ශ්‍රී ලංකාවේ කම්කරුවාගේ බරපතලම ප්‍රශ්නය පඩි මදිවීමට වඩා මානව ගෞරවය පිළිබඳ ප්‍රශ්ණයකි.
එනම් කම්කරුවාට සේවාදායකයා හෙවත් තමාගේ ලොක්කා විසින් සාමාන්‍ය මනුෂ්‍ය ගෞරවයකින් නොසැලකීම. ඒ හරහා මුළු සමාජයම කම්කරුවාට එසේ නොසැලකීම. කම්කරුවා යනු පහල නොවටිනා මිනිසුන් කොටසක් ලෙස සැලකීම. කම්කරුවාට කම්කරුවෙක් වීම නිසාම විශේෂ අගෞරවයකින් සැලකීම.
රජයේ ආයතනවල පවා කම්කරුවාව නිල කටයුතුවලදී නිල වශයෙන්ම පහත්ව සලකයි.ශ්‍රී ලංකාව වැනි රටවල කම්කරුවාගේ ලොකුම පීඩනය බඩු ගන්නේ කෙසේද යන්නටත් වඩා කම්කරුවෙකු වීම නිසා සමාජය තමන්ට වෙනස්ව සැලකීමයි. ඇත්ත වශයෙන්ම සමහර කම්කරුවන් ගුරුවරයකුටත් වඩා මුදලින් උපයයි.
බටහිර දියුණු (පූර්ණ ධනවාදී) රටවල් වලදී කම්කරුවා හා ලොක්කා අතර ඒ බේදය නැති අතර කම්කරුවා ලොක්කාට කතා කරන්නේ නමින්ය. වැඩකරන තැන කන බොන තැන පුටු මේස ආසන ආදී සියල්ලම පවා කම්කරුවාට හා ලොක්කාට වෙන වෙනම නැත. ශ්‍රී ලංකාවේදී ආත්මයෙන් පමණක් නොව ශරීරයෙන්ද කම්කරුවාව නොසලකා ඇර ඇත.
උදා: නාට්ටාමි වැනි රැකියාවකදී ඔවුන් ඇඳුමක්වත් සපත්තුවක්වත් හරියට නැතිව බර ගෝනියක් කරේ තියාගෙන මඩ වූ පාරවල්වල කාලකණ්නියෙක් වගේ බඩු අදියි. ඒ අතර බටහිර කම්කරුවා ඊට ගැලපෙන ආරක්ෂිත ඇඳුම් ඇඳන් යන්ත්‍රයකින් ඒ වැඩේ කරයි. එතනත් නාට්ටාමි කෙනෙකුගේ මාසික වැටුප ඊට වඩා හොඳ ඇඳුම් ඇඳගෙන කරන බොහෝ රැකියාවන්ට වඩා වැඩිය.
නමුත් ශ්‍රී ලංකාවේම ඉංග්‍රීසි කතා කරන ඉහල පංතීන්වල කම්කරු හා එවැනි රැකියාවන් (උදා මෙහෙකරුවන්, රියදුරන්, බාබර්වරුන්, වේටර්වරුන් ආදියේ) තත්වය දැන් බටහිරට සමාන වෙමින් පවතී. ඒ කී ඉංග්‍රීසි කතා කරන ඉහල පංතීන්වලට බොහෝ විට අර කී රැකියාවන් සඳහා යොදාගන්නේත් ඉංග්‍රීසි කතා කරන ශ්‍රමිකයින්යින් වන අතර ඔවුන්ට දැන් මුළුමනින්ම බටහිර හා සමාන ගෞරවයකින් සලකයි. ඒ අර්ථයෙන් ගත්තම ශ්‍රී ලංකාවේ කම්කරුවාගේ ප්‍රශ්ණය භාශාව පිලිබඳ ප්‍රශ්ණයක් ලෙසටද කියවිය හැකිය. ශ්‍රී ලංකාවේ කම්කරුවාගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්ණයකට වඩා සංස්කෘතික ප්‍රශ්ණයක් ලෙසටද දැකිය හැකිය!
විශේෂයෙන් කම්කරුවා පිළිබඳව ඇති සාම්ප්‍රදායික අර්ථකථන පවා වෙනස් වෙමින් පවතින මොහොතක, පඩි වැඩිකරගැනීමේ සිට කම්කරුවාගේ අනිත් අති බහුතරයක් ප්‍රශ්ණ මනුෂ්‍ය ගෞරවයට පසුව එන ඒවාය.
කම්කරු සටන් වලින් කම්කරුවන් වහා ඉල්ලා සිටිය යුත්තේ සමාන මානව අයිතිවාසිකම් හා මනුෂ්‍යයකු ලෙසට තමන්ට හිමි ගෞරවයයි.
සංකීර්ණ පඩි වැඩි කර ගැනීමේ ප්‍රශ්නය මොහොතකට ඔහොමම තියෙන්න දීලා හෝ ඊට සටන් කරන ගමන් , සමාන මානව ගෞරවයකින් සැලකීම වහාම සිදුවිය යුතු දෙයක් විදිහට ඉල්ලා සිටින්න බැරි ඇයි? එය ලබා ගැනීමට වියදම් යන් නැත. එය දෙන්නට බැරි හේතුව කුමක්ද ? සිංහලයින්ට අන්ය ජාතීන්ට වඩා උසස් තත්වයක් ලබා දෙන්න හදනවුන් ශ්‍රී ලංකාවේම ඉංග්‍රීසි කම්කරුවාට හිමි ගෞරවයවත් සිංහල කම්කරුවාට ලබා දීම වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි?
දෙමළ හා මුස්ලිම් ජාතීන් වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ද එයම ඇසිය හැකිය. කම්කරු ව්‍යාපාර, සංවිධාන එකතුවී බොස්ට සර් කියන එක ඉවත් කර වැඩපොලේ වෙනම සලකන එක ඉවත් කර දෙන ලෙස ඉල්ලා රජයට බලකර වර්ජන ආරම්භ කරන් නැත්තේ ඇයි? මෙය කිසිම වියදමක් යන්නැති මානුෂික ඉල්ලීමකි. කෙසේ හෝ එම වෙනස කම්කරුවන් හරහා කල හැකිනම් එයින්ම පමණක් මේ පසුගාමී සමාජය විශාල පරිවර්තනයකට ලක්වුනු ඇත.
@ ධනන්ජය කරුණාරත්න