ක්‍රි. ව. 1728 සිට වර්තමානය දක්වා
මේ චතාරික සමය නොහොත් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්ති ස්මරණ සමයයි. එය සිහිපත් කරමින් ලොව විවිධ රටවල පාස්කු නාට්‍ය රඟදක්වනු ලබයි.
යුරෝපයේ වඩාත්ම ප්‍රකට පාස්කු නාට්‍ය වන්නේ ජර්මනියේ ඔබර් අමර්ගාවෝ ගම්මානයේ දස වසරකට වරක් රඟදැක්වෙන පාස්කු නාටකයයි.
එය ආරම්භ වූයේ ක්‍රි. ව. 1634දී වන අතර අද දක්වා සෑම වසර දහයකටම වරක් නොකඩවා ප්‍රදර්ශනය කෙරේ. නොකඩවා මාස පහක් පුරා (මැයි මාසයේ සිට ඔක්තෝබරය දක්වා) ප්‍රදර්ශනය කෙරෙන එම නාට්‍යය අවසාන වරට ප්‍රදර්ශනය කෙරු, 2010 දී වන අතර යළි ප්‍රදර්ශනය කිරීමට නියමිත වූයේ පසුගිය වසරේය එහෙත් කොරෝනා වසංගතය නිසා එය ප්‍රදර්ශනය නැවතිණි.
ශ්‍රී ලංකාවේ කිතුණු නාට්‍ය ප්‍රදර්ශනය ක්‍රි. ව. 1602 වැනි අවධිය දක්වා දිවයන්නකි. කොළඹ පිහිටි කතෝලික දෙව් මැදුරක ක්‍රි. ව. 1602 නොවැම්බර් 30 දින ආගමික නාට්‍යයක් රඟ දක්වා තිබේ. 1603දී බෝලවත්තේද, 1613දී කම්මලද 1617දී හලාවතද මෙවැනි කිතුණු නාටක රඟ දැක්වූ බවට ගරු අර්නස්ට් පෝරුතොට පියනම සඳහන් කරයි.
ගිහියන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම නාට්‍ය ධීවර ගම්මාන ආශ්‍රිතව රංග ගත කෙරිණි.
පසුකාලීනව ක්‍රිස්තු තුමන්ගේ දුක්ප්‍රාප්තිය නිරූපණය කිරීම සඳහා පාස්කු නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ආරම්භ වූයේය. පාස්කු යන වදන බිදී ආවේ පෘතුගීසී ‘පාස්සු’ යන වදනිණි. එහි අරුත ක්‍රිස්තුන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ප්‍රතිමා ඇසුරින් ඉදිරිපත් කිරීම යන්නයි.
ලංකාවේ පාස්කු නාට්‍ය ආරම්භ වූයේ මන්නාරමේ පේසාලේ ප්‍රදේශයේ යැයි මුඛපරම්පරාගතව පැවසෙන බැව් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කර තිබේ. පසුව එය යාපනය, දූව, පිටිපන, පමුණුගම යන ප්‍රදේශවල දෙව් මැඳුරු ඉදිරිපිට මඩු තනා ප්‍රදර්ශනය කර තිබේ. ක්‍රි. ව. 1706දී ජුසේ වාස් පියතුමා වන්නියාර්වරුන්ගේ සහය ඇතිව වන්නියේ පාස්කු සන්දර්ශනයක් පවත්වා ඇතැයි එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ කෘතියක සඳහන්ය. මුලින්ම රූකඩ අධාරයෙන් මෙම නාටක ඉදිරිපත් කෙරුණු අතර ඒ අනුව අනිත් ප්‍රදේශවලද එම ක්‍රමය අනුගමනය කර තිබේ.
පාස්කු නාට්‍ය සඳහා පෙළ සකස් වූයේ සිංහල කතෝලික සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන 1705 මෙරටට පැමිණි ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ (ක්‍රි. ව.1676 -1742) ‘දුක්ප්‍රාප්ති ප්‍රසංගය’ නම් කෘතිය ඇසුරිනි. මෙම කෘතිය ද්‍රවිඩ බසින්ද රචනා වී ඇති අතර එය ‘ව්‍යාකූල පිරසංගම්’ නමින් හැඳින්වෙයි. දැනට වසර 300කට ආසන්න කාලයක් මුළුල්ලේ නොකඩවා ඉදිරිපත් කෙරන එකම පාස්කු නාටකය වන්නේ මීගමු දූවේ පාස්කු නාටකයයි. එය ක්‍රි. ව. 1728දී පමණ ආරම්භ වී ඇතැයි පැවසේ. ක්‍රි. ව. 1839දී එහි 100 වන පාස්කු දර්ශනය පැවැත්වූ බැව් පැවසේ.
ක්‍රි.ව 1939 දක්වා දූවේ පාස්කුව සඳහා භාවිත කෙරුණු රූකඩ ප්‍රතිමා වර්තමානයේ රූකඩ සංදර්ශන සඳහා භාවිත කෙරෙන රූකඩවලට වඩා වෙනස්ය. සාමාන්‍ය රූකඩ අඩි 2ත් 4ත් අතර ප්‍රමාණයේ වුවද පාස්කු නාටක සඳහා භාවිත කළ රූකඩ මිනිසකුගේ උසටත් වඩා වැඩි විය. සාමාන්‍යයෙන් ඒවායේ උස අඩි 6- 7 ඉක්මවීය. එම රූකඩවල බෙල්ලෙන් ඉහළ කොටස හා අත්පා චලනය කළ හැකි විය. ක්‍රි. ව. 1839 පෙර කුරුසියේ ඇණගැසීම සඳහා යොදාගත් ප්‍රතිමාව පමුණුගම ප්‍රදේශයෙන් රැගෙන එන ලදි. පිදුරු ගෝලයෝ නමින් හැඳින්වෙන ඇතැම් පැරණි රූකඩ තවමත් දූව දේවස්ථානයේදී දැකගත හැකිය.
අතීතයේ දූවේ විසූ ගම්වැසියන් සියල්ලෝම පාහේ ධීවරයෝ වූහ. පුත්තලම, මඩකලපුව, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල ධීවර කර්මාන්තයේ නියැලි ඔවුහු තමනට අවශ්‍ය දැල් ආම්පන්න හා වෙනත් දේ මිලට ගැනීමටත් තමන් සතු කරවල වැනි දෑ අලෙවි කර ගැනීම සඳහාත් දකුණු ඉන්දියාවට යාත්‍රා කිරීම සුලබ සිදුවීමක් විය. මෙම කාර්යයේ නිරත වූ ප්‍රමුඛ පුද්ගලයන් තිදෙනකු වූයේ මිහිඳුකුලසූරිය අදිරියන් ප්‍රනාන්දුගේ පුත්‍රයන් වූ මිහිඳුකුලසූරිය ජුවන් ප්‍රනාන්දු, දුමින්ගු ප්‍රනාන්දු සහ පේදුරු ප්‍රනාන්දු යන අයයි.
මේ තිදෙනා ඉන්දියාවේ කොචින් නුවර බලා ගිය අවස්ථාවක එම ප්‍රදේශයේ සිටි විශිෂ්ඨ ප්‍රතිමා ශිල්පියකු හඳුනා ගැනීමට අවස්ථාව සැලසිනි. ඔහු නමින් ජෝකීනු මේස්ත්‍රි විය. එතෙක් දූවේ පාස්කු සංදර්ශන සඳහා වෙනත් පළාතකින් ප්‍රතිමාවක් ගෙන ඒමට සිදුව තිබූ හෙයින් මෙම සොහොයුරන් තිදෙනා ජෝකිනු මේස්ත්‍රි ලවා කුරුසියේ ඇණ ගැසීම සඳහා යොදා ගනු පිණිස ප්‍රතිමාවක් සාදා ගැනීමට තීරණය කළහ. ප්‍රතිමාව නිම කිරීම සඳහා ජෝකීනු මේස්ත්‍රි රුපියල් 300ක මුදලක් ඉල්ලා සිටියේය. විශේෂ අවධානයකින් යුතුව ඔහු ප්‍රතිමාව නිර්මාණය කළේය. එය තුළින් ඉතා සංවේගජනක ස්වරූපයක් දිස්විය. එහි නහර පවා ඉල්පෙන අයුරින් සකස් කළ අතර ප්‍රතිමාවේ නෙත්, සිරස, දෑත් හා දෙදණ චලනය කළ හැකි අයුරින් නිර්මාණය කිරීම සඳහා මාස නවයක් ගත විය. ප්‍රතිමාව බහාලීම සඳහා ප්‍රතිමා ශිල්පියා විශේෂ මංජුසාවක්ද නිර්මාණය කළේය.
1838 පාස්කු සංදර්ශනය සඳහා ප්‍රතිමාව දූවට ගෙන ඒමට පිරිසට අවශ්‍ය විය. එය රැගෙන ඒම සඳහා කණ්ඩායම එහි යන විට ප්‍රතිමාවේ වර්ණාලේප වියැලි තිබුණේ නැත. එහෙයින් එය රැගෙන නොයන ලෙසට මේස්ත්‍රි අවවාද කළද දූවෙන් ගිය පිරිස එයට එකඟ නොවී එය ගෙන ඒමට පිරිස උත්සුක වූහ. ප්‍රතිමාව තැන්පත් කෙරුණේ දූවේ ජැකොබයිට් දේවස්ථානයේය. මෙම ප්‍රතිමාවේ වර්ණ ආලේපය සඳහා රත්රන් පවුම් 70ක් පමණ උරගා ඇතැයි පැවසේ. 1839 මහසිකුරාදා දිනයේ පළමු වරට මෙම ප්‍රතිමාව උපයෝගී කරගනිමින් මීගමු දූවේ පාස්කු සංදර්ශනය පැවැත් වූ අතර අද දක්වාම භාවිත කෙරෙනුයේ එම ප්‍රතිමාවය. මේ වන විට ප්‍රතිමාව වසර 182ක් පැරණිය.
ක්‍රි. ව. 1939දී දුක්ප්‍රාප්ති ප්‍රසංගය අනුව එතෙක් රඟදැක්වූ දූවේ පාස්කු නාටකය සඳහා මර්සලන් ජයකොඩි පියතුමා අලුත් පිටපතක් සකස් කළේය. ‘බෝන් ටු බී අ කිංග්’ නමැති ඉංග්‍රීසි කෘතිය ඇසුරින් මෙම නවීකරණය සිදු කළ එතුමෝ ඒ සඳහා අලුත් ගීත රැසක්ද රචනා කළෝය. එතෙක් භාවිත කෙරුණු ප්‍රතිමා වෙනුවට නළුවන් යොදා ගැනීමද ඒ සමඟ ආරම්භ විය.
දූවේ එකම සහෝදර ප්‍රජාවක් වූ ධීවර ජනයාගෙන් පිරිසක් 19 වන සියවසේ මැද භාගයේ තම ව්‍යාපාරික කටයුතුවල පහසුව උදෙසා මීගමුවට සංක්‍රමණය වූහ. මීගමුවේ සාන්ත පීතර දෙව්මැදුර ඉදිකරගනු ලැබුවේ ඔවුන් විසිනි. ඔවුන්ගේ ඉල්ලීම පරිදි චතාරික සමයේ ක්‍රිස්තු ප්‍රතිමාව ශාන්ත පීතර දෙව්මැදුරටද ගෙන එන ලදි. ඒ අනුව මෙම ප්‍රතිමාව එක් වසරක පාස්කු සමයේ මීගමුවේ සාන්ත පීතර දෙව්මැදුරේද. වසර දෙකක් දූවේ සින්ද්‍රාති දෙව්මැදුරේද තැන්පත් කෙරේ.
එදා මීගමු දූවෙන් කොචින් නගරයට ගොස් මෙම ප්‍රතිමාව නිර්මාණය කරගත් මිහිඳුකුලසූරිය පරම්පරාවේ සාමාජිකයන්ගෙන් පැවැත එන බොහෝ දෙනෙක් අදටද මෙම පාස්කු නාටකයේ චරිත රඟති.
මා දුවේ පාස්කු නාටකය දෙවරක් නරඹා ඇත්තෙමි. ඒ මා මිත්‍ර සුනිල් මිහිඳුකුලගේ සහ දුවේ ක්ලෙමන්ට් ප්‍රනාන්දු හිතවතාගේ ආරාධනයෙනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා