SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුරක්ෂිතභාවයේ මායා තිරය ඉරී ගිය නිමේෂයකි. අභිමුඛ ව ඇත්තේ “ජීවිතය/මරණය” බයිනරිය සිග්සැග් ගමනකින් එකිනෙක එකට වෙළෙන, සියලු අර්ථ වැරෙන් සෙලවීමකට ලක් වීමෙන් පසු ඇතිවන හිස්කමකි.

ජීවිතය යයි දෙනු ලැබූ දෙය බදා වැළඳගෙන, එය ම නඩත්තු කරමින් සිටි අපට දැන් මරණය ජිවිතයේ අවසානය ලෙස  නො ව ජිවිතයේ ආරම්භය ලෙස මුණ ගැසී තිබේ. මරණය විප්ලවීය ආත්මයක ජීවනය වෙත වන මාවතක් විවර කොට තිබේ.    

ජීවත්වීම යනු කුමක්ද ? ජීවිතයෙහි සාරය කුමක්ද ? යන ප්‍රශ්නයට පිළිතුරු විමසාබැලීමට තරම්වත් වටිනා යමක් ජීවිතය තුළ ඉතිරි නොවී පවතින තත්වයක් තුළ “ජීවත්වීම” හරහා අපට අහිමිවී ඇත්තේ කුමක්ද? යන්න වටහා ගැනීමට අපට මේ මරණීය ජිවන නිමේෂය බල කර සිටියි..

ධනවාදය සිය ආධිපත්‍ය හෙබවූ පසුගිය සියවස් කිහිපය තුළ ලොව පුරා විවිධත්වයක් සහිතව පැවති මානව සමාජ ආකෘතීන් උඩුයටිකුරු වීම සිදුවිය. භූමිය මත පදනම්ව එතෙක් පැන නැගී තිබුනු අනේකවිද මිනිස් සමාජවල පැවති සුවිශේශීතාවයන් යටපත්කරවමින් සෑම මිනිස් සමාජයකටම නිශ්චිත පොදු සමාජ ආකෘතියක්, ජීවන රටාවක් හදුන්වාදෙනු ලැබිනි.  මව, පියා , දරුවන් සහිත ” පවුල ” ලෙස  අපට අද මුනගැසෙන්නේ එවන් එක් ආකෘතියකි. ධනවාදයට අවශ්‍ය අනවරත ප්‍රාග්ධන  සමුච්චන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යෑම සදහා ක්‍රියාත්මක වන   කුඩාම මානව සබදතා ආකෘතිය ලෙස මේ ”පවුල” යන්න හදුන්වාදිය හැක. නූතන  මිනිසා ”ජීවත්වීම” යන ක්‍රියාවෙහි නියැලෙන්නේ පවුල තම කේන්ද්‍රය බවට පත්කරගනිමිනි. මිනිසුන් දෙදෙනෙකු අතර පවතින ආත්මීය සම්බන්ධතාවයේ ස්වරූපය හුදු පාරිභෝජන ආකෘතික සම්බන්දයක් දක්වා ඌනනය වෙමින් පවතින තත්වයක් තුළ මිනිසා තවදුරත් සමාජ සම්බන්ධතාවන්ගෙන් දුරස් වෙමින් ” ජීවත්වීම ” යන්න ” පවුල ” තුළින් අර්ථකතනය කරගන්නා කුටුම්බ ජීවියකු බවට පත්ව තිබේ.  

“ජීවිතය සැපවත්ව සතුටින් ගතකරන්න”

“සැකසංකාවලින් තොරව සුවයෙන් සුඛෝපභෝගීව ජීවත්වන්න”

“ඔබගේ සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්න”

 අපගේ ජීවිතය ගෙවියයුතු ආකාරය පිලිබදව ඉහත දැක්වෙන ආකාරයේ යෝජනාවන් හරහා පවුළ තුල දිවිගෙවන අපට “සුඛ පරමවාදී” ජීවිතයකට ගමන්කිරීමේ   අනවරත උත්සහයෙහි ඇති වටිනාකම පිලිබඳව විධානය කෙරෙයි. වෙනත් ආකාරයකට පවසතොත් එම විධානයන් හරහා පවසන්නේ ඔබ දැනටමත් ලගා කරගෙන ඇති පාරිභෝගික භාන්ඩ හා සංකේතීය වටිනාකම් තුළින් ඔබට තවමත් හිමි නොවූ තෘප්තිය ලගාකරගැනීමට නම් ඔබගේ ශ්‍රමය වගුරුවා ඒවා ලබාගැනීමට වෙහෙසෙන්න යන පණිවිඩයයි.

 

exit 5

 

මෙතෙක් තමා ළගා කර නොගත් භාන්ඩ හා වටිනාකම්  දැනටමත් භුක්ති විදිමින් සිටිනා වෙනත් පුද්ගලයකු තමාට වඩා සුවයෙන් සුඛෝපභෝගීව ජීවත්වන්නකු ලෙස මේ යුගයේ ජීවත්වන ඕනෑම මිනිසකු සිතයි. (එය ඔහුටම අවිඥානිකව ක්‍රියාකරයි) එසේ සිතමින් ඔහු ඒවා ලඟා කරගැනීමට වෙහෙසෙයි.

ත්‍රීරෝදරථයක් හිමි පුද්ගලයා මරුටි කාර් රථයක් ලබාගැනීමටද ඉන් නොනැවතී වැගන්ආර් රථයක් වෙනුවෙන් වෙහෙසීම මෙන්ම, ඩිප්ලෝමාවක් සහිත පුද්ගලයා උපාධියක් ලබාගෙන පී.එච්.ඩී. එකක් වෙනුවෙන් වෙහෙසීමද දෙකම එකකි. ඉහත කී ආශාවේ හිමිකරගැනීමක් වෙතට වන හඹායෑම තුළම වන  අහිමිවීම් ද  අනිවාර්යවේ.

ධනවාදය විසින් සියල් සපිරි සුඛපරමවාදී ජිවිතයක් තොරොම්බල් කරන නමුත් සැබවින් ම සිදුව ඇත්තේ අප සියලු දෙනාට ම “ජීවත්වීමට” සූදානම් වීම සදහා ජීවිතයෙන් අඩකට වඩා ගෙවාදැමීම සිදුවීම යි. ජිවිතයට අවශ්‍ය යයි කලින් ම පවසා ඇති දේවල්  ලඟා කරගෙන ආපසු හැරී බැලූවිට මව් පිය හිතමිතුරන් වශයෙන් වූ මිනිස් සබදතා තමාගෙන් දුරස්ව, අහිමිවී ගොස් බොහෝවිට ශරීර සෞඛ්‍ය ද පිරිහී ගොසිනි. බොහෝ දෙනෙකු තම ජීවිත කාලයෙන් අඩකට වඩා ගෙවාදමන්නේ ඖෂධ වළට පින් සිදුවන්නටය. ඖෂධ නොමැතිව මේ යුගයේ මිනිසකුගේ ආයුකාලය අවුරුදු පනහකට අඩු මිස වැඩි නො වේ.

මෙම විද්‍යාත්මක නූතන මිනිසාට සිදුව ඇත්තේ සත්වයෙකු ලෙස ලිංගිකව පරිණතවීම හරහා සිය විරුද්ධ ලිංගිකයාට ළඟා වීම වෙනුවට,  විරුද්ධ ලිංගිකයා පිළිබඳ  පරිකල්පන ලෝකයක ජීවිතයේ වැඩිකලක් ගත කිරීමට ය.   අහෝ !, එය කෙතරම් ඛේදනීය තත්වයක්ද?

 

exit 1

 

අවුරුදු දාහතරේදී අපේ ආත්තම්මා කැන්දා ගෙනවිත් දරුවන් දොලොස් දෙනෙකු වැදූ මගේ සීයා පිලිබදව මෙහි දී විශේෂයෙන් සිහිපත් කළ යුතු ය. විරුද්ධ ලිංගිකයකු සමග එක්වීම සදහා විරුද්ධ ලින්ගිකයකුට වඩා ”පාරිභෝජන වටිනාකම්” වැදගත්වී ඇත. ඉහත ආකාරයේ වෙහෙසීම් ජාලයක කාලය ගත කිරීම “ජීවත්වීම” ලෙස මේ යුගයේ මිනිසා හදුන්වාගන්නා අතර ඔවුහු වෙළඳපල තෘප්තිය කරා යන ගමනෙහි අවසානයක් නැති බව නොදැනම තම ජීවිත, පාර්භෝජනයේ මංමුලාව තුළ ගතකර දමති.

තම ජීවිත ගෙවී ගියද ආශාවේ අරගලය ඉන් නොනවතී.   කුටුම්බ ආකෘතිය තුල දිවිගෙවන මේ යුගයේ මිනිසුන්ගේ සුඛපරමවාදී ජීවිතයේ කෑදරකම  කෙතරම් හාස්‍යජනකද යත් තමා ලගාකර ගැනීමට අසමත්වූ භාන්ඩ හා වටිනාකම් තම දරුවන්ට ලගාකරදීම සදහා තම දරුවන් මෙහෙයවීම සිදුකරයි. සැබෑවටම ඔවුන් කරමින් සිටින්නේ දරුවන් හදා වඩා ගැනීම නොව, යම් යම් වටිනාකම් ලගා කරගැනීමේ ශක්‍යතාවය ඇති දරුවන් නිශ්පාදනය කිරීමයි.  එවිට “ජීවිතය” යනුවෙන් යමක් නො පවතියි. “ජිවතය” අත්පත් කර ගැනීම සඳහා ආයු කාලයෙන් අඩක් ගත වන අතර (තම භාවිතයට කිසිදු සම්බන්ධයක් නැති වියුක්ත දැනුමක්, දරාගත නො හැකි තරමේ වියුක්ත දැනුමක් දරා සිටීමට පුහුණු කරවන අධ්‍යාපනය මේ සූදානමේ අනිවාර්ය අංගයකි. බේසම්වල කකුල් දමාගෙන නිදි වරාගෙන “පාඩම්” කරන්නේ අනාගතයේ උදාවන “ලස්සන” සුඛපරමවාදී ජිවිතයක් වෙනුවෙනි) ඉතිරි අර්ධය වැය වන්නේ ජීවිතය ඊළඟ පරම්පරාව වෙත ප්‍රක්ෂේපණය කරමින් ඒ සඳහා වෙහෙස වීමට ය. 

ජීවත්වීම යනුවෙන් හදුන්වන්නේ ශ්‍රමය වගුරා ඉහත කී ආකාරයට පාරිභෝගික වටිනාකම් සහ සංකේතීය වටිනාකම් ලගා කරගැනීමයි. පාරිභෝගික භාන්ඩ යනු පහසුව වේශයෙන් ඔබ වෙතට එන අපහසුවයි. ඒවා ඔබට පහසුව ලගා නොකරයි. එසේ වන්නේ ඇයිද යන්න ලිපියේ පසුවට සාකච්ඡාවට බදුන් කෙරේ. ජීවත්වීමේදී අපට මව, පියා, දරුවා , සැමියා, බිරිද, මිතුරා ….. ලෙස මානවසබදතා වශයෙන් සංකේතීය වටිනාකම් උරුමවෙයි. එසේම වෛද්‍යවරයා, ගුරුවරයා  වාමාංශිකයා ,දේශපාලන ක්‍රියාධරයා,  ජනාධිපති, මැති, ඇමති, කම්කරු……. වශයෙන් ද  සංකේතීය වටිනාකම්  ළඟාකර ගැනීමට  අප පෙලඹෙයි. ඒ දෙආකාරයටම අප ලබාගන්නා “සංකේතීය වටිනාකම්” වලට අදාළ ව පුද්ගලයා සමාජය තුළ අර්ථ දැක්වේ.

සංකේතීය වටිනාකම්වලට අදාලව ඒවා නඩත්තුකරනා ආත්මය ඒවා තුලින්ම අනවරත පීඩාවකට පත්වේ. යම් සංකේතීය වටිනාකමක් නඩත්තු කිරීමේදී එම සංකේතීය වටිනාකම සමග බැදී ඇති අනෙකුත් සංකේතීය වටිනාකම් අතර ඇති අනිවාර්ය ප්‍රතිවිරෝධතාවයන් විසින් එම වටිනාකම දරා සිටින ආත්මය බාහිරින්  පීඩාවට ලක්කරයි. එසේම එම සංකේතීය වටිනාකම් පවත්වාගැනීමේදී ඒවා පවත්වාගන්නා ආත්මය එම සංකේතීය වටිනාකම්වල පැවැත්මේ සැබෑ ස්වභාවය, එහි අර්ථශූන්‍යභාවය සහ වරදකාරීබව පිලිබදව සවිඥානික වීම හරහා අභ්‍යන්තරිකව ආත්ම වින්දිතයකු බවට පත්වේ.

 

exit 4

මේ තත්වය උදාහරන කිහිපයක් ඇසුරින් සලකා බලමු.

වෛද්‍යවරයකු බටහිර වෛද්‍යවිද්‍යාවේ එහි, එහිම වූ පරස්පරතා හේතුවෙන් නිරතුරුව රෝගීන් ඇතුළු සමාජයේ නොයෙකුත් කන්ඩායම්වල විවේචනයට බදුන්වෙයි. එසේම  වෛද්‍යවරයා යනු ඖෂධ මාෆියාවට අදාල අලෙවි නියෝජිතයකු බව ඔහුටම ප්‍රත්‍යක්ශ වීම හරහාත්,  ඔහු මිනිසුන් මුලාකර දමන්නෙක්ය යන වරදකාරී හැගීම් හරහාත් ඔහු ආත්මීය වින්දිතයකු බවට ද පත්වෙයි.

 හමුදා නිලධාරියෙකු තම පවුලේ ස්වකීයයන් සමග කාලය ගතකිරීමේ නොහැකියාව තුළ සැමියකු ලෙස,  පියෙකු ලෙස ඔහුට අදාළ අනෙකුත් සංකේතීය වටිනාකම් පවත්වා ගැනීමට වන නොහැකියාවන් තුළ මෙන්ම සිය වෘත්තීය ස්වභාවය තුළ ද දැඩි අසහනයකට පත්වෙයි.

ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් ඔවුන්ට අදාළ භූමිකාවන් කළමනාකරණය කරගැනීමට, ඊට අදාළ රගදැක්වීම් සිදුකිරීමට, නොයෙක් කන්ඩායම්වල විවේචනයට භාජනය වීමට සිදුවීම හරහාත් තම සුඛෝපභෝගී ජීවනරටාවන් තුළ තම පෞද්ගලික ජීවිතවල වන අහිමිවීම් හරහාත් අනවරත කිචවීමක් සහිත පීඩාකාරී  ජීවිතවල පසුවෙයි. වාමාන්ශිකයා ඔහුට අදාල භූමිකාව තුළ අනෙකුත් ප්‍රතිවිරෝධී දේශපාලන ක්‍රියාධරයින්ගේ ප්‍රශ්න කිරීම් හරහාත්, ඔහු පෙනී සිටිනා දේශපාලනය යතාර්ථයක් වීමට බාධාවක් වන සමාජ තත්වයන් පිලිබදව වේදනාවෙන් දිවිගෙවයි. පවුලේ සාමාජිකයන්ට ආචාරධාර්මික රාමුවක් තුළ (යහපත් පියා, කලගුණ නොදත් දරුවන්, පතිවත නොරකින බිරිඳ ආදී වශයෙන්) සමාජයේ විවේචනයන්ට බඳුන්වීම හරහා ගැරහීමට,  අපවාදයන්ට ලක්වීම හරහා අසහනකාරී ජීවිත ගත කිරීමට සිදුවෙයි. සැමියා, බිරිඳ, දරුවන් අතර ඇතිවන නොහොඳ නෝක්කාඩු තුලින් පවුල් ජීවිතය පීඩාකාරීව ගලායයි. ගුරුවරයකු ඔහුට උගැන්වීමට සිදුවී ඇති විෂයන්ගේ නිස්සාරබව පිළිබඳව අවබෝධවීම හරහා ආත්ම වන්චනිකත්වයක් පිලිබද හැගීම් තුළින් පිඩාවට පත්වෙයි. දාර්ශනිකයා ලෝකය පිලිබද තම දාර්ශනික අර්ථ ගැන්වීම්වල අවසානයක් නොමැතිකම තුළින්ද , ඒවා පිලිබදව වන අනවරත ප්‍රශ්න කිරීම් හමුවේද කිචවෙමින් ජීවත්වෙයි. අප ජීවත්වන්නේ ඉහත දැක්වූ ආකාරයේ උදාහරනයන් රාශියක් “මිනිසුන්” ලෙස හදුන්වාගන්නා තත්වයක් තුළයි.  

අපගේ පැවැත්මට අදාළ සියල්ල අර්බුදයට යමින් පවතින තත්වයක් තුළ ඉහත දැක්වූ සුඛවිහරණ ජීවිතයෙහි අඛන්ඩව නියැලීම උදෙසා වන ජීවිතාශාව තෘප්ත කරගැනීම සදහා ජීවිතයේ සුරක්ශිතතාවය සහ දේපල වටිනාකම්වල සුරක්ශිතතාවය පිලිබද  අදහස් හා ව්‍යවහාරයන් පද්ධතියක් වෙලදපල තුලින්ම අපගේ ජීවිතවලට යෝජනා වෙමින් තිබේ.

තමා උපයාගත් ධනය සුරක්ශිතව පවත්වාගන්නේ කෙසේද? ආයෝජනය කලයුත්තේ කෙසේද? වත්කම් සුරක්ශිත කරගත යුත්තේ කෙසේද?  ආදී වශයෙන්   තම ශ්‍රමය වගුරා උපයාගන්නා  ධනය හසුරුවා ගැනීම සදහාද වෙහෙසෙන් බියෙන්  කටයුතු කිරීමට මිනිසාට සිදුව ඇත.

 

exit 3

 

සුඛෝපභෝගී ජීවිතය සදහා සංවර්ධනය අනිවාර්ය කාරනයකි.  ආහාර , වාතය , ජලයේ සිට සත්වයකු ලෙස මිනිසාගේ පැවැත්මට අදාල සියල්ලද අර්බුදයට ගොස් ඇත්තේ සංවර්දනයේ පිහිටෙනි. වස විස සහිත ආහාර  ඉතාම දැනුවත්භාවයක් සහිතව ඔබේ දරුවන්ට කැවීමට ඔබට සිදුවී තිබේ. වස විස සහිත වෙළදපල හරහා වර්ධනය වන සෞඛ්‍ය තර්ජන හමුවේ ජීවිතයේ සුරක්ශිතතාව අන් කවරදාටත් වඩා වැදගත් වෙමින් තිබේ. මග තොටේදී වියහැකි  අනතු, ලෙඩ රෝග , ස්වභාවික විපත් ආදියේ සිට මේ මොහොතේ කොරෝනා වසංගතය හරහා සුඛපරමවාදී ජීවිතය එලෙසම පවත්වාගෙන යාමට වන නොහැකියාව සහ තර්ජනය හමුවේ ජීවිතාශාව,  ජීවන භ්‍රන්තියක් දක්වා මේ මොහොත වනවිට විතැන් වී තිබේ. ජීවන බියෙහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් තම කෑදර ජීවිත රක්ෂණයන්ට බාරදී ලෙඩ දුක් ආදියේ සිට මරණය දක්වා තමන්ගේ සහ අඹු දරුවන්ගේ ආරක්ෂාව හා පිහිට පතති. ජීවිත සුරක්ශිතතාවයට පත් කරගැනීමේ නොහැකියාවෙන් පෙලෙන මිනිසුන් භ්‍රාන්තියෙන් පශ්චත්තාපයෙන් කල්ගෙවති.  ජීවිතය අනාරක්ෂිත කළ ධනවාදය ම දැන් ජීවිත සුරක්ෂාව විකුණමින් පැමිණෙයි.

මේ ප්‍රහාසනාත්මක ජීවිතයේ වටිනාකම  ධනවාදයට කෙතරම් වැදගත්ද යන්න අපට පසක්කර දෙමින්  ජීවිතය තවතවත් දික්ගස්සා ගතයුත්තේ කෙසේ දැයි වෙලදපල අපට කියාදෙයි.

ඖෂධ සහ ශල්‍යකර්ම හරහා වෛද්‍යවිද්‍යාව මෙහි විශාල කාර්යභාරයක් සිදුකරයි. එය ප්ලාස්ටික් සැත්කම්, අවයව බද්ධ කිරීම් , කෘතිම හෘදයේ සිට ජීවිතය දිගුකර ගැනීමේ ආශාවේ වෙළඳපලක් දෙසට අප ඇද බැඳ තබයි.

කොරෝනාවේ ආගමනයෙන් පසු සමාජය ජීවන භ්‍රාන්තිය යන්නෙහි නියම අරුත අත්විදිමින් සිටී. පාරිභෝජනයේ ආශාවන්ට වඩා ජීවිතාශාව උච්ච වී තිබේ. නමුත් ඉහළ යන මිනිසාගේ ජීවිතාශාව පසෙකලා ලෝකය ක්‍රියාත්මක වනු මේ වනවිට දකින්නට තිබෙයි.  “සංචරන සීමා ” යන්නෙහි පරමාදර්ශයන් බවට පත්ව තිබූ රටවල් පවා මේ මොහොත වනවිට “සංචරන සීමා” යන්න කොරෝනාවට පිලිතුර නොවන බවට පවසමින් සිටින අතර මරනය නොතකා තව තවත් ප්‍රාග්දන සමුච්චනයේම නියැලීම හැර විසදුමක් නොමැත යන්න වෙත ලෝකය ගමන්කරමින් සිටී. නුදුරේදී ම මිනිසුන්ගේ ජීවිත අවදානමද නොසලකා පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය “ශ්‍රමය” සාමාන්‍ය පරිදි ලබාදීමට  මිනිසුන්ට සිදුවූ පසු  කොරෝනා සමග ජීවත්විය හැකි මිනිසුන්ගේ ශ්‍රමයෙන් (මිය යන්නන් බැහැරකර) පවත්වා ගන්නා ධනවාදයක් තුල මිනිස් ජීවිතයක සැබෑ වටිනාකම කුමක්ද යන්න මිනිසුන්ට සජීවීව අත්විදිය හැකි තත්වයක් උදාවනු ඇත.

 

exit 8

 

මේ කලියුගයේ මිනිසා පීඩාවට පත්වන තවත් ආකාරයක් වන ඔහුගේ එදිනෙදා ජීවන ව්‍යවහාරය දෙස දැන් අපි හැරී බලමු.

පලමු උදාහරණය ලෙස ,

ඇතැම් නිශ්චිත රෝගයකට අදාලව  බටහිර වෛද්‍ය විද්‍යාව විසින් මේ මේ ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම අනිවාර්‍යයෙන් ලබාගත යුතු බවට නිර්දේශ කරයි.  

එම වෛද්‍ය විද්‍යාව විසින්ම එම ඖෂධ හෝ ප්‍රතිකාර ක්‍රමවල අතුරු ආබාධ රාශියක් ඇති බවත් ඒවා භාවිතා කිරීම අවදානම් බවත් පවසයි.

මෙවන් තත්වයක් තුළ  යමෙක් සිය රෝගයට අදාලව බටහිර ඖෂධ හා ප්‍රතිකාර ලබාගතයුත්තේද? නැත්ද? යන තීරණයට එලඹෙන්නේ කෙසේද ?

දෙවන උදාහරණය ලෙස ,

මේ දියුණු මිනිසා ආහාරයට ගැනීමට ගන්නා පොල් ගෙඩියක් සලකන්න. ඔහු පොල්ගෙඩිය ආහාරයට ගැනීමට යනවිට  පොල් ගෙඩියේ කොලෙස්ටරෝල් ඇති බවත්, කොලෙස්ටරෝල් හෘද රෝග ඇති කරන බවත්, හෘද රෝග හේතුවෙන් මිය යා හැකිහෙයින් පොල් මිශ්‍ර ආහාර සීමා කල යුතුබවත් බටහිර වෛද්‍ය දැනුම ඔහුට පවසයි.

එම පොල් ගෙඩිය පිළිබඳව ම දේශීය වෛද්‍යවරුන් සහ ඇතැම් බටහිර වෛද්‍යවරු පවා “පොල් යනු පාරම්පරික ආහාරයක් බවත්, පොල්වල  ඇති කොලෙස්ටරෝල් හිතකර බවත්, ඒහි කිසිම ජීවනාවදානමක් නොමැති බවත් පවසයි. ඔහුගේ පුරුද්දට අදාලව ඔහු තුන්වේලම පොල් මිශ්‍ර ආහාර අහාරයට ගත්තද ඒ හේතුවෙන් ඔහුගේ පසු පරම්පරාවල කිසිවෙකුත් අසනීපයකට හෝ මරණයට පත් වූයේ නැතිබවත් තම ජීවිතකාලය තුළ මෙතෙක් පොල් ආහාරයට ගැනීමෙන් ඔහුට විපතක් නොවූ බවත් ඔහුගේ අත්දැකීම යි.

ඔහු ඔහුගේ ව්‍යවහාරයට අදාළව ඉදිරියේදී පොල් ආහාරයට ගතයුත්තේ ද? නැත්ද? සීමාකලයුතුද? ඒ කුමන පරිමානයන්ගෙන්ද?  ඔහු එම තීරනයට එලබෙන්නේ කෙසේද ?

පළමු උදාහරණයේදී ඖෂධ පිළිබදව තාර්කික දැනුමේම පරස්පර ආකාරයන් දෙකක් එය ලබාගැනීමට තීරණය කරන විට ඔහු ඉදිරියේ පවතී.

දෙවන උදාහරණයේදී පොල්ගෙඩිය පිළිබදව තාර්කික වියුක්ත දැනුම සහ ඔහුගේ පුරුද්ද නැතහොත් අත්දැකීම  යනුවෙන් එකිනෙකට පරස්පර ආකාරයන් දෙකක් ඔහු පොල්ගෙඩිය පිළිබදව තීරණය කරන විට ඔහු ඉදිරියේ පවතී.

එම අවස්තා දෙක තුළදීම තීරනය කිරීමේදී  ඔහුගේ ආත්මයට ව්‍යාකූලත්වයක්, පීඩාවක් හරහා ගමන්කොට එම තීරණය ගැනීමට සිදුවේ.

කෝවිඩ් එන්නත, ආහාර, මිනිස් ශරීරය, අරක්කු, ගන්ජා, ලිංගික සබඳතා, අනෙක් මිනිසුන් සමග වන සබඳතා ආදී මේ මොහොතේ කුමන දෙයකට වුව අදාළව තීරණ ගැනීමේදී දැනුමේම පරස්පරතා ඉස්මතුවෙමින්, ඒ තීරණ ගන්නා ආත්මය දැනුමෙන්ම පීඩාවට  ලක්වෙමින් එදිනෙදා ජීවිතයේ සරල ව්‍යවහාරයන් තුළ පවා කිචවීමට පත්වීමට සිදුවීම ධනවාදී සමාජයට අදාල අනිවාර්‍යතාවයකි.

මිනිසා ජීවත්වීමේදී  දැනුමින් සිදුකරන  ඕනෑම ක්‍රියාවක්  සදහා වියුක්ත දැනුමේම පරස්පර ආකාරයන් විසින් බාධා කරනු ලැබේ. තම පුරුද්දට අදාළව ගොඩනැගුනු ව්‍යවහාරයෙන් නොව වියුක්ත දැනුම විසින් තීරණ ගන්නා මෙවන් සමාජයක ගෙවීයන මිනිස් ආත්ම දැනුම ඉදිරියේ කිචවෙමින් නැවත නැවත දැනුමම පිළිගනිමින්  පීඩාවට පත්වීමත්,  එම පීඩාව ඔවුන් සතුටින් බාරගැනීමත් හාස්‍යය උපදවන සුලුය.

ඇත්තේ සරල ප්‍රශ්නයකි.

පොල් ගෙඩියක් නිදහසේ කන්නට නැති සමාජයක ජීවත්වීමෙන් ඇති ඵලය කුමක්ද ?  

එවන් විහිළු සහගත ජීවිතයක ඇත්තේ කවර ආකාරයේ සුඛවිහරනයක් දැයි අපට නම් වැටහෙන්නේ නැත.

දැනුමේ පීඩාකාරී බවට ඇති තවත් හොදම උදාහරණයක් වන්නේ දැනුම තුළින්ම නැවත නැවත්තත් කිචවීමට සිදුවී ඇති විද්‍යාඥයාය. ලෝකය පිලිබඳ සත්‍යය සොයාගෙන යන දාර්ශනිකයාද තවත් එවන්ම ආකාරයේ ආත්මීය කිචවීමක පසුවන්නෙකි. විද්‍යාවට අදාළ සත්‍යයන් නැවත නැවත වෙනස්වීම එහි අනිවාර්‍යතාවය බවට පත්වී ඇති තත්වය තුළ විද්‍යාව පිලිගන්නා අය තවත් ආකාරයකින් ද සහ විද්‍යාව නොපිළිගන්නා අය ඒවෙත එළඹෙන තාර්කික දැනුමේම තවත් ස්වරූපයක් තුළ වෙනත් ආකාරයකින්ද, පොදුවේ සියල්ලෝම කිචවෙමින් සිටිති .

දැන් හැමදෙනා කතාකරන “ආර්ථිකය” යනු ද තවත් මෙවැනි ම දෙයකි.  උද්ධමනය , අර්ථික අවපාතය, දළ දේශීය නිශ්පාදනය ආදී හිතලු නිර්මාණය කරගනිමින් ලොව එකී මෙකී නොකී සියල්ලෝම ආර්ථිකය නැමැති භූතයාට දොලපිදේනි දීමේ විද්‍යාත්මක ක්‍රියාවලියක නිරතවෙමින් සාමූහිකව කිචවෙමින් සිටිති. වසංගතයේ මුල් අවස්ථාවේ “ආර්ථිකය” වෙනුවෙන් ඍජුව ම පෙනී සිටියේ හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා ය. ඔහු කීවේ “ඇමරිකාව වැඩ කළ යුතු” බවයි. දැන් සියලු දෙනා ඔහුගේ ස්ථාවරයට සපැමිණ සිටිති. නවසීලන්තය, ඕස්ට්‍රේලියා වැනි ඊට ප්‍රතිපක්ෂ ලෙස ක්‍රියා කරන්නේ යයි බොහෝ දෙනා උඩ දමන රටවල් සැබවින්ම කරමින් සිටින්නේ වෙනත් උපක්‍රමික ප්‍රවේශයකින් ඒ දෙය ම කිරීම ය.  කොටස් වෙළදපල යනු ආර්ථිකයේ සැබෑ මුහුනුවර ප්‍රකාශමාන වන හොදම උදාහරණයකි. අපට ඇසීමට ඇති ප්‍රශ්නය වන්නේ කොටස් වෙළදපලේ සහ කුකුළන් කෙටවීමේ සූදුවෙහි ඇති වෙනස කුමක්ද ? යන්නයි.

ජීවිතය පිළිබඳව අප අත්දකින තත්වය කෙසේ වුවත් , නූතන විද්‍යාත්මක මිනිසා පවසන්නේ මිනිස් සමාජය වානරයාගෙන් ඇරඹී පරිණාමය වෙමින් දියුණුවට පත්වෙමින් ඇති බවත්, අතීතයේ දිවිගෙවූ මිනිසුන්ට නොතිබූ විද්‍යාවේ මහේශාක්‍ය  බල මහිමයේ උරුමය තුළින් මිනිස් ජීවිතවලට සැප පහසුව උදාවෙමින් පවතින බවත් ය. විද්‍යාවේ නැණ පහනින් මිනිස්වර්ගයාගේ අනාගත ජීවිතයද ආලෝකමත්වනු ඇතැයි යන බලාපොරොත්තුවේ පණිවුඩයක් එහි අඩංගුවේ.

එම පණිවිඩය හරියටම ක්‍රිස්තියානියේ ශුභාරංචියේම විද්‍යාත්මක ආකාරය වැනිය.

ආරම්භයේ සිට ම විද්‍යාවේ සහ තාක්ෂණයේ පදනම වූයේ ” සුවපහසුව ” සහ ” කාලය ඉතිරිකර ගැනීමයි”. මිනිසුන් කිහිපදෙනෙකු කරන කාර්යයක් එක් යන්ත්‍රකින් සිදුකරගැනීම, වැඩි කාලයක් තිස්සේ ප්‍රතිකාරගතයුතු රෝගයක් කෙටි කාලයකින් සුවකර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නිපදවීම ආදී වශයෙන් කාලය රන් හා සමාන බවත්, ඕනෑම ක්‍රියාවක් කෙටි කාලයකින්, අඩු ආයාසයකින්  කරගත හැකි බවට පත් කිරීම ජීවිතයේ දියුණුව සහ සුවපහසුව වේය යන දෘෂ්ටිවාදය විසින් එය මෙහෙය වී තිබේ. එසේ දියුණුවට පත්වීම මිනිසාගේ නෛසර්ගික ආකාරය බවත් සංවර්ධනය යනු එම මානවයා ආ දිගු ගමනේ මේ මොහොත ප්‍රකාශමාන වන ආකාරය බවත් මේ ප්‍රගතිය පිළිබඳ දෘෂ්ටිවාදය අපට පවසයි.

ඉහත දෘෂ්ටිවාදයට අදාළව පසුගිය ශතවර්ෂ කිහිපය තුළ සිදුකළ සුවිසල් තාක්ෂණික නිෂ්පාදන සමස්තය හරහා සැබෑ මිනිස් ජීවිත තුළට සුවපහසුව ලඟාවූ ආකාරය  සරල උදාහරණයකින් දැන් අපි විමසා බලමු.

 

exit 2

අපට පරම්පරා දෙකකට පමන පෙර සිටි “අම්මා ” උදාහරණයකට ගනිමු. ආහාර පිසීමට ලිපගිනි මෙලවීම සදහා වත්තේ ඇවිදගොස් දර කඩා ,  ලිප සකස් කරගෙන , බටයකින් කටින් පිබිමින් ලිපගිනි මොලවා  මහත් වෙහෙසක් දරා සිදුකල කාර්‍යය දැන් ඇයට විනාඩියකටත් අඩු කාලයකින් සිදුකරගැනීමේ හැකියාව ලැබී ඇත. ඒ විද්‍යාවේ බල මහිමයෙනි. විදුලිය හා ඛනිජතෙල් ආගමනයෙන් පසු මේ ආකාරයට සංචරණය, සන්නිවේදනය, එදිනෙදා වැඩකටයුතු, ලෙඩ රෝග සුවකරගැනීම ආදී එතෙක් මෙතෙක් මිනිසා ශ්‍රමයෙන් සිදුකළ සෑම ක්‍රියාවක්ම පාහේ විද්‍යාත්මක උපකරණ හරහා පහසුවෙන්, අඩු කාලයකින් ඉටුකරගැනීමට තරම් සුවපහසුවක් මානව සමාජයට උදාවූ බවට විවාදයක් නැත. නමුත් අවාසනාවට ඉහතකී  සංවර්ධනයෙන් පසු “අම්මා” පිළිබද සත්‍යය තත්වය නම් “අම්මාට” අද තුන්වේල උයන්නට වෙලාවක් නොමැති වීමයි. උයන්නට තබා දිවාකල නිවසේ රැදී සිටින්නට හැකියාවක් ඇති අම්මලාද අතලොස්සක් බවට පත්වී ඇත. ඉහතකී සුවපහසුව අරමුණු කරගත් දියුණුව අවසානයේ කර ඇත්තේ කාර්ය බහුල අම්මා කෙනෙකි. වෙනත් ආකාරයකට කිවහොත් සුවපහසුව නැමැති  තර්කනයේම විරුද්ධාභාෂයකි. (කරුණාකර මෙහි දී ඇයි අම්මලාමද උයන්න ඕන වැනි ප්‍රශ්න නොනගන්න. මෙය ගත්තේ උදාහරණයකට ය. ඉවීමට වඩා ශ්‍රම වෙළඳපොළෙහි පිරිමින් සමග හරි හරියට කඹුරන්නට ඇති “අයිතිය” දිනා ගැනීම මහත් විමුක්තියක් ද යන්න අපට වෙන ම කතා කළ හැකිය.)

සංචරනය කෙතරම් පහසුද (වසංගත තත්වයට පෙර) යත්  මිනිසුන්ට තම නිවසේ රැදී සිටීමට සිදුවී ඇත්තේ ඉතාම අඩු කාලයකි. මිනිසුන්ට මිනිසුන් අතර සබදතා සජීවීව පවත්වා ගැනීමටවත් කාලය වැයකල නොහැකි අතර ඒ සදහා අන්තර්ජාලය විසින් විසදුම් ලබාදී තිබේ. වසංගතය සමග පැනවෙන සංචරණ සීමා අපට මුණ ගස්වන වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම් මෙතරම් සංචරණයක් කුමටද? කා සඳහා ද? යන්නයි.  ජීවත්වීම සදහා අන් කවරදාටත් වඩා මිනිසාට ශ්‍රමය වැගිරීමට සිදුවී ඇත. තම ශ්‍රමය වගුරා තමා ලඟා කරගත් භාණ්ඩ හා වටිනාකම් නඩත්තුව හා භාවිතය වෙනුවෙන් තව තවත් ශ්‍රමය වැයකිරීමට මිනිසාට සිදුවී ඇත. ඒ පිළිබඳව ඔහු ඉතා සතුටින් ආශාවෙන් මිනිසකු ලෙස ඔහු උරුම කරගත් පැවැත්මට අදාල සියල්ල කැප කර සිනහමුසු මුහුනින් සිටී. කොටින්ම සුවපහසු ජීවිතය යනු මෙය යැයි සිතා අපහසු විගඩමක් වැළදගන්නා තත්වයට මිනිසා සොම්බිකරණය කර තිබේ.

විද්‍යාව මිනිසාගේ කාලය ඉතිරිකිරීමට වෙහෙසී ඇත්තේ මිනිසා වෙනුවෙන් නොවන බව නම් මින් පැහැදිලි විය යුතුය. එදිනෙදා ක්‍රියාවන් තුළ මිනිසාගේ කාලය ඉතිරි කරමින් එම වඩ වඩා ඉතිරි කරගන්නා කාලයත් වඩ වඩා ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලිය වෙත මිනිසා ඇද බැඳ තබාගැනීම වෙනුවෙන් යොදාගැනීමයි ඇත්තට ම සිදු වී ඇත්තේ. මෙම අනවරත ක්‍රියාවලියට නතුවීම හරහා මිනිසාට අහිමිව ඇත්තේ මිනිසකු ලෙස ඔහුගේ සත්තාවයි. මිනිසා වඩ වඩා සුවපහසු භාණ්ඩ භාවිතාකරමින් ඉතිරිකරගන්නා කාලය තව තවත් මිලමුදල් සෙවීමට සහ එසේ මිලදීගත් භාන්ඩ පරිහරණය කිරීම සදහා ගත කරයි.   සිය පැවැත්ම අහිමි, මානසික අසහයනයෙන් පෙළෙන, කාර්යබහුල විකෘතිකයන් සහිත ලෝකයක් ඒ ඔස්සේ අප ඉදිරියේ බිහිවී ඇත. අපගේ ඉදිරි අනාගතයද අපගේම ශ්‍රමයේ නිශ්පාදනයන්ගෙන් අපම  පරාරෝපනය වීම හරහා තවදුරටත් අවිවේකී සහ සුවපහසුවෙන් තොර වීමට නියමිත බව සක්සුදක්සේ පැහැදිලිය.

ජීවිත පිළිබඳව ඇතිවී ඇති මෙම අර්බුධකාරී තත්වය “සාමාන්‍ය සමාජ තත්වය” ලෙස මිනිසුන් සලකනු ලබයි. වෙනත් ආකාරයකට පවසතොත් “ධනවාදය මිනිසාට ස්වාභාවීකරනයවීම” යනු එයයි. එහි එකී මෙකී නොකී සියලු ප්‍රතිවිරෝධතා හේතුවෙන් මිනිස් ආත්මයෙහි යම්කිසි සාරයක් අහිමිවී ඇත යන්න  ආත්මීයව  සන්වේදනය වීම සිදුවේ.  ඒ කාරණයෙහිලා “ආගම” අතීත මිනිසා තුළ සාරයක් පැවති බවට වන මිනිසාගේ විශ්වාසය තුළින්  මෙම පද්ධතියේ අසහනය සමස්තීකරණය කිරීමේ කාර්‍යයේ  විශාල මෙහෙයක් ඉටුකරමින් සිටී.  අසහනය වඩ වඩා වර්ධනය වනවිට අනාගතයේ වඩ වඩා බෝධි පූජා පවත්වන, දන්දෙන, ආමිසයට බර සැදැහැවතුන් බිහිවනු ඇත.

ධනවාදයට අදාල කතිකාවේ  අදිපත්‍යදාරී  දෘශ්ටිවාදය විසින් නිර්මානය කර ඇති  ” විද්‍යාවේ ආත්මය” හරහා ප්‍රකාශමාන වන්නේ නූතන මිනිසාගේ ආත්මය පිලිබදවයි. එය සුවිශේශී තත්වයකි. බුදුන්ගේ ” ආශාව ” සහ ධනවාදයේ ” ආශාව ”  සන්කේත ලෝක දෙකකි. එසේම ධනවාදී කතිකාව සහ අනෙකුත් මිනිස් සමාජ කතිකාවන් යනු මුලුමනින්ම වෙනස් තත්වයන් දෙකකි.

මිනිසුන් ලෙස අප සියලු දෙනා දරා සිටින්නේ  අතෘප්තිකර අසහනයෙන් පිරි අප්‍රසන්න ජීවිතයකි. එය ඔබට සුඛවිහරණ ජීවිතයක් ලෙස දැනෙන්නේම  සත්වයකු ලෙස මිනිසාගේ පැවැත්මට අදාළව  “නිදහස” යනු කුමක්දැයි යන්න හදුනාගත නොහැකි තත්වයකට අපගේ ආත්මය විපරිණාමයක පසුවන හෙයිනි.

ජිව්තයත් මරණයත් අතර දෙබෙදුම වඩා බොඳ කරන වසංගතයේ බියකරු මොහොත ම අපට අප ජීවිතය ලෙස බාරගෙන ඇත්තේ කුමක්දැයි යන්නත් ඒ “ජීවත්වීම” වෙනුවෙන් අප අහිමි කරගෙන ඇත්තේ මොනවාදැයි යන්නත් අපට මුණ ගස්වන විප්ලවීය මොහොතකි. මරණයේ නිමේෂයම  විප්ලවීය ආත්මයක උපතක් කළ හැක්කේ සාමූහික දේශපාලනික ක්‍රියාවකට පමණි.”නිදහස!”… මරණයේ නිමේෂයේ උස්හඬින් හඬනගා පවසා මියැදෙමු!

 

@ ලක්ෂාන් රජිත

උපුටාගැනීම -Exit wayout වෙබ් අඩවියෙන්

නවතම ලිපි