SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්දන පන්තිය වෙනුවෙන් පෙනී සිටින ජනතාවාදී ආණ්ඩුවක් වශයෙන් ඉදිරියේ දී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන ආකාරය ඉදිරි සති කිහිපය තුළ තීන්දු කෙරෙනු ඇත.

 

පසුගිය බදාදා මෙරටට පැමිණි එහි ඉහළ පෙළේ නියෝජිතයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ප්‍රතිපත්ති තීරකයන් හමු වූ අතර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන රාමුව තුළ කටයුතු කරන අභිප්‍රාය අලුත් ආණ්ඩුව විසින් අත්හැර දමා නැත. දරුණු ආර්ථික අර්බුදයකට පසු ආර්ථිකය ඍණ අගයකට වැටුණු අතර 2022 වසරේ සිට ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවීම අත්හිටුවා තිබේ. ජාතික ආදායම දුර්වල වී තිබුණි. විනිමය හිඟය බලවත් පීඩා ඇති කළේය. අභ්‍යන්තර හා බාහිර වශයෙන් එල්ල වූ ආර්ථික තෙරපුමකට පත් ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතය අවුල් සහගත තත්ත්වයකට පත්විය. පැවැති ආණ්ඩුවල ක්‍රියාකාරකම් බලවත් දෝෂදර්ශනයට පත් වූ අතර දූෂණය හා දුස්කළමනාකරණය හේතු කොටගෙන සංවර්ධන ගමන විනාශ කර දමන ලද බවට චෝදනා නැගිණ. අලුත් අදහස්වලින් යුතු මාක්ස් ලෙනින්වාදී පසුබිමක් සහිත නායකයකු පත්කර ගැනීමට ජනතාව තීන්දු කරන ලද්දේ එවැනි පසුබිමක් තුළ බව සඳහන් කළ යුතුව තිබේ.

 

බලයට පත් වූ වහා ගොවියන්ට පොහොර සහනාධාර සහ ධීවරයන් ඇතුළු පිරිස්වලට සහන යම් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ දිසානායක ජනාධිපතිවරයා පසුව ඉන්ධන මිල සූත්‍රය අනුව එහි ගාස්තු ද අඩු කරන තීරණයකට එළඹියේය. පාර්ලිමේන්තු මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දී ජනතාවට සහන දෙන ඇතැම් යෝජනා ආපසු හරවන්නටත් ආණ්ඩුවේ ප්‍රතිලාභ ප්‍රකාශයට පත් කරන වේගය අඩාල කරන්නටත් හේතු වූ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවලට පසු ඔවුන් පනවා ඇති රාමුවට එපිටින් ඇති අලුත් ව්‍යුහයක් අත්හදා බලන්නට සූදානම් බව නිසැකය.

 

බදු ආදායම නොලැබෙතත් දුප්පතුන්ට සහන

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ සැලැස්ම තුළ ඇති තුන්වැනි වටයේ පසුවිපරමට සූදානම්ව සිටී. බදු ආදායම නංවන පියවර සහ මූලික වශයෙන් රාජ්‍ය සැපයුම් එනම් ඛනිජ තෙල්, විදුලිය යනාදිය අලාභ නොවන මිලකට අලෙවිකරණ තීරණ ගෙන තිබුණු අතර ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇතැම් එකඟතාවලට ඇතුළු වී සිටියේය. එම ප්‍රයත්න වෙනස් කරන්නට ආණ්ඩුව අදහස් කරගෙන සිටින්නේ ද යන්න පැහැදිලි නැත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනගන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලැස්ම වෙත ඉතා තියුණු සමාලෝචනයකට ඇතුළු වනු ඇති බව විශ්වාස කළ හැකිය.

 

 

ජනාධිපතිවරණ වේදිකාවේදී මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන බව පැහැදිලිව ප්‍රකාශ කරන ලද දිසානායක ජනාධිපතිවරයා ජනගහනයෙන් බහුතරයක් දුප්පත්භාවයට පත් කරන්නට හේතු වූ අධික බදු යෝජනා ඉවත් කරන බව සපථ කළේය. විශේෂයෙන් ප්‍රතිවාදීන් ජාතික ආදායම බිඳ වැටෙනු ඇති බව පුන පුනා ප්‍රකාශ කරන අතරවාරයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු ඉවත් කිරීමෙන් පසු ජනතාවට සහනයක් ලැබෙනු ඇති බව ජාතික සමගි බලවේගය පැහැදිලිව දක්වන ලද කරුණකි.

 


බදු ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට අටක සිට අවම වශයෙන් සියයට පහළොව දක්වා වැඩි කරගැනීමට පසුගිය කාලයේ සැලසුම් කර තිබුණි. සංශෝධිත බදුවලට අමතරව වත්කම් සලකා බලා අලුත් බදු ක්‍රමයක් 2025 වසරේ සිට යෝජනා කර ඇත. සෑම පුරවැසියකුටම බදු ලිපිගොනුවක් ආරම්භ කරන්නට කටයුතු කෙරේ. අය කරගෙන නැති ඇතැම් හිඟ බදු වහාම අත්පත් කරගන්නා අතර ඒවායෙන් අඩු ආදායම් ලබන ජනතාවට සහන සැපයීම ආණ්ඩුවේ උපාය වී තිබේ. මේවා නැවත සලකා බලන්නේ ද යන්න ඉදිරියේ දී තීරණය වේ.

 

 

පෞද්ගලීකරණය ගැන වෙනස්ම අදහසක්

 

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රගතිය සමාලෝචනය කරනු සඳහා තෙවැනි වතාවට මෙරටට එන මූල්‍ය අරමුදලේ කණ්ඩායම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණ ක්‍රමවේදය ගැන තද විශ්වාසයක සිටියේය. රාජ්‍ය වියදම අඩු කරන අතර අලුත් ආයෝජන අවස්ථා සඳහා ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය ගණනාවක් පැවරිය යුතු බව මූල්‍ය අරමුදලේ නිර්දේශය වී තිබුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් රජයේ කොටස් ප්‍රමාණය, ලංකා හොස්පිටල්, ෂෙල් සමාගම ඇතුළු අංශ ගැන සාකච්ඡා කෙරිණ. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකරන සහ කෙසේ හෝ ලාභ උපයන තැනට හරවන බව දැනට ප්‍රකාශයට පත්ව ඇත. කෙසේ වෙතත් පෞද්ගලීකරණ සැලැස්ම අනුව ආයෝජකයන් තිදෙනකු හඳුනාගෙන ඉදිරියට පියවරක් තැබීමට නියමිතව තිබුණු ශ්‍රී ලංකන් සේවය ගැන නිල වශයෙන් රජයේ නිවේදනයක් නිකුත් කොට නැත.

 

ආර්ථිකය ස්ථාවර කරගන්නා අතර ඉදිරි වසර පහ තුළ සියයට හය ඉක්මවන වර්ධනයක් කරා යා යුතුව තිබේ. දැනට ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරන පරිදි සංවර්ධන වේගය සියයට තුන හතර අතර තිබිය හැකිය. මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වේගවත් කළහොත් වර්ධන වේගය නංවාගත හැකි වේ. එහෙත් ආකෘති වෙනස්කම් හේතු කොටගෙන මැදි ආදායම් ලබන ජන කොටස් තවත් වටයකින් අපහසුතාවයකට පත්වීම වැළැක්විය නොහැක. ජනාධිපතිවරයාට ඡන්දය දුන් මැදි ආදායම් ජන කොටස වෙනුවෙන් බදු පැත්තකින් තබන්නේ නම් රටට ඉක්මනින් ආදායම් ලැබෙන උපාය මාර්ගවලට ඇතුළු වෙන්නට සිදු වේ.

 

දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන අතර ඒවා ගෙවීම ඉක්මන් කර නැවතත් රටට අවශ්‍ය විනිමය ණය වශයෙන් තාවකාලිකව ලබාගැනීම අලුත් ආණ්ඩුවේ අරමුණ බව නිරීක්ෂණය කළ හැක. ණය ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය වැදගත් වන අතර පසුගිය දා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව ණය නොගෙවන රටක් වශයෙන් තිබුණු තත්ත්වය ණය ගෙවීම සීමාකර ඇති රටක් දක්වා වෙනස් කර තිබේ. එය අත්පත් කරගත් අතිරේක වාසියක් වන අතර නැවතත් ජාත්‍යන්තර සහාය ලබාගතහොත් නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළු විය හැකිය.

 

 

විද්‍යාව හා තාක්ෂණයට වැඩි බරක්

 

 

අනුර කුමාර දිසානායක රජයේ වැඩි බරක් විද්‍යාව හා තාක්ෂණ අංශයට තබන බව පැහැදිලිය. හෙතෙම එය පැහැදිලිව ජනතාව හමුවේ තැබීය.

 

 

කොවිඩ් වසංගත කාලයේ දී ලෝකයේ හැසිරීම තාක්ෂණ වශයෙන් වේගවත් වූ අතර එය ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය ඇති කරන්නට බලපෑ අතර පිරිවැය කළමනාකරණයට ඉඩ දුන් බව සඳහන් කළ යුතුය. එහි වාසිය ලබාගත යුතු වේ. දූෂණය හා නාස්තිය අවම කරන අතර රජයේ වියදම් පාලනය කළහොත් එය රටට ලැබෙන අතිරේක වාසියකි. එයට අමතරව තාක්ෂණය භාවිත කර සැපයුම් චක්‍රයට හා නිෂ්පාදන ක්‍රියාවලියට ඇතුළු වුවහොත් අලුත් පිම්මකට ඉඩ ඇත. මෙම ක්‍රමෝපාය සඳහා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කර පසුගිය ආණ්ඩුව එකඟ වූ ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් අලුත් ක්‍රමවේදයක් ඇතිකර ගතහොත් සුදුසුය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරියේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇති ඉඩකඩ සීමා වීම හා විශේෂයෙන් 2025 වසර සඳහා අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පසෙක තැබීමට සිදුවීම තාවකාලික අවාසියක් බව පෙනේ.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ රාමුවක් සහිතව නැවතත් අලුත් ආණ්ඩුව ඉදිරියේ පෙනී සිටින බව මතක් කර දිය යුතුය. පසුගිය දශක ගණන තුළ දහසය වතාවක් පැරණි ආණ්ඩුවලට ඔවුන්ගේ වෙළෙඳපොළ උපක්‍රම හඳුන්වා දෙන්නට උත්සාහ කර ඇත. වාසනාවකට හෝ අවාසනාවකට ශ්‍රී ලංකාව එතැනින් ලැබුණු උපදෙස් අනුව ඇතුලාන්තය දක්වා ගමන් කර සම්පූර්ණ ආවරණය ලබාගත්තේ නැත.

 

 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුව අරඹන ලදී. එය ඉදිරියට ගෙන යන්නේ තාවකාලිකව ආණ්ඩුව කරගෙන ගිය රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළය. එහි අවසානයත් සමඟ අලුත් ජනාධිපතිවරයා වෙත මූල්‍ය අරමුදලේ සැලැස්ම භාර වී ඇත.

 

 

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මූල්‍ය අරමුදලේ රාමුව හඳුනන හා එයට වගකියන ප්‍රධාන රජයේ නිලධාරීන්ය. මෙතැනින් ඔබ්බට පැවැත්ම ගැන මෙම සාකච්ඡාවලදී තීරණය කරනු ඇත. ජනතාව ඡන්දයෙන් පත් කරන්නේ හුදෙක් නිලධාරීන් නොවන බව මතක තබාගත යුතු වැදගත් කරුණකි. අසාර්ථකභාවයෙන් සාර්ථකත්වය ලබා ගැනීම සඳහා අලුත් දේශපාලන අධිකාරියක් ජනතාව තෝරාගෙන තිබේ. මූල්‍ය අරමුදලේ කොන්දේසි, ඒවායෙන් ආවරණය කරන බල ප්‍රදේශ ගැන තීන්දු ගැනීමේ අයිතිය ජනතාව පත් කරන ලද ජනතා නියෝජිතයන්ට ඇත.

 

 

@ සාරා කන්දෙගොඩ

Deshaya

marrikkar

නවතම ලිපි