අපගේ අසම්පූර්ණ මතකයන් තුළ ධනාත්මක පැතිකඩක් ද තිබේ.
අසම්පූර්ණ මතකය සහ වැරදි ආවර්ජන, නම්‍යශීලී මනසකට අත්‍යවශ්‍ය අංග බව ස්නායු විද්‍යාඥ චරන් රංගනාත්
සිය නවතම කෘතිය හරහා තර්ක කරයි. එසේ වන්නේ මන්දැයි ඩේවිඩ් රොබ්සන් ඔහුගෙන් විමසයි.
ස්නායු විද්‍යාඥ චරන් රංගනාත් සිය නව ග්‍රන්ථය වන Why We Remember නමැති කෘතියේ රචනා කර ඇත්තේ, "මතකය යනු අතීතය සංරක්ෂණය කිරීමකට වඩා ඉතා පුළුල් දෙයකි; එය අප අපව මෙන් ම, අන් අය සහ ලෝකය දකින ප්‍රිස්මයයි," යනුවෙනි.
රංගනාත් යනු, පසුගිය වසර 30 කාලයක් තුළ, අප තුළ ඇති ආවර්ජනය කිරීම, මතකයේ තබා ගැනීම සහ අමතක කිරීම යන හැකියාවන් සදහා බලපාන මොළයේ ක්‍රියාකාරීත්වය ගවේෂණය කරමින් සිටින, ඩේවිස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. මතකය පිළිබඳ අපගේ බොහෝ පොදු උපකල්පන වැරදි බවට ඔහු තර්ක කරයි; එහි පෙනෙන දෝෂ බොහෝ විට පැන නගින්නේ, එහි වඩාත් ම ප්‍රයෝජනවත් අංගයන්ගෙන් වන අතර ඉන් අපගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ සංජානනීය නම්‍යශීලී බවක් ඇති කරයි.
ඔහු විද්‍යා ලේඛක ඩේවිඩ් රොබ්සන් සමග මොළය පිළිබඳ මෙම අතිනවීන සොයා ගැනීම සම්බන්ධයෙන් සහ අපගේ අසම්පූර්ණ මනස වඩා සාර්ථකව භාවිත කිරීමට මෙම දැනුම භාවිත කළ හැකි ක්‍රම පිළිබඳව කතාබහ කළේ ය.
ඔබේ පොත ප්‍රතිවිරෝධී සංකල්පවලින් පිරී තිබෙනවා. "වැරදි මත පදනම් වූ ඉගෙනීම" යන අදහසින් පටන් ගනිමු. වැරදි කිරීමට අප අපට ම ඉඩ දෙන විට අප හොඳින් ඉගෙන ගන්නේ ඇයි?
මතකය ඇති වන්නේ, නියුරෝන අතර ඇති වන සම්බන්ධතාවල ශක්තීන් වෙනස් වීම තුළිනි. ඇතැම් සම්බන්ධතා වඩා ශක්තිමත් සහ ඵලදායී වන විට, තවත් සම්බන්ධතා ප්‍රබල නොවිය හැකි ය. වැරදි තුළින් ඉගෙන ගැනීමේ මූලධර්මය වන්නේ, ඔබ මතකයන් යළි ආවර්ජනය කිරීමට උත්සහ කරන විට, ඔබේ මතකය සෑම විට ම මඳක් අසම්පූර්ණ වනු ඇති. එමෙන් ම, මොළය මෙම මතකය මතු කර ගැනීමට උත්සහ කරද්දී, ඔබ එය සැබෑ තොරතුරු සමග සංසන්දනය කරන විට, මෙම ජාලයන්ට නරක සබඳතා දුර්වල කර හොඳ සබඳතා ශක්තිමත් කළ හැකි යි.
එයින් ගම්‍ය වන්නේ, ඔබ ඉගෙන ගැනීමට උත්සහ කරන දේ මතු කර ගැනීමට ඔබ ඔබට ම අභියෝග කිරීමෙන්, එම දුර්වලතා හෙළිදරව් කරන නිසාත්, එමගින් ඔබේ මොළයට මෙම මතකයන් වඩා නිවැරදි කිරීමට අවස්ථාවක් ලබා දෙන නිසාත් එය තවතවත් ඉගෙන ගැනීම සදහා වන හොඳ ම මාර්ගය වන බව යි.
අපගේ පුදුමාකාර දෝෂ සහිත මතකය අපගේ අනන්‍යතාව පිළිබඳ හැඟීම අපට ලබා දෙයි
- අපගෙන් බොහෝ දෙනෙකුට අපගේ මතකයේ ඇති හිඩැස් ගැන කලකිරීමක් දැනෙනවා, නමුත් අමතක වීම බොහෝ විට ප්‍රයෝජනවත් බව ඔබ යෝජනා කරනවා. ඒක වෙන්නේ කොහොම ද?
මම ඒක උපමාවකින් පැහැදිලි කරන්න කැමති යි. මම ඔබේ නිවසට ගොස් මෙසේ ඇසුවා යැයි සිතන්න: 'ඔබ හැම දේ ම ගොඩගසා ගන්නෙකු නොවන්නේ ඇයි? ඔබ සියල්ල ගබඩා නොකරන්නේ ඇයි? අපි කිසිවක් අමතක නොකළොත්, අපි මතක ගොඩගසා ගන්නවා. එහෙම වුණොත්, යමක් මතක් කර ගන්න අවශ්‍ය වුණා ම ඒක හොයා ගන්න ලැබෙන්නෙ නෑ.
දැන් මම හෝටලයක නැවතී සිටිනවා, මෙතැන් සිට සති දෙකකින් මෙම කාමර අංකය මතක තබා ගැනීම තේරුමක් නැති දෙයක්. ඒ හා සමානව, වීදියක ඔබ පසු කරගෙන යන සියලු දෙනා ගැන හිතන්න. ඔවුන් හැම කෙනෙකුගේ ම මුහුණු මතක තියාගන්න ඔබට ඇත්තට ම අවශ්‍ය ද?
- අප වයසට යන විට වැඩිපුර අමතක වන්නේ ඇයි?
අපට මතකයන් ආවර්ජනය කළ නොහැකි වීම නොවෙයි, අප මතක තබා ගත යුතු තොරතුරු කෙරෙහි අවධානය යොමු නොකිරීම තමයි, අප වයසින් වැඩෙද්දී ඇති වන ගැටලුව. අපි වඩාත් වික්ෂිප්ත වන අතර, මේ සියලු නොවැදගත් දේවල් සිද්ධ වෙන්නේ අප අවධානය යොමු කරන වැදගත් දේවල් හේතුවෙනුයි. ඉතින්, අපි මේ මතක සිහිපත් කරන්න උත්සහ කරද්දී, අප හොයන තොරතුරු අපට සොයාගන්න බැහැ.
- මේ තත්ත්වයෙන් මිදිලා අපගේ මතකයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කර ගන්න පාවිච්චි කළ හැකි උපාය මාර්ග මොනවා ද?
මූලික වශයෙන් මූලධර්ම තුනක් තියෙනවා. එකක් තමයි, සුවිශේෂීභාවය. අපගේ මතකයන් එකිනෙක සමග තරග කරන අතර, ඔබට යම් මතකයක් සුවිශේෂී වෙනවා නම්, එය වඩා හොඳින් ආවර්ජනය කළ හැකි වනු ඇති. මතකයේ රැඳී සිටින්නේ, සුවිශේෂී දර්ශන, සුවිශේෂී ශබ්ද සහ සුවිශේෂී හැඟීම් සමග සම්බන්ධ වී ඇති විචිත්‍රවත් මතකයන්. ඒ නිසා, අපගේ හිසෙහි සිර කරගෙන ඉන්නවාට වඩා සංවේදී තොරතුරු කෙරෙහි අවධානය යොමු කිරීම ඇත්තෙන් ම අපට වඩා හොඳින් මතක තබා ගැනීමට උපකාරී වෙනවා.
දෙවන උපාය මාර්ගය, ඔබේ මතකයන් වඩාත් අර්ථවත් වන ආකාරයෙන් සංවිධානය කිරීමයි. මගේ පොතෙන් මම සාකච්ඡා කරන්නේ, "මතක මන්දිර" ක්‍රමය යි. එයට ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය තොරතුරු දැනටමත් ඔබ සතුව ඇති තොරතුරු සමග සම්බන්ධ කිරීමේ ක්‍රමයක්.
- මතක මන්දිර ක්‍රමවේදය
මතක මන්දිර ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ මෙම මාර්ගෝපදේශය කියවන්න.
තෙවනුව, අපට ඉඟි නිර්මාණය කළ හැකි යි. මතකයක් සෙවීම ඉතා වෙහෙසකර හා දෝෂ සහිත ක්‍රියාවක්; මතකයන් අපගේ සිහියට ක්ෂණයකින් එනවා නම් හොඳයි.
ඉඟි නිර්මාණය කිරීම ඒකට උපකාරී වෙනවා. උදාහරණයක් විදිහට, අපි දන්නවා, ගීතවලට ඔබේ ජීවිතයේ විශේෂිත කාල පරිච්ඡේද පිළිබඳ මතකයන් ස්වභාවිකව ම අවදි කළ හැකි බව. භාවිත කරන්න පුළුවන් තවත් දෛනික ඉඟි රාශියක් තියෙනවා. මම දවසේ කුණු කසළ ඉවත් කළ යුතු බව මතක තබා ගැනීමට උත්සහ කරන්නේ නම්, මම දොර ළඟට යන බව සිතින් මවා ගන්නවා, ඊට පස්සේ මම කුණු කූඩය පහු කරලා යන්න කලින් ඒක දිහා බලනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට, සැබෑ ජීවිතයේ මම දොර ළඟට ආවා ම, මට ඒක කුණු අයින් කරන්න ඉඟියක් විදිහට ක්‍රියාත්මක වෙනවා.
දෛනික ඉඟිවලට මතකය දියුණු කළ හැකි ය.
- මතකයන් ගිලිහී යාමට අමතරව, අපගේ මතකයන් තුළ සැබෑ සිදුවීම්වලට අනුරූප නොවන ව්‍යාජ තොරතුරු ඇතුළත් වන බව අපට පෙනී යා හැකි යි. මෙය සිදු වන්නේ ඇයි?
ආර්ථිකය සමග මතක තබා ගැනීමට අපට උපකාර වන "මනෝ රටාවන්" අප සතුව තිබෙනවා. ඔබ බැංකුවට ගොස් සිටින බව සිතන්න. බැංකුවේ සිදුවන සිදුවීම් සහ සිදු නොවන දේවල් පිළිබඳව ඔබට දැනටමත් සම්පූර්ණ දැනුමක් තිබෙනවා. එමගින් ඔබට ඒ නව [දත්ත] භාවිත කර ඒවා යෙදීමට ඉඩ සලසන සම්බන්ධක පටක ලෙස ක්‍රියා කරන මනෝ රටාවන් සමගින් ඔබ මතක තබා ගත යුතු තොරතුරු පරාසය සීමා කිරීමට ඉඩ සලසයි. ඒත්, සමහර අවස්ථාවල මනෝ රටාවන් වැරදි තොරතුරුවලින් හිස්තැන් පුරවනවා.
දෙවන හේතුව වන්නේ, කාලයත් සමග මතකයන් වෙනස් වීම යි. ඒක ඉතා වැදගත්, මොක ද, ඔබේ මතකයන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය යි. දිගු කලකින් නොදුටු ඥාතියෙකු ඔබ දැක්කොත් සහ ඔබ ඔවුන්ව දුටු පළමු අවස්ථාවට සාපේක්ෂව ඔවුන්ගේ මුහුණ වෙනස් වී ඇත්නම්, ඔබ ඔවුන්ගේ පෙනුම පිළිබඳ වඩාත් නිවැරදි මතකයක් නිර්මාණය කර ගත යුතුයි. ඒත් සමහර විට අපගේ පරිකල්පනය මතකය තුළට කාන්දු වෙන්න පුළුවන්.
- මතකය සහයෝගී ක්‍රියාවලියක් වන්නේ කුමන ආකාරයෙන් ද?
අපි වෙනත් පුද්ගලයින් සමග මතකයන් බෙදා ගත්තොත්, ඒක මතකයන් යාවත්කාලීන කිරීමට හේතු විය හැකි යි. මම ඔබට යම් සිදුවීමක් පැහැදිලි කරන විට, ඔබට පැවසීම සඳහා එම කතාව සකස් කිරීමේ ක්‍රියාවලිය, මට ඒක මතක ඇති ආකාරය අනුව වෙනස් කළ හැකි යි. උදාහරණයක් ලෙස, මම කතාව පවසන ආකාරය පිළිබඳ ඔබේ ප්‍රතිචාර, පසුව එය පිළිබඳ මගේ මතකය හැඩගස්වනු ඇති; එය වඩාත් හාස්‍යජනක විය හැකි යි. එසේත් නැතිනම් ඔබ මට මගේ මතකයට කාන්දු විය හැකි, අමතර, නමුත් වැරදි තොරතුරු - මට ලබා දිය හැකි යි. මම සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරමින් සිටියදී ඔබ මට පැවසූ දෙයට වඩා ඇත්ත වශයෙන් ම සිදුවූ දෙය අතර මම ව්‍යාකූල වෙනවා. අපගේ බොහෝ මතකයන් තවදුරටත් අපගේ ම ඒවා නොවන බව මම තර්ක කරනවා - ඒවා සාමූහික මතකයන් ය.
- ඔබේ විද්‍යාත්මක පර්යේෂණ තුළින් ඔබේ මතකයන් සමග ඔබේ සබඳතාව හැඩගස්වා ඇත්තේ කෙසේ ද?
විශේෂයෙන් ම මම පොතක් ලිවීම, මගේ මතකය ආරක්ෂා කර ගැනීමට මට දිරිගැන්වීමක් ලබා දීලා තියෙනවා. මම දැන් නිතිපතා ව්‍යායාම කිරීමට උත්සහ කරන අතර, මගේ මහලු වියේදී මගේ සංජානන සෞඛ්‍යය පවත්වා ගැනීමට වග බලා ගැනීම සඳහා මම මගේ ආහාර වේල ගැන ඉතා සැලකිලිමත් වෙනවා.
චරන් රංගනාත්ගේ Why We Remember කෘතිය Faber & Faber (UK) සහ Doubleday (USA) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.
@ඩේවිඩ් රොබ්සන්
BBC