SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන ජනවාරි මාසයේ සිට මෙරටට වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි පුවතක් වාර්තා කර ඇත.

එකී පුවතට අනුව ලංකා  වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ  රජය පාර්ශවයෙන් මේ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවය.

 

 

ඔවුන් මෙවැනි ප්‍රකාශ කරන්නේ රජය පාර්ශ්වයෙන් තීරණයක් ගෙන ඇති නිසාද? නැතහොත් ඔවුන් වරින් වර මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරමින් අනියම් වශයෙන් වාහන ආනයනයට රජයට බලපෑමක් සිදු කරන නිසාවෙන්දැයි නිගමනය කළ නොහැකිය.

 

 

වාහන යළි ගෙන්වීමේදී බදු විශාල වශයෙන් වැඩි කිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බවත්  එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ වැඩිදුරටත් පැවසූ බව පුවත් වාර්තාවන්හි සඳහන්ය.

 

කෙසේ වුවත් ලංකාව වැනි රටකට තවත් අත්‍යවශ්‍ය පොදු ප්‍රවාහනයට අදාළ නොවන වාහන ආනයනය කරන්නේ නම් අසන්නට ඇත්තේ ලංකාවේ පාලකයින් මෙතරම්ම මුග්ධයින් වන්නේ කෙසේද කියාය.

 

පහත පලවෙන්නේ  ලංකාවේ පරිභෝජනය ගැන ස්පාර්ටකස් සාමූහිකය විසින් පසුගිය වසරේ නිකුත් කළ අදහසකි..

 

අර්බුධය තව උග්‍ර විය යුතුයි  (ස්පාර්ටකස් ලිපි)

 

ලංකාවේ නියම මෝඩ පක්ෂ දෙකක් තියනවා. ඒ තමයි ජවිපෙ සහ පෙසප. ඒ අයගේ කාර්යභාරය තමයි ජන දුක වෙනුවෙන් ශෝක වීම සහ ජන දුක නිවීම සඳහා උද්ගෝෂණ පැවැත්වීම. ඒ කියන්නේ 'ජනතාවාදය'. ඔවුන් හිතන්නේ UNP, පොහොට්ටුව, SLFP, සජබ, වගේ පක්ෂ ජනතාවාදී නැහැ කියල. ඇත්තටම ඔවුනුත් උපරිමෙන්ම ජනතාවාදීයි. මෑතක හිටිය හොඳම ජනතාවාදියා තමයි බැසිල් රාජපක්ෂ. ඔහු සමුගනිමින් දුකෙන් කිව්වේ ඇත්ත. ඒ තමයි ආර්ථිකයට ඔහු කල සේවය ඇගයීමට ලක්වෙලා නැහැ කියන එක. ජනතාවට ෆුල්ම අතල් එකක් දුන්නේ බැසිල්.

 

 

ලංකාව ලියා පදිංචි වාහන 8100000ක් දක්වා සීග්‍රයෙන් ගමන් කලේ, හැමෝම හොඳ ගෙවල් හදා ගත්තේ බැසිල් ගොඩ නගපු ආර්ථිකය තුලින්. වඩු, මේසන්, කුලී කම්කරු වැනි ක්ෂේත්‍රයන් තුල වැටුප් පරිමාවන් අතිශය ඉහල ගියේ 2009න් පස්සේ. ඒ ගැන සවිස්තරාත්මකව කලින් ලියල තියනවා.

 

 

හිතාමතාම නොකරනවා උනත් රනිල් වික්‍රමසිංහ මේ කරගෙන යන වැඩපිළිවෙල හොඳයි. පොදු ප්‍රවාහනය, ආහාර-පාන ප්‍රවාහනය සහ නිෂ්පාදනය, නිෂ්පාදන සහ කර්මාන්ත සහ අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් ඉන්ධන නිකුත් කළා නම් මේ අර්බුධය උග්‍ර වීම නවතිනවා. දැන් මේ යන විදියෙන් වෙන්නේ එකී සියල්ල අර්බුධයට යාම. විදුලි කප්පාදුව තව වැඩි කරන්න වෙවී. මොකද නඩත්තුව සඳහා ඩොලර් නැහැ. ඩොලර් යෙදවෙන්නේ වාහන දුවන්න තෙල් ගෙන්වන්න. මේ වෙනකොට තේ කර්මාන්ත ශාලා වහන්න වෙලා. තව ටික දවසකින් අනෙකුත් අපනයන නිෂ්පාදනත් නවතීවි. ආයෝජකයෝ නම් මේ රට දිහා බලන්නෙවත් නැහැ. තවත් ණය ගන්නත් බැරි වෙනවා. එතකොට අර්බුධය උග්‍රම වෙනවා. එහෙම වෙන එක හොඳයි.

 

 

අර මෝඩ පක්ෂ දෙක කරගෙන යන වැඩෙත් හොඳයි. තෙල් දියව්, සිමෙන්ති ලාභ කරපියව්, ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටිලා, ආපහු ඒක ගොඩනගාපියව් (බැසිල්ට බැන බැන තමයි ජවිපෙ සහ පෙසප එහෙම කියන්නේ), අරක දියව්, මේක දියව් කියන කොට සීමා කරන්න හිතන් හිටියත් ආණ්ඩුව පසුබසිනවා. එකත් අර්බුධය උග්‍ර කිරීම සඳහා උත්ප්‍රේරකයක් වෙනවා.

 

 

ලක්ෂ 50ක පමණ රැකියා නිෂ්පාදනය කල ඉදිකිරීම් ආර්ථික බුබල සම්පූර්ණයෙන්ම කඩා වැටෙන එක හොඳයි. 2009න් පස්සේ ගොඩනැගී පොහොසත් උන ගල්, වැලි, පස්, ලී, මැටි ව්‍යාපාරික ප්‍රජාව සහ ඉදි කිරීම් ප්‍රජාව සම්පූර්ණයෙන්ම කඩා වැටිය යුතුයි.

 

දන්නා කෙනෙක් උදාහරණයට ගන්නම්. හාඩ්වෙයා එකක් තියනවා. ඒකෙ අයිතිකාරයා ඉතාම සුළුවෙන් ඒක පටන් ගත්තේ 2010දී. නමුත් අද වෙනකොට JCB 6ක්, රෝද 10යේ විශාල ටිපර් 26ක්, රෝද 8 ටිපර් 16ක් සාමාන්‍ය ට්‍රක් සහ පොඩි ටිපර් 12ක් තව ලෝඩර් කිහිපයකුත් තියනවා. ඔක්කොම වාහන 63ක් තියනවා. පඩි ගෙවන්නේ දවස ගානේ. දවසකට සේවක පඩි නඩි බේරන්න විතරක් ලක්ෂ 4ක් 5ක් යනවා. පහුගිය කාලේ ඔය වාහන සේරම හැමදාම වැඩ. ප්‍රධානතම ව්‍යාපාරය තමයි පස් කැපීම සහ ප්‍රවාහනය. වැඩිම ආදායමක් ඉපයෙව්වේ ඒකෙන්. පොලීසියේ සහාය ඇතිව තමයි කෙරුනේ. එච්චර වාහන තියන පුද්ගලයා ගමන් බිමන් යන්නේ ස්කූටරයකින්. මොකද වාහනයකින් යන්න යන වියදමත් ඉතුරු කරලා ආයෝජනය කරන්න ඕන නිසා.

 

එකී පන්නයේ ව්‍යාපාරිකයින් සහ ඊට වඩා මහා පරිමාන සහ සුළු පරිමාන ව්‍යාපාරිකයින් 2009යෙන් පස්සේ රට පුරා ගොඩනැගුනා.

 

 

විවිධ ආකාරයේ සුවිසල් මන්දිර ගොඩනැගෙන්න පටන්ගත්තේ 2009න් පස්සේ. අලුතින් මාර්ග ඉදිවීම, මාර්ග සංවර්ධනය උපරිමයටම ගියා. සමහර රටවල එක එක්කෙනාට ඕන විදියට ගෙවල් හදන්න බැහැ. ඒ වගේම නිවාස වල ප්‍රමාණය සීමා කරනවා. නිවාසයක වියදම මත අති විශාල බද්දක් හෝ පැනෙව්වා නම් මේ විදියේ ගෙවල් හැදෙන්නේ නැහැ.

 

 

මේ යන විදිය තුල එවැනි ව්‍යාපාරිකයෝ සම්පූණයෙන්ම ඉවර වෙනවා. ඒක විය යුතු දෙයක්.

 

වාහනයක් නැතිව ගමන් බිමන් යන්න බැරි පුරුද්දක ඉන්න අය මාරාන්තික වෙන්න නියමිතයි.

 

අවශ්‍යතාවයක් තිබෙන කිසියම් දේශපාලන ව්‍යාපාරයක මැදිහත් වීමෙන් ඉටු කොටගත නොහැකි අනගිභාවනීය තත්වයක් උදා වෙලා තියනවා.

 

 

ලංකාව යම් ආකාරයක reset කිරීමක් කරන්න මේක හොඳ අවස්තාවක් උනත් ඒක ගැන දේශපාලනයේ ඉන්න කිසිවෙකුට අවබෝධයක් නැහැ.

 

 

@spartacus.lk