SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (ජුනි 27) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සිය අලුත්ම පොත වන ජීවවාසික විචාරය, හැඳන්වීමක් සහ රචනා හතරක් ' නම් කෘතිය එළිදැක්වූයේය.

එය ඊයේ රාත්‍රියේ මාගේ නින්ද පැහැර ගත් කෘතියකි. එය කෙතරම් මා කෙරෙහි බලපෑවේද යත් කෙටි නින්දකින් පසු අළුයම 3.30 ට පමණ අවදි වී නැවතත් එය කියවන්නට පටන් ගතිමි.

 jeewa wasika book 1

 

මෙමගින් සුනිල් යෝජනා කරන්නේ අපගේ කලා සෞන්දර්ය චින්තනයේ සුසමාදර්ශීය වෙනසකි. මිනිසා පරිසරය ජයගැනීම වෙනුවට පරිසරය සමග සහජීවන සම්බන්ධතාවකින් යුතුව ජීවිතය යළි සකසා ගත යුතුය යනුවෙන් පරිසරවාදී /ජීවවාසවාදී (environmentalis/ecologist ) දේශපාලන චින්නය තුළ කාලයක් තිස්සේ ලෝකය පුරා ප්‍රබලව මතුවෙමින් පවතින අදහස් පද්ධතිය සාහිත්‍ය කලා ආශ්‍රිත සෞන්දර්යවේදාත්මක විචාර මීමංසාවක් ලෙස ගොඩ නගා ගත යුතු බව ඔහු මෙමගින් අපට යෝජනා කරයි.

 

ඒ වෙනුවෙන් ඔහු මේ කෘතියෙන් කරන්නේ වර්තමාන ලෝකයේ සබුද්ධික විචාර කතිකාව තුළ මතුවෙමින් තිබෙන ecocriticism -ජීවවාස විචාරය නම් දැණුම් පද්ධතිය පිළිබද මුලික හැඳින්වීමක් කර නන්දන වීරසිංහ ,ලාල් හෑගොඩ වැනි පුරෝගාමී කවීන්ගේ නිර්මාණ එකී ජීවවවාස විචාර පර්යාවලෝකයකින් ඇගයීමය.

 

පරිසරය මත මිනිසා පවත්වන ආධිපත්‍යය මහා ප්‍රගතිශීලී චර්යාවක් ලෙස අර්ථ ගැන්වූ නූතනවාදී සමාජ දේශපාලන ක්‍රමය හැම අතින්ම අර්බුදයට ගොස් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

නුතනවාදය විසින් යෝජනා කරන ලද ආර්ථික /සංවර්ධන/ සංස්කෘති මාවතේම ඉදිරියට ගියහොත් අපත් සමගම මේ පෘථිවි තලයම නිසැකවම වැටෙන්නේ ගොඩ ආ නොහැකි අගාධයකට බව ඉතා පැහැදිලිය.

 

එසේ නම් ලෝක මානව සංහතිය ඉදිරියේ ඇති ආසන්න අනාගතය මහා බියකරුවුවක්ද? නොඑසේ නම් අපට විකල්පයක් තිබේද?

 

සුනිල් යෝජනා කරන්නේ විකල්පයක් පවතින බවය. ඔහු පවසන්නේ "නුතනත්වය අතික්‍රමණය කරන ජීව ධරණී ශිෂ්ටාචාරයක නැගීම සමග ස්වභාවධර්මය සමග මිනිසාගේ ප්‍රතිසම්බන්ධනය (reconnecting with nature) උදෙසා වු නාභිගත ව්‍යායාමයක්ද සිදුවෙමින් පවතින බවට ලකුණු විද්‍යමාන වන" බවය. (පි.171).

 

ජීවවාසික විචාරය යනු ඒ එළඹෙන නව මානූෂවාදී ලෝකයේ සෞන්දර්යවේදයේ මං හසර සලකුණු කරන්නාවු ඤාණ මීමංසාවයි.

 

පරිසරවාදය මුලින්ම දේශපාලන ව්‍යාපාරයක් ලෙස ලංකාවේ තහවුරු කරන්නට උත්සාහ ගත්තේ 1990 දශකයේ මුල් භාගයේදී තරුණ දේශපාලන කණ්ඩායමක් වූ ජනතා මිතුරෝ ව්‍යාපාරයයි. ලෝකයේ පරිසරවාදී කතිකාවට විශාල වාමාංශික මුලයක් තිබුනද ජනතා මිතුරෝහි පරිසරවාදයට බුද්ධිමය පිටුබලය වැඩියෙන්ම ලැබුනේ ජාතිකවාදී කථිකාව තුළිනි.

 

ලංකාවේ වාමාංශික කථිකාව එයට දැක්වූයේ නිග්‍රහත්මක ආකල්පයකි. නුතන විද්‍යාව විසින් සියලු ප්‍රශ්න වලට උත්තර සපයනු ඇතැයිද මේ ලෝකයේ ජීවත් වන්නට බැරිනම් විද්‍යාව විසින් මානවයාට වෙනත් ග්‍රහලෝකයක් වුව සොයා දෙනු ඇතැයි යනුවෙන් කියමින් ජනාතා මිතුරෝ ඉදිරිපත් කළ අදහස් හෑල්ලු කිරීමට ගිය එකල සමහර වාමාංශිකයෝ නුතන විද්‍යාව විසින් මතුතරන ලද සංවර්ධන දෘෂ්ටිවාදයේ ආධානග්‍රාහී අනුගාමිකයෝ වහ. මහාචාර්ය හෙ. ශ්‍රියානන්ද වැනි වාමාංශික බුද්ධිමතුන් කිහිප දෙනෙක් හැරෙන්නට ජනතා මිතුරො ඉදිරිපත් කළ එම පරිසරවාදී දේශපාලන අදහස් පද්ධතියට වමෙන් සාධනීය ප්‍රතිචාර නොලැබුනි. අනෙක් අතට හදිසි රාජ්‍ය බලය ඉලක්ක කරගත් දේශපාලන ව්‍යාපාරයක් විනා පුලුල් සමාජ ව්‍යාපාරයක් බවට පත්වීමට ජනතා මිතුරෝ ව්‍යාපාරයට හැකි වූයේද නැත. එහි මුලික ක්‍රියාධරයන් සියලු දෙනාම පාහේ 1992 දී අත්අඩංගුවට පත්වී රජය පෙරලීමේ කුමන්ත්‍රණ නඩුවකට පැටලැවීමෙන් පසු එම ව්‍යාපාරය අවසන්විය.

 

නමුත් ධරණීය සංවර්ධනය ලෝකයම පිළිගන්නා මාදිලියක් බවට පත්වන මේ වකවානුවේ වාම-ජාතිකවාදී භේදයකින් තොරව ජිවවාසික පද්ධතියට අනුගත වු ලෝකයක් පිළිබද බුද්ධිමය පරිකල්පනයන් අවදි වෙමින් තිබේ. වාමාංශයටත්-ජාතිකවාදයටත් එකට වැඩ කළ හැකි දේශපාලන සංස්කෘතික වැඩබිමක් එළඹෙමින් තිබෙන ජීවධරණී යුගය තුළ නිර්මාණය වෙතැයි සිතිය හැකිය. මේ නව ලෝකයට අවශ්‍ය වන්නේ හුදු ආර්ථික මිනිසකු නොව සුහද සංස්කෘතික මිනිසෙකි. ඒ සංස්කෘති මිනිසා නිර්මාණය කිරීමේ බුද්ධිමය පාදම පෙන්වා දෙන පුරෝගාමී කෘතියක් ලෙස මම සුනිල්ගේ ජීවවාසික විචාරය පොත දකිමි.

 

  • පසුව ලිවීම් (නිවැරදි කිරීම්)

අත් අඩංගුවට ගන්නා විට මේ කණ්ඩායම පෙනී සිටියේ රටවැසි පෙරමුණ නමින්ය. නඩුව වැටුනේ රටවැසි පෙරමුණට එරෙහිවය. ජනතා මිතුරෝ ව්‍යාපාරය අවසන් වූයේ 1994 පැවැත්වූ මැතිවරණ වලින් පසුවය.

 

@Karu Paranavithana fb page