__________________________________________________________________________________________________
ධනේෂ්වර සංවර්ධන මොඩලයට පක්ෂව වාමවාදී, ජාතිකවාදී, ලිබරල්වාදී, පරිසරවාදී දේශපාලන නායකයින් එක පෙළට සිටගන්නා මොහොතක් පැමිණ ඇත.
බලය සහ සංවර්ධනය, ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන මෙහෙයුමක් කරගත් දේශපාලන පක්ෂ නායකයින්ගේ බල දේශපාලන ව්‍යාපෘති තුළින් රට තුළ ඇතිවිය හැකි පාරිසරික හානි හා එහි අනිටු ප්‍රතිවිපාක අප දැනටමත් භුක්ති විඳිමින් සිටින තත්ත්වයක් තුළ රටේ භූමිය හා පරිසරය තව තවත් විනාශයට ලක්විය හැකි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් මෙරටට පැමිණෙමින් ඇත. විශේෂය වන්නේ මෙම සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් හැරෙන්නට රට ඉදිරියට ගමන් කළ නොහැකි බවට අන්ත වාමවාදී යැයි කියාගන්නවුන්ගේ මෙන්ම අන්ත දක්ෂිනාශික ලිබරල්වාදීන් හා ජාතිකවාදීන්ගේද අදහස එක හා සමාන වීමය. “උමං ආර්ථිකයක් කරා” ලිපිය මගින් හෙළිදරව් කෙරෙන එකී බල දේශපාලන අවස්ථාවාදය තේරුම් ගත හැකි දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය රටවැසියා කොතෙක් නම් තේරුම් ගන්නක්ද යන්න මේ මොහොතේ ලාංකීය මහ පොළොවේ ප්රශ්නාර්ථිකයකි. මාධව රුවන්පතිරණගේ "උමං ආර්ථිකයක් කරා" ලිපියට පසුව ඇත්තේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්ගේ "චීනෙන් යන්ත්‍ර ආනයනය කර ලංකාවේ හදවත විදින උමං මග කා සඳහාද? ලිපියයි. ඔබේ අදහස් අප වෙත ලියා එවන්න.
____________________________________________________________________________________________________
උමං ආර්ථිකයක් කරා....
උමං හාරා කෙරෙන වාරි ව්‍යාපෘති හෝ වෙනත් ඕනෑම (ප්‍රවාහන ද ඇතුළු) ව්‍යාපෘතියක ප්‍රතිවිපාක නැවත සංස්කරණය කල නොහැකිය. එසේම ඒවා දැනට පවතින ඉදිකිරීම් තාක්ෂනය තුල උපරිම පවත්වාගත හැක්කේ වසර 50ක-100ක (උපරිම) කාලයක් පමණි. එක්කෝ ඉන් පසුව එම උමං කොන්ක්‍රීට් තට්ටුව කඩමින් නැවත ප්‍රතිසංස්කරණය කල යුතුය එසේ නොමැති නම් කාලයාගේ ඇවෑමෙන් පොලවට සමතලා වීමට ඉඩ දිය යුතුය. එසේම ඒ අතරතුර සිදුවීමට නියමිත අනීවාර්ය කාන්දුවීම් සඳහා නිරන්තර ප්‍රතිකාර ද පවත්වාගෙන යා යුතුය.
මෙම දැවැන්ත උමං විදින යන්ත්‍රය ගෙන එනුයේ මහා පරිමාන වාරි ව්‍යාපෘතීන් සඳහාය. එම වාරි ව්‍යාපෘතීන්ගේ අරමුණ වන්නේ වාණිජ භෝග වගාවන් සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමය. මහා පරිමාන වාණිජ භෝග වගාවන් සඳහා ඊට අදාළ බහු ජාතික සමාගම් ලංකාවට පැමිණීමට නියමිත අතර එක යායට පිහිටි අක්කර දස දහස් ගණනින් යුතු මහාපරිමාණ වගා බිම් ප්‍රදේශයන් මේ සඳහා අත්‍යවශ්‍ය වේ. කැලා එළිපෙහෙළි කිරීමෙන්, වාස භූමි සමග පවතින යැපුම් කෘෂිකර්මාන්තය විනාශකොට දමා එම භූමීන්ද අත්පත්කොට ගැනීමෙන් සහ වාස භූමි ඉවත් කිරීමෙන් මෙම කාර්ය සපුරා ගත හැකිය. ඒ අනුව මහා පරිමාන වාණිජ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ශ්‍රමයද එමගින් සපුරාගත හැකි වනු ඇත.
වාණිජ භෝග වගාව අවශ්‍ය වන්නේ ඩොලර්, යෙන් වෙනි විදේශ විනිමය සපුරා ගැනීම සඳහාය. විදේශ විනිමය අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම කාගේත් සිහිනයක් බවට පත්ව ඇති වාහන ගෙන්වීම, ඊට අදාළ මාර්ග පද්ධතීන් ඇතුළු යටිතල පහසුකම් සපුරා ගැනීම සහ විදේශ වලින් ගෙනෙන අනෙකුත් සියලු පාරිභෝගික භාණ්ඩ වලින් ලංකාව ආඩ්‍යය කිරීම සඳහාය.
වසර හැත්තෑවක් තිස්සේ තට්ටු මාරු ක්‍රමයට පත්වූ ආණ්ඩු "ජනතාවගේ අවශ්‍යතා" සම්පූර්ණ කිරීමට අසමත් බව මොර දෙන ජනප්‍රිය දේශපාලන පක්ෂය වනුයේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන්ට මැතිවරණ ජයග්‍රහණය කල නොහැකි ප්‍රශ්නයට අදාළ සංකීර්ණතා ගණනාවක් පවතී (ඒවා වෙනම කතා කල යුතුය). නමුත් සියලු දෙනාගේ අපේක්ෂාව වෙනුවෙන් කෑ මොර දී අවංකව වැඩ කරන්නේ ඔවුන් බව රටේ බහුතරයකගේ පිළිගැනීම සහ විශ්වාසයයි.
ඒ අනුව ජවිපෙ යනු ලිබරල් පාරිභෝජනවාදයේ හඬයි. පාරිභෝජන අවශ්‍යතා උපරිමයෙන් විඳින අයගේ (උපරිමය යනු සලකුණු කිරීමක් වන අතර එහි සීමාවක් නොමැත. වෙනත් විධියකින් පවසන්නේ නම් සිදුවන්නේ ෆැන්ටසි වසංගතය වැඩි වීමය) මෙන්ම එම උපරිමයෙන් විඳින හෝ මධ්‍යම වශයෙන් විඳින අය දෙස බලමින් හූල්ලන සමාජ කොටස් වල අපේක්ෂාවයි (Nirmal Dewasiriට අනුව හදවතේ දේශපාලනය හෙවත් මනුෂ්‍යත්වයේ දේශපාලනය යනු එයයි).
ජවිපෙ එම මානුෂීය හදවතේ දේශපාලනය පරාජය කිරීමට නම් බලයේ සිටින පක්ෂය කඩිනම් ක්‍රියාමාර්ග වෙත යමු විය යුතුය. නැතිනම් සිදුවන්නේ ඔවුන්ගෙන් ද්විපක්ෂ යාන්ත්‍රණයේ අනෙක් පාර්ශවයට බලය මාරු වීමය (බලය මාරු කිරීමේ තීරණාත්මක පෙරමුණු බලවේගය වන්නේ ජවිපෙ ය).
වත්මන් ආණ්ඩුව ලහි ලහියේ ක්‍රියාත්මක කිරීමට සැරසෙන ඉහත සඳහන් කල ව්‍යාපෘතියේ අරමුණ මේ විස්තර කොට ඇති තත්වය තුල තේරුම්ගත යුතුය. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ජවිපෙ සිටියද නැති උනද ධනේශ්වර ආණ්ඩු ඔවැනි ව්‍යාපෘති තුලින් ඉදිරියට යන බවය. එය පිළිගත හැකිය. නමුත් එයට විශාල උත්ප්‍රේරකයක් වෙමින් ඒ තත්වය අතිශය සීග්‍රගාමී කරනුයේ ජවිපෙ ඇතුළු වාමාංශික කතිකාව විසිනි. එසේම එහි ඇති අනෙක් නරකම ප්‍රතිපලය වන්නේ මෙම ලිබරල් ධනවාදයට එරෙහි දේශපාලන ප්රවේශයන් වැලකී යාමය.
ඒ අනුව ජවිපෙ, පෙසපේ ඇතුළු මෝඩ සහ තකතීරු වාම ව්‍යාපාර දේශපාලන භූමියෙන් පහකොට දැමීමේ කතිකාවක් ආරම්භ කිරීම යුගයේ අවශ්‍යතාවයකි.
___________________________________________________________________
චීනෙන් යන්ත්‍ර ආනයනය කර ලංකාවේ හදවත විදින උමං මග කා සඳහාද?
චීනයෙන් ආනයනය කරන චයිනා රේල්වේ හෙවි ඉන්ඩස්ට්‍රි කෝපරේෂන් ආයතනය විසින් නිපදවන ලද උමං විදින යන්ත්‍රය මීටර් හතයි දශම හතක විශ්කම්භයක් ඇති යන්ත්‍රයකි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සදහාවන කලු ගඟ හා මොරගහ කන්ද ජලාශය අතර උමග සැකසීම හා මොරගහ කන්ද යකල්ල අතර කිලෝමිටර් 28 දිග උමං මාර්ගයකුත් මෙමගින් කැණීමට නියමිතයි. උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය සදහා සකස් කිරීම වෙනුවෙන් ලංකාවේ දිගම උමං මාර්ග පද්ධතිය ඉදිකලා යුතුය. චීන ණය මත ඉදිවන උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සදහා රජය ඉකමන් තීන්දුවක් ගෙන ඇති අතර බහු ජාතික සමාගම් මගින් ප්‍රවර්ධනය කරන වාණිජ බෝග වගාවන් වෙනුවෙන් ජලය ලබාදීම මුඛ්‍ය අරමුණ වේ.
මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර හතලිහකට පමණ පෙර උතුරු මැද වාරි ඇළ නොහොත් NCP සැළසුම සකස් කරන ලදි.
රජය පවසන පරිදි උතුරු මැද හා වයඹ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිඟය නිසාය .එම නිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
රුපියල් බිලියන 120 විදේශ බැංකු ණය ආධාර මත ඉදිවන මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මේ හරහා නිර්මාණය වීම සදහා ඇති ප්රවණතාවයද ඉතාමත් වැඩිය .
රජයේ සැළසුම අනුව දැනටමත් දැවැන්ත පාරිසරික හානියක් සිදුකරමින් ඉදිවූ මෙරගහ කන්ද හා කලු ගඟ ජලාශවලින් ජලය කිලෝමීටර් 66 දිග ඉහළ ඇලහැර ඇළ ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි. දෙවනුව මාන්නකට්ටියේ සිට චෙන්මඩුකුලම් දක්වා කිලෝමීටර් 95 වාරි ඇළක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇළ ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත්වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි.
එයින් ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්ර කරමින් චෙන්මඩකුලම් සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්වීපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුම් කර ඇත.
උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමීටර් 52 දිවෙන වාරි ඇළක් ඔස්සේ එහි ජලය කලු ගඟ හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත්, අංගමැඬිල්ල අසල වේල්ලක් බැද එහි ජලය පොම්ප මගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්,මහවැලි ගඟ කාලිංගනුවරින් හරස්කොට අංගමැඬිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර,මෙයින් පුරාණ වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමණක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදුවනවා ඇත.
උතුරු මැද වාරි ඇළ නිර්මාණය කිරීමේදී උතුර හා උතුරු මැද පළාත් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දොළහකින් සහ වයඔ පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඉඩම් රජයට පවරා ගැනීම මේ වන විට සිදු කරමින් ඇත.
මොරගහ කන්ද ජලාශයෙන් ආරම්භ වන NCP ඇළ යාපනය අර්ධද්වීපයට යන තෙක් කිලෝමීටර් 200 දුර ප්‍රමාණයක් කෑලෑ ඉඩම් තුළින් හා ඇතැම් ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරීම් සිදුකරනු ලබයි.
උතුරු මැද වාරි ඇළ මාර්ගයේ පළල, ඇළ රක්ෂිතය සමග මීටර් 120 කි. එහි දිග කිලොමීටර් 200 කි. ඒ අනුව මීටර් 120 පළල කිලෝමීටර් 200 දිග වනාන්තර තීරුවක් මෙරට වන භූමියෙන් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමත් සමඟම අහිමි වේ.
විශේෂයෙන් වයඹ,උතුර හා උතුරු මැද පළාත්වල වැව් රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශ වේ.
පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවට පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස් වැල්ලාව,” මස්වැල්ලාව”, ”රන්පත් විල” ”සියඔලා වැව”, තම්මැන්නා කුලම්, පලා තොට වැව, කුඩා පටිටිය දිවුල් වැව, කාපිරි ගම වැව, ඇහැටු වැව, කොන් වැව, පත්තක්කා වැව, දික්වැව,ගුරළු පොත වැව, වයඹ පළාතේ මී ඔය ආශ්‍රිතව හා තවත් කුඩා වැව් 700 පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ.
පුරාණ වාරි කර්මාන්තයේ ජල කළමණාකරනයේ සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ මෙම වාරි පද්ධති තෙත් භූමි ලෙස සුවිශේෂි කාර්යයක් ඉටු කරනු ලබයි. එමෙන්ම වියළි කාලයේදී භූගත ජලය ගබඩාකර ගැනීම සදහා ද පාරිසරරික වශයෙන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්යයක් ඉටුකරනු ලබයි. එලෙස සුවිශේෂී කාර්යයක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්වනවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප්‍රතිඵල මෙම ප්‍රදේශ වල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි. මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.
වර්තමානයේ මෙරට ඉදිකළ මහා පරිමාණ ජලාශ ඇළ වේලි කිසිවක් බලාපෙරොත්තු වූ ප්රගතියෙන් අඩකටවත් ලඟා වීමට බැරිවී තිබෙී. එසේ තිබියදී නැවත නැවතත් මෙවන් විනාශයන් කිරීමෙන් මෙරට ජනතාවට හෝ පරිසරයට සිදු වන සෙතක් නොමැත.
මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘති වූයේත් NCP ඇළ උතුරට හැරෙන්නේත්, පොළොන්නරුවට ජලය ගෙනයන ප්‍රධාන වාරි පද්ධතිය වන ඇළහැරට ඉහළින් ය. එමෙන්ම පොළොන්නරු ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇළහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොඳුරුවාව කදු වැටියෙන් දෙපස ආවරණය වු වාරි පද්ධතිය පරාක්‍රම සාගර ඇළ මාර්ගය, අංගමැඬිල්ල, අහස් ගඟ, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කවුඩුල්ල, කන්තලේ, වෙන්රාසකුලමි හා ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද, කළු ගඟ ව්‍යාපෘති හරහා උතුරු මැද වාරි ඇළට ජලය හැරවූ විට ඇළහැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප්‍රමාණය සැළකිය යුතු ලෙස අවම වනු ඇත.
දැනටමත් පොළෙන්නරුව ඇතුළු ප්‍රදේශවල ජනතාවගේ වගා බිම්වලට අවශ්‍ය තරම් ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් උතුරට ජලය හැරවූ විට මෙම ප්‍රදේශවලට ලැබෙන ජලය තවත් අඩුවේ. මෙයින් මෙම ප්‍රදේශවල පාරාම්පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත්කාරයෙන් පදිංවි කළ ගොවිජනතාව ද අර්බුදයට පත්වේ.
විශාල පාරිසරික හානියක් හා දේශපාලනික අර්බුදයක් ඇති නොකොට උතුරේ ජනතාව වෙත ජලය ලබාදීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සදහා කළයුතු හොදම ක්‍රියාමාර්ග වන්නේ මන්නාරමේ යෝධ වැව,ඉරණමඩු වැනි මහ වැව් හා ඒ ආශ්‍රිතව ඇති කුළු වැව්,දන වැව් හා ගම් වැව් නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා ඇළ වේලි ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි.
උතුරේ ජනතාව කෙදිනක හෝ මහවැලි ජලයෙන් යැපුනේ නැති ඔවුන්ටම අවේණික වූ ජල සංරක්ෂණ ක්‍රියාමර්ග ඔවුන් භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිතා කරන ලද පොකුණු 1000න් වැඩි ප්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කළ හැකිය. පෙරදී මෙන්ම වර්තමානයේදී ද වර්ෂා කාලයේදී වැලි කොට්ට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයෙහි ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.
රජය කළ යුත්තේ මෙම ජල සංරක්ෂණ ක්‍රියාමාර්ග ආරක්ෂා කරමින් සොබාදහම හා ජනතාව එම වටිනාකමත් සමඟම ආරක්ෂා කිරීමයි. අනෙක් අතින් පාරම්පරිකව ජලය ලබාගන්නා ක්‍රමවේද තිබිය දී ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජයීය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි .
බැංකු ණය මත ඇළ වේලි නිර්මාණය කලත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය. දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටේ අනෙක් ප්‍රදේශවල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වී යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද…?
අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප්‍රමාණ වූ දයාව නිසා නොවේ. මෙම ඇළ ගෙනයන ප්‍රදේශ වල ඉඩම් සැළකිය යුතු ප්‍රමාණයක් ආර්ථික භෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය මේ වන විට සැළසුම් කර ඇත. එම නිසා කන්තලේ උක් වගාව තවත් ප්‍රමාණයකින් වගා බිම් වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග්‍රීන් ග්‍රෑම්, ෆාම්, අපනයනය කල හැකි එළවළු හා පළතුරු උදාහරණයක් ලෙස කැවෙන්ඩිශ් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාපුරය,වව්නියාව,මන්නාරම ප්‍රදේශ වලින් කැලෑ ඉඩම් ලබා ගැනීමට හා ඒවා බහු ජාතික සමාගම් ඇතුළු සමාගම් වලට ලබාදීමට ජාතික භෞතික සැළසුම අනුව සැළසුම් කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇලේ ප්‍රධාන අරමුණයි.
එයට අමතරව උතුර මැද වාරි ඇළට සමගාමීව උතුරු මැද,වයඔ හා උතුර ප්‍රදේශවල වැව් 1000 ආර්ථික ඒකක වශයෙන් හදුන්වා දීම සිදුකරන අතර එම වැව් 1000 ජලය ආර්ථික භෝග වගාව සදහා යොදා ගනු ලබයි . කෙටියෙන්ම කිවහොත් වැව් හා ජලය පෞද්ගලීකරණයද මෙයට සමගාමීව සිදුවේ.
ඒ වැව විට එම ප්‍රදේශ වල ජනතාවට සිය ගොවිතැන් බත් වලට අවශ්‍ය ජලය ලබා ගැනිම ගැටළුවක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජයීය වශයෙන් මෙම ප්‍රදේශ විනාශවීමත්, අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික අර්බුද මෙම ප්‍රදේශ වල නිර්මාණය වීමත් වැළැක්විය නොහැකිය.
පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය