1983 වර්ෂයේ ජූලි කලබල ඔබට මතක ඇති. අමතක නම් මතක් කරගන්න.
කලබල මැද ගාලු පාරේ දෙහිවල හන්දියට නුදුරින් සිදුවීමක් වුණා. ඔහුගේ නම කේ. වෙන්කට්. ‘ශ්‍රී පතුල’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ඔහු. ඒ 1978 දී. ඒ චිත්‍රපටයේ ගීතයක් තිබුණා අදටත් වෙසක් කාලෙට නිතරම ඇහෙනවා. ‘සකල සතම බොදු බැතියෙන්… සම්බුදු සිරිපාදේ…සුගත තථාගත ලෝකතිවංකර… සම්බුදු සිරිපාදේ…// කරුණාවයි… කරුණාවයි//…’ තමයි ඒ ගීතය. ‘මිනිසාමයි ලොව දෙවියන් වන්නේ… මිනිසාමයි ලොව තිරිසන් වන්නේ…’ මොහිදීන් බෙග් ගයන මේ ගියත් ඇතුළත් වන්නේ ඔහුගේ මේ චිත්‍රපටයටම තමයි.
අසූ තුනේ දෙහිවල හන්දියේ මේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කේ. වෙන්කට් තම කාරය පදවමින් ඉදිරියට එනවා. හැමතැනම කලබල. දෙමළ මිනිස්සු මරනවා. කඩ ගිනි තියනවා. පුච්චනවා. කෙළවරක් නැහැ. වෙන්කට්ගේ පවුලේ අය කියනවා ‘මේ වෙලාවේ එළියට යන්න එපා, ඔයාට මොනවහරි අනතුරක් වුණොත් අපි කොහොමද ඒක දරාගන්නෙ’ කියලා. ‘නැහැ… සිංහල මිනිස්සු මට ආදරෙයි. මට එයාලා කවදාවත් අනතුරක් කරන්නේ නැහැ…’ ඔහු පාරට එන්නේ ගෙදර අයට එහෙම කියලයි.
දෙහිවල හන්දියට ආසන්නයේදී කේ. වෙන්කට්ගේ කාරය පිරිසක් නතර කරනවා. කඩු, පොළු, මුඟුරු සහ පෙට්‍රල් අත දරා ගත් සිංහල බෞද්ධයෝ පිරිසක්. බැහැපං එළියට… කේ. වෙන්කට්ව කාරයෙන් එළියට ඇදලා ගන්නවා. කියාපන්… ‘බාල්දිය’ කියලා… මැරයෝ කේ. වෙන්කට්ගේ මුහුණට කඩා පනිනවා.
‘මම තමයි බුදුන් වහන්සේගේ සිරීපාදය ගැන චිත්‍රපටය කළේ… මතකයි නේද…’ ඔහු මැරයන්ට එහෙම කියනවා. කියාපන් ‘බාල්දිය’ කියලා… කියමින් මැරයන් ඔහුට යටිගිරියෙන් කෑගහමින් එක පහරක් මුහුණ හරහා යවන්නේ චටාස් යන හඩික් එක්ක. ‘ගහන්න එපා… මට ගහන්න එපා… කරුණාවයි… කරුණාවයි… සින්දුව තියෙන ශ්‍රී පතුල චිත්‍රපටය කළේ මමයි. ඔයාල මාව අඳුනනවා… මට ගහන්න එපා…’ කියා කේ. වෙන්කට් ඔවුන්ට කියනවා. ඔහුගේ මුහුණේ සිනාවක් ඇදිලා යනවා. ඒ මොකද දන්වද? ඔහු හිතනවා මෙයාලට තමන්ව අඳුනගන්න බැරිවෙලා කියලා. ‘මගෙ නාමලී… බැඳි ආදරේ…’ ගීතය තියෙන්නේ මගේ ‘ගොපලු හඬ’ චිත්‍රපටයේ… ඔයාලා මාව දන්නවා.. ඔහු නැවත කියනවා. එත් මැරයෝ ඒ කතාවලට ඇහුන්කම් දෙන්නේ නැහැ විතරක් නෙවෙයි ඒවා සත පහකට මායිම් කරන්නේ නැහැ.
කියාපන් ‘බාල්දිය’ කියලා… සිංහල බෞද්ධ මැරයෝ කේ. වෙන්කට්ට නැවත පහර දෙනවා. ඔහු උත්සාහ කරනවා… නමුත් ඔහුට බාල්දිය කියල කියන්න කේ. වෙන්කට්ට බැරිවෙනවා. මහ හඩින් හිනාවෙන සිංහල බෞද්ධ මැරයෝ කේ. වෙන්ක්ට්ව කාරය තුළට තල්ලු කරනවා. කාරයට පෙට්‍රල් දමා ගිනි තබනවා. කේ. වෙන්කට් අමුවෙන් ගිනි ගන්නවා.
කේ. වෙන්කට් ට අසූතුනේ ඒ විදියට පණපිටින් අපි ගිනි තියනවා. ඒ විතරක් නෙවෙයි, එයා හදපු අපේ බුදුන්ගේ සිරීපාදය ගැන ‘ශ්‍රී පතුල’ චිත්‍රපටයත් අපි අසූ තුනේදීම ගිනි තියනවා. එදා ඔහුගේ ශ්‍රී පතුල චිත්‍රපටය නරඹන්න චිත්‍රපටලෝලීන් චිත්‍රපට හෝල්එකට ගියේ සුදු ඇඳගෙන. ඔබට අමතක වුනාට අපට ඒව හොඳට මතකයි. මතක් කරල දෙන්නත් කැමතියි.
සිරි පතුලටත් ගිනි තියපු අපේ ඇත්තෝ, පකිස්ථානයේදී අමුවෙන් පුච්චා මරා දැමූ ප්‍රියන්ත දියවඩනගේ සීල්කරපු පෙට්ටිය ඉදිරියේ දැන් නාහෙන් අඩනවා. දුකයි තමයි. අපටත් දුකයි. අපට එදා ගැනත් දුකයි. වෙනස ඒකයි. එදා මීයට පිම්බ වගේ නිහඩවෙලා අමුවෙන් මිනිස්සු මරපුවා අනුමත කරපු අය, දැන් අන්තවාදයට යටවෙලා මැරිච්ච එකාගේ කටු සූප්පු කරමින් හොටු සූරනවා. සිංහල බෞද්ධ අන්තවාදයට – මුස්ලිම් අන්තවාදය එකට එක හමුවෙලා. ඒ අතීතය ගැන හයක් හතරක් නොදන්නා අය වගේ රඟපානවා. වැල යන පැත්තට මැස්ස ගහන්නා වාගේ ප්‍රියන්ත දියවඩනගේ දේහය නැති සෑය ඉදිරියේ සුසුම්ලනවා. රතිඤ්ඤා පුපුරවන්න කලින් සිතන්න. ඔබ ඉන්නේ වීදුරු ගේක. ඇඟිල්ල දිහා නෙවෙයි, හඳ දිහා බලන්න.
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
ඒකනින් ඇසු දේ නොවේ..
එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි....
වසවිස දීලා....
සැකය නිසා මේ - සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ...
තණ්හා පොදී ගසා - තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි - අරගෙන යන්නේ
ධර්ම රකින්නා - ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී - එය නොම දන්නා
සසරේ මැරී මැරී තැවේ..