SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා මතාව සහ ඇය ගේ ප්‍රතිපත්ති සම්පාදකයා වන පාර්ලිමේන්තුව;

සජීවී, සංවේදී මෙන්ම වගකීම් සහගත ආයතනයක් බවට පත් කිරීම සඳහා දශක පහකට වැඩි කාලයක් කැප වූ විශිෂ්ට මිනිසෙකු ගේ සමුගැනීම පිළිබඳ සටහනක් තැබීමට කාලය පැමිණ ඇතැයි දියවන්නා දූපත මැදින් ඉහළට එසවී තිබෙන ධවල ධජ මා වෙත ඇරයුම්කර සිටි.

 

ඊයේ දින, මාගේ X ගිණුමේ සටහන් කළ ආකාරයට ම (One of the most cultured politicians in Sri Lanka) රාජවරෝතියම් හෙවත් ආර්. සම්පන්දන් යනු ශ්‍රී ලාංකාවේ දේශපාලඥයන් අතර වඩාත් සංස්කෘතික වූ දේශපාලඥයාය. එමෙන්ම, හේ බහුශ්‍රැතයෙකි. විශිෂ්ටයෙකි.

 

සම් 2

ඔහු හා බැඳුණු මගේ පෞද්ගලික අත්දැකීම් රාශියකි. 2017 දී සිහළ- දමිළ නව අවුරුදු උදාවට හෝරා කීපයකට පෙර අප ආදරණීය මැණියන් අප අත්හැර ගිය වේදනාත්මක හෝරාවේ ඈත එපිට ත්‍රිකුණාමලයේ සිට මෑත දකුණේ කෙළවර, රදම්පළ පිහිටි අප නිවසට ඔහු පැමිණීම ද තැබූ සටහන ද අප මැණියන්ට මහත් ගෞරවයක් වූවා සේම අනපේක්ෂිත, අමරණීය සැමරුමකි.

 

2022 ජූලි මස 20 දින පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේ දී එතුමාගේ සහාය චකිතයකින් තොරවම හිමිවූයේ මා වෙතයි. සියල්ල මට පුනරූපණය වේ.

 

ජූලි 19 රාත්‍රියේ එතුමාගේ නිල නිවසේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අප පිරිස හමුවූ තීරණාත්මක මොහොතේ දී ඔහු පැවසුවේ,

"....There are two reasons why we have unanimously decided to vote for Dullas.

1. He is not a racist.

2. He is not a rouge, corrupted politician .."

 

එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුව ද මා අරභයා කල සම්පන්දන් මැතිතුමාගේ ප්‍රකාශය, විධායක ජනාධිපති ධූරයට වඩා මට වටින්නේය. එය, ජීවිත කාලය තුළ මා ලැබූ ස්වර්ණමය සම්මානයකි.

 

සහෝදර දමිළ ප්‍රජාවගේ අනේකවිද දෝමනස්සයන් ආමන්ත්‍රණය කළ සෑම නිමේෂයකදී ම අමතක නොවන, යාන්ත්‍රිකව මෙන් යොදන විශේෂ යෙදුමක් ඔහු සතුවිය. එනම්, "..නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම..."

 

සම් 3

 

දේශයේ අවාසනාවකට, ඔහුට ගැරහුම් කළ දකුණු සමාජයේ ඇතමුන් ද ඔහුට පිදුම් කළ උතුරු සමාජයේ ඇතැමුන් ද මෙය වටහා ගෙන නොතිබුණි. එම නොවටහා ගැනීම ම, එතුමා ගේ අවසන් සුසුම් පොද විශ්වයට එකතු වීම දක්වා නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යය ගොඩනගා ගැනීම ප්‍රමාද වීමට බලපෑ කේන්ද්‍රීය කරුණක් බව මාගේ විශ්වාසයයි. "සම්පන්දන් ලකුණ" දෙස ධනාත්මකව සහ සෘණාත්මකව බැලූ සියලු දෙනා එය පිළිගන්නේ නම් එය, මේ විශිෂ්ට ශ්‍රී ලාංකීය පුත්‍රයාට ලබාදිය හැකි විශිෂ්ටතම අවසන් ගෞරවය බව නිසැකය.

 

ගෞරවනීය සම්පන්දන් මැතිතුමනි ප්‍රාර්ථනා කරමි ඔබට දිගු සුව නින්දක්..!

තෙරුවන් සරණයි..!! සියලු දෙවි පිහිටයි..!!

@ Dullas Alahapperuma

nalan mendis

නවතම ලිපි