SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය, මහමැතිවරණය අනතුරුව දැන් ආණ්ඩු පාලනය යන මේ සුළු කාලය තුළ දී

ජාතික ජන බලවේගය ආණ්ඩුව හොදට කරගෙන යනවා නේද...? කියන කතාව ජනතාව තුළින් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

 

 

විශේෂයෙන්ම, විනය, පිළිවෙල හා නායකත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ කාලයක් පුරාවට ගොඩනගා ගත් ප්‍රතිරූපය නිසාත්, එය තම ආණ්ඩුව තුළින් විද්‍යාමාන වන නිසාත් ජනතාවගේ එම සිතුවිල්ල නිවැරදි යැයි කිව හැකිය. තවද, ජාතික මන්ත්‍රී ධූර සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙත්, සමගි ජන සන්ධානයේත් මතු වී ඇති මතභේද හා ගැටළු නිසා ආණ්ඩුවේ විනය, සාපේක්ෂව මැනවින් ජනතාවට දැකිය හැකි වී ඇත.

 

කැබිනට් අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර සඳහා දැන උගත් ආචාර්ය මහාචාර්යවරු වැඩි පිරිසක් පත් කිරීම සම්බන්ධයෙන් ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරනු පෙණේ. එනමුත්, ඒ ඒ අයගේ විශේෂ කුසලතා ගැන වැඩි අවබෝධයක් නැතත් දන්නා හඳුනන බෝහෝ දෙනාට එම විෂය පථයන් ලැබුණේ කවර පදනමකින් ද යන්න ගැන නම් ප්‍රහේලිකාවක් තිබේ. එනමුත්, ඒ ගැන අවසාන නිගමනයකට පැමිණීම දැනට දුෂ්කර කරුණකි.

 

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව වුවද බොහෝ දෙනාගේ ආකර්ෂණයට හේතූ වී ඇත. එහිදී රටේ ආන්දෝලනාත්මක දේශපාලන සංසිද්ධීන්ට හේතූ වූ බොහෝ දේශපාලන කරුණු වලට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සෘජු ව ප්‍රකාශ කිරීම අගය කළ යුතුය. රාජ්‍ය දේපොළ කොල්ලකෑම් හා විවිධ අපරාධ වලට දඩූවම් කිරීම අත් නොහැරිය හැකි වගකීමක් ලෙස ප්‍රකාශ කිරීම ද ජනතා තීන්දුවට වටිනා කමක් ලබාදීමකි.

 

ආර්ථික අර්බුදය පිළිබඳ ඉතා සංවේදී මනසකින් කටයුතු කිරීමට සිදුවෙන බැව් ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ගෙන් දුරස් නොවන බවද ප්‍රකාශ කිරීම, මැතිවරණ සමයේ වේදිකා තුළ කළ කතාවලට වඩා යථාර්ථය ට සමීප වීමකි. සුවිශේෂී පරිස්සමක් සහිතව ආණ්ඩුවේ ආර්ථීක ගමන් මග ඉදිරියට තැබීම යනු විටෙක උවමනාවට වඩා නිලධාරීන්ගේ බසට අවනත වීමක් යැයි කෙනෙකුට සිතන්නට ද පුළුවන. නැතහොත්, ආර්ථික ස්ථායිතාව ගොඩනැගීම සදහා දැනටමත් දරනු ලබන සමාජීය වියදම නොසලකා සිටීමක් වුව විය හැකිය.

 

 

කෙසේවෙතත්, ආර්ථික ස්ථායිතාව තිරසාර ලෙස ගොඩනැගීම සදහා පාර්ලිමේන්තුව තුළ එහි විවිධ කාරක සභා තුළ සහ ක්‍රම සහ විධි පිළිබඳ කෙරුණු කතා බහ තුළ පැමිණි නිර්දේශ හා නිගමන කෙරේ නව ආණ්ඩුව තම අවධානය යොමු කිරීමට උත්සුක විය යුතුය. ආර්ථික පීඩාවන් සමනය කරගැනීමට හැකි දේශීය විසඳුම් රැසක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවම ඉන් සොයා ගත හැකි යැයි විශ්වාස කරමි.

 

 

හුදු මූල්‍ය ගිණුම් විගණනයට පමණක් සීමා නොවී වඩා පුළුල් කළමණාකරන විගණන ක්‍රමවේදයන් ට අවතීර්ණ වෙමින්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය සමාගම් කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. හුදු වංචා දූෂණවලට එහා ගිය රාජ්‍යයේ පතුලේ ක්‍රියාත්මක වෙන අනුග්‍රාහක හා සහචරවාදය පිටුදැකිය හැකි විවෘත හා පාරදෘශ්‍ය ආණ්ඩුකරණයක් වෙනුවෙන් පෙණී සිටීමටත්, ක්‍රියාවේ යෙදවීමටත් මෙම අලුත් ආණ්ඩුවට හැකි වේ නම්, ඔවුන්ගේ විනය හා පිළිවෙලට සැබෑම වටිනාකමක් ලැබෙනු නියතය.

 

 

@Bandula Chandrasekara

නවතම ලිපි