ලෝකයට වෛර කරනවද ආදරය කරනවද කියන දෙකින් එක පැත්තකට පුද්ගලයෙක් හැරවෙන්නේ අධ්‍යාපනය එක්ක කියල හැනා ඇරන්ඩ් කියනවා.
ඉතිං ලෝකයට වෛර කරන පුරවැසියන් පිරිසක් යම් සමාජයක නිර්මාණය වෙලා තියනවා නම් එතන අධ්‍යාපනයේ ප්‍රශ්නයක් තියනවා. ඒ විදියට ලෝකය දිහා නිෂේධනාත්මකව, විනාශකාරී විදියට යම් සමාජයක් බලනවා නම් ඒ අධ්‍යාපනය කාලකන්නි තමයි.
මම හිතන්නේ අපේ වගේ සමාජ එහෙම නිශේධනාත්මක ආකල්ප වැඩි සමාජ. සැකය වැඩි සමාජ. ආදරය අඩු සමාජ. වගවීම අඩු සමාජ. අනෙකා ගැන හැඟීමක් නැති සමාජ. ඒ නිසා අධ්‍යාපනයට එන චෝදනා පහසුවෙන් ප්‍රතික්ෂේප කරන්න බැහැ. මේ නිර්මාණය වෙලා තියන වේදනාවට සෑහෙන මට්ටමින් අධ්‍යාපනය වග කියන්න ඕනි.
ළමයෙක් මවගේ කුසයෙන් එළියට එනකොට මහා හයියෙන් අඬනවා ඔබට ඇහිලා ඇති. 'නිරෝගී ළමයෙක්' නම් එහෙම අඬන්න ඕනි කියල දොස්තරවරු කියනවා මම අහල තියනවා. ළමයෙක් මේ ලෝකෙට එන පළමු නිමේෂයේ එහෙම අඬන්නේ මහත් වූ වේදනාවක් නිසා කියල මට හිතෙනවා. ඒ කියන්නේ පැවැත්මේ පළමු අත්දැකීම වේදනාව. ඛණ්ඩනය. එහෙනම් සමාජයක් හැටියට අපිට වගකීමක් තියනවා ඒ 'වේදනාවේ ළමයා' කාලය සමග සුවපත් කරන්න. නමුත් ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ අනික් පැත්ත. ඒ කියන්නේ තව තවත් මිනිස් ආත්මය වේදනාවට පමුණුවන එක.
ළමයකුට ධෛර්යවන්තව මහත් වූ අළුත් පුදුමයන් නිර්මාණය කරන්න ඉඩ සලසන්න ඕනි කියන හැනා ඇරන්ඩ් විශ්වාස කරනවා. ඒ පුදුමයන් එක්ක තමයි සමාජයක් නැවත නිර්මාණය වෙන්නේ. නමුත් දැන් වෙන්නේ එකම නීරස දෙයක් නැවත නැවත ළමයා ලව්වා කරවන එක. ශිෂ්‍යත්වේ. ඕ ලෙවල්. ඒ ලෙවල්. විස්ස විජ්ජාල. මේ කොයිකත් කරන්නේ එකම දේ නැවත නැවත සිදු කරන එක. ඒ කියන්නේ ඩෙලුස් කියන පුනරුච්චාරණය (repetition).
ඒ 'නීරස ළමුන්' තමයි අද මේ නීරස රට පාලනය කරන්නේ. ළමයා මේ ලෝකෙට විසි කරනවා නම් ඒ විසි කරන්නේ දැනටමත් ගොඩ නැගිලා තියන වටපිටාවකට. වටිනාකම්, සංස්කෘතිය, ආචාර සමාචාර ඒ ඔක්කොම දැනටම තියන දේවල්.
ඉතිං අර උපදින ළමයා නිදහස් ජීවියෙක් වෙන්න ඕනි අර දෙනලද ලෝකය ඉක්මවා යන්න නම්. මම හිතන්නේ නැහැ අපි එහෙම නිදහස් ජීවින් හදනවා කියල. අපි කරන්න හදන්නේ මේ ලෝකෙට හැකිතාක් අනුගත කරන්න හදන එක මිසක් ඉක්මවා යන එක නෙවෙයි (නීට්ෂ මේකට කියන්නේ overcome කියල).
නිදහස් ජීවියෙක් කියන්නේ වගකීමක් නැති කෙනෙකුට කියන තවත් නමක් නෙවෙයි.
අධ්‍යාපනය අයිති වෙන්නේ පරණ ලෝකෙට තමයි. හැබැයි ඒ පරණ ලෝකය ඉල්ලා සිටින්න ඕනි ඒ පැරණි බව ඉක්මවා යන්නෙක්. ඒ ලෝකය අළුත් පැමිණීමක් අපේක්ෂාවෙන් ඉන්න බව අර අලුත ආපු දරුවාට කියන්න ඕනි. අපි ඉන්නේ ඔබ අපේක්ෂාවෙන්...මෙතැනින් එහාට යන්න අපිට ඔබව අවශ්‍ය කරනවා.
ඒ අලුත් ආගන්තුකයා පිටමං කරන ලෝකයක් නෙවෙයි අපි නිර්මාණය කරන්න ඕනි. අපි නිර්මාණය කරන්න ඕනි එයාගේ දෑත මත අපේ අනාගතය රැඳිලා තියනවා කියන එක එයාට සන්නිවේදනය කරන සමාජයක්. ඒ වගකීම එයා අතට දෙන්න. අළුත් දෙයක් පටන් ගන්න කියන්න.
'අප නොදුටුව ඉසව්වක් ඔබ දකින්න. අප නොදකින එහෙත් ඔබ දකින ඒ අළුත් තැනට අප රැගෙන යන්න..' (හැනා ඇරන්ඩ්).
@ මහේෂ් හපුගොඩ