1981 පුස්තකාලය ගිනි තියද්දී එහි විවිධ පොත් අනූහත්දාහක් තිබුණා.
අද වෙද්දී එහි තුන්ලක්ෂයකට ආසන්නපොත් ප්‍රමාණයක් තියෙනවා.
ෂෙල්ලප්පාගෙන් තල්රුප්පාවට ලැබුණු තෑග්ග...
ගිනිගහන අව්ව උදෑසනම යාපන පොළොව මතට පතිත වී තිබිණ. මහත්මා ගාන්ධි මාවත ඔස්සේ මම ඒ මහා පොත් ගුල් රාජයා සොයා ඇවිදිමින් උන්නෙමි. උතුරා යන සතුටක් මගේ හිත මත වාන්දමනු දැණින. මීට වසර කීපයකට පෙර ජීවිතයේ පළමු වතාවට මම මේ සුවිශේෂී බිමට පය තැබුවේ ලංකාවේ ප්‍රවීනතම කවියකු වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් සමගිනි. එදා හැන්දෑවේ මම දුටු පුස්තකාල ගොඩනැගිල්ල එදාට වඩා අපූරුවට මගේ දෑස් මත පැලපදියම් විය.
ශ්වේත පැහැගත් සුවිසල් ගොඩනැගිල්ල අසිරිමත් වූ ශාන්ත බවින් යුක්තව සුබ්‍රමනියම් උද්‍යානය දෙස නෙත් හෙළා බලා හිදී. පැරණි මිත්‍රයකු දකින්නට ආ ලෙස මම ප්‍රධාන දොරටුව අසල හිඳ බලා උන්නෙමි. අර්ධ වෘත්තාකාර ශිඛරයන් දැරූ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පය හිස දැරූ පුස්තකාලය සතු අඳුරු මතකයන්ගේ අහුමුළු අතගානු වෙනුවට මේ මහා නිමැවුම සතු අතීත කතාව සොයන්නට මගේ හිත බලකරන්නට විය.
ලෝකය ලස්සන වන්නේ ස්වභාවධර්මයාගේ සොඳුරු බව නිසාම නොව පරාර්ථකාමී සිතුම් පැතුම් පිරි මිනිසුන්ද නිසාය. එවන් පරාර්ථකාමී මිනිසකු නිසා උපන් යාපනය මහජන පුස්තකාලය සොඳුරු මිනිසුන් බොහෝ දෙනෙකුට කිරුළු තැනුවා මෙන්ම කිරුළු තනමින්ද හිඳින්නේය.
අද යාපනයේ මහත්මා ගාන්ධි මාවතේ සුබ්‍රමනියම් උද්‍යානයේ ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ශ්වේත වර්ණ සුවිශේෂ ගොඩනැගිල්ලක මේ පුස්තකාලය පිහිටියත් එය උපන්නේ මේ හා සුවිසල් බවකින් නොවේ.
ඔහු නමින් කේ.එම්. ෂෙල්ලප්පාය. වෘත්තියෙන් යාපනයේ දිස්ත්‍රික් උසාවියේ ලේකම් තනතුරක් දැරුවෙකි. අධ්‍යාපනික, සමාජයීය, දේශපාලනික අතින් ඇසූ පිරූ තැන් ඇත්තකු වූ ඔහු මතු පරපුරට මෙන්ම උගත්කමට අසීමිතව ආදරය කළේය. ඒ ආදරය ඔහුගේ හිතින් එළියට පැන පුස්තකාලයක්ව ඉපදුණේය. 1933 වසරේදී තමා විසින් කියවන්නට ගන්නා පොත්පත් හා පුවත්පත් තමන්ගේ නිවස වූ ‘ලංකා හවුස්’ හෙවත් ලංකා නිවසෙහි කාමරයක තැන්පත් කොට කියවීමේ පිපාසයෙන් යුතු අසල්වාසීන්ට පොත පත කියවන්නට අවස්ථාව දුන්නේය.
ඒ අවස්ථාව කොපමණ දුරට ව්‍යාප්ත කළ හැකි දැයි සිතූ කේ.එම්. ෂෙල්ලප්පා 1933 වසරේ නොවැම්බර් 11 වනදා ඔහු රජයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද්දේ කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර ඇතුළු ද්‍රවිඩ ජනයා වෙසෙන පළාත්වල පුස්තකාල ඇරඹීම ඉල්ලුම් කරමිනි. ඔහු එම අභියාචනා ප්‍රාදේශීය පුවත්පත් වූ ‘ඉන්දු සතනාම්’ හා ‘Ceylon Free Press' හි පළකරවන ලදී.
අවසන ෂෙල්ලප්පාට ඊට අවසර ලැබුණ අතර ඔහු 1934, ජුනි 9 වෙනි සෙනසුරාදා යාපනය මධ්‍ය මහා විද්‍යාලයට රැස්වූවේ යෝධ ගමනකට තබන එක් පියවරක් ලෙසය.
එහිදී ඔහු කමිටුවක් පත්කර ගන්නට වූයේ සී.කුමාරස්වාමි, ටී. ඉෂාක් තම්බයියා, මුදලියර් වේලුපිල්ලේ, මුත්තයියා ඇතුළු උගත් බුද්ධිමත් පිරිසක් එක් රැස් කරගනිමිනි. ඒ අවස්ථාවේ ඔවුන් ප්‍රධාන අරමුණු කීපයක් කොට පුස්තකාල පිහිටුවිය යුතු බවට තීරණය කළහ. එහි අරමුණ වූයේ,දෙමළ ඉගෙනීම සඳහා උද්‍යෝගිමත් කිරීම, කියවීමේ පුරුද්ද ඇති කිරීම හා ඉගැන්වීම, පැරණි පුස්තකොල පොත මිලට ගැනීම හා රැස් කිරීම, දෙමළ, සාහිත්‍යය, සංස්කෘතික පිළිබඳ පර්යේෂණ කිරීමට උනන්දු කිරීම, දෙමළ භාෂාවෙන් පොත් සෙසු භාෂාවන්ට පරිවර්තනය කිරීමත්, සෙසු භාෂාවන්ගෙන් රචිත පොත් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම හා පුස්තකාලයක් ලෙස සියලු භාෂාවන්හි පොත් එක් රැස් කිරීමයි.
මෙම කමිටුව රැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ‘ෂෙල්ලප්පා’ හෙවත් යාපන මහජන පුස්තකාලයේ නිර්මාතෘගේ ලංකා හවුස් නම් නිළ නිවසේ කාමරයක ලැගුම්ගත් පුස්තකාලය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කළේය. ( මෙම නිළ නිවාස යාපනයේ පැරණි දිස්ත්‍රික් උසාවිය ආසන්නයේ පිහිටා තිබී ඇත.)
1934 වසරේ අගෝස්තු පළමුවැනිදා යාපනය රෝහල් මාවතේ වූ ස්ථානයකට ඒ පුස්තකාලය ඔහු ගෙන ගිය අතර එයට පුස්තකාලයාධිපතිවරයෙක් පත්වුණේය. ස්ථානයේ මාසිකව කුලිය රුපියල් විසිපහක් වූ අතර එවකට එහි වූ පුස්තකාලයාධිපතිගේ වැටුප රුපියල් විස්සක් විය.
මේ වන විට ෂෙල්ලප්පාගේ අප්‍රතිහත ධෛර්ය නිසාම එක් ලක්ෂ එක් දහස් අසූ හතරකුත් ශත විසිදෙකක මුදලක් පුස්තකාලය සඳහා එකතු වී තිබිණි.
ඒ වන විට පොත් අටසිය හතළිස් හතරක් මෙන්ම පුවත්පත් හා සඟරා එකතුවක් විය. ඒ අතරට බොහෝ දෙනෙකුගේ පරිත්‍යාගද එකතු විය. උදෑසන 8.00 සිට රාත්‍රී 7.30 දක්වා මෙම පුස්තකාලය විවෘත කර තිබූ අතර, දිග බංකු දෙකක් හා ලියන මේසයකින්ද පුටු පහළොවකින්ද, දැන්වීම් පුවරු දෙකක්ද, පොත් කබඩ් දෙකක් හා ඔරලෝසුවක් එහි වත්කම විය.
The Central Free Library Association කමිටුව 1934 වසරේ දෙසැම්බර් 20 වැනිදා තීරණය කරනු ලබන්නේ මෙම පුස්තකාලය නාගරික දිස්ත්‍රික් කවුන්සිලය යටතට පැවැරීමටය. 1935 වසරේ ජනවාරි පළමුවැනිදා පුස්තකාලය දිස්ත්‍රික් කවුන්සලයට පැවැරිණි.
1936 වසරේදී නැවත පුස්තකාලය තම නවාතැන් මාරු කරන්නට වූවේ ඉඩකඩ අවශ්‍ය වීම නිසාය. ඊට හේතුව පුස්තකාලයක් හැමවිටම වර්ධනය වන ආයතනයක් වීමය. මෙවර තෝරාගත්තේ යාපනය ප්‍රධාන පාරේ අබුබකර් ගොඩනැගිල්ලය. ඒ සමගම ඊට නව පුස්තකාලයාධිපතිවරයකුද පත්වන්නට විය. නමින් සී එස්. රාජරත්නම් වූ ඔහු මැට්‍රිකපුලේෂන් විභාගය සමත් වූවෙක් විය. ඔහුගේ පුස්තකාලයාධිපති වැටුප රුපියල් තිස්පහක් විය. එහෙත් එම ස්ථානයේ වූ ඝෝෂාකාරී පරිසරය හේතු කොටගෙන නැවත තවත් නවාතැනකට යන්නට සිදුවිය. ඒ අනුව පුතූර් හි මල්ලවර්යාර් පවුලට අයත් ‘මල්ලවර්යාර්’ ගොඩනැගිල්ලේ ඉහළ මහලට සේන්දු වූ පුස්තකාලය මාසකට රුපියල් හැටපහක් මාසික කුලිය ලෙස ගෙවන්නට විය.
කල්ගතවෙත්ම මෙම පුස්තකාලය වර්ධනය වනවා සේම ඊට ස්ථීර ගොඩනැගිල්ලක් අවශ්‍ය වග තීරණය කොට ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග යන්නට විය. මෙම කටයුත්තේදී යාපනයේ ප්‍රථම නගරාධිපති ‘සෑම්. ඒ සභාපති’ මෙන්ම ‘ලොන්ග්ස් පියතුමා මූලික විය. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම පුස්තකාල ගොඩනැගිල්ල ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තත්ත්වයකින් යුතුව ඉදිකිරීමටය.
එහෙත් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටලුවක් ඔවුන් සතු වූ අතර ඒ සඳහා කානිවල්, නාට්‍ය, සංගීත සංදර්ශන පැවැත්වීම, සිදුකළ අතර, ඉන්දියානු කලා ශිල්පීන්ද මෙම කටයුතු සඳහා දායක වූහ. මේ සඳහා ඇමරිකානු, ඉන්දියානු තානාපති ආයතන මගින් හා ව්‍යාපාරිකයන් ඇතුළු දානපතින්ගේ මුදල් ද එක් රැස් කරගන්නට විය. එකල යාපනයේ වුන් ඇතැමුන් කියන පරිදි මේ අරමුදල් රැස්කිරීම සඳහා කොළඹ ඊ. ඒ .පී එදිරිසිංහ ව්‍යාපාරය සතුව තිබූ කාර්නිවල් කණ්ඩායමක්ද යාපනයට ගෙනාවා ඇත.
පුස්තකාල ගොඩනැගිල්ල සඳහා ලන්දේසි කොටුව ආශ්‍රිත භූමියක් තෝරාගන්නට විය. එහි පසෙකින් ‘මනි අප්පා ’ කෝවිල ද අනෙක් දිශාවෙන් චෙල්වම් කුලුණද විය.
මෙම පුස්තකාල කමිටු සාමාජිකයන් කොපමණ ඉහළ තත්ත්වයක පුස්තකාලයක් ඉදිකිරීමට සූදානම් වුවාදයත් පුස්තකාල විද්‍යාවේ පියා වූ එස්.ආර්. රංගනාදන් හෙවත් එවකට ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපතිගෙන්ද ඔවුන් උපදෙස් ලබාගන්නට විය.
ඉන්පසු ඔවුන්ට පැන නැගුණ ගැටලුව කවරාකාර ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව පුස්තකාලය ඉදිකරනවාද යන්නයි.ඒ අනුව මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ වී.එම්.නරසිම්හාන් ලවා ගෘහනිර්මාණ සැලසුමක් අන්දවා ගන්නට වූහ. ද්‍රවිඩ ගෘහ නිර්මාණ කලාව නියෝජනය කරමින් අර්ධ ගෝලාකාර ශිඛරයන්ගේ යුත් අලංකාරී සැලසුමක් ඊට තිළිණ විය.
ඒ අනුව 1954 වසරේ මාර්තු 29 වනදා මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වේ. ඉදිකිරීම් අවසන් වූ පුස්තකාල ගොඩනැගිල්ල 1959 ඔක්තෝබර් 11 වනදා එවකට යාපනය නගරාධිපති වූ ඇල්ප්‍රඩ් දොරෙඅප්පා විසින් විවෘත කළේය.
මෙම නව ගොඩනැගිල්ලට සුබ නැකතින් ගෙවදීමත් සමග විශාල පොත් සංඛ්‍යාවක් ඊට එකතු විය. ඉෂාක් තම්බයියාගේ එකතුව ඉන්දියානු වෙළෙඳ සංගමයකින් ලැබූ කෘති එකතුවට රොබට් නොක්ස්ගේ ‘ලංකා ඉතිහාසයේ’ මුල් පිටපත ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාතන්ගේ භගවත් ගීතාව, සීතානාතම් සෙන්තමිල්, මෙන්ම රාමනාතන් මැතිණිය සතු වූ රාමයාන් ග්‍රන්ථයක් ජ්‍යොතිෂ පොත් පත් මෙන්ම මැලේසියාවේ දුරෙයිරාජ සිංගම් විසින් පරිත්‍යාග කළ ආනන්ද කෙන්ටිෆ් කුමාරස්වාමිගේ අත් පිටපත් 700ක් පමණ එහි විය. මීට අමතරව පුස්කොළ පොත් ඇතුළු විවිධ අත්පිටපත්ද ලැබුණු අතර,1980 වන විට පොත් 97,000ක් පමණ මෙහි තිබුණි.
මෙම පුස්තකාලය ප්‍රධාන අංශ පහකින් පරිපූර්ණ විය. කියවීමේ අංශය, බැහැරදෙන අංශය, විමර්ශන අංශය, ඇමරිකානු අංශ, ළමා අංශය ලෙසිනි.
ආසියාවේ වූ මහජන පුස්තකාල අතර සුවිශේෂී සලකුණක් වූ යාපනය පුස්තකාලය, ඛේදනීය තත්ත්වයකට ඇද දමමින් මුග්ධ වූ දේශපාලනඥයන් කීපදෙනෙකුගේ පෙළඹවීමෙන් 1981 මැයි 31 වනදා රෑ ඒ මහා සලකුණු ගිනිබත් වූවෝ සිංහල දෙමළ සැමගේ නෙත් කඳුළින් පුරවමිනි. ඒ වනවිට මෙම පුස්තකාලය ලංකාවේ මහජන පුස්තකාල අතර දෙවනියට විශාලතම පුස්තකාලය බව එවකට පේරාදෙණිය සරසවියේ පුස්තකාලයාධිපතිවරයකු වූ ඉයන් ගුණතිලක මහතා සඳහන්කොට ඇත. නමුදු එම කළු පැල්ලම ඉතිහාසයට එක්කොට නිශ්ශබ්ද වී සිටින්නට දෛවය ඉඩක් නොදුන්නේය.
ඒ අනුව නැවතත් මහත් පරිශ්‍රමයක් දැරූ පොතපතට පෙම්බැඳි යාපනයේ විද්වතුන් නැවත මෙම අළු වූ පුස්තකාලයට පණ පොවන්නට මහත් පරිශ්‍රමයක් ගන්නට විය. ඒ අනුව ඔවුන් විවිධ කාර්යයන් ඔස්සේ ප්‍රතිපාදන ලබාගන්නට වෑයම් කළහ. ‘යාපන පුස්තකාල සතිය’ ආදිය මගින් 1982 මැයි 15-21 දක්වා ප්‍රතිපාදන රැස්කරන්නට විය. ඒ අනුව විවිධ පිරිස් පොත්පත් ප්‍රදානයද සිදුකළ අතර, සිංහල, දෙමළ, මුස්ලිම් ඛේදයකින් තොරව බොහෝ පිරිස් ඊට සහය දෙන්නට වූහ.
ඉන් පසු නැවතත් යාපනය පුස්තකාලයට පණ දී ෆීනික්ස් පක්ෂියකු කරන්නට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගනු ලැබුහ. එහෙත්, දෛවය යාපන පුස්තකාලය නම් ෆීනික්ස් පක්ෂියාගේ ධෛර්ය පරීක්ෂා කොට බලන්නට තැත් කරමින් නැවත පුස්තකාලය ඇරඹී මාස හයක් යාමට මත්තෙන් 1985දී පුස්තකාලය ඊළාම් යුද්ධයකට හසු කළේය. ඒ හේතුවෙන් එහි වූ පොත්පත් ආරක්ෂා කිරීම උදෙසා නාවලර් හින්දු සංස්කෘතික ගොඩනැගිල්ලේ පොත්පත් තැන්පත් කළේය.
1981 වසරේදී ගිනිබත් වූ දිවි පිදූ පුස්තකාලය 1985 වන විට ෂෙල්වෙඩ්, මූනිස්සම්වලට තම ශරීරය පුදදෙන්නට විය. කෙසේ වුවද 1997 වසර තුළදී එවකට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග රජය විසින් සුදු නෙළුම් ව්‍යාපාරය යටතේ ‘පොතයි ගඩොලයි’ සංකල්පය පෙරදැරිකොට සිංහල, දෙමළ සියලු ජනයාගේ පරිත්‍යාග හා කැපවීම් තුළින් යාපනයේ මහා පොත් ගුල රාජයාට පණ දෙනු ලැබිණි.
අදත් අපි දකින ඒ මහරු මිනක් බදු පුස්තකාලය ඒ තල්රුප්පාවට උඩින් මහා කොතක් සේ දර්ශනය වන්නේ ලෝකේ නපුර සැමදා පැරදී යහපත ජයගන්නා වග සාඩම්බරණීය ලෙස කියාපාමිණි.
මේ වන විට ඒ කාලකණ්ණි වූ අඳුරු සමයන් ගෙවී ගොසිනි. සාමයේ වසන්තය මුළු රටම වෙළාගෙන ඇත. මේ වන විට යාපනය මහජන පුස්තකාලය සතුව ඇති පොත් ප්‍රමාණය දෙලක්ෂ අසූදහස ඉක්මවා ඇත. ඒ සමගම මේ වන විට නල්ලූර්, වන්නාර්පන්නේ, නාවන්තුරෙයි, ගුරුනගර්, මූර්විදී,සුන්ධිකුලි , හින්දු සංස්කෘතික පුස්තකාලය ආදි අනුශාඛා පුස්තකාල රැසකින ද මෙම පුස්තකාලය සතුය.
ලෝකයේ පිලිස්සුනු පුස්තකාල අතර ඉන්දියා නාලන්දා පුස්තකාලය, ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා, ඇමරිකාවේ කොංග්‍රස් පුස්තකාලය, ජර්මනියේ පුස්තකාල අතරට උතුරේ මහා සිළුමිණ යාපන පුස්තකාලයද අයිතිවනු ඇත. එහෙත් මේ යාපන පොත්ගුල පමණ ලංකාවේ සාම කතාව යළි ලියන්නට සුදුසු අන් යමක් නැත. පුස්තකාලයක් හැමවිටම දැනුමෙන් මෙන්ම මනුෂ්‍යත්වයෙන්ද පොහොසත්ය.
එදා මෙන්ම අදටද මේ බිමේ වැඩහිඳින සරස්වතී දේවතාවිය දැනුම හිස දරා බලා හිඳින්නීය. මලින් පිරී ගිය බිමේ සොඳුරුතම රුවින් බැබළෙන් යාල්පානම් පොත්ගුල තම අලුමතින් නැගී සිට කියන කතාව ලියන්නට මෙන්ම අහන්නට ලැබීමද වචනයට පෙරළිය නොහැකි හැඟීමකි.
අද වන විට මෙහි සේවය කරන සේවක සංඛ්‍යාව 72 වන අතර මේ වන විට මෙහි තරුණ අංශයක්, ඉන්දියානු අංශයක්, ළමා අංශයක්, ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වන අංශයක්, ඇමරිකානු අංශයක් මෙන්ම කියවීම් අංශ, පරිගණක අංශය, බැහැරදීම් හා විමර්ශන අංශයද වේ. සතියේ දින හතම විවෘතව තබන මෙම පුස්තකාලයේ දෙමළ, සිංහල ,ඉංග්‍රීසි පුවත්පත් ද මිලට ගනු ලබන අතර එම පුවත්පත් එකතුවක්ද වේ. ඒ අතර කෞතුකවස්තු, එකතුවකද, චිත්‍ර එකතුවක්ද වේ. දේශන ශාලා, ද්විත්වයකින්ද සමන්විත පුස්තකාලය, දේවාලයක් ලෙස සලකනු ලැබේ.
මෙහි ඇතුළු වන සියලුදෙනාම පාවහන් ගලවා ඇතුළු විය යුතු අතර, පුස්තකාල විද්‍යානුකූලව පවත්වාගෙන යනු ලැබීමද දැකගත හැකිය. ඒ සියල්ල සේම ඔවුන් සතු කාරුණික සේවයද ප්‍රශංසනීයය.
තුති - පුස්තකාලයාධිපති සුගන්ධනී සදාසිව මූර්ති, යාපනය මධ්‍ය සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකරු ලක්ෂ්මන් මහාතා, කබිලන් මහතා.)
සඳරැසි සුදුසිංහ-
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.