SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණ තීන්දුව ලැබුණේ අද.

ලංකා ඉතිහාසයේ පළමු වරට මට හිතෙන විදියට මන්ත්‍රීවරියක් තම ධුර කාලයේ කරපු අපරාධයකට ඉන් පසුව දඬුවම් විඳිනවා.

 

හිරුණිකා කරලියට එන්නේ එයාගේ පියාගේ මරණයෙන්. ඒ වටේ තියෙන රාජපක්ෂ පවුලේ කතන්දරේ පටන් හිරුණිකා සක්‍රීයයි.

 

අරගලය යුරෝපයේ බොලොන්නා වෙන් ආරම්භ වෙනකොට ලංකාවෙන් ආරම්භ කලේ මධ්‍යම පන්තික වැසියෝ. හැබැයි ගෝටා එලවන්න මිරිහානට යන්නේ හිරුණිකා. එතනින් පස්සේ හිරුණිකා ඇත්තටම දුම්මල වරම අතට ගත්තා වගේ. ඥානා ගේ ගෙදර ත් ගියා. එදා රෑම ඥානගේ ගේ ගිනි ගන්නවා.

 

හිරුණිකාට ඒ කාලේ එයාගේ මාධ්‍ය උපදේශක තරිඳු උඩුවර වැහිලා වගේ තමයි වැඩ වුණේ. දෙන්නම අරගලයේ දී සෑහෙන්න කැපී පෙනෙන්න ගත්තා. ඊට කලින් අධිකරණය ඉදිරියට ගොස් පොල් ගහලා එයාගේ තාත්තගේ මරණයට වගකිව යුත්තන්ට දඬුවම් දෙන්න ඇය පුවත් මැව්වා.

 

ඉන් පස්සේ ඒ මිනීමැරුමේ චුදිතයාට ජනාධිපති සමාව දීම සම්බන්ධව හිරුණිකා එලියට බැස්සා. සජබය ට යන්නට කලින් හිරුණිකා හිටියේ රාජපක්ෂ කඳවුරේ. පියා මරා දැමීම තමයි අගේ සියලු ආවේග වලට හේතුව කියලා මම දකින්නේ. එයාගේ හැසිරීම මම ගොඩක් කල් අධ්‍යයනය කළා. අපේ සමාජය දරුණු දේවලට මුහුණ දුන්නට පස්සේ එයින් ඇතිවන භීතිය සුවපත් කරන්න ක්‍රමවේදයක් නැති රටක්. එක්කෝ අපි විලාප කියලා හඬනවා. නැතිනම් මිනීමරුවන්ගෙන් පලිගන්න ජිවිත කාලයම ගත කරනවා.

 

හිරුණිකාට පියා මැරුවට පස්සේ වැඩිහිටිකම එළිපත්තේ හිටිය දියණියකට ලැබෙන්න ඕන ආතතිය, අවබෝධය හා අතහැරීම ගැන සංවාදය ලංකාවේ අධිකරණ පද්ධතිය හෝ සමාජ සේවා පද්ධතිය තුළවත් ලැබුනේ නැහැ. පෞද්ගලිකව වත් ලැබුනේ නැහැ.

 

ඒ වගේම එයාගේ වෛරය භාවිතා කරලා දේශපාලන උවමනාවන් ඉටු කරගන්න ඕන තරම් අය පෝලිමේ ආවත් හිරුණිකාට පියාගේ මිනිමරුවට හදවතින් සමාව දීලා තමන්ගේ ගමන යන්න ඉඩක් අවකාශයක් හෝ සහයක් ලැබුණේ නැහැ. ඒ නිසා හිරුණිකා මේ සියල්ල එක්ක චන්ඩියෙක් වෙනවා.

 

තාත්තගේ දුව කියන ආඩම්බරේ හිතට ගන්නවා. රූපයෙන් ලස්සන කෙනෙක් වුනත් ඉතා කටුක හැසිරීමක් තිබුණ කෙනෙක් බවට පත්වෙනවා. ඒත් එක්කම තමයි හිරුණිකා මන්ත්‍රීවරියක් වෙන්නේ. තාත්තා ගැන තිබුණු සටනෙන් එයා තාත්තට කලින්ම තාත්තා හිටපු තැනට ලඟා වෙනවා. ඒ ඔක්කොම තාත්තා විදියටම කරන්න යනවා.

 

මෙතනදී ඇය ලවා රනිල් වික්‍රමසිංහ දඩයම් කර දැමීමේ සටන දියත් වීමේදී හිරුණිකා හැසිරෙන්නේ කව්රුහරි එයාව මෙහෙයවන විදියට. එතනදිත් එයාට අවශ්‍ය වෙලාවේ නැවතුම ගන්න බ්‍රේක් එක ගහන්න බැරිවුනා.

 

කොහොම නමුත් පසුගිය දවස් වලත් එයාගේ සටන තිබුණේ අවලංගු වෙච්ච දුමින්ද සිල්වාගේ සමාව ආපසු ලැබෙයිද කියන බය එක්ක හැසිරුණු ගැටුමක්. මේ ගැටුමට යටින් තවත් ව්‍යාපාර හා පෞද්ගලික කෝන්තර තිබෙන්න පුළුවන්. සිද්ධිය වෙලා වසර නවයකට විතර පස්සේ නඩු තීන්දුවකින් තිබුණු චෝදනා වලට හිරුණිකා බරපතල වැඩ සහිත සිරදඬුවමකට නියම වෙනවා.

 

සාහිත්‍යධරයෙක් හැටියට හිරුණිකාගේ කථාව ලිව්වොත් ඉතිහාසය ලියවෙන පොතක්. බැන්ඩිට් ක්වින් (bandit queen) චිත්‍රපටය දිග හැරෙන්නේ ස්ත්‍රී දුෂණ හා කුලවාදය ගැන. ඒත් ලංකාවේ ඒ නමින් ෆිල්ම් එකක් කරන්න මට ඉඩ ලැබුණොත් මම හිරුණිකාගේ කථාව තමයි ෆිල්ම් එකක් කරන්නේ.

 

ලංකාවේ දරුවෝ බහුතරයකට තියෙන ගැටළුව තමයි ඉඩිපස් කොම්ප්ලේක්ස් මනෝ භාවයෙන් ඔවුන් නොමිදීම. ගැහැණු ළමයි පියා වෙනුවෙන්, පුතුන් අම්මා වෙනුවෙන් මරාගෙන මැරෙන්න පෙළඹෙන්නේ ඒ නිසා. හිරුණිකා මුහුණ දෙන්නේ දිගින් දිගටම ඒ තත්ත්වයට. මම කලිනුත් ලිපියක් ලීවා, මේ ලෝකේ මැරිලා , මරලා තියෙන්නේ හිරුණිකාගේ තාත්තා විතරක් නෙවෙයි, දැන්වත් මේ ගැටුම ජාතික ගැටුමක් කරගෙන දඟලන එක නවත්වන්න කියලා. ඒත් විවිධ දේශපාලන අරමුණු එක්ක හිරුණිකා හිටියේ ආයෙත් පීක් එකේ.

 

වෙලාවට කලාවට වගේ නඩු තීන්දුව ඇවිත් කඩා පාත් වුණා. ගැහැණුන්ට අපහාස නොකරන ගොඩාක් පිරිමි අතරේ ගැහැණු ම හිරුණිකාට අපහාස කරලා තිබුණා. හිරුණිකා වරදක් කළා අධිකරණය දඬුවම් දුන්නා. රටේ නිතිය ක්‍රියාත්මක වීම සතුටක් මිස හිරුණිකා හිරේ දැමීමෙන් ලැබෙන ලාබ සතුට කියන්නේ බාල ම්ලේච්ඡ සතුටක්. මේ ලෝකේ ගොඩාක් තාත්තලා හිරුණිකා ගැන හිතලා තමන්ගේ දුව ගැන හිතන්න කියලා මම ඉල්ලනවා. මොකද එහෙම තාත්තා වෙනුවෙන් සටන් වැදිච්ච දුවෙක් මම මේ ලංකා ඉතිහාසයේ දැකලා නැහැ. මම කියන්නේ ඒ සටන අතහැරියා නම් හොඳ සැමියෙක් ලැබිලා, දරුවන් තුන් දෙනෙක් ලැබිලා ඒ ජිවිතේ විඳගෙන ඉන්න අවස්තාව එයාට තියෙන්න තිබුණා. මම දකින්නේ හිරුණිකා හොඳ දුවෙක්.

 

ඒත් ඕනෑම දෙයක ඕනාවට වඩා ඇලී ගැලීම හෙවත් අත හැර සමාව දීමට ඇති නොහැකියාව මත ඇගෙන් මේ බරපතල වරද වන තරමට තත්ත්වය දුර දිග ගියා. ඊට පෙර ඇය හිටියේ එංගලන්තයේ අධ්‍යාපනය ලබන ගමන් මෝස්‌තර නිරූපනයේ යෙදුණා. ඒවගේ ලස්සන නිදහස් ඉසව්වක ඇගේ ජීවිතය ලස්සනට ගෙවෙන්න තිබුණු බව මට හිතෙන්නේ මටත් දුවලා ඉන්න නිසා වෙන්න ඕන.

 

කොහොම නමුත් හිරුණිකා ගේ සිද්ධිය අපිට හිතන්න පුරුදු කරන්නේ ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය හා එය නිවැරදි කරන්නට බොහෝ වැඩ කරන්නට තිබෙන බවය. ලංකාව තාමත් පාලනය වෙන්නේ අමුතු විදියකට බවය.

 

 

@සුභාෂිනී විෆ්ලර්

ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධික්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානය,

ජර්මනිය.

marrikkar

නවතම ලිපි