නැටුම් පංතියක් සොයාගෙන වත්තලට, අනුරාධපුරයට හා මහනුවර ගිය කොළඹ 12,
කෙහෙල්වත්තේ වයස 15, 13, 13 අවුරුදුවල දැරියන් තිදෙනාගේ කතාව ඔවුන් දින දෙකකට පසු නිවසට පෙරලා පැමිණීමෙන් අවසන් වි ඇත්තේ ය. හරියටම හැඟීම් ප්‍රකාශවෙන සිංහලයෙන් කියනවානම් කාටත් දැන් ‘අපොයි ඇති යන්තන්’ කියමින් හිත් හදා ගැනීමට ද පහසු ය.
එහෙත් ගිය සතියේ මන්නාරම් හා වව්නියා දිස්ත්‍රික්කවල දී නැටීමට නොව මුස්ලිම් පල්ලියකින් එළියට බසින මුස්ලිම් දැරියන් නොව මුස්ලිම් පිරිමි ළමුන් හයහත් දෙනෙක් සොයාගන්නට අපි දින තුනක් වෙහෙසුනෙමු. ඒ වාර්තා වැඩසටහනක් සඳහාය. ළමුන් ඉදිරිපත් කිරීමට තබා පල්ලිය ඉදිරියේ දර්ශණයක් ගැනීමටවත් ඒ පලාතේ පල්ලි දායක සභා අපට ඉඩ දුන්නේ නැත. අපේ ඉල්ලීමට සාවදානව සවන් දී එය මුස්ලිම් ආගමටත්, පල්ලියටවත්, පිරිමි ළමුන්ටවත් අවමානයක් හානියක් නොවන්නක් බව ඒත්තු ගත් පළාතේ ‘ දියුණු මුස්ලිම්’ ප්‍රාදේශිය නායකයන් පවා අවසානයේ දුන්නේ “පල්ලියේ දායක සභාව කැමති නෑ. අපිට ඒ උදවිය වෙනස් කරන්න අමාරුයි. තරහ වෙන්න එපා” යන පිලිතුරය. අවාසනාවකට මේ ගැටළුවට විසඳුමක් සොයා ලංකා පොලිසියට ගිය විට ලැබුනේ මෙබඳු පිලිතුරකි. “පල්ලි අයිති එහි භාරකරුවන්ට. ඔවුන්ගේ අවසරය නැතුව රූ ගත කිරීමෙන් වෙන ගැටුමක් නැවැත්වීමේ වගකීම පොලිසියට ගන්න බෑ”
මේ කතා දෙකෙන් [මුස්ලිම් පවුල් දෙකක දැරියන් තිදෙනෙක් නැටුම් පංති සොයා නිවසින් පලායාම හා බැතිමතුන් සමඟ පල්ලි රූ ගත කිරීමට අවසර නොදිම] වුවත් එකම කාසියක දෙපැත්තය. ලංකාවේ මුස්ලිම් ජනයා වේගයෙන් සවුදි අරාබියේ පවතින වහාබ් වර්ගයේ ආගමික මතවාදයක් වූ ‘තව්හිත් ජමාත්වාදයට’ වේගයෙන් ඇතුළු වෙමින් තිබෙන බවය. ඒ නිසාම සෙසු ජන සමාජයෙන් වෙන් වී හුදකලාව සවකිය ආගම හා සංස්කෘතිය පවත්වාගෙන යාමට වෙර දරණ බවය. ලංකාවේ පවතින ‘මුස්ලිම් හුදකලාවට’ සැලකිය යුතු ඉතිහාසයක් තිබේ.
එහි පලමු පියවර වූයේ ‘ලංකා මුවර්’, ‘ඉංදියානු මුස්ලිම්’ සහ ‘වෙරළබඩ මුස්ලිම්’ හැටියට බෙදී තිබූ මුස්ලිම් සමාජය 1940 දශකයේ දි ෆට්වාවක් [ආගමික තහංචිය] පනවා එකම ‘මුස්ලිම් ජාතියක්’ හැටියට සංවිධානය කිරීමය. දෙවැන්න 1956 ඇරඹුණු බන්ඩාරනායක යුගයේ දී 50% වඩා මුස්ලිම් ළමුන් සිටි රජයේ මුස්ලිම් පාසල් බවට පත් කිරීමය. මේනිසා ‘අලිගාර්වාදය’ හෙවත් තනි මුස්ලිම් දේශපාලනය ලංකාවේ පැලකිරීමට හිටපු අධ්‍යාපන ඇමති අල්හාජ් බද්දුදීන් මහමුද් වැනි මුස්ලිම් නායකයන්ට හැකි විය. දැන් ලංකා සමාජය නෙලමින් සිටින්නේ බණ්ඩාරනායක, දහනායක හා මහමුද් අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඉහලම අස්වැන්නය.
මෙසේ නිවසින් පලා යන මුස්ලිම් දැරියන් තිදෙනාගේ කතාව අපිට දියයට සැඟවුනු සුවිශාල හිම කන්දක තුඩ මතුකර පෙන්වයි. ආගමික හා සංස්කෘතික තහංචි හරහා නිවෙස් තුල සිරකර සිටින ලාංකීය ළමා පරපුර නිදහස් විමට දරණ වෑයමයි. අධ්‍යාපනය, ඇඳුම, ආගමික සීමා, පවුල් සම්ප්‍රදායන් අනුව හිර වූ දරුවෝ නිදහසේ ජීවත්විමට ආසා කරති. ඔහු යොවුන් වැඩිහිටියන් හැටියට සිතීමටත් හැසිරීමටත් කැමැත්තක් දක්වති. මෙයට වැදගත්ම උදාහරණය අපේ මතකයට එන්නේ මීට වසර 30 පමණ පෙර මේ ආකාරයටම තිඹිරිගස්යායේ හා දෙහිවල සමීප පවුල් දෙකක මුස්ලිම් තරුණියන් තිදෙනෙකු ගේ පලා යාමය. එහි දී වයස 18ක පමන වූ වැඩිමහල් තරුණිය ඈ අකමැති විවාහකයකට ගැටගැසීමට විරුද්ධව මේ සහෝදරියන් තිදෙනා නිවෙස් වලින් පලා ගියහ. ඔවුහු මේ පලා යාමට උපකාරය පැතුවේ අහම්බ දුරකතන ඇමතුමකින් හදුනාගත් තරුන සිංහල පිරිමි කණ්ඩායමකිනි. වාසනාවකට මේ තිදෙනාගේ පලා යාම ඛේදාන්තයක් වූයේ නැත. ඒ කණ්ඩායමේ සිටි යහපත් සිංහල පිරිමිමේ තරුණියන් තිදෙනා වසර 11 ඔවුන් රැකබලා ගත් හ. අධ්‍යාපනය පවා ලබා දුන්හ. වසර 11 කට පසු නිවෙස්වලට යාමට කැමති වූ තරුණියන් දෙදෙනෙක් පෙරලා නිවෙස්වලට යැවුණේ ය. එක් තරුණියක් තමාට රැකවරණ දුන් සිංහල තරුණයෙකු හා විවාහ වී අදටත් කොළඹ නගරයේ වැදගත් ව්‍යාපාරයක් මෙහෙයවමින් සිටින්නිය.
මෙහිදී පැහැදිලිවෙන එක වැදගත් කාරනයක් වන්නේ, ඉහත සඳහන් කළ පලායාම් දෙකේම තරුණියන් ‘තව්හීද් ජමාදවාදී’ පවුලවලට අයත් නොවෙන බවය. කෙසෙල් වත්තේ දැරියන් ඇඳ සිටි ඇඳුම්වල වර්ණය, ඔවුන්ට විදේශිය චිත්‍රපට බැලීමට තිබූ නිදහස හා ඔවුන් පලායන ආකාරයෙන් පෙනෙන්නේ නොවැරදීම ඔවුන් සූෆී මුස්ලිම් පවුලවල සාමාජිකයන් වන බවය. ඉහත කතාවේ මුස්ලිම් තරුණිය හා විවාහ වූ, අපගේ ද සමීප මිතුරෙකු වන ව්‍යාපාරිකයාගෙන් මේ ගැන අදහස් විමසූ විට ඔහු කීවේ “තව්හීද් ජමාද් පවුල්වල තරුණියන්ට ටෙලිවිෂන් බලන්න අවසර නෑ. ෆෝන් තියාගන්න අවසර නෑ. ඒ පවුලවල ගැහැණු ළමුන්ට ඔහොම පලා යාමක් හිතන්නවත් බෑ. ඒ තරමටම හිර කරලයි හදන්නේ.” යන පිලිතුරය.
කෙසේ වෙතත් මේ ඩිජිටල් යුගයෙ දී ආගමික උන්මත්තකයන්ට ළමා පරම්පරාව දිගින් දිගටම හිරකරගෙන සිටීම කළ නොහැකි බව මේ සිදුවීමෙන් පැහැදිලිය. එහෙත් එසේ සම්ප්‍රදායේ වධයෙන් මිදෙන්නට උත්සාහ දරණ පරපුරකට පැවැත්මක් මේ සමාජය තුල නැත. උදාහරණයකට නැවත නිවසට පැමිණි මේ දැරියන් තිදෙනා ඔවුන්ගේ වැඩිහිටියන් වයිද්‍ය පරීක්ශණයකට ලක් කරන්නට ඇත. ඔවුන්ට නොයෙකුත් අඩත්තේට්ටම් කරමින් පලා යාමට දඬුවම් දෙන්නට ඇත. තවත් වසර හතාටක් ගෙවුණු පසු ඔවුන්ට “වැදගත් මුස්ලිම්” තරුණයන් සමඟ විවාහ වීමේ අවස්ථාවද අහිමි කරනු ඇත. මේ ප්‍රතිවිපාකයන් ගෙන් මේ දැරියන් ගලවා ගැනීමට අපේ සමාජය අසමත් ය.
ස්ත්‍රීන්ට නිදහසේ තීරණ ගැනිම වලකා ලන සාපරාධීම නීතිය ඇත්තේ මුස්ලිම් විවාහ ක්‍රමය හා ක්වාසි උසාවිය ඇතුලේ ය. සවකීය විවාහකයා කවර තරමක ‘පිංගුත්තරයෙකු’ වුවත් ඔහුගේ කැමැත්තෙන් තොරව දික්කසාදවීමක් ලංකාවේ මුස්ලිම් ස්ත්‍රීන්ට නැත. ක්වාසි උසාවිය දෙන තීන්දුවට අභියෝග කිරීමට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැකිය. මේ ක්වාසි උසාවිවල නඩුකාරයන් වී සිටීන්නේ උග්‍ර තව්හිද් ජමාද්වාදින් ය. ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තහවුරු කර ඇති නිදහස මේ රටේ මුස්ලිම් ස්ත්‍රීන්ට අහිමි කිරීම ගැන මේ රාජ්‍යය පසු ගිය වසර 70 තුල ගත් කිසිම ක්‍රියාමර්ගයක් අප දන්නේ නැත. එයින් අදහස් කෙරෙන්නේ අන්තවාදය බෝ කරන්නේ අන්තවාදින් පමනක් නොව ඔවුන්ගේ ඡන්ද හිඟන දේශපාලකයා ද සිටිනවග නොවේ ද?
මීට වසරකට පමන පෙර අපි රත්නපුරයේ දී ලැබූ අත්දැකිමකින් මේ ‘මුස්ලිම් ස්ත්‍රීන්ගේ නිදහසේ’ කතාව අවසන් කළ යුතුය. මම ඉතා සමීප මිතුරෙකු වූ රත්නපුර උසාවියේ ප්‍රකට නීතීඥ මහතෙකුගේ කාර්‍යලයේ වාඩිවී සියෙමි. ඔහුගෙන් සැලකිය යුත් වේලවක් නීති උපදෙස් ගන්නා මුස්ලිම් පියෙක් හා දියණියෙක් මගේ අවධානයට වැටුණි. හිටි අඩියේම නීතීඥ මිතුරා මට කතා කලේ ය. “මේ කතාවට ටිකක කන්දෙන්න. ඒක අවිනීත නෑ”
කතාව කෙටියෙන් ලිවොත් මෙසේ ය. නොගැලෙපෙන විවාහයකට ගිය දියණිය කසාදයෙන් නිදහස් කර ගැනීමට මේ ආදරණීය මුස්ලිම් තාත්තා දිස්ත්‍රික්ක ගණනාවක ‘ක්වාසි’ උසාවිවලට ගියේ ය. ඒ හැමතැනින්ම අවසානයේ ලැබුණ පිලිතුර වූයේ සැමියාගේ කැමැත්ත නැතිව දික්කසාදය දිය නොහැකි නිසා කෙසේ හෝ ඒ අමනයා සමඟ පවුල් කෑම කරනැයි යන නියෝගයයි. මේ පියතුමාත් දියණියත් මගේ මිතුරා ඉල්ලා සිටියේ සිවිල් උසාවියක නඩුවක් දමා ස්වකීය දියණිය නිදහස් කර ගන්නට ය.
ඔවුන් ගිය පසු මම මිතුරාට කතා කලෙමි. මොකද කරන්නේ..? නඩුවක් දාල දික්කසාදේ අරන් දෙනව ද?
ඔහුගේ පිළිතුර නිරවුල් හා පැහැදිලි එකක් වූයේ ය.
“මම උපදෙස් දූන්න මේක විසඳන්න පුළුවන් ක්වාසි උසාවියට පමණයි, කියල. කිව්වට අහන්නේ නෑ. ඒ මිනිස්සු රටේ නීතිය දන්නේ නෑ. ක්වාසි උසාවියේ තීන්දුව වෙනස් කරන්න කාටත් බෑ. බේරෙන්න බැරි වුනෝත් හිත හදන්න නඩුවක් දානව . ඒත් මම දන්නව තීන්දුව.”
තමන්ගේ රටේ තවත් ජනකණ්ඩායමකට නිදහස අහිමිවීම ගැන අපට වගකීමක් නැද්ද? එසේ තිබෙනවානම් මේ නිති අපි වහාම වෙනස් කල යුතුය. එතෙක් පලා යන ළමුන් ගෙවල්වලට කොටුවී සිටිය යුතුය.