SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ පාලන බලය රදළ පවුල් කිහිපයක් තුළ දෝලනය වීමේ සම්ප්‍රදාය උඩුයටිකුරු කරමින්

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ තේරී පත්වී හමාර ය.

 

ඉදිරි වසර 5ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ භාරකාරත්වය ඔහුට භාර වී තිබේ.

 

 

අනුර කුමන ආකාරයේ පාලකයෙකු වෙයි ද?

ඔහුගේ පාලනය කෙබඳු ආකාරයක් ගනු ඇති ද?

 

 

ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයෙකු වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ  අනුර කුමාර දිසානායකගේ පාලනය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමක දී දුන් පිළිතුරු මෙසේ ය.

 

‘අවංක නායකයෙක් වේවි’

 

අනුර කුමාර දිසානායකගේ මෙතෙක් දක්නට ලැබුණු හැසිරීම් අනුව ඔහු “අවංක නායකයෙකු” වනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, අවංකව සේවය කරන බව ඔහු ජනතාවට පොරොන්දු වී ඇති අතර, ජනතාව ද ඔහුගෙන් එය බලාපොරොත්තු වන බව ය.

 

‘සරල නායකයෙක් වේවි’

 

අනුර කුමාර දිසානායක සාම්ප්‍රදායික ප්‍රභූ තන්ත්‍රය නියෝජනය නොකරන ජනාධිපතිවරයෙකු වන හෙයින් ඔහු “සරල නායකයෙකු” ලෙස ක්‍රියාකරනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

 

ඔහු ප්‍රකාශ කළේ, අනුර කුමාර දිසානායක මීට පෙර ශ්‍රී ලංකාව පාලනය කළ නායකයින් ගත කළ සුඛෝපභෝගී ජීවන රටාවෙන් මිදී ජනාධිපති ධූරයේ කටයුතු කරනු ඇති බව ය.

 

“මෙයා සාමාන්‍ය පන්තියේ කෙනෙක්. ඒ වගේ ම සාමාන්‍ය පාසලක ඉගෙනුම ලැබූ කෙනෙක්. ඒ නිසා ඔහු සරල ආකාරයෙන් කටයුතු කරාවි. ඒක මවා ගත්ත සරලකමක් වෙන එකක් නැහැ. ඒ වගේ ම ඔහු ආරක්ෂක භටයින් පිරිවරාගෙන ඉන්න එකක් නැහැ.”

 

‘ආර්ථිකය ගොඩ ගන්න එක නම් ක්ෂණිකව කරන්න බැහැ’

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂණිකව යළි ගොඩ ගැනීමට කිසිදු නායකයෙකුට හැකියාවක් නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ ය.

 

ඔහු ප්‍රකාශ කළේ, 2027 වසරේ සිට ණය පොළිය පමණක් නොව ණය මුදල ද වාරික වශයෙන් ගෙවීමට සිදුවන හෙයින් ආර්ථික අර්බුදයක් ඇති වීමේ අනතුරක් ඇති බව ය.

 

“ශ්‍රී ලංකාව තියෙන්නේ විශාල ආර්ථික අර්බුදයක. ඇත්තට ම මේ අර්බුදය වසාගෙන ඉන්නේ පොළිය විතරක් ගෙවන නිසා. 2027න් පස්සේ පොළිය එක්ක ණය මුදලත් ගෙවන්න සිද්ධ වුණා ම ආයෙත් අර්බුදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ආර්ථිකය හරියට කළමනාකරණය කර නොගත්තොත් ආයෙත් භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්.”

 

කෙසේ වෙතත්, නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම හරහා එම ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන බව අනුර කුමාර දිසානායක පවසා ඇති හෙයින් ඔවුන් නිසි පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

 

එමෙන් ම, ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාවට යම් සහනයක් ලබා දෙනු ඇතැයි ද මහාචාර්යවරයා විශ්වාසය පළ කළේ ය.

 

‘සුපිළිපන්න රාජ්‍ය සේවයක් නිර්මාණය කරාවි’

 

අනුර කුමාර දිසානායක යටතේ අල්ලස සහ දූෂණයෙන් තොර, කාර්යක්ෂමතාවයෙන් යුත් රාජ්‍ය සේවයක් නිර්මාණය වනු ඇතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා වැටුප් ඉහළ දැමීමට සිදුවනු ඇති බව ය.

 

ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

 

 

‘රට හදන්න ඉංග්‍රීසි දැන ගන්න ඕන නෑ’

 

 

විදේශ සබඳතා වර්ධනය කර ගැනීමට සහ රට සංවර්ධනය කිරීමට ඉංග්‍රීසි බස චතුරව හැසිරවිය යුතු ය යන අදහස මිථ්‍යා මතයක් බව මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ අදහස යි.

 

“රාජ්‍ය නායකයාට ඉංග්‍රීසි බැරි නම් රට හදන්න බෑ කියලා අදහසක් ඉස්මතු කරලා තියෙනවා. ඒක මිථ්‍යාවක්. විදෙස් සබඳතා ශක්තිමත් කරන්න නිලධාරීන් ඉන්නවා. ඒකට තමයි විදේශ කටයුතු අමාත්‍යංශයක් තියෙන්නේ. අනුරගේ ඉංග්‍රීසි දැනුම ගැන කියන්න මම දන්නෙ නෑ. කොහොම වුණත් ඉංග්‍රීසි දැනුම කියන එක රට පාලනය කරන්න අත්‍යවශ්‍ය සාධකයක් නෙවෙයි. මම මෙතනදි එක ප්‍රශ්නයක් අහනවා. දැන් ඉංග්‍රීසි හොඳට දන්න නායකයෝ ශ්‍රී ලංකාව වෙනුවෙන් මොනව ද කරලා තියෙන්නේ?”

 

 

@(බීබීසී සිංහල) කුමුදු ජයවර්ධන ගේ ලිපිය ඇසුරිනි

නවතම ලිපි