එවකට එනම් 1994- 95 වර්ෂයේ දි පමණ මා දුටු භද්‍ර යෞවනයේ සිටි සුගත් වසන්ත කඩවසම් ය.
සිය විශ්ව විද්‍යාල සගයින් වූ දඟකාර, කටකාර , කොලු රෑන පිරිවරාගෙන එන සුගත්ගෙ බ්‍රේක් නැති හඬ ඇසෙන්නේ අනෙක් සියලු හඬවල් පරදවාලමිනි.
මේ පිරිසේ ඇස් පෙනෙන්නේ කාගෙද ඇස් නොපෙනෙන්නේ කාගෙ ද යන්න හිතාගන්නට බැරි ය.කොලු රෑන පිරිවරාගෙන එන සුගත්ගෙ සුරතේ සුදු සැරයටියක් තිබෙනු මා දැක නැත. දෙකට තුනට කැඩූ සුදු සැරයැටිය ඇත්තේ කළිසම් සාක්කුවේ ය. සුගත්ගෙ ඇස් නොපෙනෙන බව මට දැන ගන්නට ලැබුණේ කාලයක් ගිය පසු ය.
සුගත් සිල්වා
කොළඹ 02, පල්ලිය පාර, කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලය මටත් , මගෙ හිත මිතුරන් වූ සඳුන් යාපා කරුණාරත්න , එවකට වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ යසනාත් ධම්මික බණ්ඩාර, විශ්ව විද්‍යාල සිසුන් වූ සුජීවා දමයන්ති ප්‍රීතී, උපුල්, චින්තක ,උපාලි ඇතුළු මිතුරු කණ්ඩායමට අපේම නිවසක් සේ හුරු පුරුදු ය. මේ සොඳුරු පියස සහ එහි සේවය ලබා ගන්නට එන සෙනෙහෙවන්ත පිරිස් ගැන මට මුලින්ම හඳුන්වා දුන්නේ මගෙ නිවස අසලම පදිංචිව සිටි පද්මිණී ( පද්මිණී ජයසුන්දර ) අක්කා ය. අන්ධ ජන සේවා මණ්ඩලයේ පුස්තකාලයාධිපතිනිය වූයේ ඒ පද්මිණී අක්කා ය. නිරන්තරයෙන් පිපී හිනැහෙන හිනා මලක් ඇයගෙ මුවග විය. ඇය ඉතා කාරුණික ය. මවක සේ ඇය ඒ දෑස් නොපෙනෙන සිසුන්ට සෙනෙහෙවන්ත ය. (දැන් පද්මිණී අක්කා ජීවතුන් අතර නැත.)
පොත් කියැවීමේ නොතිත් ආශාවක් තිබූ මා ඇය සමඟ එම පුස්තකාලයට ගියේ පොත් කියවන්නට ය. එහෙත් එහි පොත් ලෙස තිබුණේ විවිධ විෂයයන් සම්බන්ධව ලියැවුණු සහ කෙටිකතා, නවකථා, පරිවර්තන,අනුවර්තන ආදී මෙකි නොකී පොත් පටිගත කරන ලද කැසට් පට අඩංගු කුඩා පෙට්ටිය. පොතේ නම බ්‍රේල්වලින් සඳහන් කර රාක්ක පුරා සීරුවට අසුරා තිබිණ. කැසට්පට අඩංගු ඝන කවරය මත වූ බ්‍රේල් අකුරු හෙමිහිට පරෙස්සමෙන් අතගා සිසුන් පොත් තෝරද්දි මගේ දෑස මටත් නොදැනී තෙත් වූ වාර අනන්තය. අප්‍රමාණය.
මම සුගත්ලාට ස්වේච්ඡාවෙන් පොත් කියවන්නියක් වූයෙමි. එය මහත් වූ ආදරයෙන් සෙනෙහසින් ඕනෑකමින් මම කරන්නට වීමි. පසුව මාගේ මිතුරු පරම්පරාව පමණක් නොව මගෙ සම්බන්ධීකරණය මත කසුරි ( කරුණාදාස සූරියආරච්චි වැනි ප්‍රවීණ මාධ්‍යවේදීන් ද , වෛද්‍ය සිසුන්, නීති සහ විශ්ව විද්‍යාල සිසුන් ද එයට එකතු කරන්නට වීමි) ඉඩක් ලැබෙන හැමවිටම එතැනට ගොස් දෑස් නොපෙනෙන සුගත්ලාට,නාලනීලාට, අශෝකලාට, ධාර්මිකාලාට අප පොත් කියෙව්වේ මහත් වූ සතුටිනි.
පොත් කියවනවා කිව්වාට අප කරන්නේ පොත් පටිගත කරන ස්ටූඩියෝවේ අසුනක වාඩිවී, හෙඩ් ෆෝනය කනේ ගසාගෙන හැඩවැඩ දමා, දන්න උපරිමයෙන් මිහිරට පොත් කියවිමය. පොත් පටිගත කරන කාරිය කරන්නේ පද්මිණී අක්කාය. ඒ කියවන රාජකාරිය ද සරල නැත. එය කොලිටියටම කළ යුතු ය.
රොස්මන්ඩ් සේනාරත්න, අරූන් ඩයස් බණ්ඩාරනායක වැනි ජ්‍යෙෂ්ඨ වෘත්තිමය ප්‍රවීණයන් අතර පොඩි එවුන් වූ අප ද ස්වේච්ඡාවෙන් පොත් කියැවූයේ මහත් ආශාවෙනි.
මහ හයියෙන් සිනාසෙමින් බ්‍රේල් අංශයේ තිබූ රෙකෝඩ් රූම් එකට කඩා වදින සුගත් ප්‍රධාන කොලු නඩය පැමිණි සැනින් එය වියත් සභාවකි. සතුටු සාගරයකි. ආර්ථිකය , දේශපාලනය, කලාව, සාහිත්‍යය, සංස්කෘතිය ගැන කෙරෙන සංවාද මණ්ඩපයකි.
ඔහු එන එක් දිනයක මම කියවමින් සිටියේ බරිස් පලෙවොයිගේ සැබෑ මිනිසෙකුගේ කතාවය. වීදුරුවකින් වෙන්කර ඇති අනෙක් පස පටිගත කිරීම් කරමින් සිටින්නේ පද්මිණී ජයසුන්දර අක්කා ය." ආ...පද්මිණිල දෙන්න බරටම වැඩ වගේ. පස්සෙ ඕක කරමු. වඩයක් කාලා ප්ලේන්ටියක් බොමු. ඔහු සිනාසෙමින් පවසන්නේ දෑස් යසට පෙනෙන අයෙකු සේ හෙඩ් ෆෝනය මගෙ හිසින් ගලවමිනි. මා දෑසින් දුටු සැබෑ මිනිසා ද සුගත් ය.
සුගත්ගෙ දෑස් නොපෙනීම විටෙක මට විශ්වාස කරන්නට අසීරු ය. බ්‍රේල් අංශයේ පුටුවක වාඩිවී හිස පහතට නවාගෙන මහත් වූ වුවමනාවකින් බ්‍රේල් පොත පිරිමදිමින් කියවන ඔහුට, නිරන්තරව එහි පොත් කියවන්නට එන අපගේ පියවර හඬින් අපේ නම කියා අමතන්නට, සරදම් කරන්නට තිබූ අපූරු හැකියාව විටෙක මා විශ්මයට පත් කරන්නක් විය. සුගත් මෙන්ම මිහිරට ගී ගයන්නට, දක්ෂ ලෙස ක්‍රිකට් ගසන්නට, විසිතුරු මල් ලියකම් කරන්නට මේ ආදී විවිධ දක්ෂතාවන්, හැකියාවන් තිබූ දෑස් නොපෙනෙන තරුණ තරුණියන් එහි දී මට හමුවූ බව ද සැබෑවක්ම ය.
අපි කියවන පොත පතට වඩා වැඩි දැනුම් සම්භාරයක් සුගත් ඇසුරේ හිඳිමින් අපි ලබා ගත්තෙමු. සැබෑ මනුෂ්‍යත්වය ඔහු ඇසුරේ අපි හැඳින ගත්තෙමු. රටේම දෘෂ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් කළයුතු, කළ හැකි දෑ ඔහු විටෙක කතා කළේ මහත් වූ කම්පාවෙනි. අනුන් මත යැපීමකින් තොරව, මේ රටේ සෙසු පුද්ගලයන් සේ සමාන අයිතිවාසිකම් හිමි ජන කොටසක් බව සැලකිය යුතු වුවත්, පාලකයන් විසින් ඔවුන් නොසලකා සිටීම ගැන ඔහු කතා කළේ වේදනාවකිනි. යහපත් පාලනයක් රටේ බිහිවෙනු දැකීම ඔහුගේ සිහිනය බවත්, එය කළ යුතුම කාරියක් බවත් ඔහු පවසන්නේ අධිෂ්ඨානශීලිව ය. ජීවයක් නොතිබූ ඒ දෑස් ජීවයෙන් දිදුළනු මම දුටුවෙමි. ඔහු සතු අවංක අපේක්ෂාවන්, විප්ලවීය හැඟීම්, කතාබහ අපූර්ව ය.
අද සුගත්ලාගෙ සිහිනය සැබෑ වී ඇත. එවකට සුගත්ගේ පෙම්බරිය වූ, දැන් ප්‍රිය බිරිඳව සිටින, එදා මිහිරට ගී ගැයූ නාලනී ඇතුළු දෑස් නොපෙනෙන අශෝක මල්ලි, චන්ද්‍රා අක්කා, නිර්මලී ඇතුළු ඔවුන් අභියස තිබූ බොහෝ අභියෝගයන් වන සුබ සාධනය, සමාජ බල ගැන්වීම, පවතින නෛතික රාමු තුළ ඇති බාධක ඉවත් කිරීම ක්‍රමිකව සිදුවනු ඇත.
ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුවෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස සුගත් පාර්ලිමේන්තුව තුළ රටේ ලක්ෂ දාහතක් ඉක්ම වූ දෘෂ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් පමණක් නොව විශේෂ අවශ්‍යතා ඇති විශාල පිරිසකට ගුරු තරුවක් වෙනු ඇත.
ආදරණීය සුගත්ට...මගේ සහෝදරත්වය පිරුණු ආදරණීය සුබ පැතුම් ..!
@ පද්මිණී මාතරගේ
Padmini Matarage fb page