SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ ලෝකේ ජීවත් වෙන සැම ජීවියකුටම නින්ද බොහෝ සෙයින් වැදගත් වන කාර්යයක් වන අතර එමගින් අපේ ශරීර යාන්ත්‍රණය හා ශරීර මෙන්ම මානසික සෞඛ්‍යය නිසි ලෙස පවත්වාගෙන යාමට උපකාරී වෙයි.

නින්ද යනු කායික හා මානසික ක්‍රියවලිවල සම්බන්ධතාවය එක්ව කටයුතු කිරීම මත යම් නිශ්චිත කාලයකට සිදුවන සවිඥානය නැති වීමේ ස්වභාවිකව සංසිද්ධියයි.

නින්ද පිළිබදව පරීක්ෂණ කොට මත ඉදිරිපත් කළ අය අතුරින් චර්‍යවාදීන්ගේ මතය වූයේ නින්ද හා අවදිවීම යන සිදුවීම් දෙකම බාහිර බලපෑම් මත සිදුවන්නක් බවයි. එසේම නින්ද ගැන වැදගත් කරුණු රාශියක් පරීක්ෂණ හරහා හෙලි කළ කාර්ට් රිට්ච්ර් මහතා ඉහත චර්‍යාවාදීන්ගේ මතය බිද හෙළමින් පෙන්වා දුන්නේ අප සියලුදෙනා තුළ ස්වයං-උත්පාදක රිද්ම චක්‍රයක් නැතහොත් නින්දට හා අවදිවීමට අපව යම් රිද්මයකට අනුකූලව ස්වයංව මෙහෙයවන ක්‍රියාවලියක් පවතින බවයි. මෙය ජීවවිද්‍යාත්මක ඔරලෝසුව ලෙස හැදින්වේ.

 

නින්ද 5

නින්ද සදහා අවශ්‍ය මෙලටොනින් ස්‍රාවය කිරීම මොළයේ දකුණු හා වම් අර්ධ ගෝල දෙක මධ්‍යයේ තුන්වන වෙන්ට්‍රිකල්හි ආසන්නයේ පිහිටා ඇති පීනියල් ග්‍රන්ථය මගින් සිදුවේ. එමෙන්ම ඉහත සදහන් ක්ළ ජීවවිද්‍යාත්මක ඔරලෝසුව ක්‍රියා කරවනුයේ ද මෙමගින් වීම විශේෂයි.

මනෝවිද්‍යාව යටතේ නින්ද පිලිබදව කතා කිරිමේදී අපට යම් යම් දෘෂ්ටිකෝණ යටතේ ද කරුණු විමසා බැලීමට සිදුවෙයි. එහිදී පරිණාමවාදී දෘෂ්ටිකෝණයට අනුව ගත් කළ අපට නින්ද නම් වූ ක්‍රියාවලිය හිමි වී ඇත්තේ යම් සහන කාල සීමාවක් ලෙසයි. එවකට විසූ අපගේ මුතුන්මිත්තන්ගේ ප්‍රධාන කාර්යයක් වූයේ ආහාර සොයාගැනීම සදහා දඩයම් කිරීමයි.

හිරු එළිය වැටෙන කාලය දඩයමට වෙන් කරගත් ඔවුන් අදුරු රාත්‍රිය දිවා කාලයේ ලද විඩාවෙන් නිවීමට සදහා වෙන් කරන ලදී. එය ඔවුන් නින්ද ලෙස හඳුන්වන ලදී.

පරිණාමවාදී මතයට අනුව බලන විට එය සත්‍ය බව අපට මනාව වැටහේ. එමෙන්ම අප රාත්‍රියට පමණක් නොව දිනයේ ඕනම වේලාවක නිදා ගැනීමට හැකියාවක් පවතින හා එලෙස යම් යම් වෘත්තිමය හේතු නිසා හෝ දිවා කාලයේදී නිදා ගැනීමට සිදුවන අවස්ථා අපට හමුව ඇත.

 

නින්ද 6

නින්ද හරහා වෙහෙස වූ මොළයේ හා ශරීරයට වෙහෙසක් ලබා දෙන අතරම තුවාල වූ පටක,අවයව හා ශරීර වර්ධනයට මෙන්ම මොළයේ නියුරෝන(සෛල) වර්ධනයට ද උපකාරී වෙයි. නිදසුනක් ලෙස කුඩා දරුවන් යම් වයසකට පත් වන තුරුම කවා පොවා වැඩි වේලාවක් නිදි කිරීමට හුරුව ඇත්තේ දරුවාගේ මොළයේ නියුරෝන වර්ධනය බහුලවම සිදුවන්නේ නින්දේ දී නිසාය. එසේම යම් කුමන හෝ අසනීපයක් හෝ කායික දුබලතා හමුවේද අපට ප්‍රතිකාර කොට නිදා ගැනීමට යොමු කරන්නේ නින්දේ දී අපගේ මොළයේ මෙන්ම ශරීරයේද සෛල වර්ධනය ඉතා හොදින් හා බහුලවම වන්නේ නින්දේ නිසාමයි.

නින්දේ අවධි

නින්ද තුළ ප්‍රධාන වශයෙන් අවධි 4කි. ඒ අතර REM stage එකක් හා Non- REM stages තුනක් තිබේ.

Non-REM stage 1

මෙය අපට නින්ද ගොස් පළමු මිනිත්තු 5-10 කාලයයි. මෙය අවදි සිහියේ සිට නින්ද අතර සංක්‍රාන්ති අවධියයි.

Non-REM stage 2

මෙය අපට නින්ද ගොස් හා පළමු අවධිය අවසානයේ සිට ඊළග මිනිත්තු 20 හෙවත් මිනි.10-30 කාලයයි. මෙහිදී අපගේ ශරීර උෂ්ණත්වය,හදගැස්මේ වේගය ක්‍රමයෙන් අඩු වී සංසුන් වෙයි. එසේම මෙම අවධිය තුළදී නින්ද සදහා අවශ්‍ය නිදි තර්කු (sleep spindle) මොළය හරහා ලබදීම වෙයි. එමගින් අපගෙ මනස මෙන්ම ශරීරය ද තදින් නින්දට වැටීමට පටන් ගනී.

Non-REM stage 3

මෙම අවධිය එලැබෙනුයේ පෙර අවධිය අවසානයේ සිට මීළඟ මිනිත්තු 30දීය. මේ වන විට සම්පූර්ණ වශයෙන්ම අපි නින්ද වැටී හමාරය. හුස්ම ගැනීමේ වේගය අඩුවී ඇත එබැවින් රුධිර පීඩන වේගය ද පහත වැටී ඇත.අපගේ මාංශපේෂීන් පවා ලිහිල් වීම සිදු වී අවසන් වන අතර මෙහිදි අපගේ ස්වරූපය පණ සහිත මළ මිනියකට සමාන බව බොහෝ විද්වතුන් පවසන්නකි. මන්ද මේ වන විට අපගේ මනස ද නින්දට වැටී ඇත. අපි ගෙරවීම සිදු කරන්නේද මේ අවධිය තුළදීය. මෙම අවධිය බොහෝ විට තවත් දිගු විය හැකි අතර එය Non-REM stage 4 ලෙස හැඳින්වෙයි.(මෙය පුද්ගලයා හා ඔහුගේ නින්දේ අවශ්‍යතාව මත පමණක් තීරණය වී ස්වභාවිකවම සිදුවේ.)

REM stage

"Rapid Eye Movement stage" නැතහොත් ඇස් වේගයෙන් චලනය වන අවධිය ලෙස මෙය හදුන්වයි. මෙය අපට නින්ද ලැබී පැයක් හෝ පැයයි මිනි.30 පමණ කාලයක් තුළදී හමුවන්නකි. මෙය අපගේ මුළු නින්දෙන් 20%කි.

 

නින්ද 4

මෙහිදී යම් විශේෂ සිදුවීම් පෙළක් සිදුවෙයි. එනම් අවසාන අවධියහිදී නිදා සිටි මනස අවදිව ඉතාමත් වේගයෙන් ක්‍රියා කිරීමට පටන් ගැනීම මෙහිදී දැක ගත හැක. එය හදුනාගැනීමට හැකි වන්නේ පෙර සදහන් කළ පරිදි අපගේ ඇස් ඉදිරියටත් පිටුපසටත් වේගයෙන් චලනය වීම සිදුවෙයි. ඒ මොළයේ තැන්පත් කරගත් මතක ගබඩාව නැවත කියවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස අපි සිහින දකී.

මෙහිදී විශේෂත්වය නම් මොළය දිවා කාලයේදී කාර්යයන් කරන විට දී හෝ නොපැවති පරිදි වඩා වේගවත්ව මේ අවධියේදි ක්‍රියාත්මක වන අතරම මෙම මොහොතේ දී ශරීරය ඉතස් නිසොල්මන්ව පැවතීම ද මහා ආශ්චර්යයකි. එසේම මොළයේ වේගවත් ක්‍රියාකාරිත්වය නිසා රුධිර පීඩනය ඉහළ යාම, හදගැස්මේ වේගය වැඩි වීම, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම මෙන්ම ඉතා පැහැදිලි සිහින දැකීමද සිදු වෙයි.

නිදසුනක් ලෙස දිවා කාලයේදී අප යම් සිදුවීමකට බිය වී රාත්‍රී නින්ද ලබා සිටියේ නම් මෙම අවධියේදී වන මොළයේ ක්‍රියාකාරිත්වය මත එම සිදුවීම නැවත කියවීම සිදුවිය හැකිය. එහිදී ඉහත කියූ පරිදි හදගැස්ම,හුස්ම ගැනීමේ වේගය මෙන්ම රුධිර පීඩනයද ඉහළ යමේ ප්‍රතිඵලයක් ලෙස අප රාත්‍රී භයානික සිහින දැක අවදි වීම විය හැක.

 

නින්ද 3

නින්ද හරියාකාරව නොලැබුවහොත්?

මෙතරම් වැදගත් නින්ද කුමන හෝ හේතු නිසා අපට නොලැබී ගියහොත් අපට යම් යම් කායික,මානසික අපහසුතාවලට මුහුණ දීමට සිදුවෙයි.

එනම්,

දැඩි කායික හා මානසික වෙහෙස බවක්, අපහසුතාවක් දැනීම

සුළු දෙයකට පවා ඉතාමත් ආවේගශීලීව කටයුතු කිරීම

අවධානය අඩුවීම

නිර්මාණශීලීත්වය අඩුවීම

තාර්කික බුද්ධිය අඩුවීම

කිසිදු කාර්යයක් හරියාකාරව කරගැනීමට නොහැකි වීම

කරන කටයුතු පිළිබදව අප්‍රසාදය ලැබීම

විවිධ කායික හා මානසික රෝග වලට ගොදුරු වීම

ඉක්මනින් ආතතියට ගොදුරු වීම

ශරීර කෘත්‍යන් අකර්මණ්‍ය වීම

 

නින්දට බාධා කරන පුරුදු:

කැෆේන් අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම (දෛනික)

නින්දට ආසන්නව බර ආහාර ගැනීම, කැෆේන් අඩංගු ආහාර ගැනීම

නින්දට පෙර දිගු වේලාවම් ජංගම දුරකතන,ලැප්ටොප් වැනි උපකරණ භාවිතය

දිවා කාලයේදී සුළු නින්දක් ලබා ගැනීම

නිදි පෙති හෝ නින්දට බාධා කරන මත්ද්‍රව්‍ය භාවිතය

නින්ද සදහා නිශ්චිත වේලාවක් පවත්වා නොගැනීම

ඇඳ නින්ද සදහා පමණක් යොදා නොගැනීම

 

නින්ද 8

 

මෙවැනි පුරුදු නිරන්තරයෙන් සිදු කිරීම මත ඇති විය හැකි නින්දේ අක්‍රමිකතා කීපයකි.

Insomnia

මෙය නිදාගැනීමට පවතින අපහසුතාවයකි. බොහෝ විට රෑ එළිවන තුරුත් අහේතුකව නිදි නොලැබීම මෙහි දක්නට ලැබේ.මෙය මානසික ආතතිය මෙන්ම විශාදය හා බැදී පවතින්නකි.

Sleep apnea

නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතාවක් මත කඩින් කඩ හුස්ම නතර කරමින් අපහසුවෙන් හුස්ම ගනිමින් නිදාගැනීම මෙහි ලක්ෂණයයි. නිතරම ගෙරවීම හා කේට ස්‍රාවය, අවදි වන විට මුඛයේ වියළි ස්වභාවයක්, අවදි වූ පසු තද හිසරදය,අවදි වූ පසු නිතර නිදිමත ගතිය හා අවධානය අවම වීම බහුලව දැකිය හැකිය.

Narcolepsy

නොනැවැත්විය හැකි නින්දේ ආක්‍රමණතා පවතී. භයානක සිහින දැකීම, නින්දේදී මායා දර්ශන දැකීම හා මවා ගැනීම හා නිදි අංශභාගය මෙහි ප්‍රධාන ලක්ෂණ වේ.

Night terrors

නිතර සිහිනෙන් බය වීම හා අවම වශයෙන් නින්දෙන් ඇවිදීම ද දැකිය හැකි අතර නින්දේදී කියවීම,පයින් ගැසීම,මිමිණීම,කෑගැසීම දැකිය හැක.

Sleep paralysis

මෙය නම් නින්ද හරියාකාරව අවධි මත පවත්වාගෙන යාමට ඇති නොහැකියාවයි. එනම් නින්දට ගොස් දෙවනි හෝ තෙවන අවධියේදී අවදි වීම හා සමහර විට අවධි මගහැරීමද සිදුවෙයි. ඒ මත හොද නින්දක් ලැබීමට නොහැකි අතරම විවිධ ශරීර අපහසුතා ද ඇති කරවයි.

Sleep walking

මෙය චර්‍යාත්මක ගැටළුවක් ලෙස හදුන්වන අතර නින්දේ REM stage හීදී නින්දෙන් ඇවිදීම සිදුවෙයි.මෙය බොහෝ විට කුඩා දරුවන් අතර ප්‍රචලිත සේම සමහර වැඩිහිටි අය තුළ ද නින්දෙන් ඇවිදීම පවතී

Sudden Infant Death Syndrome (SIDS)

මේ ඉතා දරුණු අවුරුදු 1ට හෝ අඩු දරුවන් තුළ පමණක් පවතින නින්දේ අක්‍රමිකතාවකි. මෙහිදී වන්නේ ක්ෂණිකව දරුවා මිය යෑමයි. එනම් කුමන හෝ හේතු මත ක්ෂණිකව නින්දේදී දරුවාගේ ශරීර උෂ්ණත්වය ඉහළ යාම, බඩ යටට තබා නිතරම දරුවා නිදාගැනීම හා යම් ජානමය බලපෑමක් මත ද මෙය ඇති විය හැක.

මෙයින් පෙනී යන පරිදි නින්ද යනු මෙලොව වෙසෙන සෑම අයෙකුටම මෙන්ම අපටත් පොදු ස්වභාවිකව සංසිද්ධියක් වන අතර එහි වැදගත්කම හා කාර්යයන් දැන ඊට සුදුසු අයුරින් ක්‍රියා කිරීම මත ඉහත නින්දේ අක්‍රමිකතා මගහරවා ගනිමින් පෙර සදහන් කළ නින්දේ ප්‍රතිලාභ ලබා නිරෝගී හා ප්‍රීතිමත් ජීවිතයක් ලබා ගැනීමට උත්සුක වෙමු.

@ උමයංගනී ද සිල්වා.

මනෝවිද්‍යා විශේෂවේදි උපාධි අපේක්ෂක,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

marrikkar

නවතම ලිපි