- කලාපයට නව-ධනවාදී-සමාජ-සැකැස්මක් ස්ථාපිත කර ගැනීමේ අවශ්‍යතාවය
1974 සිට 2016 දක්වා කාල පරිච්චේදය තුළ ලොව ඉහළ ම ගුණයෙන් යුත් තේ නිෂ්පාදන ප්‍රමිතිය අත්කරගෙන ඇති ඩිල්මා තේ සමාගම මේ කාල පරාසයහි දී තම සේවකයින් ප්‍රමාණය 18 දෙනෙකුගේ සිට 35,000ක් දක්වා වැඩිකරගනිමින්, ගෝලීය පරිමාණයන් සහ ප්‍රමිතීන්ට සමාන්තරව සේවකයන්ට වේතන ගෙවීමේ ධනේෂ්වර සාධාරණත්වය කෙසේ වෙතත්, අද වන විට පෘථිවි බල ප්‍රදේශ 100ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ලොව 06වෙනි විශාලත ම තේ නිෂ්පාදකයා බවට පත්වී, ගෝලීය වෙලඳපළ තරඟකාරීත්වය තුළ තම සමාගමට හිමි ස්ථාවර කොටසක් වෙන් කරගැනීමට සමත්ව සිටී.
ඩෙල්මා සමාගම වගා කිරීම සහ නිමි-නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සම්ප්‍රධායික සහ නූතන(Traditional and Modern) ක්‍රමවේදනයන් පදනමින් ක්‍රියාත්මක වීම කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින අතර, ලක් රට එංගලන්තක ඩොමීනියින් රාජ්‍යයට අයත් කාලේ යොදාගත් සිලෝන් යන නාමය යටතේ ම ක්රියාත්මක වෙමින්, නව-නූතන-නිෂ්පාදන-උපකරන(Neo-Modern Means of Production) යොදා ගැනීමෙහිලා තරමක සුනංගුවීමක සිටින නමුත්, දැනටමත් නව-නූතන නිෂ්පාදන සංවර්ධනයක් කරා යොමුවිය හැකි මූලික නූතනවාදී සුදුසුකම් සහ පදනම් බොහොමයක් සපුරාගෙන සිටින ලක් සමාගමකි.
ඉන්දියාවේ උත්තර ප්රදේශයේ නොයිඩා නගරයේ විශේෂ ආර්ථික කලාපයේ ක්රියාත්මක වන ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදනයන්ට පන පොවමින් 1993දී ඇරඹුන ඉන්දීය ඩික්සන් සමාගම මෙතෙක් වසර 30ක් තුළ ඉන්දියාවේ විශාලත ම ඉලෙක්ට්රොනික්, හාඩ්වෙයාර් සහ ටෙලිකොම් නිෂ්පාදනයේ ප්‍රමුඛතමයා වෙමින් තම තාක්ශණික ප්‍රවනතාව තුළ ආලෝකකරණය, ඉලෙක්ට්‍රොනික ගෘහ නිර්මාණ නිෂ්පාදන සහ අනෙකුත් භාවිත ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයෙහි වේගයෙන් නියුතු වන අතර ම, ඊටත් වඩා ප්‍රගමනික වේගයකින් මාසයකට මිලියනයක් තරම් ස්මාට් ෆෝන් නිෂ්පාදනය කිරීමෙහි ද නියුතු වෙමින් මොබයිල් දුරකථන නිෂ්පාදන ක්ෂේත්රය තුළ අතිවිශාලව ක්රියාත්මක වීම හරහා, ගෝලීය ආර්-ථික පද්ධතිය විසින් හිමිකර දෙන නව-නූතන-නිෂ්පාදන-උපකරණ (Neo-Modern Means Of production) රට තුළ ම නිෂ්පාදනය කිරීම කෙරෙහි සෘජුව ම අතපොවා, ඉන්දියාව තුළ එකී තාක්ෂණය නොපැකිලව පැල කරගනිමින් ද, යලි නිපදවා රටින් බැහැරට බෙදාහරිමින් ද, තම නිෂ්පාදනයන්වල ගුණාත්මක බව දිනෙන් දින වැඩි-වර්ධනය කරගනිමින් ද, දකුණු ආසියාව තුළ නව-නූතන ධනේෂ්වර සංවර්ධනයහි (Neo Modern Capitalist Development) මග-පෙන්වුම්කරුවා ඉන්දියාව වන බවට සංඥාවක් නිකුත් කිරීමෙහි සමත්ව ඇත. එලෙස ම එම නිෂ්පාදන ක්‍රියාදාමය ප්‍රදේශ පුරා විස්තාරණය කරගනිමින් එය පොකුරු ව්‍යාපෘතියක් බවට ද පත්කරගෙන ඇත.
ඉන්දියාව මෙසේ දශක 02ටත් අඩුකාලයක් තුළ ගෝලීය ආයෝජන ප්රවේශයන්හි වේගයෙන් නියුතු වීමේ අතුරුඵල සංකේතයක් ලෙස මේ වන විටත් දකුණු ඉන්දියාවට අයත් මදුරාසි ප්රදේශයේ උපන් පිචායි සුන්දර්ජන් නැමති සාමාන්‍ය මධ්‍යම පංතික තරුණයකු, ගූගල් නම් වූ සුපිරි ගෝලීය පාර-ජාතික-සමාගමෙහි ප්රධාන විධායික නිළධාරියා (Chief Executive Officer) බවට පත්වෙමින්, ගෝලීය පාර-ජාතික අයෝජන සමාගමක් තුළ ලබාගත හැකි ඉහළ ම වෘත්තිකත්වය ද නියෝජනය කරමින්, දකුණු ආසියාව කෙරෙන් ගෝලීය ආර්-ථික පද්ධතිය වෙත උසස් වෘත්තිකයින් නිකුත් කරන ප්රධානත ම රට ඉන්දියාව බවට ක්රියාවෙන් ඔප්පු කර පෙන්වන තරමට දුර දිග ගොස් ඇත.
නමුත් ප්‍රශ්නාර්-ථික වාද-විෂය වන්නේ, මෙබඳු ආර්-ථිකමය උපයා ගැනීම් හුදු ඉන්දියාවේ ජයග්‍රහණ පමණක් නොකරගෙන, අවංක සිතින් දකුණු ආසියාවට ම අත් වූ ජයග්‍රහණයක් බවට පත් කරගන්නේ කෙසේ ද යන්න යි. මන්ද එය ඉන්දියාව ඇතුළු සියළු දකුණු ආසියානු කලාපීය රටවලට මුහුණ දීමට සිදුවන අනාගත ආර්-ථික අනතුරක් මගහරවා ගැනීමට හේතුවන නිසයි.
1970-1977 කාලයේ දකුණු ඉන්දීය පරිපාලනය වනාහී ඉන්දියාවට වඩා යහපත් වූ ආර්-ථික පැවැත්මක් සිරි ලංකාවේ ඇතැයි යන ආර්-ථික මතයක් සහිත කතිකාවක පිහිටා සිටි පරිපාලනයකි. මේ මතයේ ප්රතික්රියක ප්තිඵලයක් ලෙස ඉන්දියාවේ සිට සදාකල් ජීවත් වීම සඳහා අන්තර්-ජාතික නීතියට පිටුපා ලංකාව වෙත අවනීතිකව මුහුදින්-පිහිනා-එන-මිනිසුන්(කල්ලතෝනි) බිහි කරන තරමට දකුණු ඉන්දීය ප්රාන්තය අසීරු ආර්-ථික අඩියක පැවති දුෂ්කර දුගී මුඩු බිම් ගැවසි ප්රාන්ත කලාපයක් වූ බව කවුරුත් දන්නා සාධකයකි. මීට පෙර සිට පවා දකුණු ඉන්දීය වැසියන් ලංකාවේ ජීවත්වීමට පැමිණීම යම් ආකාරයක් ප්රවනතාවක්ව පැවති අතර, 1939 දී ලංකාවට සංක්රමණය වී තම වයස 18දී සිරි ලංකා හමුදාවට බැඳී පසුකාලීනව සිරි ලංකාවේ සුප්රසිද්ධ ගායකයෙකු බවට පත් වූ කරීම් මොහිදීන් බෙග් ද දකුණු ඉන්දීය තමිල්නාඩු ප්රාන්තයේ උපත ලැබූවෙකි.
අදටත් තමිල්නාඩු ප්රාන්තයේ දුගීකම මුළුමනින් පහව ගොස් නැති වුවත්, මේ දකුණු ඉන්දීය දරුවන් නව-නූතන-නිෂ්පාදන-උපකරණ (Neo-Modern Means Of production) නිෂ්පාදනයෙහි සහ භාවිතයෙහි යෙදවීම හරහා, ගෝලීය වෙළඳපල අත්කරගන්නට ප්රජාව යොමු කිරවීම තුළින් ඉන්දීය මහා-ආණ්ඩුව සබුද්ධිකව ම ඒ පෙදෙස් තුළ නව-නූතන-ධනේෂවරකරණයක්(Modern Capitalization) ආරම්භ කොට ඇති බවට දෙස් දෙයි.
දකුණු ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවෙන් ආර්-ථික ජන්මය ලබමින් බිහිවුණ ඉස්ලාම් භක්තික ඒ. ආර්. රහමන් නැමති ඉන්දීය සිනමා-සංගීත-සංරචකයා අද වන විට ලොව ගෝලීය පාර-ජාතික-සමාගම් (Trans-national companies) විසින් හඳුන්වා දෙන නව-නූතන-සංගීත-නිෂ්පාදන-උපකරණ(Musical Instruments and other Equipments of Neo-Modern Technology) හා සම්බන්ධ වෙළඳ ප්රවර්ධන වැඩසටහන් නියෝජනය කරමින් සහභාගී වන, එම නිෂ්පාදන උපකරණ නොපැකිලව භාවිතා කරන, මේ වන විට අමරිකා එක්සත් ජනපදයට අයත් උතුරු නැගෙනහිර ජනපදයක පිහිටි බොස්ටන් නගරයේ ලෝක-ප්රසිද්ධ බාක්ලේ විශ්ව-විද්‍යාලයෙන් නොහදාරා ම ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබා ඇති, ගෝලීය වෙළඳපොළට ඉන්දීය සංගීතමය නිෂ්පාදන අලෙවි කරන අති-නිපුනයෙකි(genius).
එම උපාධිය ප්‍රධානය කිරීමට සමාන්තරව මෑතක දී බාක්ලේ සරසවියේ ඉන්දීය සහ බටහිර සිසුන් යොදාගෙන ඒ.ආර්. රහමන්ගේ ම මෙහෙයුම යටතේ පුහුණු කොට ප්රසංගනය කෙරුනු සංගීත ප්රසංගය ලෝක සංගීතය ගැන උනන්දු කොයි කවුරු අතරත් ප්රසිද්ධියට සහ පැසසුමට පත්වූවකි. මේ ප්‍රසංගයන් නියෝජනය කරමින් සහභාගී වූ බාක්ලේ සංගීත විදයාලයේ උපාධිධාරී සංචිත වික්‍රමසූරිය සිරි ලක් වැසියෙක් බව තවම කවුරුත් කතාබහට ලක් නොකරන කරුණකි. අන්තර්ජාතික තලයේ පැසසුමට සහ සම්මානයට පත් කිශිනි ජයසිංහ ද ඊටත් වඩා ඉහළින් ලෝක සම්මානයට පත් සංගීතවේදිනියකි. මෙසේ සංගීත ක්ෂේත්‍රයෙහි පමණක් ලංකාවෙන් ගෞරව නොලබා අන්තර්ජාතිකව ගෞරව ලැබූ වෘත්තිකයින් ලැයිස්තුවක් ම ඇත.
ඒ නිසා ජාතික තලයේ පමණක් මතුවී සිටින තමන්ට පාක්ෂික සංගීත වෘත්තිකයින් පමණක් දේශපාලන වේදිකාවල නග්ගවා ගන්නා ප්රවේශයක් වෙත යොමුවී සිටින ජවිපෙය, මොන වෘත්තීය ක්ෂේත්රයක් සම්බන්ධයෙන් වුවුද සැලකිල්ලට ගත් යුතු සහ මගහැර යා නොහැකි ගෝලීය සම්මානයට පත් ලක්වැසි අති-නිපුනයින් ගැවසෙන වෘත්තීක කලාප පවතින බවත්, ඒවා රට නව-නූතන-ධනේෂවර සංවර්ධනයක් කරා යොමුකරනවා නම්, යොදාගත යුතු සම්පත් දායක කලාප බවත් සැලකිල්ලට ගත යුතු ය.
දැන් කල්ලතෝනි තබා වෙන මොන ආකාරයක ඉන්දියානුවෝවත් මේ ලක් කොදෙව්වේ සදාකල් දිවි ගෙවන්නට එන්නට නොසිතන නමුත්, 1970-1977 සමයේ ගාන්ධි පුවල නායකත්වය දුන් ඉන්දීය ජාතික කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දීය මහාණ්ඩුව විසින් ලංකාවට සහෝදරත්වයෙන් පවරා ලියා දුන් දූපත් පවා අපගේ මූල්‍ය-ආර්-ථික නොහැකියාව හමුවේ යලි අත්පත් කරගන්නටැයි කියා දකුණු ඉන්දියානු ප්රාන්ත ආණ්ඩුව විසින් මහාණ්ඩුවට යෝජනා කරමින් පවතී.
මනුස්සයෙක් වුණත් දුප්පත් කාලයේ තම දරුවන් වෙනත් රටවල් හෝ පවුල් කරා කල්ලතෝනි ලෙස යවන්නට තරම් අසරණ වුව ද, පෝසත් වෙමින් සිටින කාලයක දී ඒ රටෙන් ම කෑල්ලක් වුණත් මිල දී ගන්නට දෙපාරක් හිතන්නේ නැත.
නමුත් ප්රාග්ධනය ගෝලීීයකරණය විසින් මේ වන විටත් ඇතිකර පවතින කලාපීය වාස්තවික තත්වයන් සලකා බැලූ විට, ඉන්දීය පරිපාලනය අතින් සිදුවිය යුතුව පවතින්නේ වෙනත් වගකීමක් සහිත පොදු කලාපීය උපාය-මාර්ගයක් ක්රියාවට නැංවීම ය. එනම් ගෝලීය වෙලඳපොළෙන් අතිරික්ත ප්රාග්ධන අත්කර ගැනීම සඳහා නව-සොයාගැනීම් සිදුකිරීමේ දී, ඒවා නව-නිපැයුම් බවට පත්කර ගැනීමේ දී සහ වෙලඳපොළට බෙදාහැරීමේ දී ඉන්දු-ලංකා දෙරට පරිපාලනයන් අතර නව-නූතන ධනේෂ්වර සහෝදරත්වයක් නිර්-මාණය කරගැනීම සඳහා දෙපාර්ශවයට ම සාධාරණ පොදු නෛතික ප්රතිපත්තියක් සකසා ක්රියාවට නැංවීම ය. මේ ගෙවෙන ගෝලීයකරණ ආර්-ථික මොහොත කෙතරම් සංකීර්ණ ද යත් රටක් වශයෙන් පමණක් පොහොසත් වන්නට කැසකවන ඕනෑ ම ජාතික රාජ්‍යයක් දීර්ඝකාලීන යොමුවක් තුළ අවසාන අරුතින් හුදෙකලාවට පත්වන්නට නියමිත ය.
එය චීනයට පවා සිදුවිය හැකි බව චීන පරිපාලනය විසින් කල් ඇතුව හඳුනාගත් නිසා තමයි, ඔවුන් විසින් අප්‍රිකානු කලාපය තුළ තම අන්තර්ජාතික මූල්‍ය ඒකකයේ බලය පතුරවන්නට සහ දකුණු ආසියාව ඇතුළු සමස්ත ආසියානු පැසිපික් මුහුදුකරය ආශ්‍රිත භූමීන් මත තම ආයෝජන බලය සහ වක්‍ර යුධ බලය පතුරුවන්නට කැස කවන්නේ.
ඒ නිසා ආයෝජන සිදුකරීමේ දී, දකුණු ආසියානු රටවල් ඉන්දියාව සමග එක්වී කලාපයක් ලෙස සහයෝගී සම-ආයෝජනයන් සිදු කිරීමට යොමුවුහොත්, බලවත් ඇමෙරි-යුරෝ ප්රාග්ධන කේන්ද්‍රය සහ චීන ප්රාග්ධන කෙන්ද්‍රය සමඟ ඉදිරි කාලයේ දී සාධාරණ සහ සාමකාමී තරඟයක් කරා යන ඉලක්කය සපුරා ගැනීමට එය ඉවහල් වනු ඇත. එසේ නැතිව තනි-තනි රටවල් ලෙස ගෝලීය ප්රාග්ධන කෙන්ද්‍රයන්ට මුහුණ දීමට යෑම කෙටි කාලීන මුදල් හම්බකිරීමක් පමණක් බවට පත්වී, දිගුකාලීනව යටකී ප්රාග්ධන කේන්ද්‍රීය රටවල් ගෙන එන ගෝලීය දේශපාලනාර්-ථික උපායන්ට ගොදුරුවීම කෙරෙහි වක්ර පහසුකම් සපයා දීමක් පමණක් බවට එය පත්වනවා ඇත.
මේ අනතුරු වැඩි වශයෙන් ම අවබෝධකොට ගත යුත්තේ ඉන්දීය පරිපාලනය යි. ඉන්දියාව නූතන-යුගයේදී(Modern Era) වාගේ දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් අතර තනි අලියා වෙන්නට යෑම මේ නව-නූතන-යුගයට(Neo-Modern Era) අදාළ ආර්-ථික උපායික තලයක දී තමන්ගේ ම වල තමන් විසින් ම කපා ගැනීමකි. අනික් පැත්තෙන්, ඉන්දියාව නොවන දකුණු ආසියානු රටවල් ඉන්දියාවෙන් බැහැරව මුළුමනින් ම ආර්-ථිකව ස්වාධීන වන්නට ගියහොත්, ගෝලීය ප්රාග්ධන කෙන්ද්‍ර දෙකක් හමුවේ එම රටවල් අසරණ වී ආර්-ථික සංවර්ධනයට අදාළව හොම්බෙන් ගොස් හැඳිගෑවී යන්නට නියමිතව ඇත. මන්ද, දකුණු ආසියානු කලාපයේ සේ ම ලොව පවතින වෙනත් ඕනෑ ම කලාපයක රටවල් දැන් සම්බන්ධ වී පවතින්නේ ‘තනි රටක ආර්-ථිකය’ නම් තර්-කය ඉක්මවා ගිය ගෝලීය ප්රාග්ධන තර්-කයක් සමඟ ය. එයින් ගැලවී තනිව හිඳින්නට කිසිදු රටකට බැරිය. මන්ද සක්‍රීය-ක්‍රම-පද්ධතිය(Active System) යනු ම එය වන නිසයි.
මෙහිදී ඉන්දියාව අනික් සියළු දකුණු ආසියානු රටවල් අතරේ සිරි ලංකාව ගැන පියවි සිහියෙන් යුතු අවබෝධාත්මක අවධානයක් යොමු කළ යුතු ම ය. එනයින් ඉන්දීය පරිපාලනය සමඟ ලක් පරිපාලනය හෝ ලක් පරිපාලනය සමඟ ඉන්දීය පරිපාලනය හෝ අනවබෝධාත්මක වන හෝ විරසක වන හැම අවස්ථාවක ම සමස්ත දකුණු ආසියානු කලාපය ම නිරායාසීව ගෝලීය ප්රාග්ධන කෙන්ද්‍රයන් දෙකකට ඉලක්ක වූ අනාගත අනතුරකට විවෘත්ත වෙයි.
ඒ නිසා සියළු සාක් රටවල් සාක් සමුළුව ප්රති-ව්‍යුහගත කොට සහ බලාන්විත කර කලාපීය යොමුවකින් සමාන්තර විදෙස් ප්රතිපත්තියක් සාමුහිකව ප්රකාශයට පත්කළ යුතු ය. එහිදී දකුණු ආසියාවට පොදු වූ තනි මුදල් ඒකකයක් ද හඳුන්වා දීම අනිවාර කොන්දේසියකි. යුරෝපීය සංගමය යුරෝ රටවල් බහුතරයක් තනි ‘යුරෝ’ නම් මූල්‍ය ඒකකයක් යටතට ගෙන ඒමෙන් අතරමැදි වියදම් විශාල ප්රමාණයක් අවම කර ගැනීමට ද, මුල්‍යා- ආර්-ථික සංවර්ධනය සාමූහිකව සිදුකිරීම ඇරඹීම හරහා මූල්‍ය අනතුරු විශාල ප්රමාණයක් වලක්වා ගැනීමට ද කටයුතු කළහ.
ඔවුන් ගත් ඒ නිවැරදි ගෝලීය ධනෙෂ්වර තීන්දුවේ පසුබිම, සාමූහිකත්වය පිළිබඳ මහ ඉහළින් කතා කරන ජවිපෙ විසින් දත්ත කාරණා සමගින් අධ්‍යයනය කළ යුතු ම ය. ජාතික සාමූහිකත්වය ගැන පමණක් අවධානය යොමුකර කලාපීය සාමූහිකත්වය අත්හලහොත් ජවිපෙ ඉදිරියේ අත් කරගන්නට නියමිත ආණ්ඩු බලය කෙටි කාලීනව ම බිම ඇද වැටෙනවා ය. මන්ද, දැන් යුරෝපා-සංගමය තනි මුදල් ඒකකයක් භාවිතා කිරීමට පටන්ගෙන දශක 2ක් තරම් කාලයක් ගොස් ඇති බැවින්, එම වෑයම ඔවුන්ගේ කලාපය තුළ සාර්ථක කරගත් ඉතිහාසයක් පසුකොට හමාරය. දැන් අවැසි වන්නේ ඒ අත්දැකීම් සම්භාරය පාඩමක් කරගෙන, එහි උස් පහත් තැන් හදාරා දකුණු ආසියානු කලාපයට ගැලපෙන පරිදි මුදල් ප්රතිපත්තියක් සකසා ගැනීම ය.
මෙම කලාපීය මූල්‍ය සහයෝගීතාව මීට දශකයකට කලින්වත් දකුණු ආසියාව තුළ ස්ථාපිත වී තිබුණේ වී නම්, සිරි ලංකාව තුළ මෙවන් හදිසි මූල්‍ය ව්‍යසනයක් ඇතිවන්නේ නැත. මන්ද කලාපීය මූල්‍ය පද්ධතියක් (A regional financial system) පැවතීමේ දී සාක් රටවල් තුළ ප්රධාන රාජ්‍ය බැංකු පද්ධතීන් සමස්තය විනිවිදභාවයකින් යුතුව සහයෝගීව කටයුතු කරන නිසා නිරන්තරයෙන් ම කලාපයේ හැම රටක්ම අනෙක් හැම රටක ම බැංකු සහ මූල්‍යාතන අධීක්ශණය කරගැනීමට ඉඩ හසර විවෘත්ත කරගනි යි. එයින් දකුණු ආසියාවේ කිසිදු රටක් තනි රටක් ලෙස මූල්‍ය ප්රාශ්නයකට, ගැටළුවකට, අර්-බුදයකට හෝ වයසනයකට ගොදුරු වීම අවම වෙනවා ඇත.
එයින් කලාපයේ හැම රටක්ම විසින් අනෙක් හැම රටක් ම මූල්‍ය අනතුරකට යා නොදී රැක ගැනීමෙහි වගකීමට බැඳී සිටී. එළෙස ම රාජපක්ෂ පවුල කළා වැනි අත්තනෝමතික මුදල් කොල්ලකෑම් සිදු නොවී විෂය අනුව කටයුතු කරන මූල්‍ය-ආර්-ථික විනයක් (Financial discipline) කලාපය තුළ යාවත්කාලීන වේ. ඒ සියල්ලට ම වඩා ගෝලීය ආයෝජන වලදී තනි රාජ්‍යයන් ලෙස හුදෙකලා නොවූ නව කලාපීය සාමූහිතක්ව ඇරඹෙයි. තනි රටක මුදල් නොහැකියාවක් නිසා පමණක් කලාපයට ම පොදු ආයෝජනයක් පමා වන හෝ නැවතී යන තත්වයන් අවම වේ. එයින් ආර්-ථික පරාජයන් අවම වී ගෝලීයකරණය තුළ අතිරික්ත ප්රාග්ධන කාලාවකාශ ජයග්‍රහණ තිරසාර වේ.
මෙසිරි ලකේ මූල්‍ය කටයුතු ප්‍රශ්නයක සිට ගැටළුවක් කරා යත්දීත්, ගැටළුවක සිට අර්-බුදය ක් කරා යත්දීත්, අර්-බුදයක සිට ව්‍යසනයක් කරා යත්දීත් චීන පරිපාලනය එය නෑසූ කන්ව සහ නොදැක්කා සේ හිඳිමින් ගිනි පොලී කාරයෙක් වගේ අපට අසීමිතතව ණය දුන්නා මිසක, අපගේ මූල්‍ය කළමණාකාරණ පද්ධතිය අධීක්ෂණය කර අනතුර පෙරතියා වලක්වාගන්නට උදව් කරන ආසියානු කලාපීය සහෝදරත්වය දැක්වීමක් හෝ පෙරමග පෙන්වීමක් සිදු කළේ හෝ නැත.
එහිදී චීනය අප හා ගණුදෙනු කළේ අප හුදු ණය ගැණුම්කරුවෙක් ලෙස සලකා මිසක සහෝදර ආසියාතික රටක් ලෙස සලකාගෙන නොවූ බව දැන් ඔප්පු වී ඇත. එසේ නොවන්නේ නම් අපට අයි.එම්.එෆ්. ණය ලබාගැනීම වෙනුවෙන් චීනය ස්වෙච්චාවෙන් පෙනී සිට ඔවුන් දුන් ණය කන්දරාව සම්බන්ධයෙන් ලිහිල් ප්රතිපත්තියක් අනුගමනය කිරීම හෝ කළ යුතුව තිබිණි. නමුත් අපගේ ව්‍යසනය හමුවේ චීනය විසින් සිරි ලංකාවේ පරිපාලනය තනි කළේ ය.
එය සෝවියට් සමූහාණ්ඩුව ශක්තිමත්ව පැවති 1970-1977 සමයේ චීනය අප රට කෙරෙහි දැක්වූ සහෝදරත්ව ආකල්පයට ප්රතිපක්ෂ යොමුවකි. එනයින් ලොව නුතන යුගය පහවී යාමත් සමඟ නව--නූතන ධනවාදය කරලියට ඒමෙන් පසුව චීනය අප සිරි ලංකාව සම්බන්ධයෙන් හිතන පතන අකාරය වෙනස් කරගෙන ඇති බව මේ භාවිතයෙන් ම ඔප්පු වේ. ඒ නිසා චීනය අප සිරිලක් ජනතාව සම්බන්ධයෙන් මීට වඩා වෙනස් විය යුතු ය. ඒ කෙසේ වෙතත් සිරි ලකේ පරිපාලනය දකුණු ආසියානු කලාපීය ආර්-ථික සහයෝගීතාවක් කරා යා යුතු ම ය. එය සිරි ලකට මගහැර යා නොහැකි භූ-දේශපාලන- ආර්-ථික යථාර්තයකි (Geo-politico-economic reality). වසර 10,000ටත් වඩා කාලයක් පුරා ඉන්දියාව සමඟ ලක් කොදෙව්වට තිබූ ඓන්ද්‍රීය යාවජීව සම්බන්ධයේ භූ-රසායනිකත්වය (Geo-Chemistry) බැහැර කරනවාට වෙනුවට, එය ගෝලීය ආර්-ථිකය තුළ කලාපීය සංවර්ධන මෙහෙවරක් ඉටුකර ගැනීම සඳහා යොදා ගැනීම වඩා වාසිදායක වේ.
මෙය ඉන්දියාවේ හෝ ලංකාවේ ස්වෛරීත්වයට බාධාවක් යැයි දෙරටින් එක රටක් හෝ සිතන්නේ නම්, එය ගෝලීය ප්රාග්ධන කෙන්ද්‍රයන් 02ක වාසියට හේතු වනවා ඇත. කිසිදු දකුණු ආසියාතික රටක ස්වෛරීත්වයට බාදා නොවන අයුරින් සහෝදරත්වයක් ගොඩනගා ගැනීමට අවැසි පොදු-නෛතික-ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට තරම්වන රාජ්‍යතාන්ත්‍රික විෂය-නිපුනයින් ඉන්දියාව, ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලට සිටින බව නොරහසකි. බොරු අප්‍රායෝගික ජාතිකවාදයන්, ජාතිවාදයන් හෝ වරිගවාදයන් වල එල්ලෙන්නේ නැතුව, ආර්-ථිකවාදී ප්‍රායෝගිකත්වයකින් නියුතු වන කලාපීය සහයෝගීතාවක් ගොඩනගා ගැනීමට තරම් කලාපයේ අප සියළු දෙනා පරිණත විය යුතුව පවතී.
එලෙස ම ලක් රටේ ආර්-ථික අනතුර මහජනයාගේ ඇඟට දැනෙන පරිදි දොට්ට පැන්න මොහොතේ ම අපට ඉන්දියාව විසින් විගසින් තාවකාලික මූල්‍ය ආධාර ලබා දුන් බව හැබෑය. නමුත්, ඉන්දියානු රුපියල ලංකාවේ ද මුදල් ඒකකය බවට පත් කරගනිමින් අප මත මූල්‍ය අධිපතීත්වය දරන්නට මෙය අවස්ථාවක් කරගත යුතුය යන මතයක් ඇතැම් ඉන්දීය බුද්ධිමය ඉම් පෙදෙස තුළ තාවකාලික කතිකාවක් බවට පත් විය. මේ කතිකාව දැනට තාවකාලිකව යටපත්වී ඇති නමුත් සිදුවිය යුතුව පවතින්නේ අනෙකකි.
එනම් සමස්ත සාක් රටවල් එකිනෙකා මත අධිපතීත්වය යොමන්නේ නැති කලාපීය සම-අයිතීන් තහවුරුකරගත් නව-නූතන-ප්රතිපතිපත්ති (Neo-Modern Policies) සකසාගෙන මූල්‍ය ආර්-ථික සහෝදරත්වක් නිර්මාණය කරගැනීම ය. මම මේ කියන දෙය ජවිපෙ ජ්‍යෙෂ්ට සාමාජිකයන්ට සහ ඉන්දීය පරිපාලනයට ඉතා හොඳින් තේරෙන අතර, ඔවුන් සාක් කලාපය තුළ මෙබඳු නව වෙනස්කම් සිදුකරගැනීම සඳහා ඉන්දියාව ඇතුළු අනෙකුත් සියළු සාක් රටවලට සහෝදරත්වයේ දෑත දිගු කිරීමට කටයුතු කළ යුතු ය. සමස්ත සාක් රටවල්වල පරිපාලනයන් විසින් මෙකී ප්රතිපත්තිමය සාමූහිකත්වයේ අත්‍යාවශ්‍යතාව තේරුම් නොගෙන පූර්ව-ධනේෂ්වර වරිගවාදී දේශපාලනයන්ට හිස ඔසවන්නට දුනහොත්, ඉදිරි දශක දෙකක් තරම් කෙටි අනාගතයක් තුළ සියළු සාක් රටවල් හුදෙකලා ආර්-ථිකයන් බවට රූපාන්තරණය වී, තම රට වැසියන් ම ඇමෙ-යුරෝ කේන්ද්‍රයේ හෝ චීන කෙන්ද්‍රයේ ශ්රම වහලූන් බවට හෝ එම කේන්ද්‍ර දෙකේ රටවල පුරවැසිභාවය ගත් විදේශිකයින් බවට පත් කරගනු ඇත.
පාකිස්ථානයේ උතුරු-නැගෙනහිර කලාපයේ සියාල්කෝට්හි ක්‍රීඩා භාණ්ඩ සහ සම් භාණ්ඩ නෂ්පාදනය වර්ධනය කරගනිමින් නිෂ්පාදනාගාර ද විහිද පතුරුවාගන්නට පටන්ගෙන ඇත. මේ සියළු නිාෂ්පාදනාගාර මානව සම්පත යොදා ගැනීමෙහි සහ දැනුම එකතු කරගැනීමෙහිලා එක්ව කටයුතු කරන ස්වභාවයක් පෙන්නුම් කරන අතර, මේ වන විට අන්තර්ජාතික ගැණුම්කරුවන් පාකිස්ථානයේ පවතින මේ දුරස්තර ප්රදේශය කරා නිතිපතා පැමිණෙන ස්වභාවයක් ද ඇතිවී ඇත.
එසේම රටෙන් බැහැර ප්රාග්ධනය රටතුළට ගලා ඒමට සැලැස්වීම නිසා මෙය මේ ගෙවන මොහොතේ ව්‍යාපාරයක් ලෙස කෙතරම් සාර්ථකදැයි කිවහොත්, මේ වන විට එම ප්‍රදේශය තුළ නව ගුවන්තොටුපලක් සහ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් ස්ථාපිත කරගන්නට පවා පාකිස්ථානය සමත්වී ඇත. ගුවන්තොටුපල පහසුකමත් සමඟ එතෙක් දින 10ක් පමණ ගතවූ කාගෝ භාණ්ඩ ප්රවාහන කටුයත්තක් දැන් දින 4-5ක් ඇතුළත කර ගැනීමට හැකි කටයුත්තක් බවට කාර්යක්ෂම වී ඇත. එනයින් ඒ ප්රදේශයට එන ඕනෑ ම කෙනෙකුට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු පහසුකම් ඉක්මනින් සපයාගෙන සුළු නිෂ්පාදකයෙක් බවට පත්වීමට හැකියාව විවර වී ඇති අතර, එයින් මෙය පොකුරු නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙස ද විහිද පැතිරෙමින් පවතී. අනික මේ ගුවන්තොටුපල සහ ප්‍රදර්ශනාගාරය විසින් කියාපාන්නේ මෙම ව්‍යාපාරය අතිරික්ත ප්‍රාග්ධන උපයන බවයි.
තවද ලෝක ගෝලීය වෙළඳපොල තුළ වැඩි පංගුවක් නිර්මාණය කරගැනීම සඳහා වැඩි ගුණාත්මක බවක් සහිත වැඩි නිෂ්පාදන උපකරණ ප්රමාණයක් ගෙන්වා ගැනීම සඳහා ලොව බිහිවී පවතින ඉසියුම්තම නව-නූතන-තාක්ෂණ-නිෂ්පාදන-උපකරණ ආනයනය කිරීමට පවා යොමු වෙමින් පාකිස්ථාන පරිපාලනය විසින් රට ආර්-ථිකව ලෝකයට විවෘත කරමින් පවතී.
මෙහිදී මට සංකේතාත්මකව සිරි ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය කියන රටවල් 03 ඇසුරෙන් කියන්නට උවමනා වුණේ, දකුණු ආසියානු කලාපීය වෙලඳපොළ තරඟකාරීත්වය තුළ ලංකාවේ ඩෙල්මා, ඉන්දියාවේ ඩික්සන් සහ පකිස්ථානයේ සියොල්කොට් පොකුර වැනි ඕනෑ ම සමාගමක් ගෝලීය නව-නූතන-නිෂ්පාදන-උපකරණ(Neo-Modern Means of Productions) පරිහරණයට සහ ස්වීයව ම ඒවා නිෂ්පාදනය කරගැනීමට වැඩි සියයට ප්රමාණයකින් සමත් වන ලකුණු පෙන්වමින්, ගෝලීය ආර්-ථික පද්ධතිය තුළ කලාපීය බලයක් ලෙස ඉදිරි කලාපීය-සාමූහික-ආයෝජනයන්ට යොමුවීමට බලකෙරී ඇති නව ගෝලීය තත්වය ද තේරුම් ගැනීම හරහා ඊට මුහුණදීම සඳහා අදාළ වන සුදුසුකම්, නිපුනතාවන් සහ ධාරිතාවන් සැලකිය යුතු ප්රමාණයක් සපුරාගනිමින් සිටින බව යි. දැන් අඩුවකට පවකින්නේ,මේ ගෙවෙන මොහොත තෙක් අත්කරගත් සියළු ජයග්රහණ කලාපයක් ලෙස යොදාගැනීමට අවශ්‍ය දේශපාලනාර්-ථික මතවාදය, ප්රතිපත්ති සහ නීති රෙගුලාසි නිර්මාණය කරගැනීමයි.
මෙහිදී කලාපීය දේශපාලනාර්-ථික කාලාවකාශයක් නිර්මාණය කරගත හැකි වාසිදායක වටපිටාවක් මේ වන විටත් පවතින අතර, ඊට පෙරහුරු වීම සඳහා දකුණු ආසියාව තුළ ක්රියාත්මක වෙන නව-නූතන-නිෂ්පාදන උපකරණ භාවිතයට යොමුගතවෙමින් ලොව පවතින ජාතික, බහු-ජාතික සහ පාර-ජාතික සමාගම් හඳුනාගෙන තිබීම ද අනිවාර්යයක් වේ. නමුත් මා මේ ඉල්ලා සිටින කලාපීය සහයෝගීතාව කල්දමන තරමට ලොව ප්රධාන ප්රාග්ධන කේන්ද්ර 02ක විසින් කරනු ලබන ආයෝජන වේගය වැඩිවර්ධනය වීම නවතින්නේ නැත. තවද ඒ හරහා අපට කලාපීය ආයෝජන කරා යොමුවීමට ඇති කාලාවකාශයේ ප්රස්ථාරය පහල අවම අගයක් කරා ශූන්‍ය වී යාම ද නවතින්නේ ද ඇත.
විශේයෙන් ඉන්දියානු පරිපාලනය විසින් සිරි ලංකාව හෝ සිරි ලංකා පරිපාලනය විසින් ඉන්දියාව හෝ ඉදිරි ආයෝජන කටයුතුවල දී එකිනෙකා මගහැර යන ප්රතිපත්තියක් අනුගමනය කළහොත්, මේ දෙරට පමණක් නොව දකුණු ආසියානු කලාපයේ සියළු රටවල් ගෝලීය ප්රාග්ධනය ආයෝජනය කරන ප්රධාන කෙන්ද්‍ර දෙකෙහි පාර-ජාතික සමාගම්වල හුදු සෘජු වහල් ශ්රම කඳුවුරක් බවට පත්වීම දීර්ගකාලීනව ඉදිරි දශක 02ක තුළ ප්රතිඵල කරගන්නවා ඇත.
මේ අනතුරින් ගැලවීමට නම්,
1.) අධ්‍යාපන මට්ටමෙන් ඉහළ නිපුන ශ්රමික ප්රජාවක් ගොඩනගා ගැනීම,
2.) ගෝලීය සහ කලාපීය මට්ටම් තුළ ආර්-ථිකයේ චලනයන් හැදෑරීම යාවත්කාලීන කිරීමට සහ කලාපයට ගැලපෙන පරිදි සංයුක්ත කිරීමට කලාපීය බුද්ධිමය ප්‍රජාවක් නඩත්තු- කිරීම,
3.) නිෂ්පාදනය, බෙදාහැරීම සහ වෙළඳාම සම්බන්ධයෙන් ගෝලීය ගුණාත්මකතාවන් ඇතිකරගැනීමට පහසුකම් සපයන ජාතික සහ කලාපීය ප්‍රතිපත්ති සම්පාදනය කොට ස්ථාපිත කරගැනීම,
4.) නිෂ්පාදනයට ඉවහල්වන නව-සොයාගැනීම්(Neop-Innovations) සිදුකරගැනීමේ දී ජාතික තලයක පමණක් සිරවී නොසිට සියළු දකුණු ආසියානු රටවල්වල (විශේෂයෙන් සිරි ලංකාව සහ ඉන්දියාව අතර) විශේශඥ දැනුමැත්තන් සහ සමාගම් ප්රධානීන් සහයෝගයෙන් කටයුතු කිරීම අතිශයින් වැදගත් වේ. මගේ කල්පනාවේ හැටියට එය ඉන්දු-ලංකා ආර්-ථික සහෝදරත්ව කලාපයට අවශය අනිවාර්ය කොන්දේසියක් ව පවතී.
එසේ නොවන්නේ නම්, උතුරු කොරියාව වගේ වී ඇමරි-යුරෝ කෙන්ද්‍රයට හෝ චීන කේන්ද්‍රයට දේශපාලනිකව සහ මිලිටරි වශයෙන් ඉලක්ක වී විනාශ වන හුදෙකලා රටවල් බවට අප පත්වනවා ඇත. මෙහිදී ඉන්දියාව පෙර කළා සේ රුසියාව විසින් යුක්රේනය දිහා බලන ආකාරයට ලොකු අයියා කෙනකු වී ලංකාව දෙස නොබැලීමත්, ලංකාව පෙර-වියට්නාමය ඇමෙරිකාව දෙස බලන ආකාරයෙන් ඉන්දියාව කෙරෙහි අනියම් භීතිකාවකින් නොපෙලී සහොදරත්වය පෑමත් ඉතා වැදගත් වන්නේ ය.
මේ එළඹෙන ඉදිරි දශක දෙක තුළ කවුරුත් අයියා වෙන්න හදන්නේ නැතුව, ඉන්දියාණු මහා ආණ්ඩුවේ දිල්ලි පරිපාලනය සහ ලංකාවේ කොළඹ ආණ්ඩුවේ පරිපාලනය අතර ගැඹුරු අව්‍යාජ අවංක සම-සහෝදරත්වයක් ගොඩනගා නොගතහොත්, මේ දෙරටට පමණක් නොව සමස්ත දකුණු ආසියානු කලාපයට ම ස්වීය වූ ස්ථාවර නව-නූතන-ධනේෂ්වර-සමාජ-සැකැස්මක්(Sustainable Neo-Modern Capitalist Social Formation) ඇතිකරගැනීමට ඇති අවසන් අවස්ථාව ද ඇනහිට හෝ පමා වී, දකුණු ආසියානු කලාපයේ ම අනාගතය අඳුරු ඉමක් කරා පියමන් කරන්නට හේතු විය හැකියි.
- අරගලයේ සැබෑ ධනෙෂ්වර අරමුණ
මෑතක දී සිරි ලංකාවේ ආදරයේ අරගලය හෝ නිර්පාක්ෂික අරගලය නමින් ඇරඹී දැන් නැවත පෙර පරිදි ම පක්ෂ කිහිපයකට කැඞී ගොස් පක්ෂග්රාහී වී ඇති අරගලය නම් ජන නැගිටීම හරහා ලාංකේය ජන සංහතියට සාක්ෂාත් කර ගැනීමට අවැසිව තිබුණේ අවම තරමින් ගෝත්‍රික උවමනාවක් ද, වැඩවසම් උවමනාවක් ද, ධනේෂ්වර උවමනාවක් ද නැතහොත් සමාජවාදී උවමනාවක් ද කියන එක අප පැහැදිලි කරගත යුතු ම ය. අවම තරමින් මෙන්න මේ උවමනාවන් පන්නයන්ගෙන් කුමන එකක් හෝ ඒවා කිහිපයක කැබලි මිශ්‍රණයක් හෝ ඒවා නොවන වෙනස් ම උවමනා පන්නයක් හෝ දැයි කියා අප සැකහැර දැනගත යුතු ම ය.
අප කවුරුත් දන්නා තරමින් මේ අරගලය ලක් පොළවට බැස්සේ කිසිදු පක්ෂයක්, සංවිධානයක් හෝ සමිතියක් නියෝජනය නොකර ය. මුළදී, ඒ වන විටත් පොළවේ පැලපදියම් වී තිබූ පක්ෂ, සංවිධාන සහ සමිති ඊට සහභාගී නොවී එය නරඹන උදවිය බවට පත්විය. පසුව කෙමෙන් කෙමෙන් පොළවේ පවතින පක්ෂ, සංවිධාන, සමිති සහ අයාලකාමී රැලවල් මේ නිර්පාක්ෂික ආදරයේ අරගලයට එකිනෙකට වෙනස් අරමුණු සහ සටන් පාඨ එන්නත් කරන්නට පටන් ගත්තේ ය.
නමුත් ඇත්තට ම මේ අරගලය පොළවෙන් ස්වයංජාත වූ අරගලයක් නොව සයිබර් අහසින් පොළවට පාත් වූ සැටලයිට් තාක්ෂණයට, ස්මාට් ෆෝන් තාක්ෂණයට, සමස්ත අන්තර්ජාල තාක්ෂණයට සහ ඒවායේ නියාමකයින් වන අකාබනික ඇල්ගෝ-රිදමයන්ට යටත්ව පොලවට බට අරගලයකි. අහසින් පොළවට බට පමණින් පොළවේ යථාර්තයෙන් කොටසක් හෝ නියෝජනය නොකරන්නේ නම්, එය ස්වභාවිකව ම ඩිලීට් වී යනවා ඇත. එහෙත් එය ලක් පොළවේ පක්ෂ, සංවිධාන හෝ සමිති ඉල්ලා සිටින සංකීර්ණ ඉල්ලීම් හා බැඳුනක් නොවීය. සරලව ඊට තිබුණේ පහළ මධ්‍යම පංතියෙන් උඩට දිවෙන මූලික මිනිස් අවශ්‍යතා කිහිපයක නිරායාසී දෛනික සැපයුම් හිදිසියේ ම වාගේ හිඟවී සිඳී යාම පිළිබඳ ගැටළුවක් පමණි. ඒ කියන්නේ, තෙල් නැතිවීම, විදුලිය නැතිවීම, ගෑස් හිඟය, ආහාර හිඟය, බෙහෙත් හිඟය වැනි සාමාන්‍ය අවශ්‍යතා කිහිපයක් පමණි. ඒ කියන්නේ එය, සරල ධනේෂ්වර සමාජයක පවතින මූලික පහසුකම් ටිකක් අහිමිවීම පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඒවා යන්තමින් හෝ විසඳුන සැනින් අරගල භූමිය හදිසියේ මැස්සො ඇහිරෙන තරම් හුදෙකලා වුයේ ඒ නිසා ය.
එනම් ජනාධිපති ක්රමය අහෝසි කිරීම, 13 වැනි, 19 වැනි, 20 වැනි හෝ 21වැනි ව්‍යවස්ථා සංශෝධන, සිස්ටම් චේන්ජ්, අධිකරණය ස්වාධීන කරගැනීම, මහ බැංකුවේ මූල්‍ය කළමණාකරණය යථාවත් කිරීම, මූල්‍ය භාණ්ඩාගාරය ඩොලර්වලින් පොහොසත් කිරීම වැනි මෙකී නොකී විෂයානුබද්ධ සටන් පාඨ පසුකාලීනව පොළවේ පක්ෂ, සංවිධාන සහ සමිති විසින් ඊට එන්නත් කරුනු ලැබූ ඒවා ය. මුළින් ම අහසින් අරගලය පොළවට පත බෑවූ පැතුම් කර්නර් ඇතුළු සයිබර් තරුණ කල්ලියට නිෂ්චිත දේශපාලනාර්-ථික මතවාදයක් හෝ සංවිධානයක් නොතිබුණේ ය.
නමුත් එක්තරා අවාසනාවන්ත 09වෙනිදාවක අරලියගහ මන්දිරයේ මහින්ද හමුවූ පොහොට්ටු පාක්ෂික පිරිසක් හදිසියේ මැරයන් පිරිසක් බවට රූපාන්තරණය වී නිර්පාක්ෂික ආදරයේ අරගලයට පහර දෙන තුරු මෙකී බරපතල සටන් පාඨ එන්නත් කිරීමට ජවිපෙයවත් ඔය අරගලය තුළට වැද්දගත්තේ නැත. ඔුවන්ටත් අරගලයට තම සහය පෙන්වීම සඳහා වෙනත් පාරවල් වලින් ගොස් උද්ඝෝෂන පවත්වන්නට සිද්ධ විය. පෙරටුගාමී පක්ෂය අරගලය ඇතුළේ සිටියේ හොරාට ය. ඊට අමතරව අනෙකුත් සියළු පක්ෂවල කැබලිති ද, දෙමල ඩයස්පෝරාව සහ සිංහල බෞද්ධ කල්ලි ද, සිංහල ක්‍රිස්තියානි සංවිධාන ද තම සංවිධාන වල පාක්ෂික නම් ගම් අමතක කරමින් අරගලයට ජනයා එකතු කරදී එය තාවකාලිකව නිර්පාක්ෂික විය, ආදරවන්ත විය.
ඒ නිසා මහින්දවාදීන් කළ ප්‍රහාරයෙන් පසුව මේ අරගලය එක රැයකින් සාමකාමී, නිර්පාක්ෂික සහ ආදරයේ තත්වයෙන් ගිලිහී හදිසියේ ප්‍රතිප්‍රහාර එල්ල කර මැරයින් ද නිරුවත් කරන සහ බේරෙ වැවේ ගිල්වන, ගෙවල්ගිනි තියන, නෛතික ජන නියෝජිතයින් බිම දිගේ ඇදගෙන ගොස් මරා දමන ආකාරයේ ගොත්රික ජානය ඉස්මතු කරගත් අමුතුම ගැමි අරගලයක් බවට තම වෙස් මාරු කරගත්තේ ය. එයින් හැබෑවට ම නිර්පාක්ෂික, සාමකාමී සහ ආදරයේ අරගලයක් පැතූ අගනාගරික සුළුතරයකට අයත් පිරිස් මෙම අරගලය තමන්ට පාලනය කරගත නොහැකි ඉමක පවතින බව වටහාගන්නට සිදුවිය.
මහින්ද බලයට පත්වූ දා පටන් සිරි ලංකාව අසමබර කරවන රට මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය නම්, නගරයට ගම පාලනය කරගන්නට බැරි තත්වයක් උදාවීම ය. ඕනෑම රටක ග්‍රාම්‍ය ගැමියෙක් නගරයට පදිංචියට එන විට ඊට පුහුණුවක් ලැබිය යුතු ය. එම විනය කොලනිවාදීන් ලක පාලනය කරන කාලය තෙක් ම පැවතී පසුව 1956යේ සිංහල ඔන්ලි නැමති වරිගවාදී පනත ව්‍යවස්ථානුකූල කිරීමත් සමඟ අර්-බුදයට ගියේ ය.
රාජපක්ෂ පාලන කාලයේ දී එම අර්-බුදය ව්‍යසනයක් කරා ගෙන ගිය අතර, ගැමියන් නාගරිකයින් පාලනය කරමින් නගර ගම් බවට පත් කරන විකෘතියක් ඇති විය. මෙය රජ කාලේවත් නොතිබුණ ගොන් පාට් එකකි. ඒ නිසා ”ගම හදා රට හදමු”කියන සංකල්පය ම ධනේෂ්වර විරෝධී වූ පූර්ව-ධනේෂ්වර බණ්ඩාරනායකවාදී අටමගලයකි. රටක් දියුණු කිරීමට නම් ග්‍රාම්‍ය බව ඉක්මවා ගිය දියුණු නාගරික නායකත්වයක් බිහිවිය යුතු ම ය. නමුත් මහින්දගේ කාලයේ රට ගමක් බවට පත්වූ අතර, මහින්ද එහි ගම්මුලාදෑනියා වී අවසානයේ රජ විය.
රාජපක්ෂලා කූටප්‍රාප්තියට පත් කරගත් චන්ද 69ලක්ෂය මේ වන විට ජවිපෙ විසින් දිනාගනිමින් සිටීම උපායික තලයේ දී රනිල් වුවත් කරන්නට මැලි නොවූ සාධනීය යොමුවක් වුව ද, ඒ 69ලක්ෂය නියෝජනය කරන බහුතර ගැමියන්ව නාගරික ගති ලක්ෂණ වලින් හෙබි පෞර්ෂයන් බවට පත් කොට නව-නූතන ධනේෂවර සංවර්ධනයෙහි යොදා ගන්නවා හැරුනුකොට, ඒ ගැමියන්ගේ ගැමි හරයන් නාගරිකත්වය ඉක්මවා ඔසවා තබන බණ්ඩාරනායකවාදී වරිග ප්‍රතිපත්තයේ අවතාරයට අවිඥානකව හෝ හසු වුවහොත්, ගෝලීය ධනවාදය තුළින් අතිරික්තයක් සොයා ගැනීම කෙසේ වෙතත් ජාතික තලය තුළ ම මායාවකට ගොදුරුවී ගෝලීයව හුදෙකලා වනු ඇත. දැන් රනිල්ට සිදුව ඇත්තේ එය යි. නාගරික රනිල්ට එසේ වූයේ වී නම්, ගැමි ග්‍රාම්‍ය ගති ඉස්මතු වුවහොත් අනුර කුමාරට ද එය සිදුවිය හැකි ය.
නමුත් අපට අරගලය විසුරුවාහැරීමත් සමඟ එයින් කුමන පාර්ශවයන් අගතියට පත්වූයේ ද, කුමන පාර්ශවයන් ඵල නෙලාගත්තේ ද යන්න අපට විනිවිදව පෙන්නට තිබේ. දැනට ඇහැට කණට පේන සාධක දත්ත තොරතුරු අනුව නම් මේ අරගලය නිසා පැතුම් කර්න ප්රමුඛ ආරම්භක පාර්-ශවය අගතියට පත්ව සහ රනිල්-රාජපක්ෂ ආණ්ඩුවට මුක්කුවක් ද ගසා බලූ වී ඇති අතර, ඒකිනෙකට වෙනස් ලක් කොදෙව් පාර්ශව 02ක් දෙයාකාරව ඵල නෙලාගත්තෝ ය.
- ඉන් එක් පාර්ශවයක් නම්, යූඇන්පිය පක්ෂ ව්‍යූහයක් ලෙස මකබෑවූ රනිල්-සාගල නම් අශිෂ්ට ගජමිතුරුවාදයට යටත් රනිල්-රාජපක්ෂ ජුන්ටාව යි.
- අනෙක් පාර්ශවය නම්, සංයුක්ත විනය රාමුවක පවතින සමාජවාදී යැයි කියාගන්නා ජවිපෙ පක්ෂ යාන්ත්‍රනය සහ එය අහලකින් අටවගත් ගෝත්‍රික ද, වැඩවසම්ද, ධනේෂවර ද, සමාජවාදී ද කියා හෝ වෙනයම් විදිහක එකක් ද කියා හෝ තවම සමාජවිදාත්මක කැටගරි එකක් තුළ තම නාමකරණය ප්‍රකාශයට පත් නොකරගන්නා ”ජාතික ජන බලවේගය” නැමති බහුජන සංවිධානය යි.
මෙහිදී රනිල්ගේ ජුන්ටාව නම්, එජාපයට ආවේනික මූලික නූතන ධනේෂ්වර ආර්-ථිකවාදී හරයෙන් බිඳී ගිය, බණ්ඩාරනායකගේ සිංහල ඔන්ලි ජාතිකවාදයට වගකියන සහ එය අන්තවාදයක් කරා ගෙන ගිය ශ්‍රිලනිපයේ මකර පැටියෙක් වූ පොහොට්ටුව ඝෝඨා නැමති පිටස්තරයා සමඟ එකතුවීම නිසා බිහිකරගත් 69ලක්ෂයක ඡන්ද ප්‍රමාණය ස්ථාවර සහ ස්ථිතික චන්ද පදනමක් ය කියන මානසික උගුලට හසුවී හිඳිමින්, එම 69ලක්ෂය හා එක්වී එළඹෙන ජනපතිවරණයේ දී දෙවන වරටත් රනිල්ව ජනපති කරගැනීමට හැකි යැයි සිතන අප්‍රායෝගික මායාමතික සිහින දකින්නෝ ය.
මීට ප්‍රතිපක්ෂව ජාතික ජන බලවේගය විසින් අරගලයේ නාමය සහ එකී ජන නැගීටීම නැමති සිදුවීමේ ආශ්වාදය නිසා ජනයා අතර ගොඩනැගී ඇති මාකට් වැලිව් එකට වහන් වී දෙයාකාර උපාය මාර්ගයකට පිවිස ඇත.
- ඡන්දය ලබාගැනීමේ දී අරගලය, දූෂිත පාලනය සහ රාජපක්ෂලාගේ පාවාදීම මත පිහිටා යට කී 69ලක්ෂයෙන් සැලකිය යුතු කොටසක් තමන් වෙත කඩාගැනීම උදෙසා එක පැත්තකින් පාවාදෙන යූඇන්පීකාරයා සහ පාවාදුන් ශ්‍රිලනිපකාරයාට දත්ත කරුණු සහිතව මතවාදීව පහර දෙන අතර ම, අනෙක් පැත්තෙන් අවංක යූඇන්පීකාරයා සහ අවංක ශ්‍රිලනිපකාරයාට ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නටැයි කියා ආරාධනා කරයි. මෙහිදී ‘අවංක යූඇන්පීකාරයා’ යන්න නාමිකව ඔහේ කියා දමන්නක් වන අතර, ‘අවංක ශ්‍රිලනිපකාරයා’ වෙත ජාතික ජන බලවේගය වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන්නට ඇත.
එනයින් ජවිපෙ ඇතුළු ජාතික ජන බලවේගය ද ශ්රීලනිපයේ පැටියෙක් වූ පොහොට්ටුව ඝෝඨාභය නැමති පිටස්තරයා සමඟ දිනාගත් ග්රාමීය සිංහල බෞද්ධ පදන මින් වැඩි කොටසක් නියෝජනය කරන 69ලක්ෂය පික් පොකට් ගසා ගැනීම සඳහා වේගයෙන් ක්රියාන්විත වෙමින් පවතී. (මෙය එක්තරා ආකාරයක වැඩවසම් හෝ පූර්ව-ධනෙෂ්වර ජන ගතිකයක් උපායිකව ධනේෂ්වර සංවර්ධනයක් සඳහා යොදාගන්නට කරන උත්සහයක් වන අතර, ධනේෂ්වර සංවර්ධනය නැමති ක්රිකාරීත්වයට අනුව එය ප්රගතිශීලී වේ.)
ජවිපෙ සහ සමාජවාදය
1.මෙවැනි උත්සහයන් ලෙනින්ගේ සමස්ත ව්‍යාපෘතිය තුළ ද වෙනත් ආකාරයකින් පැවති නමුත්, එයින් ගැමි ගොවියෙකුගේ පුතෙකු වූ ස්ටාලින් පක්ෂය තුළට වද්දා ගැනීමට සිදුවීම නිසා එය දුරදිග ගොස්, පසුව නාගරික ඉහළ මධ්‍යම-පංතිකයෙකු වූ ට්රොට්ස්කි නැමති ජාත්‍යන්තරවාදියා මරා දමා රුසියානු බොල්ෂෙවික් පක්ෂය ගැමි අන්තවාදයක් කරා මෙහෙයවෙන තත්වයක් අත්කරගත්තේ ය. නමුත් මෙහිදී අනුර කුමාර ලෙනින් සේ අකලට මිය නොගිය අතර, අවශ්‍ය නම් ලෙනින්ට වඩා තීව්ර වූ උපායක් යොදා ගැනීමේ කාලාවකාශයක් ද පවතී.
(ප්රශ්නය හටගන්නේ අනුර කුමාර ම පක්ෂය තුළ ස්ටැලින් වුවහොත් හෝ පක්ෂය තුළ වෙනත් ස්ටැලින්කෙනෙක් හිස එසවුවහොත්ය. මන්ද මේ වන විටත් ජවිපෙ පක්ෂ යන්ත‍්‍රය විසින් මතවාදී තලයේ ස්ටැලින්ටත් වඩා අන්තවාදී විමල් වීරවංශ වැනි වරිගවාදී නන්තාරවාදියෙක් බිහිකර ඇති අතර ඔහු විසින් ලයනල් බෝපගේවත් නොකළ පන්නයේ කරුණා අම්මාන් ආකාරයේ දැවැන්තම පාවාදීම සිදුකොට අවසන් ය.)
2. තමන් ගෝඨා හෝ මහින්ද හෝ රනිල් කරන ආකාරයෙන් වෙනස්ව කරන්නට බලාපොරොත්තු වන දේ ලෙස අනුර කුමාර දිසානායක ගෙනහැර පාන්නේ, මහින්ද-ඝෝඨා-රනිල් විසින් කළ අසාර්ථක සහ අසම්පූර්ණ පුද්ගලිකකරණ ව්‍යපෘති ඊට වඩා අවංක, සාධාරණ, නීතියානුකූල සහ ක්රමෙවේදානුකූලව කරන බව පැවසීම ය. ඉදින් මෙය පැහැදිලිව ම නූතන ධනේෂ්වර ව්‍යාපෘතියකි (Modern Capitalist Project).
එනම් පූර්ව-ධනේෂවර චන්ද බහුල 69ලක්ෂයේ චන්ද දිනාගෙන නූතන ධනේෂ්වර දේශපාලනාර්-ථික පද්ධතියක් සහිත සමාජ සැකැස්මක් බිහිකර ගැනීමට කරන අවංක වෑයමකි. නමුත් අනුර කුමාර අවබෝධ කරගත යුතු ලෝක යථාර්තයක් පවතී.
එනම්, දැන් ලොව පවතින්නේ කාර්-මික විප්ලවයේ විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වූ නිෂ්පාදන උපකරණ වලින් දුවන නූතනවාදී ක්රම-පද්ධතියක් (Modern System) ලෙසින් නොවන වගය. දැන් පවතින්නේ පරිගනක ඩිජිටල් තාක්ෂණය සහ නැනෝ-තාක්ෂණය මුල් කරගෙන බිහිවූ සැටලයිට් තාක්ෂණය සහ රොබෝටික් තාක්ෂණය පදනම් කරගත් නව-නූතන-නිෂ්පාදන-උපකරණ වලින් දුවන මේ වන විට ඇල්ගෝ-රිදමික ආධිපතයයට ද යටත් නව-නූතන ක්රම-පද්ධතියක්(Neo-Modern System) වන වග ය.
ගෝඨා නූගත් වූයේ මෙන්න මේ නව-නූතන ක්රම-පද්ධතියෙන් ව්‍යුත්පන්න කරන අදාළ මූල්‍යාර්-ථික තත්වය හඳුනාගැනීම සම්බන්ධයෙනි. ඔබත් ඒ නූගත්කම ම නඩත්තු කරන්නේ වී නම් හෝ නව-නූතන නිෂ්පාදන උපකරණ නිසා නව-නූතන ආර්-ථික ක්‍රම පද්ධතියකට මුහුණ දීමේ අභියෝගයක් පවතින බව නොපිළිගෙන කටයුතු කරන්නේ වී නම්, ඉක්මනින් හෝ පසුවී ඔබට ද ගෝඨාට අත් වූ ඉරණම ම අත්වනු ඇත. ඒ නිසා ඔබ එක පසෙකින් පක්ෂ යන්ත්රය තුළ ප්රාග්ධනය ගෝලීයකරණය වීම නිසා බිහිවී පවතින නව-නූතන තත්වය ඉලක්ක කරගත් සංවාදයක් ඇරඹිය යුතු ම ය. අනෙක් පැත්තෙන්, ගෝලීය වෙළඳපොලට නව-නූතන-නිෂ්පාදන නිකුත් කිරීම සඳහා කලාපීය-ආර්-ථික-සහයෝගීතා-ක්‍රම-පද්ධතියක් (A regional cooperative economic system) වේගයෙන් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු පරිපාලනය වෙත රාජ්‍යතාන්ත්රික සහෝදරත්වයේ දෑත් දිගු කර සාකච්ඡා ඇරඹිය යුතුය.
දැනට ඊට හේතු සාධක මම උපායිකව ප්‍රසිද්ධ ලිපියකින් ලියන්නට නොයමි. නුමත් නව-නූතන දේශපාලනාර්-ථික තත්වයක් තුළ ”කළ යුත්තේ කුමක්ද?” යන පැනයට මම ඉහත දැක්වූ දකුණු ආසියානු කලාපීය ආයෝජන සහයෝගීතාවක අවැසිතාව පිළිබඳ මේ ලිපිය මුල් කොටසේ දී කළ විස්තරකථනය ආධාරයෙන් ඔබට මග පෙන්වීමක් කර ඇත. මෙහිදී මෑතක දී අරගලය යන නමින් ලංකාව තුළ සිදු වූ අති දැවන්ත ජන නැගිටීම තුළින් ජනයා අවිඥානිකව ඉල්ලූ ධනේෂ්වර වෙනස නව-නූතන-ධනේෂවර-වෙනසක් ( Neo-Modern Capitalist Change) මිසක නූතන-ධනේෂවර-වෙනසක් (Modern Capitalist Change) නොවන බව නිෂ්පාදන උපකරණ අතර වෙනස තේරුම් ගැනීම හරහා ඔබ ඉක්මනින් හඳුනා අවබෝධය කරගත යුතුව ඇත.
රටේ නාගරික ජනයා (විශේෂයෙන් ඉසෙඞ් පරපුරේ තරුණයින්) ඒ අවිඥානිකව ඉල්ලා සිටියේ නව-නූතන ධනේෂ්වර වෙනසක් වූ බැවින් එය ඉටු කිරීමෙහිලා වඩාත් සුදුසුම පක්ෂය එජාපය බවත්, වඩා සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඇමරි-යුරෝ ගෝලීය කෙන්ද්‍රයේ මතය විය. නමුත් ඇමෙරි-යුරෝ කේන්ද්‍රය බලාපොරොත්තු වන නව-නූතන පරිවර්තනය කිරීමට අවශ්‍ය ජාතික-පක්ෂ-ව්‍යුහයක්වත් ගොඩනගා ගැනීමට රනිල් ජනපති වූ පසුගිය වසරක කාලය තුළදී එජාපය සමඟ රනිල් අසමත්ව ඇත.
ඉදින් ඒ වෙනුවට නව-නූතනය කෙසේ වෙතත් අවම තරමින් නූතන මට්ටමින් හෝ දෛනිකව නඩත්තු කරන සාසාර්-ථක පක්ෂ යන්ත්රයක් ඇත්තේ කොහිදැයි කියා ඇමෙරි-යුරෝ ගෝලීය ප්රාග්ධන කෙන්ද්‍රයේ අවධානය යොමු වී ඇත. එහිදී ලංකාවේ ඊළඟ ධනේෂ්වර සංවර්ධන අවධිය පිරවීමට ජනතා විමුක්ති පෙරමුණ දෙසට ගෝලීය සහ කලාපීය අවධානයත් ප්රසාදයත් හිමි වෙමින් පවතී. ජනතාවද ජවිපෙ දිසාවට ඇදෙමින්පවතින බව බුද්ධි අංශ වාර්තාලැබී ඇති බවට සැල යි.
ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් සමාජවාදී ප්රතිපත්ති අනුගමනය කරන පක්ෂ යන්ත්‍රයක් වූ බැවින් පෙර-වැඩවසම් සහ වැඩවසම් ව්‍යුහවලට එරෙහි ධනේෂ්වර සංවර්ධන කටයුතු එජාපයට සිදුකරන්නට දී සුදුසු මොහොත එන තෙක් කල්බලන තත්වයක පසුවිය. නමුත් පසුගිය දශක එකහමාරක් පුරා රනිල් වික්රමසිංහගේ නායකත්වය යටතේ එජාපය ශක්තිමත් නව-නූතන ධනේෂවර පක්ෂයක් ලෙස ස්ථාවර නොවී කැබිලිතිකරණයකට ගොදුරු විය. නායක රනිල් තම පක්ෂයේ සිටින පුද්ගලික සබඳකම් ඇති අය සමඟ ගජමිතුරුවාදයන් ද, ජාතිකවාදී සහ රාජපක්ෂවාදී පොහොට්ටුව සමඟ අජනප්රියවාදී රහස් මිතුරු ප්‍රතිපත්තියක් ද අනුගමනය කිරීම තුළ, එජාපය ස්ථාවර ධනේෂ්වර පක්ෂ යන්ත්‍රයක් නැති ව හිස් උදාසීන අවකාශයක් බවට පත්විය. රනිල් අවිඥානිකව එජාප විරෝධියෙක් බවට පත්විය.
එයින් රනිල් සහ එජාපය පමණක් නොව සිරි ලංකාවට නව-නූතන ධනවාදය කැන්දාගෙන ඒමේ ව්‍යාපෘතිය ද මුළුමනින් වාතයක්වී ආර්-ථික විරෝධී වරිගවාදය හා සම්බන්ධ ජාතිවාදයකට පිස්සු කෙලින්නට මගපෑදුනේ ය. ඒ අවකාශය තුළ පූර්ව-ධනේෂ්වර මුදලාලි පන්තියක මංකොල්ලකාර ප්රතිපත්තියක් පවත්වාගෙන ගිය රාජපක්ෂ මැදමුලන වරිගය රටේ සියළු ධනේෂ්වර ව්‍යුහ බිඳ දමා රට ලොවට ණය කර, ආදායම් බිඳ වැටුණු පසු තියෙන දේපල ටිකත් විකුණාගෙන කුඩු බොන කුඩුකාරයෙකුගේ තත්වයට රාජ්‍ය ව්‍යුහය පත්කළේ ය. මීට එරෙහිව ධනේෂ්වරවාදී විනය කරලියට ගෙනැවිත් චන්ද ජයග්රහණයන් වෙත යනවා වෙනුවට වරිගවාදීන් හා සංධානයට යාම ද, පක්ෂ සංවර්ධනය අඩාල කිරීම ද තම භාවිතය කරගත් රනිල් එක්සත් ජාතික පක්ෂයට හිමි නූතනවාදී අනන්‍යතාව බිඳ දැමුවේ ය.
මෙය ජේ.ආර්, ලලිත් ඇතුළත් මුදලි හෝ ගාමිණී දිසානායක එජාපයේ නායකයාව සිටියා නම් සිදු නොවන දේවල් ය. ජනාධිපති වීමට ලැබුණු අවස්ථාව යොදාගෙන යූඇන්පී පක්ෂය යලි ගොඩනගාගෙන කෙමෙන් චන්දවලට මුහුණ දී පක්ෂ යන්ත්රය ශක්තිමත් කරගෙන මැදමුලනයට කොකා පෙන්වනවා වෙනුවට, පක්ෂ යන්ත්රය ගොඩනගා දෙන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත්වන උදවිය ද සාගල රත්නායක නැමති පක්ෂ කාබාසිනියා කරන වලව්වාදී ගැමි කළු-කුහරයට භාර දී පන්නා දමා රනිල් තම පුද්ගලික සහ සමාජ අනන්‍යතා දෙක පටලවාගෙන බලය රැකගැනීමට නොහැකි වන අනතුරකට විවෘත්ත වී සිටී. එනිසා රනිල්ගේ ජනාධිපති පදවියේ වටිනාකම ඉදිරි මැතිවරණවලදී පිරිහීමට නියමිත බව ගෝලීය කේන්ද්‍රයේ විශ්ලේෂණ යන්ත්රයන් වන ඇල්ගෝ-රිදමයන් විසින් ද පෙර දැක ඇත.
ජවිපෙට මගැහැරී යා නොයුතු තැන
මෙයින් ජනතා විමුක්ති පෙරමුණට රනිල්ගේ ධනේෂ්වර වගකීමෙහි කොටසට ද උර දෙන්නට සිදුවී පවතී. එක අතකින් රනිල්-සාගල-බැසිල්-වජිර අවිඥානිකව ජනතා විමුක්ති පෙරමුණට වාසිදායක දේශපාලන අවකාශයක් නිමවා දී ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ද පෙර තියා ම ජාතික ජන බලවේගය නමින් අර්ධ-ධනේෂ්වර බහුජන ව්‍යාපරයක් ගොඩනගාගෙන සිටීම නිසා තමන්ට වඩාත් වාසිදායක වන චන්ද යන්ත්රයක් කරලියට ගෙන ගෙන ඒමේ කටුයුත්ත ද ඉටුකරගෙන ඇත. නමුත් මගේ කල්පනාවේ හැටියට නම්, මොන ජයග්‍රහණයත් දිනාගත හැකි සහ කල් පවත්වාගත හැකි එකක් වන්නේ, ඉන්දීය පරිපාලනය සමඟ ඇතිකරගන්නා සාධාරණ ආර්-ථික ආයෝජන-සහයෝගීතාවක් සම්බන්ධයෙන් සම්මුතිගත වීම මතය.
ජවිපෙය මෙකී කලාපීය සහයෝගීතා උපකාරය මගහැර යන්නේ වී නම්, හදිසියේ කඩාපාත් වන උල්කාපාතයක් වන් දේශපාලන කුමන්ත්රණයක් විසින් සියළු ජයග්‍රහණ දොන්ත පතං වී බිමට ඇදවැටී හූල්ලන්නට වෙන තත්වයක් උදා වෙනවා ඇත. රනිල් හදිසියේ ජනපති වූ වෙලාවේ වගේ රනිල්ට යි රාජපක්ෂලාටයි බැන බැන යන්නට වූ නිර්පාක්ෂික අරගලකරුවන්ගේ තත්වයට නැවත වරක් අනුර කුමාර ද පත් නොවුනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!
මේ බව පෙරතියා දැන හෝ නොදැන ජනතා විමුක්ති පෙරමුණ ද තම සමාජවාදී රාමුවෙන් ඔබ්බට ගොස් ජාතික ජනබලවේගය බඳු අඩක්-ලිබරල්වාදී බහුජන ව්‍යාපාරයක් ලෙස කරලියට ඒමත් සමඟ තම සමාජවාදී ඉල්ලක්ක ඉටු කර ගැනීමට ප්රථම සාර්ථක ධනේෂ්වර පද්ධතියක් බිහි කිරීමේ යූ ඇන්පියේ වගකීම ද තම කරට ගෙන ඇති බවක් ඇමෙරි-යුරෝ කේන්ද්‍රයේ රටවල් විසින් ද පෙර දැක ඇත. විශේෂයෙන් ඇමෙරි-යුරෝ ප්රාග්ධන තර්කය දකුණු ආසියාව තුළ ක්රියාන්විත කිරීමේ බලය හිමි ප්රධාන ගෝලීය නියොජිතභාවය දිනා සිටින ඉන්දියාවේ ප්රසාදය ද ජනතා විමුක්ති පෙරමුණ වෙත ලැබෙමින් පවතී. රට ඇතුළේ දේශපාලනයට පන දාගෙන කටුයුතු කරන ගමන් මෙකී වාසිදායක ගෝලීය සහ කලාපීය තත්වයන් ද කළමනාකරණය කර ගැනීමට තරම් ජවිපෙය සූක්ෂ්ම විය යුතු ය.
සමාජවාදී පක්ෂයක් ධනේෂ්වරය සමඟ කරන උපායික මෙහෙයුම්
ඊළඟට සමහරුන්ගේ හිතට එන්නේ, සමාජවාදී පක්ෂයකට ධනවාදී පක්ෂයක වගකීම කරට ගතහැකි ද යන වාද-විෂය යි. වැඩවසම් සහ පූර්ව-වැඩවසම් ව්‍යුහ (පූර්ව-ධනේෂ්වර ව්‍යුහ) බිඳ දමා ධනේෂ්වර ව්‍යුහ ගෙන ඒම සහ ඊට අදාළ ව්‍යූහ හඳුන්වාදීම සමාජ සංවර්ධනයේ කොටසක් බව මීට පෙර බොල්ෂෙවික් පක්ෂයේ ලෙනින් ලියූ න්‍යායික ලිපි සහ කර ඇති ගණු දෙනු පිරික්සීමේ දී සොයාගත හැකිවනු ඇති.
ඒ විතරක් නොව සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන්නටත් ප්‍රථම, එහි බිඳ වැටීම පෙර තියා දුටු චීන කොමියුනිස්ට් පක්ෂය 1978දී එරට එකල නායක ඩෙන් ෂියා ඕ පෙන්ග් හරහා තම රටට ප්‍රතිපත්තිගරුක විවෘත ආර්-ථික ප්‍රතිපත්තියක් හඳුන්වාදී ක්‍රියාවට නැංවීම හරහා සිදු කළේ ද එබඳුම වූ තවත් පූර්ව-සමාජවාදී අභ්‍යාසයකි. ඒ නිසා තමන්ගේ පිහිටි බිමෙහි ඇති පූර්ව ධනේෂවර ව්‍යුහ බිඳ දැමීමෙහි ලා ධනේෂවර උපායික භාවිතයන් වෙත යාමට සමාජවාදී පක්ෂයකට කාගේවත් අවසර අවශ්‍ය වන්නේ නැති බව නූතන සාමජවාදීන් තුළ පවා ඔප්පු කොට ඇත. ඒ නිසා මෙහිදී නිවැරදි ඓතිහාසික මොහොත එනතෙක් ධනේෂ්වර සංවර්ධනයේ වගකීමෙන් කොටසක් ද තමන් කරපිට පටවා ගැනීමට තරම් වගකීම්සහගත වූ ලෙනින්, ඩෙන්ෂියා ඕ පෙන්ග් වැනි නායකයින්ට සේම ඔවුන්ගේ පක්ෂ යන්ත්රයන්ට අපි ගෞරවය පුද කළ යුතු ය. එළෙස ම ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නැමති ජවිපෙ පක්ෂ කේන්ද්‍රය වටා පවතින නව-ව්‍යුහයක් පිහිටුවා ගැනීම හරහා එකී වගකීම කරට ගැනීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සහ එහි පක්ෂ යන්ත්රයට ද එතරම් ම ගෞරවයක් හිමිවිය යුතු ය.
යූඇන්පිය නැතිකලක සජබෙ නම් කණයාගේ නූගත්කම
දැන් මේ ධනේෂවර වෙනස කරන්නට එජාපයෙන් කැඞී ගිය “ගම හදා රට හදන” බණ්ඩාරණායකවාදී කෑල්ල වන සමගි-ජන-බලවේගයට පුළුවන් නේද කියා සමහරුන් අතර කුකුසක් ඇතිවී ඇත. අපි ඒ කුකුස විසඳීමට ආර්-ථික විද්‍යා නියාමයන් වලට පිටස්තරව හිඳ පිංපඩි ආකාර සුභසාධනවාදී යොමුවකින් කට කාරන මරික්කාරයාගේ සාංසිද්ධි කරුණු දැක්වීමක් සලකා බලමු'
මරික්කාරට අනුව පසුගිය 74වසරක ආර්-ථික ප්‍රතිපත්ති මුළුමනින් නිෂේධකළ හෝ විවේචනය කළ නොහැකිය. ඊට ඔහු ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වය යටතේ බිහිවූ නිවාස ලක්ෂයේ වැඩසටහන, වික්ටෝරියා ජලාශය, රන්දෙනිගල ජලාශය, තරුණ සේවා සභාව වැනි ජනතාවට ලබාදුන්නාය කියන සමහරක් ව්‍යාපෘති නැවත මතක් කර දී ඒවා ධනේෂ්වර සංවර්ධනයන් ලෙසට භෞතීස්ම කරන්නට උත්සහ කරයි.
මේ මරික්කාර් ගෙනෙන ව්‍යපෘතිවලින් ලංකාවේ මූල්‍යාර්-ථික පද්ධතියට සමුච්චකරණය කරදුන් අතිරික්ත ප්රාග්ධන ප්‍රමාණ කොපමණ දැයි ඇසුවොත් මරික්කාර්ට ඊට උත්තරයක් දීගත නොහැකි වනු ඇත.
එලෙස ම මරික්කාර් මෙය හුදු ගෝඨා පැමිණි ටික කලට බිහි වූ ආර්-ථික ප්රශ්නයක්ය පවසමින් මුළුමනින් ම ආර්ථික විද්‍යාවේ ඓතිහාසික නියාම ධර්ම වලින් පිට පනී. මරික්කාරුත් යූඇන්පියේ රීගේනිං සිරි ලංකා ප්‍රකාශනයේ හැඳින්වීමවත් කියවා නැත. දැනට වසර 20කට පමණ පෙර එකී ලියවිල්ලේ හැඳින්වීමෙහි ම ලක ආර්ථ-ථික අර්බුධයක පවතින බව පවසා ඇත. රනිල් මාරයි කියමින් හිඳ දැන් කෙහෙල්වත්තේ ගොං ලපටි සජිත් බොරු-හාමු මාරයි කියමින් සිටින අවස්ථාවාදී මරික්කාර් හට එක්කෝ මේ යතාර්ථය තේරන්නේ නැත. නැතිනම් තම දේශපාලන වාසියට හිතාමතා කරන කට මැත දොඩවනවා ය.
එයින් මරික්කාර් කරලියට ගේන්නට යන්නේ සජිත් රටේ නායකත්වයට සුදුසය යන බොල් මතය යි. මගේ කල්පනාවේ හැටියට අන්තර්ජාතික මාධයවේදිනියන් ඉදිරියේ පවා බලූවෙමින් රටතුළ දේශපාලනයේ දී එහෙම නැහැ වගේ හිඳීන සජිත් අවොත් ඝෝටා ආවාටත් හපන් තත්වයක් ඇතිවෙනවා ය. එහිදී විදෙස් ප්රජා ඉදිරියේ ඇතිකරගන්නා නව-නිග්රහවන් ගැන සිතන කල සජිත් ඉංග්රීසි දැන සිටියාට වඩා නොදැන සිටියානම් හොඳ යැයි සජබෙ ගොයියන්ට ම හිතෙනවා ඇත.
ඉතිං බහුජනයාට වාස්තවික වන දේශපාලන ප්‍රතිපත්තියක් නැතුව ඉංග්‍රීසි දැනගත්තාට වැඩක් නැත. රට මේ තත්වයට වැටුණේ 1956යේ සිංහල ඔන්ලි ප්‍රතිපත්තිය නිසා ඉංග්‍රීසි භාෂාව වරප්‍රසාද පංතියට පමණක් හිමි වී ඉංග්‍රීසිය අහමි වුණ සාමාන්‍ය පංතියේ පොදු ජනකායක් බිහිවීම ද නිසා ය. රට මේ දුප්පත් තත්වයට වැටෙන්නට එය එක හේතුවකි. ඒ ඉංග්‍රීසි දැනගැනීමේ වරප්‍රසාදය පොදු ජනයාට අහිමි කිරීම ඔක්ස්ෆර්-ඞ් සරසවියට ගිය බන්ඩාරණායක දැන දැන කරපු වරදකි.
රට 1956යේ සිට ආර්-ථික අක්ෂයකින් ගැලවී අතාර්-කික වරිගවාදී අක්ෂයකට ගෙන ගියේ ඉංග්‍රීසි හොඳින් දත් සිංහලෙන් කියවන්නටවත් නොදත් බණ්ඩාරනායක ම ය.
ඒ නිසා මේ එජාප සහ ශ්‍රිලනිප පාලකයින් රටේ ආර්-තිකය මේ තත්වට වැට්ටුවේ ඉංග්රීසි දැන දැන ය. ඉංග්‍රීසි නොදැන කළා නම් ඉංග්‍රීසියෙන් කියවා ලබා ගන්න දැනුම මදකමින් එසේ කළාය කියා හිතන්නට තිබුණා ය. මේ ව්‍යසනය එජාපය සහ ශ්‍රිලනිපය විසින් දැන දැනම කරන ලද්දකි. එජාපයේ බඩි-බෝතලයක් වන සමගි ජනබලවේගය ඊටත් වඩා රටට කෙලෙවන එකක් මිසක් යහපත් යමක් කරාවිය කියා හිතන්නට අපහසුය. ඔවුන් කරන කියන කතිකාවල දී ආර්-ථික නියාම ධර්ම අවප්‍රමාණ කරණ අකාරයෙන් ම එය මොනවට පැහැදිලි වෙයි.
ඇත්තට ම ගෝඨා බලවයට පත් වූයේ යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවයකටත් වඩා සජිත් වගේ දුර්වල බොළඳෙක් විරුද්ධ පැත්තේ ජනාධිපති අපෙක්ෂක කළ නිසාවෙනි. අවම තරමින් ඒ මොහොතේ එජාපය පාඨලී චම්පිකව ජනාධිපති අපේක්ෂක කළා නම් ගෝඨාට මේසා ජයග්‍රහණයක් අත්පත් වන්නේ නැත.
මෙය යූඑන්පියේ ඉඳිමින් ම යූ එන්පියට පිටින් ජනතාවට කෑ ගසමින් යූ ඇන්පියට කඩාගෙන යන බවට අනතුරු අඟවමින් රනිල් බයකර ගත්තු අපේක්ෂකත්වයකි. ඉන්පසු මැතිවරණ වේදිකාවේ මිනිසුන්ට දොල පිදේනි දෙන බව කියමින් ජනතාවගේ සිතුම් පැතුම් නොදැන ලදරුවලිප්ප්වෙන් ගිය ගමන අවසන් වුණේ අම්බානක චන්ද ගාණකින් පැරදිලා ය. එහිදී සජිත් එජාපයේ ජේ.ආර්., රනිල් වැනි උගතුන්ගෙන් බැරි නම් අවම තරමින් යූ ඇන්පියේ බණ්ඩාරනායකවාදී බොරු සුභසාධනවාදී අක්ෂය නියෝජනය කළ තම පිය ආර්. ප්රේ මදාසගෙන්වත් දේශපාලනය ඉගෙන ගෙන නැත'
පරිස්සමින් හිඳීම නොව අවදියෙන් කටයුතු කිරීම
ඒ නිසා ගෝඨගේ පරාජය ගෝලීය ආර්-තිකය නියාම ධර්ම නොදන්නාකමින් රටේ ආර්-තිකය අර්-බුදයක සිට ව්‍යසනයක් දක්වා යෑමේ ප්රතිඵලයකි. එ නිසා එය පැහැදිලිව විශ්ලේෂණය කරගත හැක්කකි. නමුත් සජිත් වැන්නකුගේ පැමිණිම රටට ඇතිකරන්නේ ප්‍රශ්නයක්, ගැටළුවක්, අර්-බුදයක් හෝ ව්‍යසනයක් නොවේ. සජිත් රටේ නායකය වුණොත් රටට සිද්ධ වෙන්නෙ, තෝරා බේරුම් කරගන්නට බැරි පරිමාණයේ ඇක්සිඩන්ට් එකකි. ඒ නිසා එකපාරක් ගෝටාගෙන් ජනාධිපතිකම එපාය කියමින්, ආයෙ රනිල්ට යනකොට ඒක ඕනෑය කියමින් ලියුම් ගහපු සජිත්ගේ බබා උක්කුං දේශපාලනය කෙසේ වෙතත්, රනිල් හෝ එජාපයේ වෙනත් නායකයෙක් බලවත් වන ඕනෑ ම මොහොතක දී සජබෙ ඇටවුම නූල්බෝලෙ ලිහෙනවා සේ ගැලවී ලිහී යන්නට නියමිත ය.
ඒ නිසා ආර්-තිකය නොදැන කට කාරන මරික්කාර් ද, චන්දෙ ගන්න ඕන ම සෙක්සි කක්ක ගොඩක් විකුණමින් වාචාලව කටමැත දොඩවන හිරුණිකා ද තම අනාගත පුද්ගලික සුඛ විහරණය තකා රටට ගේන්නට හදන කෙහෙල්වත්ත-වැල්ලම්පිටිය ලූම්පන් දේශපාලන සංස්කෘතියට මෙදාපාර රටේ බලය අල්ලන්නට හැකිවන්නේ නැත. එය මෙවර පළාත් මැතිවරණයේ දී ම ඇබිතිකරණය වී යනවා ඇත.
නොදන්න එළු ඇටයක අභිරහසක් සජිත් ගාව තියෙනවා යැයි විශ්වාස කරගෙන ඔහොම ගිහං මාර ගහක හැප්පුනාට අපට කමක් නැත. ඒත් සැබෑවට ම 1956යේ සිට ආර්-ථික විරෝධී දේශපාලනයක් නඩත්තු කරන්නට ගිහිං හෙම්බත්වී ආතක් පාතක් නැතිව ඉන්න බහුතර ජනයාට සමගි ජන බලවේගය වැනි දේශපාලනික මලමිනීවලට කරගහන්නට උවමනාවක් නැත.
අහම්බයකට ඇති ඉඩ
එනයින් පොහොට්ටුව නැමති ගම කෑ ගංකබරයින්ට ගමට යන්නට විදිහක් නැතුව ඇති තත්වයක් තුළ, රනිල්-සාගල-බැසිල්-වජිර ජුන්ටාව එජාපයේ පක්ෂ ව්‍යුහය ගැන විශ්වාසය නොතබා ඡන්දෙ කල් දමන ගොංපාට් කරන්න යාම හෙළිවීම තුළ, සජබය දේශපාලනයේ හය හතර නොදන්නා බයිලා කියවීම තුළ, පාඨලී චම්පික යම් අකාර නිෂ්ක්රිය කල්බැලීමක යෙදී ඇති තත්වයක් තුළ, පෙරටුගාමීන් මර්ධනය සහ ප්‍රාග්ධනය නොමැති වීම හමුවේ චන්ද කිරීමට නොහැකිව ආතක් පාතක් නැති තත්වය තුළ, ඒ හමුවේ පක්ෂ යන්ත්රයක බලය සහිත ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට වාසිදායක දේශපාලන කාලාවකාශයක් බිහිවී ඇත.
මේ වාසිදායක කාලාවකාශය තමන්ගේ නිපුනතාව නිසා ම නොව සතුරාගේ දුර්වලතාවන් නිසා ලැබුණ ඓතිහාසික අහඹු අවස්ථාවක් බව ජවිපෙ අවබෝධ කරගත යුතු ම ය. ඒ නිසා ඡන්දයක් ජයගැනීමට පෙරත්, ජයතහොත් ඉන් පසුවත් නොදත් කුමන්ත්රණ න්‍යායක් ප්‍රායෝගිකව කල එළි බසින්නට බොහෝ සම්භාවිතාවක් ඇත. ඒ නිසා ජාතික තලයේ සතුරන් පරාජය කිරීම සඳහා කලාපීය සහ ගෝලීය තලයේ සහෝදරත්වයන් නිර්මාණය කරගන්න! ගෝලීය සහ කලාපීය ආයතන සමඟ අත්වැල් බැඳගෙන බලය ජයග්‍රහණිකව අත් කරගැනීම සඳහා වන නෛතික සහ ප්‍රජාතන්ත්රවාදී වටපිටාව ගොඩනගාගන්න!
@අරවින්ද හෙට්ටිආරච්චි