SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කල කමිටු වාර්තා දෙකක්

තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති.

 

නමුත් එම වාර්තාවන්හිද තිබුණේ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම බවද පැවසූ අගරද ගුරුතුමන් ඊට අමතර නිර්දේශ දෙකක් කමිටුව වාර්තාවට එකතු කර තිබූ බවද සඳහන් කළේය.

 

 

වර්තමාන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් කළ යුතු බවටම එම නිර්දේශවල දැක්වුනු බවද පැවසූ අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය එක් එක් ආණ්ඩුවට වුවමනා ලෙස දේශපාලන වාසි තකා වාර්තා සකස් කර තිබූ බවත් පැවසූහ.

 

ඒ කිසිවක් පිළිගත නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ඒ ගැන සිදු කරන බවත් ඒ වෙනුවෙන් දෑස් ද ඇරගෙන බලා සිටින බවද අගරදගුරුතුමන් තවදුරටත් කියා සිටියහ.

 

“ මෙච්චර කල් නිහඬව ඉඳලා අපි කරන කිසි දෙයක් විමසන්නේ නැතිව මේ අය පාර්ලිමේන්තුවේ ඉඳලා වචනයක් වත් කතා කරන්නේ නැතුව අපේ වැඩට බාධා කරමින් සිටි අය අමුතු කැක්කුමකින් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කෙමිෂන් සභාවල වාර්තා කෝ ඒවා කොහේද තියෙන්නේ කියා කියමින් වාර්තා කෝ කියමින් විමසනවා. පාස්කු ප්‍රහාරයේ අලුත්ම වීරයෝ පිරිසක් බිහි වී තිබෙනවා. ඒ අය වැඩක් නැහැ. පසුගිය රජය විසින් පත් කළ කමිටු දෙකක් තිබෙනවා. ඒ වාර්තා කතෝලික රදගුරු මණ්ඩලයට ලබා දුන්නා.

 

පළවෙනි වාර්තාවේ තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශමයි. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම ලියන්න කොමිටියක් පත් කරන්න ඕනද?. හැබැයි එතන තව පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අතරව දැන් රටේ පැත්තේ වැඩ කරන උසස් නිලධාරීන් දෙන්නෙක්ට නීතිමය කටයුතු කරන්න කියලා කොමිටියෙන් යෝජනා කළා. ඒ කොමිටියට ඒ යෝජනා දුන්නේ කවුද ?ආණ්ඩුවමයි.

 

ආණ්ඩුවට ඕන ඔන විදියට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න අපි සූදානම් නැහැ. ඒවා පිළිගන්න අපි සූදානම් නැහැ. අපිට ඕනේ මේකේ ඇත්ත කවුද?. ඇත්තටම මොකක්ද වුනේ කියා විමර්ශනය කිරීම පමණයි. මේ රටේ නායකයා අපිට පොරොන්දුවක්දීලා තිබෙනවා. ඒ ගැන විමර්ශන ආරම්භ කරයි. අපි ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්නේ අපේ නායකයා දුන් ඒ පොරොන්දුව ඉටු කරයි කියලා”.

 

 

ගම්මන්පිලගේ පාස්කු බාල්දියට ජනපති අනුරගෙන් දැඩි ප්‍රහාරයක්!

 

පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි.

 

අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පත්කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

 

2019 පාස්කු බෝම්බ ප්‍රහාරය බලය ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව භාවිතා කළ අය අද නැවතත් නින්දෙන් අවදි වී විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

 

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහ පාලනයේ වාර්තා මිස විමර්ශන වාර්තා නොවන බවද පැවසූ ඔහු එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාටත්, අගරදගුරු මණ්ඩල ලේකම්වරයා වෙතත් යොමු කර ඇති බවද හෙතෙම පැවසුවේය.

 

එනිසා එම වාර්තා කිසිවක් රහස්‍ය වාර්තා නොවන බවද පැවසූ ජනාධිපතිවරයා දැනටමත් අදාල ආයතන වලට යොමු කර ඇතැයිද කියා සිටියේය.

 

නමුත් ඇතැම් කමිටු නිර්මාණය කරන ලද්දේම මෙම පරීක්ෂණ යටපත් කිරීමේ අරමුණින් බවද පැවසූ ඒ මහතා එනිසා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් අරඹන ලෙස රහස් පොලිසියටත් පොලිස්පතිවරයාටත් උපදෙස් ලබා දී ඇති බවද පැවසුවේය.

 

ජාතික ජන බලවේගය පෙරලන බාල්දිවලට අහුවෙන්නෙ නැති බවත් බාල්දි පෙරලන අයට ඉඩ දෙන්නේද නැති බවත් හෙතෙම කියා සිටියේය.

 

 “විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්‍රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා. දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා.

 

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා. අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න. මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි.

 

ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ, ඒවාට හිරවෙන්නෙත් නැහැ. අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවාද හංගන්න තියෙන්නේ? කවුද බේරන්න තියෙන්නේ?. ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ, බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ”.

 

ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය අද උදෑසන 10න් අවසන්!
වාර්තාව ජනගත කිරීම කාටවත් නතර කරන්න බැහැ..
සිරගත කළත් ජනතාව වෙනුවෙන් අවදානම ගන්නවා - ගම්මන්පිල කියයි

 

 

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එස්. අයි. ඉමාම් සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තා දෙක අද (21දා) උදේ දහයට හෙළි කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

 

එස්. අයි. ඉමාම් වාර්තාව පසුගිය ජුනි 25 වැනිදා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබුණු අතර, අල්විස් වාර්තාව පසුගිය සැප්තැම්බර් 09 වැනිදා භාරදී තිබිණි. ඉමාම් කමිටුව පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ආරක්ෂක අංශවල යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද යන්න සොයා බැලීමට පත්කළ අතර අල්විස් කමිටුව පත්කර තිබුණේ චැනල් 4 වාර්තා වැඩසටහන මගින් අපේ බුද්ධි අංශවලට එල්ලවූ චෝදනා ගැන සෙවීම සඳහාය.

 

මේවා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලබාදුන් කාලය අද උදෑසන 10න් අවසන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. තමන් ළඟ ඇත්තේ එම වාර්තාවල පිටපත් බවත්, සත්‍ය වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති බවත් ඔහු සඳහන් කරයි.

 

 “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය සඳුදා උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට සඳුදා උදේ 10.00 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා. මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් සඳුදා උදෑසන වනවිටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.

 

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඇමැතිතුමා මේ සියල්ල දින තුනක් ඇතුළත මම ආණ්ඩුවට භාරදිය යුතුයි කියා තර්ජනය කළා. ආණ්ඩුවේ නීති උපදේශක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මැතිතුමා රාජ්‍ය රහස් පනත යටතේ මට දඬුවම් කළ හැකියි කියා අනතුරු අඟවලා තියෙනවා.

 

මාලිමාවට වඩා රට පිළිගත් කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් අපට සහාය දෙනවා. ඒ අය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට තිබෙන අවදානම ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කළා. 1955 අංක 32 දරන රාජ්‍ය රහස් පනත අධ්‍යයනය කළාම එතුමන්ලා තර්ජනය කරන අයුරින්ම වසර දාහතරක් දක්වා සිරගත කිරීමේ අවදානමක් තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි ඒ අවදානම ගන්න සූදානම්.

 

අනුර කුමාර දිසානායක මන්ත්‍රීව සිටියදී පාස්කු වාර්තාව ප්‍රසිද්ධ කළ යුතු බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයට සිරිල් ගාමිණී පියතුමන් සම්පූර්ණ එකඟතාව පළ කළා. දැන් වාර්තාව එළිදැක්වීම සම්බන්ධයෙන් බියට පත්වුණේ සමාජයේ ඇත්ත දැනගන්නවාට බය වෙලාද? මාලිමාවේ නායකයන් සමග එතුමන්ලාත් කතෝලික ජනතාව රැවටීමට ලක් කළාද කියන සාධාරණ සැකය මතු වෙනවා.

 

නමුත් සිරිල් ගාමිණී පියතුමනි මේ වාර්තාවල තියෙන ඇත්ත දැනගැනීමේ ඒකාධිකාරයක් ඔබතුමන්ලාට නැහැ. 2019 අප්‍රේල් 21 පත්තු වුණ බෝම්බ අටෙන් දෙකයි කතෝලික පල්ලිවල පත්තු වුණේ. තව බෝම්බ හයක් පත්තු වුණා. ඒ දෙකෙනුත් කතෝලික නොවන අය ඉන්නවා. ඒ නිසා මෙය සමස්ත ජාතික ප්‍රශ්නයක් මිස ප්‍රසිද්ධ කළ යුතු යටපත් කළ යුතු වාර්තාව තීන්දු කරන්න ඔබට අයිතියක් නැති බව ගෞරවයෙන් සිහිපත් කරනවා.

 

 

ඒ නිසා මේ වාර්තා නිසා මාව අත්අඩංගුවට පත් වුණත්, මට හිතෙනවා ඒ අවදානම දැන් ඉවරයි කියලා. මොකද මම දැනටමත් ප්‍රසිද්ධ කරලා ඉවරයි. මාව අත්අඩංගුවට පත් වුණත්, ඉම්රන් ඛාන් පාකිස්තානයේ සිරගෙදර සිට ඒ අයි තාක්ෂණයෙන් මැතිවරණය මෙහෙයවූ ආකාරයට නවීන තාක්ෂණය භාවිත කරමින් සිරගෙදර සිට මේ වාර්තා එළි දක්වන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා වාර්තාව ජනගත කිරීම කාටවත් නතර කරන්න බැහැ. ඕනෙනම් ජනගත කරන්නේ කවුද කියන එක තීරණය කරන්න ජනාධිපතිතුමාට අවස්ථාව තියෙනවා”.

marrikkar

නවතම ලිපි