ලංකාවට සිටින අග්‍රස්ථ ප්‍රභූවරයාගේ වටිනාකම පෙන්වීම සඳහාය යන්න තේරුම් ගැනීමට අපහසු කරුණක් නොවේ. එය සංවිධානාත්මකව සිදු කරන්නකි.
උදාහරණයකට නරේන්ද්‍ර මෝදි යනු ජවිපෙ වැනි ආණ්ඩුවක් නොඉවසන පුද්ගලයෙකි. එසේ වන්නේ එය ඔහුගේ ආත්මීය ප්‍රශ්නයක් මෙන්ම ඉන්දියානු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව ද ප්‍රශ්නයක් වන බැවිනි.
මානව ආත්මීයත්වය හැඩගස්වනු ලබන්නේ භාෂාව, නීතිය, සමාජ ප්‍රතිමාන සහ සමාජ ව්‍යුහයන්ගේ ක්ෂේත්‍රය (symbolic order) මගිනි. ආයතන, අධ්‍යාපනය සහ කතිකාව පාලනය කරන ප්‍රභූන් විසින් මෙම රටාව හැඩගැස්වීමේදී ප්‍රමුඛ සහ ආධිපත්‍යක කාර්යභාරයක් ඉටු කරයි.
ඔවුන් අන් අය වෙතට යථාර්ථය නිර්වචනය කරන හැඟවුම්කාරක (වචන, සංකේත සහ අර්ථයන්) කෙරෙහි බලපෑම් කිරීම මගින් බලය ස්ථාපිත කර පවත්වාගෙන යයි.
ප්‍රභූන් තම පාලනය නීත්‍යානුකූල කිරීමට සහ සමාජ පාලනය පවත්වා ගැනීමට "ප්‍රගතිය," "නිදහස," "ආර්ථික වර්ධනය," හෝ "ජාතික ආරක්ෂාව" වැනි ස්වාමි හැඟවුම්කාරක (ස්වාමි හැඟවුම්කාරකය යනු අර්ථය සංවිධානය කරන සහ අධිකාරිය සාධාරණීකරණය කරන තීරක ආධිපත්‍යක අදහසක් හෝ සංකල්පයකි) භාවිතා කරයි.
"ප්‍රගතිය" යන්නෙන් මාක්ස්ට ද ගැලවීමට නොහැකි විය. ශිෂැක්ගේ අලුත්ම කෘතිය "Against Progress"ය. එහි කතෘ සටහනේ දැක්වෙන පරිදි "ප්‍රගතිය" යන්න සංස්ථාපනය වූ අකාරයේ සිට මේ දක්වා තත්වය සහ "ප්‍රගතිය" නම් සංකල්පය මේ වන විට මුහුණ දී ඇති අර්බුධය ශිෂැක්ට ද මේ වනවිට අවබෝධ වී ඇත.
මිනිසුන් කිසි විටෙකත් සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන ආශාවෙන් මෙහෙයවනු ලබයි. ධනවාදය තුල එම ආශාව ධනය, බලය හෝ දෘෂ්ටිවාදය හරහා යන කොයිකෙන් හෝ වේවා සපුරාලීම පොරොන්දු වීමෙන් ප්‍රභූ තන්ත්‍රය විසින් මෙම අඩුව (lack) හසුරුවන අතරම මිනිසුන් සදාකාලික ආශාව පිලිබඳ තත්වයක (උදා: පාරිභෝගිකවාදය, අධ්‍යාපනය, වෘත්තීය අභිලාෂයන්...) තබා ගනී.
ලංකාවේ මෙතෙක් පැවති ප්‍රභූත්වය අභිබවනය කරමින් සහ එම ප්‍රභූ තන්ත්‍රයන් නිශේධ කරමින් නව ප්‍රභූ තන්ත්‍රයක් සංස්ථාපනය වීමට නියමිත බව සහ එම ප්‍රභූතන්ත්‍රයේ ස්වභාවය පිළිබඳව අප විසින් මීට කලකට පෙර ලිපි රැසක් ලියා ඇත (අප පූර්වකල්පනය කල ලෙසම NPPය හරහා දැන් එය රට තුල සංස්ථාපනය වෙමින් පවතී).
සමාජය පැවතිය යුත්තේ සැමවිටම ප්‍රභූන් යටතේ බවත්, ඉතිහාසය පුරා එසේ සිදුව ඇති බවත්, ලංකාව තුල එම ප්‍රභූත්වයේ ඊළඟ පියවර තමන් බවත්, පැවසීමට පාඨලී චම්පික රණවක ඇතුළු ඔහුගේ ගෝලබාලයින් ක්‍රියා කරනුයේ අප විසින් ඒ පිළිබඳව කල විශ්ලේෂණයෙන් අනතුරුවය.
මනෝවිශ්ලේෂණයේ "ස්වාමි කතිකාව" (Discourse of the Master) මගින් ගෙනහැර දක්වනුයේ බලය විසින් අධිකාරීත්වය සහ ධූරාවලිය හරහා එයම නඩත්තු කර පවත්වා ගන්නා ආකාරයයි. ඊට වෙනස්ව, විශ්ලේෂක කතිකාව (Discourse of the Analyst) විසින් (මනෝ විශ්ලේෂණාත්මක කතිකාව) බල ව්‍යුහයන් ප්‍රශ්න කරන අතර සැඟවුණු ප්‍රතීඝතා සහ ප්‍රතිවිරෝධතා හෙළි කරයි. ප්‍රභූ තන්ත්‍රය බොහෝ විට ස්වාමි කතිකාව තුළ ක්‍රියා කරන අතර, පුද්ගලයන් බලය ප්‍රශ්න කිරීමෙන් වළක්වන පද්ධති ශක්තිමත් කරයි.
ප්‍රභූන් විසින් පාලනය පවත්වාගෙන යනු ලබන්නේ භාෂාව සහ ආශාව හරහා යථාර්ථය ව්‍යුහගත කිරීමෙනි. කෙසේ වෙතත්, ප්‍රභූ ආඛ්‍යානවල නොගැලපීම් සහ මායාවන් හෙළිදරව් කිරීමෙන් ඒවා විසංයෝජනය කිරීමට ක්‍රමයක් ඉදිරිපත් කරනුයේ මනොවිශ්ලේෂණය පමණි.
තම ස්වාමියා වන චම්පික විසින් න්‍යාය ගතකර ඇති ප්‍රවාදය පුනුරුච්චාරණය කරමින් සිටිනා වර්ණසිංහලා එය ප්‍රශ්න කෙරෙනවාට බියක් දක්වන්නේ ඇයි? ඔවුනට අවශ්‍යව ඇත්තේ එකලට ගැලපෙන කුමක් හෝ ගැටගසා ගනිමින් කුමන හෝ ජිල්මාට් එකක් දමා බලයට පත්වීමට මිස සැබෑ සංවාදයක් ගොඩනැගීමට නොවේ. මෙය ඔවුනට පමණක් අදාළ සත්‍යයක් නොව පාලු ගෙවල් වල වලන් බිඳින ලිබරල් වාචාලයින්ට මෙන්ම "ජන බලය" වැනි විකාර ගොඩනගමින් සැබෑ සංවාදය මගහරින කුහකයින්ට ද අදාළ වන්නකි.